විශේෂාංග

සෞදියේ මල් මිනිස්සු

මල්වලට වැඩිපුරම කැමැති කාන්තාවන්ය. මල් හිස ගවසා ගත්තේද කාන්තාවන්ය. ඉන් අදහස් කරන්නේ මල් කාන්තාවන්ට ළඟ බවය. එහෙත් හිසේ මල් ගසා ගන්නා පිරිමින්ද ලොව නැතුවා නොවේ. කටානි (QAHTANIS) වරුන් එවැනි පිරිසකි.

දකුණු දිග අරාබි අර්ධද්වීපයේ බහුලව ජීවත් වන ජන වර්ගය කටානිවරුන්ය. ඔවුන් විශ්වාස කරන්නේ හීබෲ බයිබලයේ සඳහන් වන ඒබ්‍රහම්ගේ පුත්‍රයා; එනම් දීර්ඝ කාලයක් තිස්සේ මල් හා ඔවුන් අතර පවතින දැඩි සම්බන්ධතාව නිසා ‘මල් මිනිසුන්’ ලෙස ඔවුන්ව හැඳින්වීමට ලොව අනෙකුත් ජාතීන් පෙලඹී සිටිති. විවිධ වනපස මල්, දලු හා පත්‍ර මෙන්ම තෘණ වර්ග ආශ්‍රයෙන් අලංකාර ‘කිරුළු’ නිර්මාණය කිරීමටත් ඒවා පැලඳගෙන සිටීමටත් ඔවුනට ඇත්තේ පුදුම හැකියාවකි. එය සාම්ප්‍රදායික උරුමයක් තරමටම ඔවුන්ගේ ජීවිතය සමග බද්ධ වී ති​බේ.

මේ වන විට එයට විවිධ වර්ණවත් මල් වර්ගද එකතුකර නිර්මාණ සැදීමට මෙම ගෝත්‍රයට අයත් තරුණ පිරිස පෙලඹී සිටිනවා. ඔවුන් බොහෝ විට සිය නිර්මාණ සඳහා භාවිත කරන්නේ පිච්ච හා මෙරිගෝල්ඩ් මල් විශේෂයයි. ඒවා විවිධ අලංකාරයට ගළපමින් අලුත් වර්ණවත් නිර්මාණ බිහි කිරීමට මෙම තරුණයන් හුරු වී සිටිනවා.

හිටපු දේශාටකයකු හා පර්‌යේෂකයකු වන තියරි මැන්ගර් පවසන්නේ එසේය.

මේ අතර තරුණ විය පසු කළ බොහෝ වැඩිහිටියන් සිය මල් නිර්මාණ සඳහා යොදා ගන්නේ චාම් වර්ණයකින් යුතු ශාක කොටස්ය. ඉස්ලාම් භක්තිකයන් වන මෙම ජනතාව සිය විශේෂ දිනයන් එනම් හජ්ජි රාමසාන් ආදී දිනවලදී ඒ සඳහාම නිර්මාණය කළ ඒවාය. එසේම රෝගවලට ගොදුරු වූ විට එය සුව වීමට උපකාරී වන ඖෂධීය ගුණයක් ඇති පැළෑටි වර්ග ආශ්‍රයෙන් මල් නිර්මාණ සකස් කරගෙන පැලඳීමද ඔවුන්ගේ පුරුද්දකි.

