පිනි පලස

හැත්තෑනවයේ ඉඳන් අදටත් වේදිකාවේ නළු නිළියන් යන්නේ ලේලන්ඩ් බස් එකේ

චිත්‍රපට 34ක් ටෙලි නාට්‍ය 180ක් සහ වේදිකා නාට්‍ය 22කට රංගන දායකත්වය ලබාදෙමින් තවමත් නොසැලී සිය දායකත්වය කලාවට ලබාදෙන අපූරු කලාකරුවෙක් මුණගැසුණා. අනුරාධපුරයේ දිමුතු චින්තක කියලා ඔහුව හඳුන්වන්නේ තාමත් ඔහු පදිංචිය සඳහා කොළඹ පය නොතබපු නිසා. මෙතරම් විසල් නිර්මාණ ප්‍රමාණයකට අනුරාධපුරයේ ඉඳන් දායකවීමේ අපූරු කතාව දැනගන්න ඔහුත් සමග එකතු වුණා.

අදත් අනුරාධපුරයේ ඉඳන්ද ආවේ

ඔව්..තාමත් මම ඉන්නේ අනුරාධපුරේ. හැබැයි මගේ ගම අනුරාධපුරේ නෙවේ. මම ඉපදුණේ කොළඹ. මගේ අම්මා කොළඹ. තාත්තා අනුරාධපුරේ. මම කොළඹ ඉපදුණාට වතුරත් සමග මගේ සෞඛ්‍ය පිළිබඳ ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා. ඒ නිසා අනුරාධපුරයේ පදිංචියට ගියා. ගොඩක් අය හිතනවා නිර්මාණ කරන්න කොළඹම ඉන්න ඕන කියලා. එහෙම ප්‍රශ්නයක් නෑ කියන එක මම ඔප්පු කරලා තියෙනවා. ගමෙන් කොළඹට එන මනුස්සයට අන්තිමට ගම අමතක වෙනවා. මම ගමත් මතක තියාගෙන කොළඹ ඇවිත් යනවා. මම හිතන්නේ ක්ෂේත්‍රයට ආපු කාලේ ඉඳන් බැලුවාම කිලෝමීටර් ලක්ෂ 25ක් විතර අනුරාධපුරයේ – කොළඹ ගිහින් ඇති..

දැන් කලා ක්ෂේත්‍රයට ඇවිත් කොච්චර කල්ද?

අවුරුදු 30ක් සපිරෙනවා. ඒ වෙනුවෙන් තමා මේ අලුත් වැඩක් කරන්න සූදානම් වෙන්නෙ.

මොකක්ද අලුත් වැඩේ?

මේක වේදිකා නාට්‍යයක්. අපි පටන්ගත්තු තැන කවදාවත් අමතක කරන්න බැහැනේ. මේක අවුරුදු පහක් විතර මගේ හිතේ තිබුණ දෙයක්. හැබැයි නිෂ්පාදකවරයෙක් හොයාගන්න බැරිවෙච්ච නිසා කල් ගියා. වේදිකා නාට්‍යයක් කියන්නේ අරගෙන දුවන්න ඕන දෙයක්. ඉතින් නිෂ්පාදකයව බේරන්න ඕන වැඩේ කරන කෙනා. කොටින්ම අද වේදිකා නාට්‍යයක් කිරීම දුවන කෝච්චියට බෙල්ල තියනව වගේ දෙයක්. නමුත් මේ ප්‍රශ්න මැද්දේ දෙන්නෙක් නෑ එක්කෙනයි’ නාට්‍ය පටන් ගත්තා. මංගල දර්ශනය පුංචි තියටර් එකේ කළා. දෙවැනි එක ආනුරාධපුරේ විශාල ජනතාවක් ඉදිරිපිට මධ්‍ය මහා විද්‍යාලයේදී ප්‍රදර්ශනය කළා. ඉතා ඉහළ ප්‍රතිචාර මේ දිනවල ලැබෙනවා.

දෙන්නෙක් නෑ එක්කෙනයි…. මොකක්ද කතාව?

නූතනයට ගැළපෙන කතාවක්. මෙහි තියෙන්නේ පරමාදර්ශී දේශපාලනයක් සොයා යෑම ගැන. දේශපාලනය තුළ සිදුවන අකටයුතුකම් සහ එයින් මිදෙන්නේ කොහොමද කියන කාරණාව ගැන කතා කරනවා.

වසන්ත විට්ටච්චි, සරත් චන්ද්‍රසිරි, ගාමිණ ජයලත්, තරංග බණ්ඩාර, අනුෂා දිසානායක, සංජීව දිසානායක වගේ අය රංගනයෙන් දායක වෙනවා.

අනුරාධපුරේ ඉඳන් කොළඹ ශිල්පීන් එක්ක නාට්‍ය කරන්නේ කොහොමද?

මම මුලදිත් කිව්වෙ, මේ අභියෝගය මට ජයගන්න පුළුවන්. මේ නාට්‍යයට අනුරාධපුරේ ශිල්පීන් කීපදෙනෙක් වන ජයතිස්ස අතුලසිරි, කෞෂල්‍යා සංජය, නිමල් රත්නප්‍රිය දායක වෙනවා. මේ අයත් අරගෙන කොළඹ එනවා. නැත්නම් දෙපැත්තෙ පුහුණුවීම් කරනවා. මම තමයි දෙපැත්තට දුවන්න ඕන. කැමැත්තෙන් මම ඒ දිවීම කරනවා.

