අතන මෙතන

හරීන්, රන්ජන්ගේ හොම්බ තලන්න හොයයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු නෙළුම් මාවතට රැස් වූයේ 20 වැනි දා උදෑසනය. ගම සමග පිළිසඳරක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි. බැසිල් එම වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ට පැහැදිලි කළේය. මෙම සාකච්ඡාවෙන් පසුව රැස් වූ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවට ලක් කෙරුණේ රන්ජන් රාමනායක විසින් ඉදිරිපත් කරන ලද කුඩු ගහන ඇමතිවරුන්ගේ ලැයිස්තුව සම්බන්ධයෙනි.

“රන්ජන් හැමතිස්සේම උත්සාහ කරන්නේ වීරයෙක් වෙන්නයි. හැබැයි හැමදාම රන්ජන් කළේ ඇන ගන්න එක. උසාවියට බැණලා දැන් නඩුවකුත් යනවා. මේකත් ඒකට දෙවෙනි නැහැ’’ ප්‍රසන්න පැවසීය.

“පාර්ලිමේන්තුවේ කුඩු ගහන අය ඉන්නවා නම් රන්ජන්ට කරන්න තියෙන්නේ ඒ අයගේ නම් හෙළිදරව් කරන එක. එහෙම නැතුව මේ වගේ බොරු චෝදනා කළාම වෙන්නේ හැම මන්ත්‍රීවරයෙක්ම අපහසුතාවට පත් වෙන එකයි“ පවිත්‍රා වන්නිආරච්චි පැවසුවාය.

“රන්ජන් කිව්වේ කුඩු ගහන ඇමැතිවරුන් කැබිනට් මණ්ඩලයේ ඉන්නවා කියලනේ. දැන් ඇමැති මණ්ඩලයේ ඉන්න අය ලේ පරීක්ෂාවට ගිහින් ඔප්පු කරන්න ඕනේ අපි කුඩු ගහන්නේ නැහැ කියලා. එහෙම නොවුණොත් හැම ඇමැති කෙනෙක්ම කුඩුකාරයෙක් වගේ තමයි මිනිස්සුන්ට පේන්නේ’’ ෂෙහාන් පැවසීය.

“රන්ජන් දැන් බය වෙලා ඉන්නේ. අධිකරණයට අපහාස කරපු එකට එයාට දඬුවම් හම්බ වෙනවා කියලා දන්නවා. දැන් බලන්නේ මේ වගේ බොරු කතා කියලා ජනතාවගේ අනුකම්පාව දිනා ගන්නයි’’ රෝහිත පැවසීය.

“රන්ජන්ට විරුද්ධව දැන් ඇමැති මණ්ඩලයේ අයත් අවි අමෝරාගෙන කියලා ආරංචියි. මම දැක්කා පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙදි රන්ජන් හිටියා නම් හොම්බ තලනවා කියලා හරීන් කිව්වා කියලා. දැන් රන්ජන් පාර්ලිමේන්තු එන්නෙත් නැතුව හැංගිලාලු’’ ප්‍රසන්න හෙළි කළේය.

“ඊයේ පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවේ ඇමැති කෙනෙකුයි නියෝජ්‍ය ඇමැති කෙනෙකුයි රන්ජන්ට මා එක්ක පලු යන්න බැන්නා. ඒ අය කිව්වේ බොරු ගණන් කිය කියා ඉන්නේ නැතුව නම් ටික ප්‍රසිද්ධ කරන්න කියලයි. මේවා නිසා ගම්වලට යන්න බැරි තත්ත්වයක් උදා වෙලා කියලා ඒ ඇමැතිවරයා කිව්වා. දැන් ඇමැති මණ්ඩලයේ ගොඩක් අය රන්ජන්ව අතට අහුවෙනකම් තමයි ඉන්නේ’’ පියල් නිශාන්ත පැවසීය.