සෞදියේ අන් ප්‍රදේශවල ජනතාවට නොමැති එක්තරා වාසනාවක් ඔවුනට තිබේ. ඒ ඔවුන්ගේ උපන් බිම වන අසිර් පළාතේ භූ විද්‍යාත්මක පිහිටීම හේතුවෙනි. අසීර් පිහිටා ඇත්තේ රියාද්හි සිට සැතපුම් 560ක් පමණ නිරිත දිගින් පිහිටි සානුවක් මුදුනේය. සෞදි අරාබියේ අනෙකුත් කලාපයන්හි සෙල්සියස් අංශක 30කට වැඩි උෂ්ණත්වයක් පවති. මෙම ප්‍රදේශයට එහි බලපෑම උස් බිමක පිහිටීම හේතුවෙන් දැනෙන්නේ නැත. දැඩි ශීතලින් යුතු සුළං හා විටින් විට පතිත වන වර්ෂාව එහි සුලබ ලක්ෂණයකි. අලංකාර මලින් ගැවසී ගත් තුරු ලතා බිහි වීමට මෙම දේශගුණය බෙහෙවින් ඉවහල් වී තිබේ.

‘අසීර්’ යනු අරාබි භාෂාවෙන් ‘දුෂ්කර / ‘කඩතොළු’ ‘ගල්පර සහිත’ යන තේරුම ඇති වචනයකි. නමටම ගැළපෙන ආකාරයෙන් අසීර්හි වාසය කරන මෙම ගෝත්‍රික ජනතාව ගත කරන්නේ දුෂ්කර ජීවිතයකි. ඔවුන් බොහෝ දෙනකු ගොවියන්ය. කුඩා ප්‍රමාණයේ තිරිඟු, කෝපි හා පලතුරු වගාවන් ඔවුන්ගේ ජීවනෝපාය මාර්ගවේ. සෞදියේ ඉහළින්ම පිහිටා තිබෙන්නේ අසීර් ප්‍රාන්තයයි. විශාල ගල්පර සහිත භූ ලක්ෂණ එහි සුලභය.

පැරණි ‘කටානි’ ජනප්‍රවාදවලට අනුව ඔවුන්ගේ මුතුන් මිත්තන් මෙහි පැමිණ ඇත්තේ විටින් විට සෞදි රාජ්‍යය ආක්‍රමණය කළ ඔටෝමන් අධිරාජ්‍යයේ බලපෑමෙන් බේරීම සඳහාය. ඒ මීට වසර 350කට පමණ පෙර බව සැලකේ. ඔවුන් අනුව යමින් පහත නිම්න ප්‍රදේශවල ජනතාව 1932දී එක් වී ‘සෞදිය’ නිර්මාණය කරනු ලැබීය.

අසීර් ප්‍රදේශයේ කුඩා ගෝත්‍ර කිහිපයකට අයත් ජනතාව වාසය කරති. කඳුකරයේ අනෙක් ගෝත්‍ර සමග ගැටීමෙන් හා පාලනය කර ගැනීමේ පහසුව සඳහා කටානි වර්ගයා තමන්ටම ආවේණික ජීවත් වීමේ ක්‍රමයකට හුරු වී ඇත.

20 වන සියවස ඇරඹෙන විට ‘හබාලා’ (අරාබි භාෂාවේ ‘ලණු’ / ‘කඹ’ යන තේරුම ගෙන දෙන වචනයකි) ගෝත්‍රයද මෙහි පදිංචියට පැමිණියේය. නමින්ම කියවන පරිදි කඹවලින් සාදන ලද ඉනිමං හෝ ආධාරක සිය නිවෙස් වෙත ප්‍රවේශ වීම සඳහා ඔවුහු භාවිත කරති.

කෙසේ නමුත් 1990 ගණන්වලදී සංචාරක ප්‍රවර්ධනය හෝ මෙම කඳුකර වාසීන්ගේ පහසුව තකා එම ප්‍රදේශයට රැහැන් රථ (CABLE CAR) පද්ධතියක් සෞදි රජය විසින් හඳුන්වා දීමත් සමග තත්ත්වය වෙනස් වන්නට පටන් ගත්තේය. මෙතෙක් කල් පැවැති ඔවුනට අනන්‍ය වූ සංස්කෘතික ලක්ෂණ නවීකරණය වීමත් බාහිර සමාජයේ සංස්කෘතික ලක්ෂණ නවීකරණය වීමත් බාහිර සමාජයේ නූතන ලක්ෂණ එයට කාන්දු වීමත් සිදු වූයේ ඒ හරහාය.

නමුත් මල් මිනිසුන්ගේ සංස්කෘතික ලක්ෂණ බොහෝමයක් (ඒ අයුරින්ම නැතත්) තවමත් ආරක්ෂා වී තිබේ. ඔවුනට එහි වෙනසක් හෝ අගයක් නැතත් බාහිර සංචාරකයන් කඳුකරය වෙත ඇදී යාමට විශේෂ හේතුවක් ලෙස එය සැලකීමට පුළුවන. මෙම සම්මුඛ වීම නිසාම එහි නව පරම්පරාව නවීකරණය වීමට පටන් ගෙන ඇත.

සෞදි අරාබියේ ඉහළම කඳු මුදුන ජබාල් සෞදාය. ඒ කරා ළඟාවීමට වට රවුම් මාර්ග ඔස්සේ දුෂ්කර ගමනක යෙදිය යුතුය. රටේ උණුසුම් හා වියළි ප්‍රදේශවල කාන්තාවන් උණුසුමෙන් මිදීම සඳහා සැහැල්ලු ඇඳුම් අඳිද්දී කටානි කාන්තාවෝ ඇඟට හිර දිප්තිමත් වර්ණ සහිත ඇඳුමකින් සැරසී සිටිති. ඒ සිය සිරුරේ උෂ්ණත්වය රැක ගැනීම සඳහාය. සාමාන්‍යයෙන් ඔවුන් මල්වලින් සකසා ගත් නිර්මාණ නොපැලඳිතත් දේශීයව ගොතන ලද දීප්තිමත් රතු, කහ එම්බ්‍රොයිඩර් රටාවන් හා ටසල් ඇල්ලූ පලඳනා පලඳිනු දැක ගත හැකිය.

මෙම ප්‍රදේශයේ තැනින් තැන වසර දෙසීයකට වඩා පැරණි ගොඩනැගිලිවල නටබුන් දැක ගත හැකිය. ඒවා නිර්මාණය කර ඇත්තේ මැටි හා ගල් යොදා ගනිමිනි. කුඩා ප්‍රමාණයේ කුලුනුවල ස්වරූපය ගන්නා මෙම නෂ්ටාවශේෂ එකල වාසය කළ ගෝත්‍රික සමාජයන්ගේ නිවාසය. යේමනයේ සාතා හා ෂිබාම් නගරවල ඉදිකිරීම්වලට ඒවා නෑකම් කියයි. එමගින් පෙන්වන්නේ මෙම රටවල් දෙක එම කාලයේදී පොදු සංස්කෘතියකින් පැවැති බවය.

ඒවායේ නිර්මාණ ලක්ෂණ අනුව ඉතා සංකීර්ණ ස්වභාවයක් පෙන්වයි. වර්ෂා ජලය පියැසි මත නොරැඳී පහළට ගලා යාමට මෙන්ම උෂ්ණත්වය නිවෙස් තුළ රඳවා ගැනීම සඳහා ගඩොල් ඝනකම්ව සැදීමටත් ඔවුන් උනන්දු වී තිබේ. මෙම වාසස්ථානවල ජනේල ප්‍රමාණයෙන් ඉතා කුඩා හා සුළු සංඛ්‍යාවක් පැවැතුණු බවට සාධක ඇත. මෙම සානු ප්‍රදේශයේ පවතින අධික ශීතල දේශගුණයෙන් ආරක්ෂා වීම එහි අරමුණය. ඒ හැරුණු විට මදුරුවන් හා වෙනත් විෂ කෘමීන් ඇතුළු වීම වැළැක්වීමද බලාපොරොත්තු වී තිබේ.

