ක්‍රීඩා

හරීන්ට ගොඩ යන්නට නම් මේ මදැයි

රටක ක්‍රීඩාවක් දිනන්නේ ක්‍රීඩකයන්ගේ හැකියාවෙන් පමණක් ද? නැත. ක්‍රීඩාවේ සකලවිධ තැන් පෝෂණය වන, පිරිසිදු වන අයුරේ අදහස්වලිනි. ක්‍රීඩා පරිපාලනයක් විසින් එම අදහස් සීරුවට ක්‍රියාත්මක කිරීම මගිනි. 1973 අංක 25 දරන ක්‍රීඩා පනත ප්‍රකාරව ජාතික ක්‍රීඩා සභාවක් පවතින්නේ එබැවිනි.

රටේ ක්‍රීඩාව කරවන තැනැත්තා හෙවත් ක්‍රීඩා ඇමතිවරයාට, ක්‍රීඩාව කරවීම පිණිස අවශ්‍ය අදහස් ලබාදෙන උපදේශන සභාව වනුයේ ජාතික ක්‍රීඩා සභාවයි. ඒ අනුව යමින් 2019-2020 වර්ෂය වෙනුවෙන් 15 දෙනෙකුගෙන් යුත් ජාතික ක්‍රීඩා සභාව පත්වූයේ ඉකුත් ජනවාරි මාසයේ 17 වැනිදාය. එයට නායකත්වය දෙනුයේ හිටපු යුද හමුදාපතිවරයකු වන දයා රත්නායක විසිනි. මේ පත්කළ ජාතික ක්‍රීඩා සභාවේ සංයුතිය තුළට පළමුවරට, පැරාලිම්පික් සංගමයේ නියෝජිතයෙක්ද, මෙරට බිහිවූ අග්‍රගන්‍ය ක්‍රීඩා මාධ්‍යවේදියකු වන අසෝක ගුණතිලක වැන්නන්ද ඇතුළත් වීම කැපී පෙනුණි. මේ අයුරින් ක්‍රීඩාව හා සබැඳි සකලවිධ ක්‍ෂේත්‍ර නියෝජනය වන ජාතික ක්‍රීඩා සභාව විසින් අගනා යෝජනා 13ක් ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිර්දේශය පිණිස ඉකුත්දා ඉදිරිපත් කළේය. මෙරට ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ සකලවිධ රෝගාබාධයන්ට පිළියම්ද, සුපිරි පෝෂණයක්ද, ජයග්‍රාහී උත්තේජනයද එලෙස යෝජනා වූ කරුණු 13 හි අන්තර්ගතව ඇති බව පෙනේ.

මේ යටතේ පළමු යෝජනාව වන්නේ ජාත්‍යන්තර තරගාවලි අරමුණු කරගෙන ජාතික සංගම්වල සංවර්ධන සැලැස්ම සහ නිර්ණායක ආදිය පූර්ණ අධ්‍යයනයකට ලක්කිරීමයි. ජයග්‍රහණ අපේක්‍ෂාව කෙසේ වේවා, රට සවාරිය අරමුණු කරගත්, විදේශ සංචාරක ඒජන්සියක කාර්යයෙන් ඒ හැටි වෙනස් නොවන මෙරට ක්‍රීඩා සංගම්වල හැසිරීම නිසි මගට ගෙන ඒමට මෙය අතිශයින් වැදගත් වනු ඇත.

ජාතික පැරාලිම්පික් ක්‍ෂේත්‍රය සඳහා ‘සම තක්සේරුවක්’ සහ ඉහළ ඇගයීමක් ලබාදීමත් ඔවුනට ඇති ප්‍රායෝගික දුෂ්කරතාවන්ට පිළියම් යෙදීමත් මේ අතර ඇති තවත් අගනා යෝජනාවකි. මේ වන විට ජාත්‍යන්තරයේද පැරාලිම්පික් ක්‍ෂේත්‍රයට සමතැන් දීම පිණිස එකඟතාවකට එළැඹ තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවද එතැනට පැමිණීම අගනේය. එලෙස පැමිණිය යුත්තේ ආබාධ සහිත වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන විශේෂ මානුෂිකත්වයක් සලසා නොව ක්‍රීඩාවේ වෘත්තියභාවය සලකාය. ජාතික ක්‍රීඩා සභාව එය මැනවින් තේරුම්ගෙන ඇති සෙයකි.

