ක්‍රීඩා

හතුරුසිංහ විතරද කළු

රටේ බහුතරයක් ජනතාවට සංවේදී වන කාරණා අතර ‘ක්‍රිකට්’ යනු ඉදිරියෙන්ම ඇති දෙයකි. මෙරට පාර්ලිමේන්තුවේදී ගන්නා තීන්දු තීරණ පිළිබඳව නොදන්නා මිනිසුන් රටේ මීළඟ ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් තීන්දු කර ඇති සංචිතය පිළිබඳව පමණක් නොව, එම සංචිතයේ හොඳ නරකද කියන්නට දනියි. විනිමය පනත සම්මත කරගැනීමේදී රටට සිදුවන පාඩුව ගැන නොදන්නා මිනිස්සු, චන්දික හතුරුසිංහව මෙරට ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් තබාගැනීමේ ලාබ පාඩු ගණන් හිලව් සහිතව දැක්වීමට දනිති. ඒ අනුව මේ වන විට රටේ මාතෘකා අතර වැඩියෙන්ම කතාබහට ලක්වන මාතෘකාවක් වී ඇත්තේ හතුරුසිංහව ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් නෙරපීම සහ ඒ වෙනුවට නව පුහුණුකරුවෙක් පත්කිරීමය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධුරයට චන්දික හතුරුසිංහ රිංගා ගන්නේ පස්සා දොරෙන් නොවේ. බංගලිදේශයේ පුහුණුකරු ලෙසින් කටයුතු කරමින්, කලෙක ‘කාටත් පැරදුණු බංගලිදේශය’ කාටත් අභියෝග කරන බංගලිදේශයක් බවට පත්කිරීමේ විශ්වකර්ම කාර්යය සිදුකළේ හතුරුසිංහ විසින් බවට සියල්ලන්ගේ මතය විය. සංගා මහේල ආදීන්ගෙන් හිස්වන ජාතික ක්‍රිකට් කණ්ඩායමට නොවැටී පවත්වාගැනීම සඳහා ද, පෙරට රැගෙන ඒම සඳහා ද හොඳම විකල්පය හතුරුසිංහ බව කාගෙ කාගෙත් මතය විය. ඒ අනුව බංගලිදේශයෙන් ඔහුව ගලවා, දැවැන්ත ගිවිසුම් මුදලකට යටත්ව හතුරුසිංහගේ සේවය ලබාගැනීමට කටයුතු යෙදිණි. නමුත් බලාපොරොත්තු සුන් විය. ජයග්‍රහණ අවම විය. ක්‍රීඩකයන් සහ පුහුණුකරු අතර නොහොඳ නෝක්කාඩු ඇතිවිය. විවේචන මිස ප්‍රශංසා නොවීය. අවසානයේ හතුරුසිංහට ‘යන්න’ යැයි නොකියා ‘පලයන්’ කියන්නට ඔන්න මෙන්න තැනකට මෙරට ක්‍රීඩා ඇමැතිවරයා පත්විය. ඉකුත් දකුණු අප්‍රිකානු සංචාරයේදී වාර්තාගත ටෙස්ට් ජයක් ලැබීමත්, අවසන් එක්දින ලෝක කුසලානේ තරගවලින් භාගයක් ජයග්‍රහණය කිරීමත්, බංගලිදේශය සමගින් පැවැති අවසන් එක්දින තරගාවලිය තරග 3-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමත් ආදී දේ යම් තරමකින් හෝ සාධනීය කරුණු ලෙස ගෙන, එසේත් නැතිනම් ශ්‍රී ලංකා කණ්ඩායම යම්කිසි ජයග්‍රාහී මාවතකට ප්‍රවේශ වෙමින් සිටින බව නොසිතා මේ වන විට ජාතික කණ්ඩායමේ පුහුණුකරු ධුරය හතුරුසිංහගෙන් හිස් කළ යුතුය යන මතය ක්‍රියාත්මක වෙමින් සිටියි.

