විශේෂාංග

හරක් තහනම නරක් වෙයිද?

මොරිස් මයිනර් ටැක්සි ධාවනය වූ යුගයේ නුගේගොඩ ගම්සභා හන්දිය ළඟින් වේගයෙන් මොරිස් මයිනර් ටැක්සියක් ධාවනය වූයේ කලබලයෙනි. ඒ සන්දියේ සිටියේ කොට කලිසම් ඇඳගත් පොලිස්කාරයන්ය. පොලිස්කාරයා වහා විසිල් ගසා ටැක්සිය නැවැත්තුවේය. ගම්සභා පාර කාගෙන ගොස් ටැක්සිය නතර විය. ටැක්සියේ පිටුපස සිටියේ ගැබ්බර යැයි සිතිය හැකි කාන්තාවකි. පිටුපස සීට් එකම වැහෙන ලෙස චීත්තයකින් වසාගෙන ඈ වම් දොරට හේත්තු වී සිටියාය.

‘‘කොහෙද මේ කඩාගෙන බිඳගෙන යන්නේ?’’ පොලිස් නිලධාරියා ඩ්‍රයිවර්ගෙන් ඇසීය.

‘‘මේ පිටිපස්සේ සීට් එකේ ඉන්නේ මගේ පවුල. බබා හම්බ වෙන්න අමාරුයි. කළුබෝවිල ඉස්පිරිතාලෙට අරන් යනවා.’’

‘‘මෙහෙ ​කොහෙද යකෝ කළුබෝවිලක්! ඒකට හන්දියෙන් දකුණට අලුත් පාර (හයිලෙවල් පාර) දිගේ ගිහින් කළුබෝවිල පැත්තට හැරියන්.’

‘‘එහෙනම් මං ටැක්සිය ගන්නද රාලහාමි?’’ කියමින් ඩ්‍රයිවර් නැවත ටැක්සිය පණගන්වන්නට විය.

‘‘කොහෙ යන්නද යකෝ! පවුලට බබා හම්බ වෙන්න ටැක්සියට නග්ග ගන්නකොට වලිගේ දොරට අහුවෙලා එළියට ඇවිල්ලා. උඹට තේරුණේ නැත්ද?’’

ඇත්තටම මේ සිදුවී තිබුණේ කුමක්ද? හොර හරෙකෙකු මැරූ පුද්ගලයකු ඌව පටවා ගන්නේ මොරිස් මයිනරයක පිටුපස සීට් එකටය. කාන්තාවකට කොට්ටයක් තබා ගැබිනියකගේ ඇඳුමක් අන්දවා සීට් එකේ ​කොණක හිඳ ගැනීමට සැලැස්සුවේ ගැබිණියක් රෝහල්ගත කරන්න යනවිට පොලිසිය ඊට බාධා නොකරන නිසාය. මරණ ලද හරකා ඉන්පසු වසන්නේ චීත්තයකිනි. හරක් ජාවාරම්කරුට වැරදුණේ ටැක්සියේ දොර වහන විට හරකාගේ නැට්ට එළියට ඇවිත් තිබීමය.
මේ රටේ සුපිරිම රථවල ඒසී දාගෙන කූල් පිට යන්නට පින්කර ඇත්තේ බල්ලාය. ඒත් ඉතින් මහපාරේ රස්තියාදු වන අපේ නියම සිංහල වල් බල්ලන්ට නම් ඒ චාන්ස් එක නැත! අපේ වල් බල්ලාට උරුම ඒසී වාහන නොව, වැඩිය ගෙරෙව්වොත් බල්ලාට ලැබෙන්නේ කොල්ලාගෙන් ගල් පාරකි. සුපිරි බල්ලන්ට අමතරව කෝටි ගණන්වල වාහනවල යාමට පින්කර ඇති සතා හරකාය. කෝටි ගණන් සුපිරි ජීප්වල, බෙන්ස්, බී.එම්.ඩබ්ලිව්, සුපිරි රථවල අදින හරකුන් සමග වාහන අත්අඩංගුවට ගත් අවස්ථා එමටය.

