විශේෂාංග

හරකෙක් හදනවනම් ලක්ෂපති වරමක්! 

මීට වසර විසිපහකට තිහකට ඉහතදී නම් ගමේ ගෙවල් කිහිපයකවත් කිරි හරකෙක් ඇතිදැඩි විය. එළදෙනගෙන් නැවුම්ව දොවාගත් කිරි, බෝතල් කර ගමේ ගෙවල්වලට බෙදා හැරුණේය. එවක දියර කිරි පරිභෝජනය බහුල විය. උදෑසන නැවුම්ව ලැබුණු එළකිරි වීදුරුව පානය කළ කාලයේ අපේ සෞඛ්‍යයද යහපත් විය. විවෘත ආර්ථිකයත් සමග රට සීමාවක් නැතිව පිටිකිරිවලටද විවෘත විය. එළදෙනගෙන් දොවාගත් නැවුම් කිරි වීදුරුව වෙනුවට අපි පිටිකිරි බොන ජාතියක් බවට පත් වීමු. මේ ඇබ්බැහිය කොතරම්ද කිවහොත් මේ වනවිට අප ලෝකයේ වැඩියෙන්ම පිටිකිරි පරිභෝජනය කරන රටවලින් එකකි. ඊටත් වඩා බරපතළ ප්‍රශ්නය වන්නේ අපේ පිටිකිරි අවශ්‍යතාවයෙන් අති විශාල පංගුවක් තවමත් පිටරටින් ගෙන්වීමයි. ඒ වෙනුවෙන් රටින් පිටට ඇදෙන විනිමය ඉතා විශාලය.

වසර කිහිපයකට ඉහතදී ඩී.සී.ඩී. ප්‍රශ්නය ඇතිවූ අවස්ථාවේදී දේශීය දියර හා පිටිකිරි භාවිතයට නැඹුරුවක් ඇති වුවද එය ටික කලකින් යටපත් විය. නැවතත් මෑතකාලීනව රටින් ගෙන්වන පිටිකිරි ගැන ඇතිවූ ආන්දෝලන හමුවේ දේශීය දියර හා පිටිකිරි ගැන යළි නැඹුරුවක් ඇතිවී තිබේ. වෙළෙඳපොළ විමසන විට පෙනෙන්නේ ඉල්ලුමට සරිලන සැපයුම පිළිබඳ ගැටලුවක් ඇති බවයි.

ඒ ගැන අප සංවාදයක යෙදුණේ, කිරි කර්මාන්තය පිළිබඳ ප්‍රායෝගිකවද පුළුල් දැනුමක් ඇති පශු වෛද්‍ය කේ.කේ. ජගත් මහතා සමගය. වෛද්‍ය ජගත්ට, නවසීලන්තය, කටාර් වැනි රාජ්‍යවල දිගු කලක් කිරි කර්මාන්තයේ යෙදීමෙන් ලද අත්දැකීම්ද තිබේ. 2015 වසරේදී නවසීලන්තයේ හොඳම කිරි ගොවියා වූයේද ඔහුය. අදද වෘත්තියේ යෙදෙන කිරි ගොවියෙකු ලෙස කටයුතු කරයි.

පිටිකිරි සඳහා රටින් පිටට ඇදී යන විශාල විනිමය නතර කළ යුතු බවට හඬක් නැගුණද ඒ සඳහා වන සැලැස්මක් හා අවංක වුවමනාවක් අපට තිබේද යන්න අවධානයට ලක්විය යුතුය. මේ සාකච්ඡාවලදී ලෝකයේ රටවල වැඩි වශයෙන් පානය කරන්නේ දියර කිරි බවටද මත පළ වේ. එය සත්‍යයකි. ප්‍රශ්නය ඇත්තේ අපේ රටේ වැඩිදෙනා දියර කිරි පරිභෝජනය කරන අය නොවීමය. අපද කිරි බීමට පුරුදු වී සිටී. මේ නිසා විශාල කිරි ඉල්ලුමක්ද තිබේ. මෙහිදී කළ යුතු හොඳම දෙය ජනතාව දියර කිරි පරිභෝජනය සඳහා හුරුවීමය. එහිදී දැනට නිෂ්පාදනය වන කිරි ප්‍රමාණය වැඩි කරන්නේ කෙසේද, කිරි ගොවියා ව්‍යවසායකයකු ලෙස ඔසවා තබන්නේ කෙසේද යන කාරණය අත්‍යවශ්‍යයෙන්ම මතු කළ යුතුය. කිරි කර්මාන්තයේ යෙදෙන අය දෙස හරක්කාරයා යන දෘෂ්ටියෙන් බැලීම වෙනුවට ඔහු ව්‍යවසායකයකු ලෙස හඳුන්වා දිය හැකි නම් මෙම කර්මාන්තයට නැඹුරු වන පිරිසද වැඩිවනු ඇත.