‘ජයග්‍රහණයට පියවරු දහසකි. පරාජය අවජාතකය’ යන කියමනින් මඳක් මෙපිටට පැමිණ පරාජයේ ‘ජාතක පියා’ ලෙසින් හතුරුසිංහව නම් කර සියල්ලෝ ඇඟ බේරාගෙන සිටිති. හතුරුසිංහ බංගලිදේශයේ සිට මෙරටට පැමිණියේ තමන් විසින් හඳුනාගත් ක්‍රීඩකයන් කිහිපපොලකගේ නම් ලැයිස්තුවක්ද සමගය. ඔහු මෙහි පැමිණ එම ක්‍රීඩකයන් පිත්ත අල්ලන ආකාරය පවා වෙනස් කරමින් ඔවුන් පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කළේය. නමුත් එහි ප්‍රතිඵලය වූයේ ඔහුගේ එකී තේරීම් සියල්ල අසාර්ථක වීමය. ජාතික කණ්ඩායම පුහුණුකරු ධුරය දැරීම හා නැගී එන හෝ යොවුන් කණ්ඩායම පුහුණුකරු ධුරය අතර වෙනස ඔහු ශ්‍රී ලංකාවේදී පැහැදිලිව හඳුනාගත්තේද යන ගැටලුව අපටද ඇත. ඒ අනුව හතුරුසිංහ බංගලිදේශයේදී මොන විජ්ජා කළද ලංකාවේදී ඔහු සියල්ල සාර්ථක කර නොගත් බව සැබෑය. නමුත් අපට ඇති පැනය නම් මේ සියල්ල අසාර්ථක වූයේ හතුරුසිංහ නිසාමද යන්නයි.

ශ්‍රී ලංකාව 2014 වර්ෂය වන විට ලෝක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පන්දුවාර 20 අංශයෙන් අංක 01 ද, එක්දින තරග අංශයෙන් අංක 2 ද, ටෙස්ට් තරග අංශයෙන් අංක 6 ස්ථානයේද පසු විය. නමුත් එතැන් පටන් මේ දක්වා ටෙස්ට් තරග අංශය හැරුණු විට ක්‍රිකට් ක්‍රීඩාවේ අනෙක් තරග අංශවලින් පල්ලම් බැස ඇති ආකාරය ඇදහිය නොහැකි තරම්ය. හතුරුසිංහ මෙරට ප්‍රධාන පුහුණුකරු තනතුරට පත්වන්නේ 2017 දෙසැම්බර් මාසයේදීය. තවම වසර දෙකක් ගෙවුණේ ද නැත. ඒ වුණත්, පරාජයන් සියල්ලේ වගකීම ඔහු මත පටවමින් සියල්ලෝ අත් පිහදා ගැනීමට සූදානමින් සිටිති. ඒ අනුව වසර 5ක පව් කර ගැසීමට හතුරුට සිදුව ඇත. වසර පහක් යනු කෙටි කාලයක් නොව, එය යුගයකි. ජාතික කණ්ඩායමේ පුහුණුකරුගේ වගකීම තරගාවලියෙන් තරගාවලියට කණ්ඩායම ජයග්‍රහණය කරවීමටය. නමුත් යුගයක් තුළ ක්‍රිකට් කරවීම පැවරෙන්නේ ක්‍රිකට් පරිපාලනයටය. පාසල් මට්ටමෙන් ක්‍රීඩා සමාජ මට්ටමට, ක්‍රීඩා සමාජ මට්ටමේ සිට අනෙකුත් අවශේෂ ජාතික මට්ටමේ සංචිත වෙත දක්‍ෂයන් පෙරී එන ක්‍රමවේදය සැකසීමත්, ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කිරීමට හැකිවන සේ ක්‍රීඩකයන්ගේ දක්‍ෂතා මුවහත්වන පුහුණු ක්‍රමවේදයක් සැකසීමත් ක්‍රිකට් පරිපාලනයේ වගකීමය. ජාතික සංචිතයද ඇතුළත්ව, අනෙකුත් සංචිත සඳහා නිසි පුහුණුකරුවන් තෝරාපත්කිරීමද ජාතික ක්‍රිකට් පරිපාලනයේ වගකීමකි.

