කතුවැකි

හාල් ඇයි මෙච්චර ගණං!

වෙළෙඳපොළේ ආහාර ද්‍රව්‍යවල මිල පුදුමාකාර ලෙස ඉහළ ගොස් තිබේ. පසුගිය සති අන්තයේ රතු ලූනු කිලෝග්‍රෑම් එකක සිල්ලර මිල රුපියල් 600ද ඉක්මවා තිබිණි. උඩරටින් එන කැරට්, බීට් වැනි එළවළුවල පමණක් නොව ගමෙන් එන දෙල්, කොස්වල මිලද එයාකාරය. ජනතාවට දරන්නට අමාරුම වී ඇත්තේ සහල් මිලේ ඉහළ යෑමය.

සාමාන්‍ය ජනතාව කන රතු කැකුළු සුදු කැකුළු සම්බා හා නාඩු වැනි සහල් වර්ගවල කිලෝග්‍රෑම් එකක මිල රුපියල් එකසිය පහළොව සීමාවේය. මේ සහල්වලට පාලන මිලක් ඇතැයි එම මිල සීමාව පැන වූ බලධාරීන්ට හෝ මතක තිබේදැයි සැක සහිතය. එසේම පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළෙඳසල් වටලන බව කී පාරිභෝගික සේවා අධිකාරියටද සහල් මිල ඉහළ ගොස් ඇති බවක් වාර්තා වී නැතුවා සේය. ඇතැම් විටෙක මේ අය බත් නොකන අය විය හැකිය.

ලොකුම ප්‍රශ්නය වී ඇත්තේ සාමාන්‍ය ජනතාව වැඩි වශයෙන් පරිභෝජනය කරන සහල් වර්ග වෙළෙඳපොළෙන් අතුරුදන්ව තිබීමය. සුපිරි වෙළෙඳසල් මිල පාලනයට යටත් මේ සහල් වර්ග අලෙවි කිරීමෙන් වැළකී වෙනත් වෙනත් වැඩි මිල සහල් වර්ග අලෙවි කිරීමට යොමුව සිටී. අඩුම වශයෙන් සතොසේ හෝ පාලන මිලට මිලදී ගැනීමට සහල් නැත.

මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස වී අලෙවි මණ්ඩලය සතුව ඇති වී මෙට්‍රික් ටොන් හතළිස්අටදහසක් වෙළෙඳපොළට මුදා හැරීමට තීරණය වී ඇතත් ඒ වී තොග තවමත් ගබඩාවලය. සහල් සඳහා බලපැවැත්වෙන මිල පාලනය ඉවත් කිරීමටද තීරණය වී ඇතත් එයද ක්‍රියාත්මක වීනැත. මීට හේතු වී ඇත්තේ මේ තීරණ ක්‍රියාත්මක කිරීමට සිටිය යුතු බලධාරීන් පත් කොට නොමැති වීමය. අමාත්‍ය මණ්ඩලය පත් කොට දැන් දෙසතියකි. එහෙත් තවමත් වෙළෙඳ අමාත්‍යාංශයට ලේකම්වරයකු පත් කොට නැත. එසේම වී අලෙවි මණ්ඩලයට සභාපතිවරයකු හා අධ්‍යක්ෂ මණ්ඩලයක්ද පත් කොට නැත.

මේ පත් කිරීම් සිදුවුවත් සහල් මිල අඩු වීම හා හිඟය නැතිවීම වහාම සිදුවනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය. වී අලෙවි මණ්ඩලය සතුව ඇති වී මෙට්‍රික් ටොන් හතළිස් අටදහසක ප්‍රමාණය වෙළෙඳපොළට මුදා හැරියත් එම ප්‍රමාණය වෙළෙඳපොළ අවශ්‍යතාවට ප්‍රමාණවත් නොවන බැවිනි. එසේ නම් කළ යුතුව ඇත්තේ වහාම සහල් ආනයනය කිරීමය. එහෙත් එය කෙටි කාලීන පිළියමක් පමණක් වන අතර මේ ප්‍රශ්නයට අවශ්‍ය වන්නේ දිගු කාලීන විසඳුමකි. අනෙක් අතට විදේශයන්ගෙන් සහල් ආනයනය කිරීමට තරම් මෙරට තුළ වී අස්වැන්නේ අඩුවක්ද සිදුව නැත.

මෑත යුගයේ මෙරට සහල් වෙළෙඳපොළේ ආධිපත්‍ය දරන්නේ පෞද්ගලික අංශය විසිනි. පෞද්ගලික අංශය යැයි කීවත් ව්‍යාපාරිකයන් දෙතුන් දෙනකු විසිනි. එහෙත් වෙළෙඳ පොළේ සහල් හිඟයක් ඇති වූ විටෙක හෝ සහල් මිල ඉහළ ගිය විටෙක බැණුම් අසන්නට සිදුවන්නේ ආණ්ඩුවටය. මේ නිසා සහල් ප්‍රශ්නයට විසඳුමක් සෙවීමේදී ආණ්ඩුව ඒ ගැනත් අවධානය යොමු කිරීම වැදගත් වනු ඇත.