දේශීය සම්පත්වලින් වැඩිම ඉල්ලුම සපුරාලීමේදී එය ව්‍යාපාර මට්ටමින් සිදුවිය යුතු කාර්යයකි. සහනාධාර යැපුම් මානසිකත්වය මෙහිදී ඉවත් විය යුතුය. කිරි ගොවියා, තණකොළ කපන යන්ත්‍රයක්, කිරි දොවන යන්ත්‍රයක් ලැබෙන තුරු බලා සිටීමේ තත්ත්වය වෙනස් විය යුතුය. ඉල්ලුම දෙස බලන විට අලෙවියේ කිසිදු ගැටලුවක් පැන නොනගී. එනම් මෙය ලාබදායීව පවත්වාගත හැකි කර්මාන්තයකි. ව්‍යාපාර වාසිය දෙස බලන විට මෙය අනෙක් ව්‍යාපාරවලට වඩා ඉහළ වාසි සහිතය. මේ ව්‍යාපාරයේ යෙදීමට අධ්‍යාපනික සුදුසුකම්, වයස් සීමා ආදිය අදාළ වන්නේද නැත. කිරි කර්මාන්තයට තරුණ පිරිස පිවිසිය යුතුය. ඒ සඳහා අවශ්‍ය කරන්නේ ආකල්පමය වෙනසකි. ගොම අතගෑමට සිදුවීම වැනි කාරණා නිසා පසුබා සිටියද මෙය වාසිදායක මෙන්ම රටට වැඩක් ඇති ව්‍යාපාරයක් බව තේරුම්ගත යුතුය. හරකෙකුගේ වටිනාකම රුපියල් ලක්ෂයක් පමණ වේ.

හරකෙකු ඇති කරන්නේ නම් ඕනෑම අවස්ථාවක, පහසුවෙන්ම රුපියල් ලක්ෂයක ණය මුදලක් ලබාගැන්මට හැකිවනවා බඳු කාරණයකි. හරකෙකු ඇති කිරීමෙන් ලබාගත හැකි අතුරු ඵලද ගණනාවකි. ගව මූත්‍රා පවා අලෙවි කළ හැකිය. ගොම ටික කාබනික පොහොර නිෂ්පාදනයට යොදාගත හැකිය. කාබනික පොහොර යොදා වගාකරන එළවළුවලටද ඉහළ මිලක් ලැබේ.

තත්ත්වය එසේ වුවද දැන් සිදුව ඇත්තේ තාත්තා මේ කර්මාන්තයේ යෙදුණද පුතා හරකා විකුණා ත්‍රීවීලරයක් මිලදීගෙන එම රැකියාවේ යෙදෙන තත්ත්වයකි. එසේ වුවද කිරි හරක් කර්මාන්තය යනු ලාබ ලැබිය හැකි වාසිදායක කර්මාන්තයක් බව පෙනී යා යුතුය. එය ආශ්‍රිතව තවත් ව්‍යාපාර අවස්ථාද බොහොමයකි. හරකුන්ට තණකොළ සැපයීම, යෝගට් නිෂ්පාදනය, කිරි ටොෆි නිෂ්පාදනය ආදී වශයෙනි. විශේෂයෙන් මෙය නිවසේ සිට කළ හැකි නිදහස් රැකියාවකි. කාලය ඕනෑ තරම් තිබේ. වසර පුරාම ආදායමක් ලැබිය හැකිය.

කලකට පෙර විවාහ මංගල්‍යයක් සිදුවන විට දෑවැද්දට හරකාබානද දුන්නේය. කිරි හරකෙකු සිටී නම් අනාගතය ගැන බියක්ද නැති බව වැඩිහිටියෝ දැන සිටියහ. පශු වෛද්‍යවරයකු ලෙස අත්දැකීමෙන්ම අපට වැඩිම වැටුපක් ලැබීමට හැකිවී ඇත්තේද මේ කර්මාන්තය නිසාය. වෘත්තියේ යෙදෙන අතරම වෛද්‍ය ජගත් කිරි ගොවියකු ලෙසද කටයුතු කරයි.

