විශේෂාංග

හතළිස් වසරකට පෙර ලංකාවේ ඇරඹූ පිරිමි වාසෙක්තමි වඳ සැත්කමට මොකද වුණේ?

සැත්කම ඇරඹූ දිනවල පාසල් සිසුනුත් රු. 500 ගන්න සැත්කම් පෝලිමේ ඉඳලා

වඳපෙති අරන් ගිය ගෙවල්වල ගැහැනුන්ගෙන් සාත්තු සේවිකාවන්ට අතුල් පහර

වල්පොල රාහුල හිමියන්ගෙන් හා මඩිහේ පඤ්ඤාසීහ හිමියන්ගෙන් දැඩි විරෝධයක්

පරණ පත්තර ගොන්නක් ලේක්හවුස් පුස්තකාලයේ සොයන විට පවුල් සංවිධාන සංගමයේ අමුතුම අන්දමේ හඳුන්වාදීමක් ගැන පළ වූ දැන්වීමක් එතැන සිටි කාගේත් කුතුහලයට හේතු විය. එම පත්තර ගොන්න 1978 වසරේ පුවත්පත් එකතුවකි. පවුල් සංවිධාන සංගමය තම දැන්වීමෙන් හඳුන්වා දුන්නේ ලංකාවේ පිරිමින්ට වඳ සැත්කමකි. එය වාසෙක්තමි සැත්කම ලෙස හඳුන්වා දී තිබුණි. එය ශාස්ත්‍රීය ලෙස හඳුන්වා තිබුණේ පුරුෂ වන්ධ්‍යාකරණය ලෙසය (Vasectomy- වාසෙක්තමි) එය ස්ත්‍රීන් සඳහා නොවන වන්ධීකරණය (Tubectomy) දියුණු වන රටවල 33% ක් වන අතර පුරුෂයන් වඳ සැත්කම සංවර්ධනය වෙමින් පවතින රටවල 12% ක් ලෙස සඳහන් කොට තිබුණි. එම දැන්වීම අනුව වාසෙක්තමි නම් පුරුෂයන්ගේ වඳ සැත්කම සඳහා රු. 500 ක ගෙවීමක්ද කරන බව දැන්වීමේ සඳහන්ය.

ලංකාවට ‘‘ප්‍රීති’ නම් කොන්ඩම් තුනේ පැකට්ටුව හඳුන්වා දී ඇත්තේ ශත 40 කටය. අද එහි මිල රු. 50 කි. අද එක ප්‍රීති පැකට් එකක් ගන්නා සල්ලිවලින් එදා පැකට් 125 ක් ගතහැකි බැවින් ලංකාවේ උද්ධමනය මැනිය හැකි හොඳම සාධකයක් නම් ‘ප්‍රීති’ පැකට්ටුව බව ශෝකයෙන් යුතුව කිව යුතුව ඇත.

ලංකාවට හඳුන්වා දී හතළිස් වසරක් පිරුණ වාසෙක්තමි සැත්කම ගැන කරුණු සොයන්නට පෙර ලංකාවේ උපත් පාලන කටයුතු ආරම්භ වුණේ කෙසේ දැයි විමසා බැලීම වටී. ලංකාවේ පවුල් සංවිධාන සංගමයට වසර 50 ක් පිරුණ වෙලේ ඒ ගැන වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතා ලිපියක් පළකොට ඇත. එම ලිපියේ වෛද්‍යවරයාගේ ඡායාරූපය යටින් පළකොට ඇත්තේ ඔහු පවුල් වෛද්‍ය විද්‍යාව හා ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු බවය.

‘‘මා ඉපදුණේ ලංකාවේ හද්දාපිටිසර ගමකය. ඒ 1952 දීය. මගේ වාසනාවට හෝ අවාසනාවට එකල අපේ අම්මා පවුල් සංවිධානය ගැන දැන සිටියේ නැත. දැන සිටියා නම් මා නොඉපදෙන්නට බොහෝ දුරට ඉඩ තිබුණි.’