හරකුන්ට සුපිරි රථවල ගමන් කරන්නට තිබූ මේ සුපිරි වරප්‍රසාදය පසුගිය සැප්තැම්බර් 08 වැනිදා අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අහිමිකර දමන ලදී. එය පුවත්පත් වාර්තා කළේ ‘ගව ඝාතනය තහනම්. අගමැතිගේ යෝජනාව මන්ත්‍රී කණ්ඩායම සම්මත කරයි’ යනුවෙනි. ඒත් ඉතින් දින දෙකකට පසු ඇමැති කෙහෙලිය කිව්වේ පුතෝ, වැඩේ මාසෙකින් කල්ගිය බවයි. සැප්තැම්බර් 8 වැනි අඟහරුවාදා හවස් ජාමේ ‘ගව ඝාතනය තහනම්’ නිවුස් එක අසා පහුවැනිදා උදේම ආගම කියා හරක් මැරීමට සිටි සයිබු නානාගේ හිතට ඇතිවූ වේදනාව පපුව පළාගෙන යන තරම්ය. ඒ තමන්ගේ හරක් මරණ ජොබ් එක හෙට ඉඳන් ‘ජොබ්ලස්’ වන බව සිතාය.

බොහෝදෙනා සිතුවේ සැප්තැම්බර් 09 වැනිදා සිට ලංකාවේ හරක් මස් කඩ කටුගෙට යන බවය. ඒත් ඉතින් කොළඹ පුරා සැරිසරපු අපට පෙනී ගියේ හරක් මස් කඩ ටික දැහැමෙන් සෙමෙන් විවෘත කොට ඇති බවය. කොස්ගස් හන්දිය, සෙන්ට්‍රල් රෝඩ්, ගල්වළ පාර, තිබිමූර් ස්ට්‍රීට්, මැසෙන්ජර් ස්ට්‍රීට් ආදී හරක් මස් කඩ කිසිවක් වසා දමා තිබුණේ නැත. කොළඹ ලොකුම ඉඩම වූ බීබීසී වත්ත ළඟ හරක් මස් කඩේ සුපිරි එකකි. එහි මස් කඩය සුදු ටයිල් අල්ලා සුදු යකඩ වැටවල්ද ගසා ඇත්තේ විසිතුරු ලෙසය. එහි ගැහැනු හා පිරිමින්ට වෙන වෙනම හරක් මස් මිලදී ගන්නට සුදු යකඩෙන් ගැසූ සුදු යකඩ වැටවල් දෙකක්ද ඇත. පිරිමි කිව් එකේ යන උදවියට විකුණන්නේ ගොන්නුන්ගේ මස් බවත්, ගැහැනු කිව් එකේ යන අම්මණ්ඩිලාට විකුණන්නේ කිරි ගන්න එළදෙනකුගේ මස් බවත් මෙහිදී පාඨක ඔබ පටලවාගත යුතු නැත.

කොළඹ හරක් මස් කඩ හිමියන් බොහොමයක් මේ ගව ඝාතන තහනම ගැන ප්‍රවෘත්තියක් පළවූ බව දැන සිටියත් ඊට එහා කිසිවක් දැන සිටියේ නැත.

‘‘උදේ නවය වෙනකම් බලන් හිටියා PHI වත්, පොලිසියෙන්වත්, නගර සභාවෙන්වත් කිව්වෙ නෑ හරක් මස් විකුණන් තහනම් කියලා.’’

‘‘මුස්ලිම් ඕගොල්ලන්ගේ ප්‍රධාන ආහාරය නේද බීෆ්? වෙන කවුද ඕගොල්ලන්ගෙන් බීෆ් නිතර ගන්න අය?’’