මෙම වාසස්ථානවල ඇතුළත බිත්ති දීප්තිමත් වර්ණ රටාවන්ගෙන් යුක්තව පැවතුණු බවට සාධක පවතී. ඒ සඳහා වැඩි වශයෙන් යොදාගෙන ඇත්තේ රතු, නිල්, කහ කොළ වැනි වර්ණය.

වර්තමානයේ මෙම ප්‍ර‍දේශයේ වාසය කරන සාමාජිකයන් සිය අතීත මුතුන් මිත්තන්ගේ වාසස්ථානවල විභූතිය පවත්වාගෙන යාමට උත්සාහ දරා ඇති ආකාරය දැක ගත හැකිය. විශේෂයෙන් එකල පැවැති රැස්වීම් ශාලාවල ඇතුළත බිත්ති කහ, රතු, කොළ, නිල් වැනි දීප්තිමත් වර්ණ රටාවන්ගෙන් සිතුවම් කර තිබිණි. ඒවා තුළද එක් එක් පවුලට ආවේණික ලක්ෂණ දක්නට හැකිය.

මෙම සැරසිලි ක්‍රම එහි වාසය කරන කාන්තාවන් විසින් පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කරවමින් පවත්වාගෙන යයි.

එහෙත් මෑතකදී සංචාරක කර්මාන්තය වර්ධනය කිරීමේ අරමුණින් සෞදි රජය අලුතෙන් නිවාස ඉදිකර පාසල් හා වෙනත් යටිතල පහසුකම් ලබාදී එම ප්‍රදේශවල ජනතාව බලෙන් පදිංචි කරවා තිබේ. 20 වන සියවසේ පසු භාගයේදී මේ තත්ත්වය ඇති කරනු ලැබීය. හවොලා යනු එවැනි එක් ප්‍ර‍දේශයකි. මෙම නූතන ගම්මාන වර්තමානයේදී සංචාරකයන්ට ‘ඇසිරියානු සංස්කෘතිය’ පිළිබඳ පැහැදිලි කිරීම පිණිස යොදාගනු දැකගත හැකිය. මල් මිනිසුන් සිය මුතුන් මිත්තන්ගේ භූමියට දැන් පැමිණෙන්නේ වේදිකාවන්හි ඔවුන්ගේ සංස්කෘතික නැටුම් ඉදිරිපත් කිරීම, සිය වෙළෙඳාම් කටයුතු සිදු කර ගැනීම ආදිය සඳහා පමණකි.

හබාලා ප්‍රදේශය එහි මනරම් භූමි දර්ශනය හා නටබුන් හේතුවෙන් දැඩි සංචාරක මිනිසුන්ගේ ලාක්ෂණික සංස්කෘතික ලක්ෂණ දිය වී යාමට හේතුවෙන් ඇත​ි වන ලකුණු පෙනෙන්නට තිබේ. ඒ බාහිර සංචාරකයන් සමග පැමිණෙන ‘සංකර ලක්ෂණ’ හබාලාහි වැසියන් අතරට සම්ප්‍රේෂණය වීමෙනි.

නමුත් ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතාව සම්පූර්ණයෙන් විනාශ වී යන බවක් එමගින් අදහස් නොකෙරේ. බොහෝ දෙනා සංචාරක කර්මාන්තය ආශ්‍රයෙන් සිය ජීවිතය පවත්වාගෙන යාමට හුරු වෙමින් සිටියද එම ප්‍රදේශයේ පවතින පාරිසරික ලක්ෂණ හා ස්වභාවය විසින් ඔවුන්ව සංස්කෘතියට ඇද බැඳ තබාගෙන සිටී.