ආරියසේන යූ. ගමගේ මහතා මේ කියන්නේ ‘දරු දෙන්නයි අපි දෙන්නයි’ සංකල්පය ගැන විය යුතුය. ලංකාවේ පවුල් සංවිධාන සංගම් ඉතිහාසය සොයා යද්දී පෙනී යන්නේ එය ආරම්භ කොට ඇත්තේ 1953 ජනවාරි මස 15 වැනිදා බවය. එය අරඹා ඇත්තේ කොළඹ 07 හෝර්ටන් පෙදෙසේ මේජර් ටී. එෆ්. ජයවර්ධන මහතාගේ නිවසේය. එහි මුල් නම වී ඇත්තේ ෆැමිලි ප්ලෑනින් ඇසෝසියේෂන් ඔෆ් සිලෝන් (Family Planning Association of Ceylon) ය. ලංකාවේ ප්‍රථම පවුල් සංවිධාන සංගම් සභාපතිනිය වී ඇත්තේ කාන්තා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක වූ මාරි රත්නම් මැතිනියයි. විදේශීය කාන්තාවක වූ ඇය විවාහ වී සිටියේ ලංකාවේ වෛද්‍යවරයකු සමගය.

මුල් කාලයේ කාන්තාවන් සඳහා වන උපත් පාලන පෙති හඳුන්වා දී ඇත්තේ ‘වඳ පෙති’ යනුවෙනි. පවුල් සෞඛ්‍ය සේවිකාවන් දරුවන් වැඩි පවුල් සිටින ගෙවල්වලට ගොස් ‘වඳපෙති’වල අගය කියා දෙන විට නිවැසියන්ගෙන් පහර කෑ පුවත් ගැන පනහ දශකයේ පුවත්පත්වල ඇත. මෙයින් බොහෝමයක් පවුල් මුස්ලිම් පවුල්ය. එකී වකවානුව තුළ සිංහල පවුල් ඒකකය තුළ දරුවන් 15 ක්, 18 ක් සිටීම සැලකුවේ ගරු කටයුත්තක් ලෙසය. ගේදොර, වතුපිටි බලා ගැනීමටත්, හරකබාන බලා ගැනීමටත්, දරුවන් 20-22 සිටි පවුල්ද එකල විය. 1934 වැනි වකවානුවල මැලේරියා උණ පැතිර යද්දී ඉපදුනාට වැඩි පිරිසක් මියයාම මීට හේතු විය. මේ හේතුව නිසාම පෝලියෝ මුඛ එන්නත් සීනි බෝල ව්‍යාපාරයටද වැදී ඇත්තේ මරු පහරකි. ඒවාත් වඳ පෙතියැයි වරදවා තේරුම්ගත් මව්වරුන් තම දූ දරුවන් ‘කොලීජියට’ නොයවා ගෙදර තබා ගත්තේ දරු සම්පතේ අගය දත් නිසාය.