‘‘අපේ මේ මස් කඩවල හොඳම කස්ටමර්ස්ලා සිංහල බෞද්ධයෝ. ගොඩක් තැන්වල දැන් හරක් මස් කඩ නෑ. බලන්න මේ මහත්තයා කොළඹ CTO වැඩ කරන්නේ ඉංගිරියේ ගෙවල්. හවස වැඩ ඇරිල යනකොට මස් 500 අරන් යනවා.’’
‘‘හරක් මස් විකුණනකොට තියෙන ප්‍රශ්න මොනවද?’’ මම ඇඟට පතට නොදැනී ඇසුවෙමි.

‘‘අපේ නානලාට මස් පාර්සලේ ඔතලා දුන්නම ඔහේ අරගෙන යනවා. ඒකට සිංහල අය. ඔතපු පාර්සලේ එහෙම්ම ලිහලා බලනවා. කටු කෑල්ලක් තිබ්බොත් ගේම ඉල්ලනවා. ආයි තරාදියට දාලා කිරලත් බලනවා.’’

මහින්ද රාජපක්ෂ මහතා ගව ඝාතනය නැවැත්වීමට යෝජනාව සම්මත කරගැනීම ඓතිහාසික එකකි. මෛත්‍රිපාල සිරිසේන ජනපති යුගයේ කිව්වේ ‘හරක් මස්’ පිටරටින් ගෙනෙන බවකි. මහ බැංකු කොල්ලයේ වරෙන්තුකරුවන් ආනයනය කරන්නට අත්සන් 21,000ක් ගසා ගිනස් පොතට ගිය එතුමාට ගව ඝාතනය තහනම් කරන්නට අත්සන් කරන්නට උන්නාන්සේගේ ටිකිරි මොළේ එකලාසයක් කරගන්නට බැරිවූයේ ‘ජාතීන් අතර සහජීවනය නැතිවන බව’ නමැති ලේබලය යටතේය. ඒත් ඉතින් මෛත්‍රිපාල උන්නාන්සේ එවකට නිදහස් පක්ෂයේ ලේකම් වූ රෝහණ ලක්ෂ්මන් පියදාස ගැන නොදත් කරුණක්ද විය. ඒ, ‘ගෙරි මස් නොකනු’ යනුවෙන් පින්තාරු කළ අනගාරික ධර්මපාලතුමාගේ රථය නඩාර් කෙනකුට විකුණා ඇති බවට සමාජය දැනුවත් කරමින් මුලින්ම ප්‍රවෘත්තියක් ලියුවේ තම නිදහස් පක්ෂයේ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස බවය. 1975 මාර්තු 15 වැනි දින ගුණදාස ලියනගේ ගේ ‘සිංහ කොඩිය’ පුවත්පතේ මෙම සිදුවීම වාර්තා කර ඇත්තේ රෝහණ ලක්ෂ්මන් පියදාස විසිනි. හතළිස් පස් වසරකට පෙර මෙම සිදුවීම ගැන රෝහණ ලක්ෂ්මන්ගෙන් විමසූ විට ඔහු එම සිදුවීම ගැන සියලු විස්තර පැවසුවේ අතීත කතාව විස්තර කරමිනි. රෝහණ ලක්ෂ්මන් අද නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙකි. එක්දහස් නවසීයෙන් පසු ගව මස් කෑමට එරෙහි ව්‍යාපාරය ගෙන ගියේ අනගාරික ධර්මපාලතුමාය. ‘රා නොබොව්-ගෙරි මස් නොකනු. ගෙරි මස් කන්නා රොඩියෙකි’ එසේ රට වෙනුවෙන් තම සබ්බසේසතම කැප කළ අනගාරික ධර්මපාලතුමාට අපේ සිංහලයන් කළගුණ සැලකුවේ ගව මස් නොකව් යැයි ලියා ධර්මපාලතුමා රටපුරා ගිය රථය පරණ යකඩවලට නාඩාර් කෙනකුට විකිණීමෙනි.
පරංගි ලංකාවට ඇවිත් රජතුමාගෙන් ඉල්ලුවේ ගෙරිහමක් එළා ගැනීමට තරම් ප්‍රමාණයක පොළොවකි. එහෙව් පරංගි දෙවිනුවර දේවාලය ගිනි තබා සිංහලයන් එදා පූජනීයව සැලකූ හරකුන් උයා කෑවේ දේවාල භූමියම කඩා දමා දේව රූප උඩ හිඳගෙනය. එදා අතීතයේ අපේ මුතුන් මිත්තන් කිව්වේ ‘ගෙරි මස් කන සුද්දන්’ කන්ද උඩරට විෂ්ණු දේවාලය තිබෙන තුරු අල්ලාගත නොහැකි බවය. උඩරට කැරැල්ලේ තේමාව වූයේද ‘ගෙරි මස් කන සුද්දව කන්ද උඩරටින් පන්නමු’ යන වැකියයි. බූටෑවේ රාල සුදු අධිරාජ්‍යවාදීන්ට අතට අත දීම ප්‍රතික්ෂේප කළේ ගෙරි මස් කන උන්ට තමන් අතට අත නොදෙන බව පවසමිනි. එදා ගෙරි මස් කෑම සිංහලයා එතරම් පිළිකෙව් කරන ලදී. ඒ සන්දියේ අපේ ගැමියාගේ වත්කම තක්සේරු කළේද කෙත්වතු, හරකාබාන ලෙස නිසා එදා හරකාට තිබූ සමාජ තත්ත්වය තේරුම්ගත හැකිය.