මෙම කර්මාන්තයේ යෙදෙන ව්‍යවසායකයකු දැනගත යුතු කාරණා ගණනාවක්ම තිබේ. තවමත් අපේ කිරි ගොවීන්ගෙන් 95%ක්ම හරකුන්ට පැය 24 පුරා පිරිසිදු වතුර ලබාදෙන්නේ නැත. වැඩි කිරි ප්‍රමාණයක් ලබාගැනීමට නම් වැඩියෙන් වතුර ලබාදිය යුතුය. පැය 24 පුරාම එසේ කළ යුතු වේ.

හරකුන්ට මනා පෝෂණයක් අවශ්‍යය. ආහාරය සඳහා සුදුසුම ළා තණකොළය. බඩඉරිඟු වඩා සුදුසුය. හොඳ වාහනයක් භූමිතෙල්වලින් දුවන්නේ නැත. භූමිතෙල් යෙදීමෙන් එන්ජිම අබලන් වේ. හරකුන්ටද එසේමය. වැඩි කිරි ප්‍රමාණයක් දෙන නිරෝගී ගව සම්පතක් සඳහා නම් මනා පෝෂණීය ආහාර ලැබිය යුතුය. මේ කර්මාන්තයේදී තාක්ෂණය අවශ්‍ය වුවද දැනටමත් ඇති සම්පත්වලින් එය ඉදිරියට ගෙනයාහැකි බව අවබෝධ කරගත යුතු වේ. හරකුන්ට සිටීමට ගවගාල තැනීම දැව යොදා ගනිමින් කළ හැකිය. ඊට විශාල මුදලක් වැයවන්නේ නැත.

මනා පෝෂණයක් හා සෙසු අවශ්‍යතා සපිරෙන්නේ නම් දෛනිකව කිරි හරකකුගෙන් ලීටර් 20-25 සාමාන්‍යයෙන් ලබාගත හැකිය. පිටරටින් රැගෙන එන හරකුන්ට නිසි පෝෂණය, පරිසර තත්ත්ව, හොඳ සෞඛ්‍යයක් ලැබෙන්නේ නම් මේ සතුන් ඇති කිරීම අපහසු නැත. අඩු කිරි ප්‍රමාණයක් ලැබීම හෝ රෝගවලට ලක්වීම සතුන්ගේ වරදක් නොව, ගොවිපොළ හිමියාගේ වරදකි. මෙම කර්මාන්තයේදී ව්‍යවසායකයා කටයුතු කරන්නේ ජෛව විද්‍යාත්මක ඒකකයක් සමගය. ඊට මුදල් යෙදවීමේදී අවශ්‍ය පහසුකම්, පරිසර තත්ත්ව ආදිය ගැනද සැලකිලිමත් විය යුතුය. යෙදවුම්වල ගුණාත්මක භාවය අනුව ප්‍රතිඵල තීරණය වේ. නුවරඑළිය වැනි ශීත දේශගුණයක් සහිත ප්‍රදේශවල හරකුන්ගෙන් ලබාගත හැකි කිරි ලීටර් ප්‍රමාණය වැඩිය.

සාමාන්‍යයෙන් හරකකුගේ කුස තුළ උෂ්ණත්වය වොට් 100 විදුලි බුබුළු 16ක් දැල්වූ විට තරම් වේ. හරකුන්ට ආහාර වශයෙන් නොයෙක් දේ ලබාදීමට නොහැකිය. නිසි පෝෂක සහිත එම ආහාරවේල ඇත්තටම ලබාදෙන්නේ හරකාට නොව, හරකාගේ කුස තුළ සිටින ක්ෂුද්‍ර ජීවීන්ටය. මෙම තත්ත්ව නිසි ලෙස කළමනාකරණය කිරීමෙන් උපරිම ප්‍රතිඵල ලබාගැනීමට හැකිය.
කර්මාන්තය සඳහා මුලින් විශාල මුදලක් යෙදවීමට වඩා ටිකෙන් ටික ආයෝජනය කිරීම සුදුසුය.