වර්ෂ 2013 දී ඈෂ්ලි ද සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නතතුරට පත්වීමේ පටන් මේ දක්වා ක්‍රිකට් ගොස් ඇත්තේ අවර ගමනකි. 2014 දී ශ්‍රී ලංකා කණ්ඩායමට මනා සත්කාරයක් ලබාදෙමින් පුහුණුකරුවකු ලෙස සිය දක්‍ෂතා පෙන්වමින් ඉදියට එමින් සිටි මෙන්ම මෙරට මේ වන විට සිටින හතරවැනි කාණ්ඩයේ එක්ම පුහුණුකරුවා වන ජෙරම් ජයරත්නව පුහුණු ප්‍රධානී තනතුරෙන් ඉවත්කර, ටයි පටියකින් කර ලණුවක් දමා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බැඳ දැමුවේ ඈෂ්ලිලාගේ දුර දක්නා නුවන නිසාද? ඔස්ට්‍රේලියාවේදි පුහුණුකරුවකුට වඩා ‘කොලම් ලියන්නකු’ ලෙසින් කටයුතු කළ අසංක ගුරුසිංහව මෙරටට ගෙන්වා ජෙරම්ලාගේ වගකීම ඔහු මත පැටවීම සාර්ථක වූයේද? පුහුණුකරුවන් ලෙසින් මාවන්, කල්පගේ, වාස් සුසංයෝගයේ ජයග්‍රාහී ඉදිරි ගමන නවතා දැමුවේ කවුද? මෙරට කලක් වැජඹුණු පිතිකරුවෙක් එංගලන්තයේ සිටියදී ඔහුගේ රථයේ රියදුරු කාර්යය කළ බව කියන එරට මුල්පෙළ තරගවත් හරිහැටි ක්‍රීඩා කර නොමැති ‘සුද්දකු’ මෙරටට ගෙන්වා ඔහුට මාසයකට ලක්‍ෂ 16ක පමණ පඩියකට මෙරට ක්‍රිකට් කාදැමීමට අවස්ථාව සැලසුවේ කාගේ උවමනාවකටද? ඈෂ්ලි පමණක් නොව, ඇෂ්ලි ද ඇතුළුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක තනතුරුවල රැඳී සිටින බොහෝ ඇත්තෝ ඉකුත් වසර 5ක කාලයේදී ලක්‍ෂ ගණනින් පඩි අරගෙන සිදුකර ඇත්තේ කුමක්ද? මේ සියල්ලෝම වසරින් වසර සිය දීමනා ඉහළ නංවාගනිති. හොඳම වාහන ගනිති. වරප්‍රසාද එන්න එන්නම වැඩිකර ගනිති. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ රුපියල් කෝටි 90ක මුදල් හොර පාරේ හොංකොං වෙත යන්නට ගියේ කෙසේද? ඒවාට වගකිවයුත්තෝ කවුරුද කියා අදටත් කියන්නට නොදන්නා තරම් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කරවන මහත්වරු බබාලාය. එක්කෝ මේ සියල්ලෝම කුඩු කෑව උන්ය. නැතිනම් කැඳහැළිය වටා සිටින ආඬින්ය. නමුත් ගැටලුව වන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කැඳහැලියක් බවට පත්කරවන ආඬිරැල තවමත් යෙහෙන් වැජඹීමය.

ෂම්මි සිල්වා ඉකුත්දා පැවැති මාධ්‍ය හමුවේදී පැවසුවේ හතුරුසිංහ ගේන්න කිව්වේත්, හතුරුසිංහව යවන්න කියන්නේත් මධ්‍ය විසින් බවය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීන්දු තීරණ ගන්නේ එසේනම් මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ‘ආඬිරැල’ නඩත්තුවට මෙතරම් මුදලක් වැය කරන්නේ ඇයි? ජයග්‍රහණ හෙවත් ප්‍රතිඵල මත පදනම් වී දීමනා හිමිවන ආකාරයට සැකසූ ගිවිසුමක් හදාගැනීමටත් නොහැකි වූ මේ ඇත්තෝ අද හතුරුසිංහට එවැනි කොන්ත්‍රාත්තුවක් පිරිනැමීමට යෝජනා කරති. ලොකුම ගැටලුව නම් මේ කිසිවක් ක්‍රීඩා ඇමැතිවරයා නොදැකීමය. හරීන් කටින් බතල හිටුවීමට හරි හපනෙකි. ඇතුළ හිස් දෙයකින් වැඩි හඬක් නැගෙන්නාක් මෙන් හරීන්ගේ හඬ නම් උස්ය. හරීන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලකයන් යනු ‘කොහොඹ ගසට කරවිල වැල ගියා’ වගේය. තකට තකය.

හතුරුසිංහ විසින් බංගලිදේශයේදී කර ඇති දේ සහ ශ්‍රී ලංකාව සමගින් සිදුව ඇති දේ මෙහි සඳහන්වන වගු ඇසුරින් ඔබට පැහැදිලිව දිස්වනු ඇත. ක්‍රිකට් බලධාරීන් මෙන්ම, ක්‍රීඩා ඇමැතිවරයා සියල්ලට පළමුව කළ යුත්තේ මේ ප්‍රතිඵල වගු සැලකිල්ලට ගනිමින් එහි පසුබිම විශ්ලේෂණය කිරීමය. එයින් හතුරුසිංහට කෙසේ වෙතත් මෙරට ක්‍රීඩාවට සාධාරණයක් වනු ඇත.

ඉන්ද්‍රජිත් සුබසිංහ