අදටත් අපේ ළදරු පරම්පරාව, යොවුන් පරම්පරාව මෙන්ම වැඩිහිටි පරම්පරාව තුළ ද ප්‍රජනන සෞඛ්‍යය ගැන (Reproductive Health) ඇත්තේ අල්ප මාත්‍ර දැනුමකි. මේ අතර පසුගිය වසරේ මොන්ටිසෝරි දරුවන්ට පවා ප්‍රජනන සෞඛ්‍යය ඉගැන්වීමේ තැතක් ගැන දැඩි විරෝධයක් එල්ල වූයේ සංඝ සමාජයෙනි. Unicef සංවිධානය වරක් කළ සමීක්ෂණයකින් හෙළි වූයේ මෙරට පාසල් අධ්‍යාපනය ලබන 10-19 කාන්තා යෞවනියන් අතරින් 6 % ක් විරුද්ධ ලිංගිකවද, 10% සමලිංගිකවද තම පළමු කායික අත්දැකීම ලබන බවය. ලිංගිකව එක්වන වයස ආරම්භය පිරිමි ළමුන් සඳහා 15.3 වයස ලෙසද, ගැහැනු ළමුන් සඳහා 14.4 ලෙසද එහි සඳහන්ය. කෙසේ වෙතත් මෙරට සමාජය තුළ සංස්කෘතික වශයෙන් ඇති පිළිගැනීමක් නම් ලිංගික කටයුතු විවාහය නම් සමාජ සංස්ථාව තුළ හොර රහසේ සිදුවිය යුතු දෙයක් බවය. පවුල් මනෝ විද්‍යාඥයකු වූ ඔපන්හෙයිම් වරක් පවසා ඇත්තේ මෝඩ මිනිසා දුරින් ඇති සතුටක් සොයන අතර බුද්ධිමත් මිනිසා එය තමාගේ පතුල මත වර්ධනය කරන බවය. (The Foolish man seeks Happiness in Distance the Wise man Grows it Under his feet) මෙසේ මෝඩ මිනිසකුගේ පතුල ගැන උපුටා දැක්වූවාට ලංකාවේ පිිරිමින්ට වාසෙක්තමී සැත්කම කළේ යටිපතුලට යැයි ඔබ වරදවා වටහාගත යුතු නොවේ.

දැන් ආයිත් ලංකාවේ පුරුෂ වඳ සැත්කම නොහොත් වාසෙක්තමි සැත්කම ආරම්භ වූ යුගයේ සිදු වූ හරබර මෙන්ම ඇසූවිටත් අදටත් හිනායන ඉතිහාසය මෙන්න.

අප පවුල් සංවිධාන සංගමයෙන් මේ ගැන විමසූ විට එය ආරම්භ කළ යුගයේ සේවකයන් වර්තමානයේ නැති බැවින් අපට සොයාගත හැකි වූයේ එම සැත්කම නැවැත් වූ වකවානුව හා ඊට හේතු වූ කරුණු කාරණා පමණි.

මෙම වාසෙක්තමි සැත්කම ආරම්භ කළ යුගයේ එයට ලබාදුන් වන්දිය රු. 500 ක මුදලකි. මෙය ආරම්භ කළ යුගයේ ඩොලරයක වටිනාකම රු. 15 ටත් අඩු වූ බැවින් එම වන්දියේ අද වටිනාකම ඔබට ගණන් හිලව් හදා බලාගත හැකිය. මෙම සැත්කම සඳහා ගෙවන රු. 500 ලබා ගැනීමට සිටි පිරිස අතර පාසල් සිසුන් කිහිප දෙනෙක්ද සිටින ඡායාරූපයක් එකල පුවත්පතක වාර්තා කොට තිබුණි.

අපට මුලින්ම සොයාගත හැකි වූයේ මේ වඳ සැත්කම ගැන මඟුල් ගෙදරකදී ඇසුණ කතාවකි. මනමාල මහතාත් මනමාලියත් මේ පවුල් දෙකේ එතරම් අතමිට සරු අය වූයේ නැත. මඟුල් ගෙය සඳහා අවශ්‍ය මුදලක් මනමාල මහතාට හිඟවිය. මනමාලියටත් හොරා මනමාලයා මඟුල් ගෙදරට අවශ්‍ය මුදල සොයාගත්තේය. මනමාලියගේ පියා මනමාලිය මනාලයාගේ ගෙදරට කැන්දන් ගිය දින මනමාලයා මඟුල් ගෙදරට මදි වූ මුදල සොයාගත් හැටි අසා ඔළුවේ අත ගසා ගත්තේය.