සාමාන්‍යයෙන් වී අලෙවි මණ්ඩලය මිලදී ගන්නේ රටේ සමස්ත වී අස්වැන්නෙන් සියයට 5ක පමණ ඉතාමත් සුළු ප්‍රමාණයක් පමණකි. ඇත්ත වශයෙන්ම ඊට වඩා මිලදී ගැනීමට අපේක්ෂා කළත් ගොවීන් වී අලෙවි කරන්නේ නැත. පෞද්ගලික අංශය වැඩි මිලක් ගෙවන බැවිනි. වැඩිපුර වී තොග මිලදී ගත්තත් ඒවා ගබඩා කරන්නට ප්‍රමාණවත් තරම් ගබඩා පහසුකම් වී අලෙවි මණ්ඩලය සතුව නැත. 1994 පත්වූ චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව වී අලෙවි මණ්ඩලය අහෝසි කළ පසු 2001 රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ඒ ගබඩා බොහොමයක් ඇඟලුම් කම්හල් සඳහා විකුණා දැමුවේය. ඒ අගමැති රනිල් වික්‍රමසිංහ පසු කලෙක මත්තල ගුවන් තොටුපොළේ වී ගබඩා කිරීම මෙහි අතුරු කතාවකි.

වෙළෙඳ පොළේ සහල් මිල පාලනය කිරීම සඳහා දැනට වී අලෙවි මණ්ඩලය සතුව තිබෙන වී තොග මුදාහැරීමට තීරණය කළත් ඒවා සහල් කිරීම සිදු කළ යුතුව ඇත්තේද පෞද්ගලික අංශය හරහාය. දැන් ආණ්ඩුවට වී මෝල් නොමැති බැවිනි. සතොසට වී මෝල් කිහිපයක් ඇතත් ඒවා ක්‍රියාත්මක තත්ත්වයේ නැත.

මේ තත්ත්වය තුළ සොච්චම් වී තොගයක් වෙළෙඳපොළට මුදා හැරීමෙන් හෝ සහල් ආනයනය කිරීමෙන් මේ ප්‍රශ්නයට දිගු කාලීන විසඳුමක් ලබා ගත නොහැකි බව පැහැදිලිය. සෑම වසරකම වී නිෂ්පාදනයෙන් සියයට අනූපහකට වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නා පෞද්ගලික අංශය ඒවා වෙළෙඳපොළට මුදා හරින්නේ තමන්ට අවශ්‍ය පරිදිය. ඉල්ලුම ඇති තරමට සැපයුම නොකරන විට භාණ්ඩයක මිල ඉහළ යෑම ආර්ථික න්‍යායකි. රටේ වී නිෂ්පාදනය කොතරම් ඉහළ ගියත් සහල් මිල සැලකිය යුතු ලෙස පහළ නොයන්නේ මේ නිසාය.

මේ පෞද්ගලික සහල් ඒකාධිකාරයට මුහුණ දෙන්නට සෑම ආණ්ඩුවක්ම කරන්නේ සහල් ආනයනයට පියවර ගැනීමය. දේශපාලකයන්ද, නිලධාරීන්ද ඒ විසඳුමට බොහෝ කැමැතිය. ඒ හරහා ඔවුන්ගේ ද ගිණුම් තරවෙන මං පෑදෙන බැවිනි. ප්‍රමුඛ පෙළේ සහල් ව්‍යාපාරිකයන්ද ඊට අකැමැත්තක් නැත. සහල් ආනයනය කිරීමේ අවස්ථාවද ඔවුන්ට හිමිවන බැවිනි. මේ සහල් මාෆියාවට පින් සිදුවන්නට දැන් රටපුරා කුඩා මෝල් දහස් ගණනක් වැසී ගොසිනි.

සහල් ඒකාධිකාරය නිසා පාරිභෝගිකයාට සිදුවන තවත් අවාසියක් තිබේ. මේ මුදලාලිලා ටික දෙනකු දෙන ඕනෑම දහ ජරාවක් කන්නට සිදුව තිබීමය. මේ ආකාරයට කල් ඉකුත් වූ සහල් අලුත් සහල් සමග මිශ්‍ර කර විකුණන ජාවාරමක් පසුගිය දිනෙක පොළොන්නරුවෙන් අනාවරණය විය. ඒ වන තෙක් එම සහල් කම්හලෙන් නිෂ්පාදනය වූ සහල් කොතරම් නම් ප්‍රමාණයක් අප අනුභව කර ඇත්ද? අනෙකුත් මහා පරිමාණ සමාගම්ද මේ ජාවාරමේ නිරත නොවේ යැයි අප විශ්වාස කරන්නේ කෙසේද?

මේ සියලු තත්ත්වයන් සලකා බලන විට සහල් ප්‍රශ්නය එක රැයකින් විසඳිය හැකි ප්‍රශ්නයක් යැයි අප කිසිසේත්ම සිතන්නේ නැත. කොළඹ සීත කාමරයක පැවැත්වෙන රැස්වීමකදී ගන්නා තීරණයකින් එය විසඳෙනු ඇතැයි අපේක්ෂා කරන්නේද නැත. ආණ්ඩුවද ඒ අන්දමට කල්පනා කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු.