කතුවැකි

හකීම්ලාට අපිට හොරෙන් කියන්න රහසක් තියෙනවද?

පාස්කු ප්‍රහාරය පිළිබඳ සෙවීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරීමට සිදු වූයේ අදාළ ප්‍රහාරය වළක්වා ගත හැකිව තිබූ එකක් බව අනාවරණය වීම නිසාය. අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉතා විශ්වාසදායී තොරතුරු ලැබී තිබියදී හිටපු ජනාධිපතිවරයාගේ සිට වගකිවයුත්තන් එය නොසලකා හැරීම නිසා ප්‍රහාරය ක්‍රියාත්මක වූ බවට නැගෙන චෝදනා ඉතා බරපතළ- රටක් ලෙස බිහිසුණු තත්ත්වයකට මුහුණ දීමකි. මේ චෝදනාව තවමත් සනාථ වී නැතත්, ජනාධිපති කොමිසම හමුවේ මීට අදාළ වැදගත් තොරතුරු රාශියක් හෙළිවෙමින් තිබේ. එහිදී හෙළිවන කරුණුවලට අනුව රට මේ තරමින් හෝ බේරී තිබීම පුදුමයට කරුණක් බව විමල් වීරවංශ අමාත්‍යවරයාද පසුගිය දිනෙක ප්‍රකාශ කොට තිබිණ. පාස්කු සිද්ධියට අදාළ තොරතුරු පමණක් නොව අපේ දේශපාලකයන් හා ආණ්ඩුවේ ඉහළ නිලධාරින් සිය රාජකාරියේදී හැසිරෙන්නේ, තීන්දු තීරණ ගන්නේත් මොන තරම් නොසැලකිලිමත්, වගකීම් විරහිත, අමන ආකාරයටද යන්නත් මෙහිදී ජනතාව හමුවේ ප්‍රදර්ශනය වෙමින් තිබේ.

එහෙත් මෙම කොමිසම හමුවට එන ඇතැම් අය තවදුරටත් ජනතාවගෙන් තොරතුරු වසං කරන්නට උත්සාහ කරන ආකාරයක් දැකගත හැකිය. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන අතර පැවති දුරකථන සංවාදයක පටිගත කිරීමක් පසුගිය සඳුදා (14 වැනිදා) කොමිසම හමුවේ ඉදිරිපත් කරන අවස්ථාවේ එහි සිටි මාධ්‍ය ඉවත් කළ යුතු බවට ඉල්ලීමක් කොමිසමට ඉදිරිපත් කෙරිණ.

මීට පෙර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් ද මෙවැනි ඉල්ලීමක් කළ බව වාර්තා වී තිබේ. එහිදී ඔහු කියා ඇත්තේ පාස්කු ප්‍රහාරය පිටුපස ඇති අදිසි හස්තය කුමක්දැයි තමන් දන්නා නමුත් මාධ්‍ය සිටියදී එය ප්‍රකාශ කළ නොහැකි බවය. ඔවුන් මේ නොකියා කියන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනතාව දැන නොගත යුතු දේ තවත් තිබෙන බව නොවේද? මාධ්‍ය යනු ජනතාවගේ ඇස් හා කන්ය. මාධ්‍යයට යමක් වසං කිරීම යනු ජනතාවට කරුණු වසං කිරීමකි. එහෙත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවදුරටත් ජනතාවගෙන් වසං කිරීමට යමක් තිබේදැයි අපි දන්නේ නැත.

පාස්කු ප්‍රහාරය නිසා අහිංසකයන් තුන්සියයකට අධික සංඛ්‍යාවකට දිවි අහිමි වූ අතර කෝටි ගණනක ආර්ථික පාඩුවක් සිදු විය. මේ සියල්ලට වඩා තමන් ඉන්නේ මොනතරම් අනාරක්ෂිත රටක දැයි රටේ සියලු දෙනා භීතියට පත් වූහ. රටත්, ජනතාවත් එවැනි අසරණභාවයකට පත් වූයේ දේශපාලකයන් හා නිලධාරින් රටත් ජනතාවත් වෙනුවෙන් තම වගකීම නිසි ලෙස ඉටු නොකළ බැවිනි. එවැනි තත්ත්වයක් තුළ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු​ තොරතුරක් ජනතාවගෙන් වසං කිරීමට කිසිවකුට සදාචාරාත්මක අයිතියක් නැත. යමකු එසේ කරුණු වසං කිරීමට උත්සාහ කරන්නේ නම් ඊට ඉඩ දිය යුතුද නැත.

අධිකරණයේදී වුවත්, මාධ්‍ය නොමැතිව කරුණු ඉදිරිපත් කරන්නේ හෝ සාක්ෂි විමසන්නේ නඩුවේ පාර්ශ්වයන්ගේ අතිශය පෞද්ගලික කාරණා සම්බන්ධයෙන් පමණකි. එහෙත් පාස්කු ප්‍රහාරය ජනාධිපති කොමිසමට එන කිසිවකුගේ පෞද්ගලික කාරණයක් නොව, ජනතාවගේ කාරණයකි. ජනතාවගේ ආරක්ෂාව නොසලකා හැර ඔවුන් අනතුරේ හෙළීම පිළිබඳ කාරණයකි. දැන දැන මිනිසුන් මරණයට දැක්කීම එක්තරා අන්දමකට අනියම් මිනීමැරීමක් යැයිද කිව හැකිය.