දශක ගණනාවක් තිස්සේ ඛනිජ තෙල් මත රැඳී තිබූ සෞදි අරාබියේ ජාතික ආර්ථිකය 2030 වන විට සංචාරක කර්මාන්තය වැනි වෙනත් අංශ කෙරෙහි යොමු කරවීමට රජයේ අවධානය යොමු වී ඇත. විවිධ සංස්කෘතික අංග ප්‍රවර්ධනය කිරීම එහි එක් අංගයකි. එසේම අසීර් වැනි ජාතික උරුමයන් සහිත ප්‍ර‍දේශ ප්‍රතිසංස්කරණය සඳහා ඩොලර් බිලියනයකට ආසන්න මුදල් වෙන් කර තිබේ. ඊට අමතරව සංස්කෘතික ලක්ෂණ ප්‍රවර්ධනයද එහි තවත් අරමුණකි.

2017 වසරේදී ART JAMEEL නම් ආයතනය විසින් ප්‍රාදේශීය කලාකරුවන්ට ඇසිරියානු බිතු සිතුවම් සංරක්ෂණය සඳහා උපකාරී වන අංකිත තොරතුරු රැස් කිරීම පිළිබඳ පුහුණු වැඩසටහන් මාලාවක් පැවැත්වීය. සාම්ප්‍රදායික සිතුවම් හා හස්ත කර්මාන්ත ශිල්ප ප්‍රවර්ධනය කිරීම එහි අරමුණ වූයේය.

මේ හා සමානවම ජෙඩාහි දාර් – අල් – හෙක්මා විශ්වවිද්‍යාලය මගින් ජනමාධ්‍ය විද්‍යාව හා තාක්ෂණය භාවිත කිරීම පිළිබඳව පුහුණු පාඨමාලාවක් 2014 දී පැවත්වූයේ සිය සංස්කෘතික උරුමයන් සංරක්ෂණය කිරීම සඳහා ඔවුන්ව ධෛර්යමත් කිරීමේ අරමුණ ඇතිවය.

‘‘මෙතෙක් කලක් ඇසිරියන්වරුන් සිය දෑත්වල ශක්තිය හා නිර්මාණශීලීත්වය පිළිබඳ ආඩම්බරයෙන් ඔවුන්ටම ආවේණික සංස්කෘතියක් නිර්මාණය කරගෙන සිටියා.’’

දිවා කාලයේදී සංචාරකයන් හා ප්‍රාදේශීය වැසියන්ගෙන් පිරුණු කඳු භූමිය රාත්‍රිය එළඹෙත්ම සංචාරක බස් රථ ආසන්න හෝටල් වෙත පිටව යාම සමග හබාලා වැනි කඳුකර ගම්මාන හිස් වන්නට පටන් ගනී.

බොහෝ සංචාරකයන් මෙහිදී මිලයට ගන්නට අමතක නොකරන දෙයක් නම් විවිධ වර්ගවලින්, හැඩයෙන් හා සුවඳින් යුත් කඳුකර මල් ආශ්‍රයෙන් සකස් කරන ලද මල් කිරුළුය.

සිහිල් කඳුකර ප්‍රදේශයෙන් බැහැර වන විට මෙම මල් නිර්මාණවල ඇති මල් වියළෙන්නට පටන් ගනී. දින කීපයක් ගත වන විට බැසිල් හා පිච්ච මල්වල ප්‍රසන්න සුගන්ධය ද නැති වී යයි. ඒවා තවදුරටත් කල් තබා ගැනීම දුෂ්කර වේ.

මෙතෙක් කාලයක් ඇසිරියානු ජනතාව හුදෙකලා සංස්කෘතියක දිවි ගෙව්වද මෑත කාලීනව හා ඉදිරියට ඔවුන්ගේ ජීවිතය ඉහළ සංස්කෘතික වටිනාකමක් හා සෞභාග්‍යමත් අනාගතයක් හිමි එකක් බවට පරිවර්තනය වෙමින් තිබේ.