නිහාල් නෙල්සන් ගයන ‘කිරි දුන්නේ දරුවන්ටයි’ ගීතය මුලින්ම ගායනා වූයේ ප්‍රේමදාස ජනපති යුගයේය. ප්‍රේමදාසගේ රැස්වීම්වල වරක් නිහාල්ට එම ගීතය දෙතුන් වරක් ගායනා කරන්නට වූයේ ප්‍රේමදාස ජනපතිගේ ඉල්ලීම නිසාය. කාලෝ ෆොන්සේකා හරක් මස් කෑම නතර කළේ එම ගීතය අසා බව නිහාල් පසුගියදාක ‘අරුණ’ ට පවසා තිබුණි. ගීතයෙන් පසු නිහාල් හරක් මස් කෑවේද නැත. ඒත් ඒ ගීතයේ රචකයා ගිහි ගෙය හැර ගොස් මහණ දිවියට ඇතුළු විය.

ප්‍රේමකීර්ති ලියූ ‘බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ’ ගීතයෙන් කියැවෙන්නේ ගව ඝාතනය ගැනය. ඒත් ප්‍රේමකීර්ති එම ගීතය ලිව්වේද බීෆ් බයිට් එකකට වැඩ දෙමිනි. මියෙන තුරාත් ඔහු මේ බීෆ් බයිට් එක අතහැරියේ නැත. වරක් සිනමා පුවත්පතකින් ෆ්‍රෙඩී සිල්වාගෙන් අසා සිටියේ පාළු දූපතක නිවාඩුවක් ගත කිරීමට යන්නට සිදුවේ නම් රැගෙන යන්නේ​ මොනවාද යන පැනයයි. ෆ්‍රෙඩී ඊට පිළිතුරු දී තිබුණේ දූපතේ නිවාඩුව ගත කිරීමට ගෑනු, අරක්කු හා බයිට් එකට හරක් මස් අරන් යන බවය.
හරකා අපේ ගීත සාහිත්‍යයේ සුවිශේෂී චරිතයකි. ඒ ඌ නිසා ගීත සාහිත්‍යයට ගණන් ඉලක්කම් හදන සින්දුවක් දායාද කළ නිසාය. ඒත් ඉතින් දයාරත්න රණතුංග කියන ‘සමකෝණේ ත්‍රිකෝණයකි-ඔබත් මාත් ඇයත් සිටින’ තරම් එම ගීතය ඇගයීමට ලක්වුණේ නැත.