මෙවන් පරිසරයක නාට්‍ය කරලා මුදල් හම්බ කරන්න පුළුවන්ද?

නාට්‍යකරලා මුදල් හම්බ කළානම් නාට්‍යකරුවෝ කෝටිපතියෝ වෙන්න එපායැ. නාට්‍ය පෙන්නන දවසට දෛනික මුදලක් ලබාගන්නවා මිසක් කිසිම දවසක නාට්‍යයකින් ලාභයක් ලබන්න බැහැ. රූපවාහිනි නිර්මාණයකට චිත්‍රපටයකට කලින් මුදලක් ලැබෙනවා. නමුත් නාට්‍යයේ රඟපාන කෙනාට මුදලක් ලැබෙන්නේ දර්ශන වාරයෙන් පසුවයි. 1979 ඉඳන් නාට්‍යකරුවා ගියේ අශෝක් ලේලන්ඩ් එකේ. පාන්දර ඇහැරිලා තමා නාට්‍ය කරුවෝ තවමත් යන්නේ. නමුත් මේ එකට යන එන සාමූහිකත්වය තුළ තමා ඔහු තෘප්තිමත් වෙන්නේ.

නමුත් සමහර නාට්‍යකරුවො හොඳ මුදලක් ගන්නවනේ?

ඔය කාරනේ කතා නොකර ඉමු. එන්ජීඕ එකකට නාට්‍යක් කළොත් ඔය කියන ලොකු මුදල ගන්න පුළුවන්. ගම් වලට විදේශිකයන්ගේ මත අරගෙන යන්න පුළුවන් නාට්‍ය කලාවකුත් යටින් යනවා. ගක්ෂ තිහ හතළිහ ඒවට ගෙවනව. නමුත් කලාව ඇතුළේ එවන් පවුවලට කරගහන්න මම කැමැති නැහැ. අපිට මේ බස් එකේ යන ගමන හොඳයි. මොකද අඩුම ගානේ කලාවට යමක් කළානේ කියලා සැනසීමෙන් මැරෙන්න පුළුවන්.

දේශපාලන මැදිහත්වීමක් නාට්‍ය ශාලාවට අවශ්‍යයි කියලද ඔබ කියන්නේ?

දේශපාලන මැදිහත්වීමක් හා ඇඟිලි ගැසීම් එපා. නමුත් දේශපාලකයන් අපිට උදව් කරන්න. තාමත් අනුරාධපුරේට රංග ශාලාවක් නැහැ. මම අවුරුදු ගාණක ඉඳන් කියනවා. අනුරාධපුරේ කොළඹට පස්සෙ වැඩිම නාට්‍යකරුවෝ ඉන්නෙ. කීප සැරයක් අනුරාධපුරේ නාට්‍ය ශාලාවක් හදන්න කියලා මුදල් පාස් කරගෙන බහිරවයා ගිල්ලා වගේ ඒ මුදල් ගිලලා දැම්මා. තාම වැඩේ කළේ නෑ. පසුගිය ආණ්ඩු කාලේ පොළොන්නරුවට රංග ශාලා පහක් හැදුවා. නමුත් පොළොන්නරුවේ නාට්‍යකරුවෝ නැහැ. අද ඒවා වේලෙනවා.

​ඔබේ නාට්‍යයේ ඉදිරි කටයුතු හා අනාගතය ගැනත් යමක් කියන්න කැමතිද?

සසාරා නාට්‍ය පාසල මම අනුරාධපුරයේ කරගෙන යනවා. තාමත් මම මේ නාට්‍ය පාසල කරන්නේ කුලියට. මගේ සීයා මාතර ඉඳන් අනුරාධපුරේට ආපු කෙනෙක්. මුලින්ම රුවන්වැලිසෑය ළඟ බත් කඩයක් කරලා තියෙන්නෙ. සීයට දරුවෝ දෙන්නයි. මගේ තාත්තා ඒ.ඩී පියදාස. අවුරුදු 60ක් කුට්ටම්පොකුණ දහම් පාසලේ ඉංග්‍රීසියෙන් අභිධර්මය ඉගැන්නුවා. අවුරුදු 60ක් දහම් පාසලක ඉංග්‍රීසි අභිධර්මය උගන්නපු වෙන කෙනෙක් ලංකාවේ කොහෙවත් ඉන්නවද? නමුත් මගේ තාත්තට පුංචි ඇගයීමක්වත් ලැබුණේ නැහැ. අනුරාධපුරේ ටවුමේ කෝටි 60කට වඩා සීයට අයිති ඉඩමක් තියෙනවා. ඒවා පසුගිය ආණ්ඩු සොච්චම් මුදලකට අරගෙන. අනුරාධපුර පොළ තියන ඉඩමත් අපේ. මේ ඉඩම්වල ඔප්පු අපේ ගෙදර අල්මාරියේ කාවෝ කනවා. මම පාරක් පාරක් ගානේ ඇවිද ඇවිද කලාව වෙනුවෙන් නැහෙනවා. මේ දේවල් බලලා සාධාරණයක් කරන්න කියලා මම බලධාරීන්ගෙන් ඉල්ලනවා. මම කතා කළේ ඇත්ත. නාට්‍ය වගේම මගේ ළඟත් දෙන්නෙක් නෑ. එක්කෙනයි ඉන්නේ.

ක්‍රිෂාන්ත පුෂ්ප කුමාර