‘මදැයි මැරෙන්න ඉස්සෙල්ලා මුනුබුරෙක් බලන්න ආසාවෙන් හිටියා’ යි කී මාමණ්ඩියගේ කතාව ඇහුණේ මනමාලයා ඇතුළු කීප දෙනකුට පමණි. මනමාලයා මංගල්‍යයට අවශ්‍ය හිඟ මුදල සොයාගෙන තිබුණේ කොළඹ ගොස් පෝලිමේ සිට වඳ සැත්කම කරගෙන ලබාගත් රු. 500 ක මුදලිනි. මෙම සැත්කමින් පසු තමන්ට තමන්ගේ ලෙයින් දරුවකු හැදීමට නොහැකි බව මනමාල මහතා දැන සිටියේ නැත.

මෙම වඳ සැත්කම කරගෙන කසිප්පු බීමට මුදල් සොයාගත් අය මෙන්ම වඳ සැත්කම කරගෙන පාපැදියක් ගෙදර අරන් ගිය පුද්ගලයන් ගැන ඇති කතාද අපට බොහෝ සොයාගත හැකි විය. එහෙත් මේ වඳ සැත්කම නිසා දික්කසාද වූ පවුලක් ගැන අපට දැන ගත හැකි වූයේ එකල පුවත්පතක පළ වූ ‘උසාවියෙන් රස කතා’ නමැති විශේෂාංගයෙනි.
එම උසාවි වාර්තාව අනුව හැට හැවිරිදි පුද්ගලයකු තම බිරිඳ මියගිය විට තවත් විවාහයක් කරගෙන ඇත. වයස හැටක් වුණත් මනමාලයට වයස 35 ක්වත් පෙනුණේ නැත. ඔහුගේ පුතාගේ වයස 29 ක් වුවත් ඔහු විවාහ වී සිටියේ නැත. ධනවත් පුද්ගලයකු වූ පියා අලුත ගෙනා කුඩම්මා” වයස අවුරුදු 23 ක රූමතියක වූවාය. අලුත විවාප්‍රාප්ත පියාට මංගල සුව විඳින්නට පුතා දැඩි පිය සෙනෙහසින් කොළඹ තම වැඩකරන කාර්යාලය අසල බෝඩිමක නවාතැන් ගත්තේය. එහෙත් පුතා තම පියාට සලකන්නට හිටිඅඩියේ නිවසට පැමිණීම ගැන තාත්තා එතරම් තකන්නට ගියේ නැත.

ගත වූයේ සති කීපයකි. තමා අලුත ගෙනා ළාබාල මනමාලිය රෝගාතුර වූ නිසා තාත්තා ඇයව වෛද්‍යවරයකු වෙත යොමු කරන ලදී. ළාබාල තරුණ බිරිඳ පරීක්ෂා කළ වෛද්‍යවරයා පවසා සිටියේ කලබල වීමට කරුණක් නැති බවත්, මාස 9 ක් පමණ හොඳින් කා බී ටවුමේ ඉස්පිරිතාලේ ක්ලිනික් එකට මාසයකට වතාවක් ගොස් පරීක්ෂා කිරීමෙන් පසු පවුලට නව සාමාජිකයකු කැඳවාගෙන ආ හැකි බවය. ප්‍රවෘත්තිය අසා මනමාල මහතා සතුටින් ඉපිලෙනු ඇතැයි වෛද්‍යවරයා සිතූවද ඔහු අන්දමන්දව තම යොවුන් බිරිඳ දෙස බලා සිටියේ දත්මිටි කමිනි.