මේ ගීතය කලින් කී නිහාල් නෙල්සන්ගේ ගීතයයි.

‘කෙනෙක් තිස්පස් වසරක් කෑවොත්
‘ගව මස් උයලා
බලනු 365 වැඩි කර 35 යොදලා
ගණන 12,775ක් වෙලා
ඔබට තේරුණාද ඔබ කළ පව්
දුර දිග නොබලා’ යනුවෙන් එම ගීතයේ සඳහන්.

රොහාන් දලුවත්ත යුද හමුදාපති යුගයේ එල්ටීටීය සමග යුද්ධ හමුදාව සටන් වැදුණ විට පරාජය වීමට හේතුව සොයා ගියේ සායි බබා සොයාය. සායි බබා කිව්වේ ලංකා යුද හමුදාව පරදින්නේ හරක් මස් නොහොත් බීෆ් වළඳන නිසා බවය. ඉන්පසු හමුදාවට හරක් මස් වෙනුවට දුන්නේ තෙල් බේරෙන ආනයනික බැටලු මස්ය. අන්තිමට හරක් මසට ඇබ්බැහි වූ හමුදාවේ කොල්ලෝ යාපනයේ පාර අයින්වල සිටි හරකුන්ගේ ගාත් පණපිටින් කපන් යන තරමට තත්ත්වය උග්‍ර අතට හැරුණි.
දැන් කොළඹ කෝකියකුට කෑම උයන්නට දුන් විට උයන කෑම ලිස්ට් එකට හරක් මස් කිලෝ හතර පහක් වරදින්නේ නැත. ඒ හරක් මස් ගන්නේ උයන්නට නොව උම්බලකඩ හදාගන්නටය. මේ රටේ හරක් කුර රෝග ප්‍රචලිත වීමට ප්‍රධාන හේතුවක් වූයේ විවිධ පුද්ගලයන් පින් තකා මරණයට කැපවූ ගවයන් නිදහස් කිරීමය. බොහෝ දෙනා කරන්නේ මස් මඩුවට ගොස් හරක් මරන්නා ගැටගසා සිටින ගවයාගේ බෙල්ලට මන්නය පාත්කරන විටම… ‘‘හෝව්! හෝව්! ඔය සතා මරන්න එපා. අපි සල්ලි දීලා බේරනවා’’ යැයි පවසා ගනුදෙනු කතා කිරීමයි. ඉන්පසු හරක් මඩුවේ අයිති නානා රු. 80,000ක් වටිනා හරකාට රු. 1,50,000ක් පමණ මිලක් කියයි. අන්තිමට හරක් නිදහස් කිරීමෙන් ගොඩ යන්නේ ‘නානලා’ බව අපේ හරක් නිදහස් කරන ‘හරකුන්’ ට තේරුණේ නැත.

ලංකා නීතියේ හැටියට ඝාතනය කළ හැක්කේ වයසට ගිය ගොනෙකු පමණි. හරකුන් මරන්නට කප් ගහපු ආගමේ ඇත්තේ හරකකු මරනවා නම් ගිනියම් වූ තැටියක් මත සිට හරකාගේ බෙල්ලට මන්න පහර දෙන ලෙසය. ආගම ගොනාට අන්දන මේ ආගමේ උදවිය කරන්නේ තඩි බැරල් එකක පියනක රතු තීන්ත ගා ඒ මත සිට ගවයා ඝාතනය කිරීමය. කෙසේ නමුත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගව ඝාතනය තහනම් කිරීමට සම්මත කරගත් යෝජනාව මෙරට ඓතිහාසික තීන්දුවක් වන බව කිව යුතුමය. දැන් ඇත්තේ එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමයි. තවත් ප්‍රමාද වුණොත් වන්නේ හරක් තහනම නරක් වීම නොවේද?

වජිර ලියනගේ