පෝෂණ දීමනා ලැබිය යුතු ජාතික සංගම්වල සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් එය නොලැබීම පිළිබඳව මැසිවිලි නගමින් සිටින මොහොතක, එයට සංවේදී වෙමින්, පෝෂණ දීමනා ලැබිය යුතු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා කඩිනමින් එය සම්පාදනය කිරීමට යෝජනා කර තිබීම ජාතික ක්‍රීඩා සභාවේ යෝජනාවලියේ කාලීන වැදගත්කමට උදාහරණයකි.

එසේම ජාත්‍යන්තර තරගවලදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිනාගනු ලබන පදක්කමන් වෙනුවෙන් එම ජයග්‍රහණ අගයමින් ක්‍රීඩා අමාත්‍යංශය පිරිනමන මූල්‍යමය ත්‍යාගවල වටිනාකම ඉහළ නැංවීමටද යෝජනා වී තිබේ. පැරාලිම්පික් ක්‍රීඩා ජාත්‍යන්තර ජයග්‍රහණ සඳහා ද වෙනසකින් තොරව එම මුල්‍යමය ත්‍යාග රටාවම හඳුන්වාදීමට යෝජනා වී ඇත. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර ජයග්‍රහණ පසුපස හඹායෑමට අවශ්‍ය මානසික උත්තේජනය එයින් ඉහළ නැංවෙනු ඇත.

මේ දක්වා ජාතික ක්‍රීඩා සංචිතවල සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ලැබිය යුතු බවට අවධානයක් යොමු නොවූ, නමුත් ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ලැබිය යුත්තක්ම වූ, වෛද්‍ය රක්‍ෂණාවරණයක් පිරිනැමීමේ අවශ්‍යතාවද සිය යෝජනා මගින් ජාතික ක්‍රීඩා සභාව පෙන්වාදී තිබේ.

මෙම යෝජනා 13 අතර ඇති තවත් කාලීන වශයෙන් ඉතාම වැදගත් කරුණක් වනුයේ රට පුරා විහිද ඇති කායවර්ධනාගාර විධිමත් ක්‍රමවේදයක් යටතේ පවත්වාගෙන යෑමට ක්‍රීඩා අමාත්‍යංශය මැදිහත්වීම හෙවත් ඒවා නිසි නියාමනයකට ලක්කිරීමයි. මෙය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පමණක් නොව රටේ පොදු මහජනතාවගේ ද නිසි ශාරීරික සුවතාව වෙනුවෙන් වැදගත් වන අතර තහනම් උත්තේජක මත යැපීම සීමා කිරීමටද එය හේතුවනු ඇත. මේ වන විට ලෝකයේ ක්‍රීඩා තරග සංවිධානයේදී වැඩි නැඹුරුවක් පවතිනුයේ රාත්‍රි කාලයේදී ඒවා පැවැත්වීමටය. මේ පිළිබඳව අවධානය යොමු කරමින් එම තත්ත්වයට අනුගතවීම පිණිස, විශේෂ තේරීම් තරග, ජාතික මහා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් ආදිය රාත්‍රි කාලයේදී පැවැත්වීමට ජාතික ක්‍රීඩා සභාවේ යෝජනා අතර වේ. එය ඉතා ප්‍රායෝගික වැදගත් කමකින් යුතු යෝජනාවකි.

