පිනි පලස

සෝමරත්නගේ Under pant ප්‍රදර්ශනයට සූදානම්

සිනමාව විවිධ අංශ යටතේ වර්ගීකරණය කළ හැක. ඒ අතුරින් පවුලේ චිත්‍රපටවලට ප්‍රමුඛස්ථානයක් හිමිවේ. ශ්‍රී ලංකාවේ පවුලේ චිත්‍රපට කියූ සැණින් සිහිවන්නේ සෝමරත්න දිසානායකවයි. සමහරු පවසන්නේ සෝමරත්න හා රේණුකා පවුල හා ළමා පරපුර මාකට් කර මුදල් උපයන බවයි. මෙය සත්‍යයක් නොවන බව ඔප්පු කරමින් සෝමරත්න දිසානායක අපූර්ව චිත්‍රපටයක් නිර්මාණය කර ඇත. Under Pant thief නම් වූ අපූර්ව චිත්‍රපටය හා ඔහුගේ සිනමාව ගැන මොහොතක් කතාබහ කරමු.

සුනාමි චිත්‍රපටයට පසුව ඔබ තවත් චිත්‍රපටයක් කළා ද?

නැහැ. සුනාමි චිත්‍රපටයට පසුව තිරගත වීමට නියමිතව තිබුණත් එය නිෂ්පාදනය කළේ සුනාමි චිත්‍රපටයට පෙර. ඒ දිනවල පවුලේ චිත්‍රපටයකට ප්‍රේක්ෂක ඉල්ලීම් තිබුණා. ඒ නිසා ඒ අවශ්‍යතාව මත තමයි සුනාමි එන්නේ.

අලුත් චිත්‍රපටය පවුලේ චිත්‍රපටයක් නෙවෙයි ?

නැහැ. under pant thief එය වැඩිහිටියන්ට වඩාත් සුදුසු ලේබලය යටතේ නිර්මාණය වූවක්. සමාජයේ පවතින සුලබ මානසික රෝගයක්, රෝගියෙක් හා ඔහු අවට සමාජය ඔහුට දක්වන ප්‍රතිචාර වටා තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ.

මොකක්ද මේ සිනමා පටයේ තේමාව

සමාජයේ පවතින සුලබ මානසික රෝගයක් පිළිබඳ තමයි මේ චිත්‍රපටයෙන් විග්‍රහ කරන්නේ. යට ඇඳුම් එකතු කරන ඇතැම් උගතුන්, වෘත්තිකයන් පවා ඉන්නවා. ඔවුන්ගේ තරාතිරම කුමක් වුවත් ඔවුන්ට එය පාලනය කර ගැනීමට නොහැකි බව පර්‌යේෂණවලින් තහවුරු වෙලා තියෙනවා කියලා මම අධ්‍යයනය කළා. ඒක මානසික රෝගයක් බව නොදැන ඔවුන්ව පිළිකුල් කරනවා. ඒක ඔවුන්ගේ අශීලාචාර කම කියලා සමාජයෙන් කොන් කරනවා. ප්‍රතිකාර සඳහා යොමු කිරීම වෙනුවට ඔවුන්ට වෙන්නෙ සමාජයෙන් එන අපහාස උපහාස දරාගන්න. මේ චිත්‍රපටයට තේමා වුණේ එවැනි මානසික රෝගියෙක් හා ඔහු අවට සමාජය ඔහුට දක්වන ප්‍රතිචාර වටා තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ. එහිදී එවැනි මානසික රෝගියෙක් කෙරෙහි දැක්විය යුතු මානව දයාව පිළිබඳ ඉස්මතු කරලා තියෙනවා. එවැනි රෝගීන්ට සමාජයේ, පවුලේ තිබෙන තැන, ඔහුව පාවිච්චි වෙන්නෙ කොහොමද ? වගේ කාරණාවන් ගැනත් එහි අන්තර්ගත වෙනවා.

under pant thief බැලූ බැල්මට ඔබේ නිර්මාණයක් බව හැඟෙන්නේ නැහැ

ඔව්. මෙතෙක් මා කළ සියල්ල පවුලේ චිත්‍රපට. මා වටා එක් රැස් වූ ප්‍රේක්ෂකයන් පිරිසක් ඉන්නවා. අපේ සිනමාවේ පවුලේ චිත්‍රපට හිඟයි. ඒ අඩුව පුරවන්න ගිහින් මම මේ තරම් කාලයක් හිටියේ රාමුවක් ඇතුළෙ. මට ඕන වුණා ඒ රාමුවෙන් එළියට එන්න. මට ඕන වුණා මේ විදියෙ චිත්‍රපටත් මට හදන්න පුළුවන් කියන එක පෙන්නන්න.

ඔබට අනන්‍ය වූ ශෛලියෙන් බැහැරව සිනමා පටයක් කිරීමේ අවදානම දැක්කෙ නැද්ද?