අධිකරණයකදී වේවා, කොමිසමකදී වේවා කුමන ස්ථානයකදී හෝ ජනතාවගෙන් වසං කරන තොරතුරු ද තිබේ. එලෙස ජනතාවගෙන් යමක් වසං කරන්නේද, ජනතාවගේම යහපත වෙනුවෙනි. ජාතික ආරක්ෂාව සම්බන්ධ කාරණා වැනි දේ ජනතාවට අනාවරණය නොකෙරෙන්නේ ඒ අනුවය.

මාධ්‍ය සිටියදී හෙළි කළ නොහැකි යැයි රවුෆ් හකීම් මහතා කියූ කාරණය ඉදිරිපත් කරන්නැයි කොමිසම මාධ්‍යවේදීන් නොමැති අවස්ථාවක කියා ඇතත් ඔහු කිසිවක් ප්‍රකාශ කොට නැත. මේ ආකාරයට පාස්කු ප්‍රහාරය ගැන දන්නා කුමන හෝ දෙයක් ඇත්නම් එය සඟවාගෙන සිටීම ජාතික අපරාධයක් බව අපගේ අදහසය. ඇත්තෙන්ම පාස්කු ප්‍රහාරය ගැන දන්නා යමක් ඇත්නම් ජනාධිපති කොමිසමේ කැඳවීමක් නැතත් ස්වේච්ඡාවෙන් හෝ ඉදිරිපත් වී එකී තොරතුරු ඉදිරිපත් කිරීම රවුෆ් හකීම් වැනි දේශපාලන නායකයන් පමණක් නොව ඕනෑම කෙනකුගේ ජාතික වගකීමකි. රවුෆ් හකීම් වැනි අය දැනුවත්ව සඟවන යමක් ඇත්නම් ඒ කාරණා ලබා ගැනීමට මෙන්ම අවශ්‍ය ඕනෑම කෙනකුට තමන් දන්නා තොරතුරක් ඉදිරිපත් කිරීමටද කොමිසම පියවර ගන්නේ නම් වැදගත් වනු ඇත.

පාස්කු ප්‍රහාරය ගැන කරුණු සොයා බලන ජනාධිපති කොමිසම මේ වන විට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙන්ම හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගෙන්ද ප්‍රකාශ සටහන් කොටගෙන තිබේ. ඒ අනුව ඉදිරියේදී ඔවුන්ගෙන්ද සාක්ෂි විමසන්නට ඉඩ තිබෙන්නට පුළුවන. මේ කවරකුගෙන් හෝ සාක්ෂි විමසීමකදී ඒවා ජනතාවගෙන් වසං කිරීමට ඉඩ නොතබනු ඇතැයි අපි විශ්වාස කරමු. කොමිසම හමුවේ ඉදිරිපත්වන තොරතුරු දැන ගැනීමට ජනතාවට අවස්ථාවක් නොලැබීම කොමිසම පිළිබඳ ජනතා විශ්වාසය බිඳ වැටීමටද හේතුවක් විය හැකි බැවිනි.

අපේ රටේ විවිධාකාර කරුණු සම්බන්ධයෙන් නහුතයකට ටිකක් අඩුවෙන් කොමිසම් පත් කර තිබේ. එහෙත් ඒවායින් අතළොස්සක් හැර කිසිවකින් යමක් සිදු වී නැති බව බොහෝ දෙනාගේ අදහසය. රටට ජනතාවට ඵලක් වී ඇති අවස්ථාවක පවා ඒ බව ජනතාවට සන්නිවේදනය වී නැත. එසේ වුවත් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමසන කොමිසම සම්බන්ධයෙන් ආරම්භයේ සිටම ජනතාව අතර යම් විශ්වාසයක් පැවතිණ. සිද්ධියේ බරපතළකම මෙන්ම ඊට හේතුව ලෙස ජනතාව අතර පවතින සැකය හා කොමිසමේ හෙළිවන තොරතුරු මාධ්‍ය මගින් වාර්තා කිරීම ඊට හේතුව ලෙස කිව හැකිය.

මෙම කොමිසමේදී හෙළිවන කරුණු සම්බන්ධයෙන් ඊළඟට ගන්නා පියවර කුමක්දැයි අප දන්නේ නැත. ඇතැම් විටෙක මෙම කොමිසමේ වාර්තාවද තවත් එක් කොමිෂන් වාර්තාවක් වීමට ඉඩ තිබේ. එසේ වුවත් කොමිසම අවසන් වන තෙක් එහි තොරතුරු ජනතාවගෙන් වසං කළ යුතු නැත. වගකිවයුත්තන්ට දඬුවම් ලැබුණත් නැතත් පාස්කු ප්‍රහාරයට ඉඩ සැලසෙන ලෙස කටයුතු කර ඇත්තේ කවුරුන්දැයි ජනතාවට දැන ගන්නට හෝ එමගින් ඉඩ සැලසෙන බැවිනි.