හැට හැවිරිදි මනමාලයා තම ළාබාල බිරිඳ ඇගේ නිවසට අැරලවා ,මේ මනමාලියගේ දෙමාපියන්ටද ප්‍රශ්නයක් විය. දින කීපයකින් මනමාලියගේ නමට උසාවියෙන් ලිපියක් ලැබුණේ ඇයට දික්කසාද නඩුවකට සාක්ෂිකරුවන් සිටී නම් ඔවුන්ද සමග ඉදිරිපත් වන ලෙසය. නඩු විභාගයේදී මනමාලියට වූ චෝදනාව අැය අනාචාරයේ හැසිරුණු බවය. මනමාල මහතා මුල් විවාහයෙන් දරුවන් ලැබුණ පසු වාසෙක්තමී සැත්කම කරගෙන ඇති බව ඒ ගැන කැඳවූ සාක්ෂිකරුටත් ඔහු ඒ සඳහා රු. 500 ක දීමනාවක්ද ලබාගෙන ඇති බව නඩු විභාගයේ දී තහවුරු විය. අන්තිමට සිදු වූයේ තාත්තා ගෙනා මනමාලිය පුතාට භාර ගැනීමට සිදු වීමය. තාත්තාගේ සුවදුක් බලන්නට නිතිපතා ආ පුත්‍ර රත්නය තාත්තාගෙ සුවදුක් විචාරමින් පිය සෙනෙහසින් දැහැන්ගත කරගන්නවාත් සමගම පුංචි අම්මාත් සමග යහන්ගත වී ඇති පුවත උසාවියේ කියැවෙත්දී එය වාර්තාකෙට ඇත්තේ (නඩුකාර උන්නාන්සේට හිනා!) යැයි වරහන් තුළ සඳහන් කිරීමෙනි.

ලංකාවේ වාසෙක්තමී වඳ සැත්කම ගැන රසවත් සිදුවීම් බොහෝමයක් ඇතත් ඒවා ලියන්නට ගියහොත් පිටු දෙතුන් සීයක පොතක් අවශ්‍ය වනු ඇත.

මෙම පිරිමි වඳ සැත්කම් නවතා දැමීමට ප්‍රධාන වශයෙන් හේතු වූ කරුණක් වී ඇත්තේ ඊට එරෙහිව සංඝ සමාජයෙන් දැඩි විරෝධයක් එල්ල වීමය. ගල්ඔය, මහවැලි වැනි දැවැන්ත ව්‍යාපෘති ගොඩනගන ලද්දේ ඒවායේ ජනතාව පැලපදියම් කිරීමටය. එය මුල් කාලයේ ගේදොර වැඩ කරගන්නට දරුවන් දහපහළොස් දෙනකු සිටීම අත්‍යවශ්‍ය කරුණක් විය. නමුත් එම ව්‍යාපෘති තුළද මේ සැත්කම් කිරීම නිසා එම ව්‍යාපෘතිවලට අවශ්‍ය මිනිස් සම්පත වඳවී යන්නට විය. මේ ගැන කෙළින්ම විරුද්ධ වූ සඟරුවනක් නම් වල්පොළ රාහුල හිමියන් හා මඩිහේ පඤ්ඤාසීහ හිමියන්ය.

‘‘වඳ සැත්කම කිය කියා මෙච්චර කල් ගෑනුන්ට වඳපෙති දුන්නා. දැන් පිරිමින්ටත් ඔපරේෂන් කරනවා. ඔහොම ගියොත් පන්සලක මහණ කරන්නට කොල්ලෙක්වත් නැතිව යනවා‘’

අවසානයේ ලංකාවේ පිරිමි වාසෙක්තමී සැත්කම අවසන් ගමන් ගියේ අඩු වයසෙනි. වත්මන් පරපුර නම් මේ සැත්කම ගැන අසා තිබුණොත් එහෙමත් පුදුමයකි. පවුල් උපදේශනයේදී ප්‍රීතිමත් බව සෑමවිටම ලබාගත හැකිය. (Happiness Is allways Possible යන පාඨය අප සිතේ ඉතිරිකරමින් හතළිස් වසරකට පෙර උපන් වාසෙක්තමි සැත්කම අඩු වයසින් ජන්මාන්තරගත වූ බව මෙසේ සටහන් කර සිටිමි.

වජිර ලියනගේ