‘‘මෙම ප්‍රවර්ධන වැඩසටහන්වල අරමුණ අතීතයේද ඇසිරියානු ජනතාව අතර පැවැති සංස්කෘතික අනන්‍යතාව මෙන්ම ගෘහ නිර්මාණ ශිල්පීය ස්ථාන ආරක්ෂා කරගන්නා අතර එය අනාගතයටත් පවත්වා ගනිමින් ඔවුන්ගේ ජීවිතයත් යම් සැපවත් තත්ත්වයකට ගෙන ඒමයි.

දර් – අල් – හෙක්මා විශ්වවිද්‍යාලයේ ගෘහ නිර්මාණ අංශයේ ප්‍රධානී අන්නා ක්ලින්ග්මාන් ප්‍රකාශ කරයි.

මෙම ප්‍රදේශයේ ඇති රිජාල් අල්මා ගම්මානය ඈත අතීතයේදී වෙළෙඳ මර්මස්ථානයක් වශයෙන් පැවතුණි. ඊට හේතුව යේමනය, මක්කම හා රතු මුහුද ඔස්සේ ඉස්ලාම් අධිරාජ්‍ය හරහා විනිවිද ගිය වෙළෙඳ මාර්ගය මෙම ගම් ප්‍රදේශය ඔස්සේ ගමන් කිරීමයි.

නමුත් අද තත්ත්වය ඊට වෙනස්ය. දැන් එය සංස්කෘතික උරුම ස්ථානයක් හා සංචාරක ආකර්ෂණයට ලක් වූ ප්‍රදේශයක් බවට පත්ව තිබේ. ලොව ප්‍රථම මල් මිනිසුන්ගේ උත්සවය පැවැත්වෙන්නේ එහිය.

සෞදි – යේමන් දේශසීමාව ආශ්‍රිත කඳුකර ගම්මානයක් වන හබාලිහා පැවැත්වෙන එය සංවිධානය කරන්නේ සෞදි සංස්කෘතික අමාත්‍යාංශය විසිනි. එහිදී ඔවුහු කටානි ගෝත්‍රයේ සාම්ප්‍රදායික ඇඳුමින් සැරසී සිටිති.

මල් මිනිසුන්ගේ භූමිය හබාලා පිහිටා ඇත්තේ ප්‍රාදේශීය අගනුවර වන අබාහි සිට පැයක දුරකිනි.

රිජාල් අල්මා විශේෂ වන්නේ මල් මිනිසුන්ගේ උත්සවය නිසා පමණක් නොවේ. ගල්, ස්වාභාවික මැටි හා දැව යොදා නිර්මාණය කළ මන්දිර 60ක් පමණ එහි තැනින් තැන දැක ගත හැකිය. දැන් දැන් ඒ ආශ්‍රිතව ඡායාරූප ගැනීමට, දැනුම ලබා ගැනීමට විවේකය ගත කිරීමට ආදී විවිධ අවශ්‍යතා සඳහා බොහෝ සංචාරකයන් මෙම ස්ථාන වෙත ඇදී ඒම සිදුවේ.

මෙම සංස්කෘතික උත්සවයේදී එළිමහන් කෞතුකාගාරයක්, සජීවී ජන සංස්කෘතික ලක්ෂණ ඉදිරිපත් කිරීම්, සිතුවම් හා ප්‍රතිමා ප්‍රදර්ශන මෙන්ම ජාතික උරුම වෙළෙඳපොළක් පැවැත්වේ. දහවලේ මෙන්ම රාත්‍රියේද එය පැවැත්වීම විශේෂත්වයකි.

නමුත් ලොව පුරා පැතිර යන කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් විදේශ සංචාරකයන්ගේ පැමිණීම මේ වන විට පහත බැස ගොසිනි. ඒ අතර මෙම කලාපයේ සිදුවෙමින් පැවැති සංචාරක ප්‍රවර්ධන කටයුතුද ඇන හිට ඇත. දැන් එහි ජනතාව යළිත් තම සුපුරුදු කර්මාන්ත වෙත නැඹුරු වන්නට පටන් ගෙන තිබේ.

වසන්ත විජේරත්න