ජාතික ක්‍රීඩා සභාවේ යෝජනාවල වටිනාකම වඩාත් ඉහළ නැංවෙන යෝජනාවක් වී ඇත්තේ සුගතදාස ක්‍රීඩාංගණය ජාතික සංචිත වෙනුවෙන් විවර කර දීමයි. රටේ ක්‍රීඩාව නැංවීම වෙනුවෙන්ම ඉදි වූ, මෙරට, ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් ලැබීම පිණිස ඇති එකම ක්‍රීඩා සංකීර්ණය වන සුගතදාස ක්‍රීඩා සංකීර්ණය, අද ජාතික සංචිත වෙනුවෙන් වෙන්කරගැනීමටද නොහැකි ලෙසින් ගණන් ඔසවා තිබියදී ජාත්‍යන්තර තරගාවලි සඳහා සූදානම් වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් සතියකට දින 2ක් හෝ 3ක් පුහුණුව පිණිස එහි පහසුකම් නොමිලේ සැපයිය යුතු බව ජාතික ක්‍රීඩා සභාවේ අදහසයි. එය ක්‍රියාත්මකභාවයට පත්වුවහොත් එය, රටේ ක්‍රීඩාවට ජාත්‍යන්තර මට්ටමේ සාත්තුවක් දීමේ අරමුණින් මෙම ක්‍රීඩා සංකීර්ණය ඉදිකළ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා වෙනුවෙන්ද කරන සාධාරණයකි.

මේ අතර ශ්‍රී ලංකාවට ප්‍රතිඵල ලැබිය හැකි ක්‍රීඩා කිහිපයක් තෝරාගනිමින් අධ්‍යාපන අමාත්‍යංශය සමග ඒකාබද්ධව වයස අවුරුදු 14න් පහළ ක්‍රීඩා සංචිත පිහිටුවීම සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා එය සම්බන්ධීකරණය කළ යුතු බව ජාතික ක්‍රීඩා සභාව ක්‍රීඩා අමාත්‍යවරයාට යෝජනා කර තිබේ. මෙකී 14න් පහළ සංචිත ඉතාම අගනා අනාගත ආයෝජනයක් සේම, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සැබැවින්ම ක්‍රීඩා සංවර්ධනයක් පිණිස යෙදවීමටද හැකි අවස්ථාවක් බවට එය පත්වනු ඇත.

නිර්දේශය පිණිස ඉදිරිපත් කර ඇති මෙම යෝජනා අතර තවත් අගනා කරුණක් වනුයේ ජාතික ක්‍රීඩා සංගම් ඒවායේ ක්‍රියාකාරීත්වය සහ ප්‍රතිඵල මත කාණ්ඩගත කිරීම සහ අපේක්‍ෂිත පුහුණු සංචිත නොපවත්වන සංගම්වලට දෙනු ලබන ප්‍රතිපාදන සීමා කිරීමයි. එයට නොදෙවෙනි වටිනාකමින් යුතු අනෙක් යෝජනාව වනුයේ මේ වන විට ක්‍රීඩා අමාත්‍යංශය යටතේ ලියා පදිංචි ක්‍රීඩා සංගම් 66 අතුරින් මළානික සංගම් අමතා ඔවුනට සක්‍රිය වීම පිණිස පරිවාස කාලයක් ලබාදී, ඒවා අපේක්‍ෂිත මට්ටමට ළඟා නොවේ නම් අදාළ ලියාපදිංචිය අහෝසි කිරීමයි. මෙය බෝඩ් ලෑල්ලට පමණක් සීමා වූ ‘කටින් බතල කොළ සිටුවන’ සංගම් සඳහා අගනා ඔසුවකි.

ඇමැති අනුමැතිය පිණිස ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවලිය මගින් ජාතික ක්‍රීඩා සභාවේ වපසරිය සහ එහි ප්‍රායෝගික චින්තනය කෙතරම් පුළුල්ද යන්න මනාව වැටහේ. නමුත් එම සභාවටත්, රටේ ක්‍රීඩාවටත් නිසි සාධාරණය ඉටුවන්නේ ක්‍රීඩා ඇමතිතුමා විසින් මේවා ක්‍රියාවට නැංවීම මතයි. හරීන්ට ක්‍රීඩා ඇමැතිවරයකු ලෙස ගොඩ යෑමට නම් මෙයම ප්‍රමාණවත්ය.

ඉන්ද්‍රජිත් සුබසිංහ