පිනි පලස

හඳපානේ රඟපාන්න ගිය සිරිල් වික්‍රමගේ

සිනමාවේ භාග්‍යයකට පෑයූ චරිතාංග නළුවෙකු වන ශ්‍රී ලාංකීය රංගන ක්ෂේත්‍රයේ අද වන විට සිටින ජ්‍යෙෂ්ඨතම රංගන ශිල්පියා ලෙස සිරිල් වික්‍රමගේ හඳුන්වන්න පුළුවන්. ජීවිතේ සැඳෑ සමය ගත කරන මෙතුමන් කලා ජීවිතේ තැබූ පළමු පියවර ගැන මතක සටහනයි මේ….

මගේ ගම බොහෝම පිටිසර. කුරුණෑගලින් හැතැප්ම දහයක් විතර ඈත. ගමේ මුල් නම තලම්පිටිය. දැන් නම් කියන්නේ කොහිල ගෙදර කියල. මුළු ගමම යැපුණේ කෘෂිකර්මයෙන්.

මම ඉපදුණේ 1932 ජනවාරි 26. අපේ පවුලේ ඔක්කොම අටයි.සහෝදරියො හතරයි. සහෝදරයො හතරයි. මම පස්වෙනියා. අපි ඉතින් බොහොම දුෂ්කර ජීවිතයක් ගත කළේ. අපේ ගමේ ඔක්කොම ගොවියො. මම ගියේ ගැලවීමේ හමුදාවෙන් දාපු ඉස්කෝලෙට. මගේ තාත්තා ගැමි කලාකරුවෙක්. හොඳ නැට්ටුවෙක්. බෙර වාදකයෙක්. ඒ නිසා තාත්තා ගමේ ළමයින්ට නැටුම් ඉගැන්නුවා. සොකරි නාට්‍ය කළා. අපට ඉස්කෝලේ ලියන්න තිබුණේ ප්‍රාරම්භ කියලා විභාගයක්. ඒක ලියන්න කුරුණෑගලට හැතැප්ම දහයක් පයින් යන්න වුණා.

කොහොම හරි මම විභාගෙ පාස් වුණා. ඊට පස්සේ කරන්න දේකුත් නෑනේ. මමයි තව යාළුවෝ හතර දෙනකුයි එකතු වෙලා අපි ගමේ පොඩි බජව් කණ්ඩායමක් හදා ගත්තා. සර්පිනා, තබ්ලා අරගෙන මඟුල් ගෙවල්වල සාජ්ජ දාන්න ගියා. ගමේ පොඩි පොඩි ඒවට ආරාධනාත් ලැබුණා. ඔය කාලේ අපේ ගමට මිනර්වා නාට්‍ය කණ්ඩායම ආවා. අපේ හිතත් නාට්‍යවලට ඇදිලා ගියා. ගෙවල්වල ලොකු මිදුල්වල අපිත් නාට්‍ය කරන්න පටන් ගත්තා. මාරක මුදුව වගේ නාට්‍ය තමයි මට මතක. පොල්කොට දාලා පස් පුරවලා තමයි අපි වේදිකාව හදාගත්තේ. පොල්ගහවෙල හිටියා අමරදාස කියලා කෙනෙක්. එයාගාව ඔය රජ ඇඳුම් වගේ දේවල් තියෙනවා. අපි බක්කි කරත්තයක් යවලා ඒ ඇඳුම් ගේනවා. රෑ නවයට දහයට විතර පටන් ගන්න මේ නාට්‍ය බලන්න මිනිස්සු එන්නෙ කාලා බීලා පැදුරුත් අරගෙන. ඔන්න ඔය ගැමි කලාව තමයි අපට එදා තිබුණේ.

කුරුණෑගල ඉම්පීරියල් හෝල් එකට 1948 දී කඩවුණු පොරොන්දුව ආව. එතකොට මගේ ලොකු අයියා ඉංග්‍රීසි ගුරුවරයෙක්. එයා මාව එක්කගෙන ගියා මේ චිත්‍රපටය බලන්න. රුක්මණී දේවිව මට පෙනුනේ දිව්‍යාංගනාවක් වාගේ. අපි බලනවා කොහොමද මේ සද්දේ එන්නේ කියලා. නාට්‍යයක නම් සංගීත කණ්ඩායම ඉන්නවානේ. මේකේ එහෙමත් නැහැ. රෙකෝඩ් කරනවා කියලා දෙයක් අපි දැන ගෙන හිටියෙත් නැහැ. ලොකූ රූප. හිතාගන්න බෑ මේ අත්දැකීම. ඒ කාලේ සත පනහයි ගැලරිය. අපි රෑට කාලා ගෙවල්වලට හොරෙන් පයින්ම යනවා සත පනහ ඉතුරු කරගෙන. ඊළඟට ආවේ චින්තාමනි කියන දෙමළ චිත්‍රපටය.

මම අර ගමේ ඉන්න කාලේ පොඩි පොඩි බජව්වල සංගීතය කළ නිසා සංගීතය ඉගෙන ගන්න හිතුණා. පොල්ගම්පළ එම්බීපී කලායතනයට ගියා. සිරිල් පෙරේරා තමයි එතන ගුරුතුමා. වික්ටර් රත්නායකත් ඉගෙන ගත්තේ එතනනේ. මම වයලීන් වාදනය ඉගෙන ගත්තේ. ඒ වයලීනය මගේ ළඟ තාම තියෙනවා.