දැනට රටේ සිටින කිරි හරකුන් සංඛ්‍යාව වුවද ආරම්භයේදී ප්‍රමාණවත්ය. දෛනිකව කිරි ලීටර් 3 බැගින් වැඩිකළ හැකි පරිදි අවශ්‍ය සත්ත්ව කළමනාකරණය කළ හැකි නම් දෛනික දියර කිරි අවශ්‍යතාව සපුරාලීමට හැකි වේ. ඉන් පැහැදිලිව පෙනෙන්නේ මෙය කළ නොහැක්කක් නොවන බවය.

කිරි මෙන්ම කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා ඇති විශාල වෙළෙඳපොළ හඳුනා ගනිමින් සෞඛ්‍යාරක්ෂිතව හා නවතාවයෙන් යුතුව සිය නිෂ්පාදන අලෙවි කිරීමේ මාර්ග සොයා ගැනීම අපහසු නොවේ. විදේශ රටවල පිරිසුදු කිරි වීදුරුවක් බීමට හා කිරි ආහාරයක් රස විඳීමට ආකර්ෂණීය පෙනුමෙන් යුතුව ඉදිවූ පිරිසුදු ස්ථාන තිබේ. අපේ රටේ එවැනි තැන් ඇත්තේම නැති තරම්ය. වරක් ගිය විට තවත් වරක් එන්නට තරම් ආසා හිතෙන එවැනි ස්ථාන ඉදි කිරීමට හැකියාව තිබේ. මේ සියල්ල මේ කර්මාන්තය ආශ්‍රිත ව්‍යාපාරික අවස්ථාය. ගොවිපොළෙන් බැහැර කරන ගොම හා මූත්‍රා ජීව වායු නිෂ්පාදනයට මෙන්ම කාබනික පොහොර බවට පත්කිරීම අතුරු කර්මාන්තය. එම කාබනික පොහොරවලින් වැවෙන එළවළු කොටුද නිර්මාණය කළ හැකිය. තරමක් වැඩි මිලක් ගෙවා වුවද නැවුම්ව හා පිරිසුදුව මෙන්ම වැඩි පෝෂණ ගුණයක්ද ඇති එවැනි නිෂ්පාදන මිලදී ගැනීමට ජනතාව පෙලඹෙනු ඇත.

ගොවිපොළ තුළ සතුන්ට නිදහසේ සිටීමට තරම් අවකාශ වැඩිවීම සුදුසුය. නිදැල්ලේ හැසිරීමට ඉඩ හැරීමෙන් ඵලදායීතාව අවම වේ. මේ කර්මාන්තයේදී සත්ත්ව සුබසාධනය ඉතා වැදගත්ය. දියුණු කිරි කර්මාන්තයක් සඳහා නම් මෙරටින් බිහිවන පශු වෛද්‍යවරු රට තුළ රඳවා ගැනීමද අවශ්‍ය වේ.

නවසීලන්තය වැනි රටවල උපාධිධාරීන් පවා කිරි ගොවියන් ලෙස කටයුතු කරයි. ඉහළ ආදායම් උපයයි. නමුත් අප වැනි රටවල තවමත් එවැනි ආකර්ෂණයක් ඇතිවන අන්දමට මේ කර්මාන්තය ජනප්‍රිය වී නොමැත. කිරි වැඩි වූ පමණින් ඔබට ලැබෙන ලාභය වැඩි වන්නේ නැත. මන්ද ඔබ හරියට කළමනාකාර නැතිව වාර්තා තබා ගන්නේ නැතිව කිරි හැදුවොත් ඔබගේ කිරි ලීටරයක් හදන්න යන වියදම් වැඩි වී ඔබ මෙය පාඩු ලබන ව්‍යාපාරයක් බව පෙනෙනු ඇත. එනිසා මෙය ඔබ හොඳින් කළමනාකරණ කළහොත් අසීමිත ලාභදායී හොඳම ව්‍යාපාරයකි.

සතුන්ට ආදරය කිරීමෙන් පෙරළා සතුන්ද අපට ආදරය කරන්නට පටන් ගනී. මෙහිදී ඔවුන් එය ප්‍රකාශ කරන්නේ වැඩි කිරි ප්‍රමාණයක් ලබාදීමෙනි.