කතුවැකි

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මමංකාරය

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලෙන් ආරම්භ වූ කොරෝනා පොකුර දිස්ත්‍රික්ක දෙකක් හැර රට පුරාම ව්‍යාප්ත වී තිබේ. ඊයේ සවස්වන විට මෙම පොකුරෙන් පමණක් වාර්තා වූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව පන්දහස ඉක්මවා තිබිණ. මෙම තත්ත්වය මත තවදුරටත් ආශ්‍රිතයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන නොගොස් නිවසේදීම නිරෝධායනයට ලක් කිරීමටද ආණ්ඩුව තීරණය කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මෙම තත්ත්වය විග්‍රහ කරන්නේ කොරෝනා සමාජ ව්‍යාප්තියක් ආසන්නයට පැමිණ ඇති තත්ත්වයක් ලෙසය. මේ නිසා ඉදිරි දිනවල මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇතැයිද එම සංගමය අනතුරු අඟවයි.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කියන ආකාරයට රට මේ තත්ත්වයට පත්ව තිබෙන්නේ ආණ්ඩුව ඔවුන්ගේ උපදෙස් පිළි නොපැදීම නිසාය. ඔවුන්ගේ උපදෙස් පිළිගත්තත් ඒවා කලට වේලාවට ක්‍රියාත්මක නොකිරීම නිසාය. දැන් මේ අය මාධ්‍ය හමුවට පැමිණ කියන දේ අනුව ආණ්ඩුවට කරන්නට අපට යෝජනාවක් තිබේ. සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලු තනතුරු මේ අයට භාර දීමය. එපමණක් නොව කොවිඩ් මර්දන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී තනතුරද හමුදාපතිවරයා වෙනුවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සියල්ල දත් වෛද්‍යවරයකු පත් කළ හැකි නම් වැඩේ ගොඩ යනු ඇත.

කොරෝනා වයිරසය රට තුළ පැතිරෙන්නට පටන් ගත් දා සිටම රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කටයුතු කළේ, අන් සියලු දෙනා වැරදිය, අප පමණක් නිවැරදි යැයි, රටට හැඟවෙන පරිදිය. ඔවුන් ආණ්ඩුවට ඉදිරිපත් කරන යෝජනා නිවැරදිම වැඩපිළිවෙළ යැයි කියන්නට ඇති සහතිකය කුමක්ද? අවම වශයෙන් ඔවුන් තම සැලසුම් සකස් කරන්නට පෙර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් ක්ෂේත්‍ර සමග තබා වෙනත් වෛද්‍ය සංගම් සමග හෝ සාකච්ඡා කර තිබේද?

විශේෂඥ වෛද්‍යවරුන්​ගේ සංගමය, වෛද්‍ය නිලධාරින්ගේ සංසදය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ආදී වශයෙන් වෛද්‍යවරුන් සම්බන්ධ තවත් සංවිධාන කිහිපයක්ම තිබේ. එසේම හෙද නිලධාරින්ගේ සංගම්,වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන්ගේ විද්වත් සංවිධාන ආදි වශයෙන් වෛද්‍ය ක්ෂේත්‍රයේ තවත් වෘත්තික සංවිධාන ගණනාවක් තිබේ. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ආණ්ඩුවට යෝජනා ඉදිරිපත් කරන්නේ මේ කිසිදු සංවිධානයක්, සංගමයක් සමග සාකච්ඡාවකින් තොරවය. හුදු වෘත්තීය සමිතියක් වන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් අංශවල අදහස් ලබා ගැනීමකින් තොරව කොරෝනා මර්දනයට විශේෂඥ සැලසුම් ඉදිරිපත් කරන්නේ කෙසේද? බෝවන රෝග පාලනයට සම්බන්ධ විශේෂඥයන් කී දෙනකු එම සංගමය නියෝජනය කරන්නේද?

කොරෝනා වයිරසය රට තුළ පැතිරෙන්නට පටන් ගත් දා සිටම රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ප්‍රබල ඉල්ලීමක් වූයේ පීසීආර් පරීක්ෂණ වැඩි කළ යුතු බවය. මේ අතර දෙවැනි කොරෝනා රැල්ල පිටුපස පෞද්ගලික රෝහල්වල පීසීආර් ජාවාරමක් ක්‍රියාත්මක බවට චෝදනාවක් නැගී තිබේ. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ඉල්ලීම හා මේ චෝදනාව අතර සම්බන්ධයක් ඇතැයි අප සිතන්නේ නැත. එහෙත් ඒ ගැන සොයා බැලීමේ වරදක් නැත.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නම් කියන්නේ තමන් මේ තරම් දඟලන්නේ ජනතා හිතසුව පිණිස මිස අන් කිසිවක් සඳහා නොවන බවය. එහෙත් අපට ඇහෙන්නේ හඬ විතරය. වැඩක් පෙනෙන්නට නැත. මාධ්‍ය ඉදිරියට ඇවිත් ඔවුන් වැඩිපුරම කියන්නේ රටට කිව යුතු දේ නොව ආණ්ඩුවට කිව යුතු දේය. ඒ හරහා තමන් වෘත්තිකයන්ගේ සංවිධානයක් නොව සාමාන්‍ය වෘත්තීය සමිතියක් බව ඔවුහු පුන පුනා සනාථ කරමින් සිටිති. අපේ රටේ වෘත්තීය සමිතිවලට හැම විටම ඇත්තේ චෝදනා පමණය.