අපි පරිබාහිර විෂයයක් විදිහට නැටුම් ඉගෙනගත්තා. ශ්‍රී ජයනා තමයි අපේ ගුරුවරයා. මම වෙස්ලි විද්‍යාලයට ගියාම ඒ මහත්තයා තමයි නැටුම් උපදේශක. ඔහු කිව්වා මුල ඉඳන් නැටුම් පටන්ගමු කියලා. මම ඒකටත් බැඳුණා. රණ තිසර මුද්‍රා නාට්‍යයත් කළා. ඒකේ සංගීතය කළේ ඩන්ස්ටන් සිල්වා. ඒකේ ගීතයක් තිබුණා පුල් කමලසුනේ ඉඳ වීනා වයනා කියලා. ඒ සින්දුව හැදුවේ ආනන්ද සමරකෝන්. ඒකේ සින්දු කීවා නාරද දිසාසේකර, දේවානන්ද වෛද්‍ය සේකර වගේ අය. මම හිටියේ රජෙකුට.

ධම්ම ජාගොඩ ඉස්සර මාත් එක්ක හිටියේ. නාට්‍යය බැලුවාම එයාටත් ආසා හිතුණා මෙකේ රඟපාන්න. පස්සේ මම ගලප්පත්ති මහත්තයාට කීවාම සෝමලතා සුබසිංහට බාරදෙන්න කීවා. ඊටපස්සේ තමයි ධම්ම මූදුපුත්තු නාට්‍යයට සම්බන්ධ වුණේ. අපට රුපියල් පහක් විතර තමයි ලැබුණේ. ඒකත් ලොකු දෙයක්. සමහර නාට්‍යවල රුපියල් දෙකත් ලැබුණා. සමහර ඒවයේ සල්ලි හම්බුණෙත් නැහැ.

සිනමාවේ ආරම්භය වෙන්නේ 1965 වසරේ තිරගත වූ හඳපාන චිත්‍රපටයෙන්. ඒ අවස්ථාව මට ලැබුණේ සංගීතඥ සිසිර සේනාරත්න මහතා හරහා. එහෙත් සිනමාවේ මගේ හැරවුම් ලක්ෂ්‍යය වන්නේ සත් සමුදුර චිත්‍රපටය. ඒ කාලේ නළුවන්ගේ හැටි දන්නවානෙ. කොණ්ඩේ හදලා. උඩු රැවුලක් තියලා. ආනන්ද ජයරත්නලා වගේ ඉන්න එපැයි. හැබැයි මම එහෙම නෑනේ. දවසක් බොරැල්ලේ මම යනකොට බස් ස්ටෑන්ඩ් එක ගාව කොල්ලො දෙන්නෙක් ඉන්නවා. එකෙක් කියනවා. අන්න මචං සත්සමුදුරේ කොල්ලා කියලා. අනෙකා මගේ දිහා බලලා එකපාරටම ‘අපොයි පෙන්දෙක්නෙ‘ කීවා. බස් පොළේ හිටපු අයටත් හිනා ගියා. මටත් ඉතින් හිනාගියා.“ ඒ කියූ ආකාරයට අපටද සිනා ගියේය. “නළුවෙක් මෙහෙම විය යුතුයි කියන ප්‍රතිරූපය කැඩුණෙ මගෙන්.

ඊට පස්සේ වෙස් ගත්තෝ, වල්මත් වූවෝ, සිහින ලොවක්, අහස් ගව්ව, එයාදැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත්, කරුමක්කාරයෝ, සොල්දාදු උන්නැහේ වැනි සිනමා කෘති වලට දායක වුණා. ඒ වගේම මම සුද්දිලාගේ කතාවේ චරිතයටත් හරි කැමතියි.

මම චිත්‍රපට දෙකක් අධ්‍යක්ෂණය කළා. සිහින ලොවක් සහ අනෙක් චිත්‍රපටය තමයි කරදිය වළල්ල.

නුඹ නාඩන් සෙනෙහෙලතා, පළිඟු මැණිකේ, අඳුකොළ, මිහිකතගේ දරුවෝ, සාප නොකරව් දරුවනේ, ගව්වෙන් ගව්ව, ඇල්ල ළඟ වළව්ව වගේ ටෙලි නිර්මාණ වලට මම දායක වුණා. මට මුල්ම සම්මානය හිමිවන්නේ විජය රූපවාහිනී සම්මාන උළෙලෙදී.

මට ගාමිණි ෆොන්සේකා කතා කළේ ආ.. ඉස්කෝලයා කියලා. මොකද ඒ වෙද්දී උපාධියක් තියෙන නළුවා වුණේ මම. මමත් ඒවෙලාවට ආ… නළුවා කියලා එයාට විහිළු කරනවා. අපි දෙන්නා එකට රඟපාන්න හිටපු චිත්‍රපටය කෙරුණෙ නැහැ. ඉන් පස්සේ අපට එකට රඟපාන්න ලැබුණෙත් නෑ.

මට දුක්වෙන්න කියලා කිසිම දෙයක් නැහැ. ඒ නිසා මම කවදාවත් දුකෙන් ඉඳලා නැහැ. අධෛර්යය වෙන්න හේතුවක් නැහැ. ඒ නිසා මම මේ ජීවිතේ ගත කළේ සතුටින්. ඒ සතුට අදටත් තියෙනවා. අපේ ගම ගත්තම ක්‍රිස්තියානි ගමක්. ඒත් අපි බෞද්ධ සංස්කෘතිය තුළ ඉන්න බෞද්ධයෝ. වැදගත් වන්නේ ආගම නෙවෙයි. මනුෂ්‍යත්වය. අපි හැමෝම මිනිස්සු මම ජීවිතය දකින්නේ එහෙම.

අනුෂා රණසිංහ