අතන මෙතන

හන්තානේ ගින්නක් අක්කර අටක් විනාශයි

මහනුවර හන්තාන පාරිසරික පද්ධතිය ආසන්නයේ පසු ගිය දින කීපයේ සිදු කළ ගිනි තැබීමකින් අක්කර අටක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙන බව හන්තාන සුරැකීමේ සංවිධානය පවසයි.

මෙම භූමියේ පැවැති යටි වගාව පාරිසරික ඇගයීමකින් තොරව එහි වත්මන් හිමිකරු විසින් විනාශකර තිබෙන බවත් ඒ පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියට හා ස්වාභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිළි කළත් ඔවුන් ඒ ගැන තැකීමක් නොකිරීමේ ප්‍රතිපලයක් ලෙස හිමිකරු මෙම ගිනි තැබිම සිදු කර තිබෙන බව හන්තාන සුරැකීමේ සංවිධානයේ ලේකම් අමිත් සේනානායක පවසයි.

ජල මූලාශ්‍ර රැසකින් සමන්විත මෙම භූමිය පෞද්ගලික අයෙකු වෙත ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් පවරා දීම නීති විරෝධී ක්‍රියාවක් බව ද ඒ මහතා කීය. මෙම භූමියෙන් හට ගන්නා ජල උල්පත්වලින් රටේමුල්ල, අලුපොතකඩ, උඩගම නැගෙනහිර සහ බටහිර වැනි ග්‍රාමයන් හී වෙසෙන 2000 – 3000 ක් අතර පවුල් සංඛ්‍යාවක් තම පානීය ජල අවශ්‍යතා සපුරා ගන්නා බවද සේනානායක මහතා පැවසුවේය.

මේ සම්බන්ධයෙන් අදාළ වගකිව යුතු ආයතන නිහඬ පිළිවෙතක් අනුගමනය කළද තම සංගමය ඊට එරෙහිව ගත යුතු සියලු පියවර ගන්නා බවද අමිත් සේනානායක මහතා පවසයි.

කමල් සුරවීර – මහනුවර