මේ දිනවල සාමාන්‍ය උණ, සෙම්ප්‍රතිෂ්‍යාවට බෙහෙත් ටිකක් ගන්නට තැනක් නැත. සාමාන්‍ය උණක් ඇත්නම් පෞද්ගලික රෝහල් පමණක් නොව රජයේ රෝහල්වලටද වැද්ද ගන්නේ නැත. රජයේ රෝහල්වල සායන අඩපණය. කොරෝනා මර්දනය ගැන ආණ්ඩුවට උපදෙස් දෙන්නට යන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මේවා ගැන දන්නේවත් නැති පාටය. ඔවුන්ට රටේ ජනතාව ගැන ඔය තරම් කැක්කුමක් ඇත්නම් මේ ගැන යමක් කරන්නැයි අප ඉල්ලා සිටිමු. ඒ සඳහා ආණ්ඩුවට උපදෙස් දීම තරම් මහන්සි වෙන්නට ඇතැයි අපි සිතන්නේ නැත. තම සාමාජිකත්වය හරහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හැකි බැවිනි.

කොරෝනා මර්දන සටන ජය ගැනීම සෞඛ්‍ය අංශයට පමණක් තනිව කළ නොහැකි බවත් ඒ සඳහා සියලු දෙනා එක්විය යුතු බවත් නිතර අසන්නට ලැබෙන කියමනකි. සමාජයේ සියලු දෙනා මේ සටනට එක්කර ගැනීම කෙසේ වෙතත් සෞඛ්‍යය ක්ෂේත්‍රයේ සියලු අංශ හෝ මේ සඳහා එක්කර ගෙන ඇති බවක් අප දකින්නේ නැත.

ආණ්ඩුවට හැම දෙයක් ගැනම උපදෙස් දෙන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවා ඒ ගැන උපදෙසක් නොදෙන්නේ තමන්ට ඇති තැන නැති වේදැයි බියෙන් විය හැකිය. මේ කොරෝනා මර්දන වැඩපිළිවෙළ තුළ හෙද හෙදියන්, වෛද්‍ය රසායානගාර විද්‍යාඥයන්, හෝ වෙනත් වෛද්‍ය සංගම් නියෝජනයක් ඇති බවක් පෙනෙන්නට නැත. ජනාධිපතිවරයා හමුවන්නේ රජයේ වෛද්‍ය නිලධාරින්ය, කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බළකාය නියෝජනය කරන්නේද ඔවුන් පමණය. මේ සටනේදී වෛද්‍යවරුන් මෙන්ම හෙද හෙදියන්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන් ආදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් අංශද වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවා අමතක කර ඇත.

අපට පෙනී යන අන්දමට නම් ආණ්ඩුවේ කොරෝනා මර්දන වැඩපිළිවෙළේ කුමන හෝ අඩුපාඩුවක් ඇත්නම් මේ කාරණය ඊට ප්‍රධාන හේතුවක් බවය. දිනකට කළ හැකි පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව දසදහසක් යැයි අමාත්‍යාංශය කියන විට වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන් කියන්නේ දිනකට පරීක්ෂණ විසිදහසක් කළ හැකි බවය.

මේ වන විට රට පත්ව තිබෙන්නේ අසීරු අවස්ථාවකයට. එවැනි අවස්ථාවකට මුහුණ දෙන්නට නම් සියලු දෙනාගේ කැපවීම, දායකත්වය අත්‍යවශ්‍ය බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් සියලු දෙනා සිතන්නේ තමන් එකවී අන් සියලු දෙනා තමන් පසුපස ආ යුතු යැයි කියා නම් කිසිවක් සාර්ථක කරගත නොහැකි වනු ඇත. මේ නිසා කොරෝනා මර්දනයට වැඩපිළිවෙළක් සකස් කර ගැනීමට පෙර කළ යුතුව ඇත්තේ සියලු දෙනාගේ මමංකාරයන් දුරුකර ගැනීමය.