මා වටා මෙතෙක් සිටි ප්‍රේක්ෂකයන්ගේ තදබල විරෝධතාවක් එල්ල වේවි. වැඩිහිටියන්ට පමණයි ලේබලයෙන් මීට පෙර චිත්‍රපට නොකරපු නිසා ඒ චිත්‍රපට බලන ප්‍රේක්ෂකයන් තුළ චකිතයක් ඇති වේවි මට එහෙම චිත්‍රපට හදන්න පුළුවන් ද කියලා. අලුත්ම ප්‍රේක්ෂක ප්‍රජාවකට තමයි under pant thief පෙන්නන්න වෙන්නෙ. ඒ අවදානම මට තියෙනවා. ආර්ථික වශයෙන් මේක මට පාඩු වේවි. ඒත් රාමුවෙන් එළියට එන්න නම් අවදානමක් ගන්න වෙනවා.

චිත්‍රපටයට දායක වුණ ශිල්පීන් ගැන මතක් කරනවනම්

මේ චිත්‍රපටය නිෂ්පාදනය කළෙත් මගේ සුපුරුදු නිෂ්පාදිකාව රේණුකා බාලසූරිය. ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ පුබුදු චතුරංග ඊට අමතරව දිල්හානි අශෝකමාලා, චින්තක කුලතුංග, තුමිඳු දොඩංතැන්න ඇතුළු රංගන ශිල්පීන් රංගනයෙන් දායක වෙනවා.

කොවිඩ් 19 නිසා ලාංකීය සිනමාවට හා ඔබේ සිනමා පටයට සිදු වූ බලපෑම

ලොක් ඩවුන් සමය ගැන කතා කළොත් අතිශයින්ම කාර්යබහුල ජීවිත ගෙවපු අපි කාටත් ඒ කාලය විවේකීව ගත කළ කාලයක් කියන්න අමාරුයි. ඒක බොහෝ දෙනෙක්ට පීඩාකාරී කාලයක්. ලෝකයටම පොදු තත්ත්වයක් නිසා සිනමාවටත් එය ඒ ආකාරයෙන්ම බලපෑවා. රූගත කිරීම් කිසිවක් සිදු නොවුණත් නව නිර්මාණ කටයුතු පිළිබඳ අලුතින් සිතන්න කාලයක් ලැබුණු නිසා හොඳ තිර පිටපත් බිහි වෙන්න ඇති සහ ඉදිරියේ දී ඒ නිර්මාණ දැකගැනීමට හැකි වේවි කියලා මම හිතනවා.

කොවිඩ් 19 නිසා වැඩි බලපෑමක් එල්ල වුණේ තිරගත වෙමින් තිබූ චිත්‍රපට වලට. ඒ චිත්‍රපට ගැන පුවත්පත්, සඟරාවල සිනමා විචාර පළ වී අවසන්. සිනමා විචාරයක් කියන්නේ ප්‍රේක්ෂකයා සිනමාහලට කැඳවාගෙන එන්නක්. මාස හතරකට පෙර ලියූ සිනමා විචාරයක් මතකයේ රැඳෙන්නේ නැහැ. විශේෂයෙන්ම මෙවැනි තත්ත්වයක් යටතේදී. එවැනි තත්ත්වයක් යටතේ තමයි The news paper තිරගත වෙන්නෙ. සමස්ථ ලාංකීය සිනමා ක්ෂේත්‍රය වෙනුවෙන්ම මම ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා. සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර ලාංකීය සිනමාව වෙනුවෙන් අවදානමක් ගත්තා. ඔවුන්ගේ කුලුඳුල් සිනමා පටය ප්‍රදර්ශනය කරලා.

මම කලින් කිව්වා වගේ සුනාමි චිත්‍රපටය නිෂ්පාදනය කළේ අධික පිරිවැයක් දරලා. නිවස පවා උකසට තියලා තමයි චිත්‍රපටයට වියදම් කළේ. අපි ඒ වියදම් දැරුවේ නැවත පියවාගත හැකිවේවි කියන බලාපොරොත්තුවෙන්. චිත්‍රපටයට හොඳටම සෙනග එන්න පටන් ගනිද්දී තමයි වහන්න වුණේ. ප්‍රචාරක කටයුතු සඳහා අපේක්ෂා නොකළ තරම් මුදලක් වැය වුණා කොවිඩ් 19 නිසා. අලුත්ම චිත්‍රපටයක් වගේ පටන් ගන්න වෙලා තියෙන්නේ නැවත ප්‍රදර්ශනය.

සමාජ දුරස්ථභාවය සිනමා ශාලාවට ගැළපෙනවද?

සමාජ දුරස්ථභාවය සිනමා ශාලාවක පැවැත්වීම කියන්නේ විහිළුවක්. එක පවුලේ සාමාජිකයන් සිනමා ශාලාව තුළ දී මීටරයක දුරින් හිඳීම අනවශ්‍ය දෙයක්. පෙම්වතුන්ට මීටරයක දුරින් ඉන්න නියම කිරීම අනවශ්‍ය දෙයක්. මීටරයක දුර පවත්වාගෙන යාමට නියෝග කර සිනමා ශාලා විවෘත කිරීම අත පය ගැට ගසා පිහිනීමට දැම්මා වගේ දෙයක්. එක ගෙදර ඉන්න අයට සිනමා ශාලාවේ එකට අසුන් පැනවීමේ ඇති වරදක් මට පේන්නෙ නෑ. එක කාණ්ඩයකට එක ළඟ අසුන් පැනවීම කළ යුතු බවයි මගේ අදහස. කාණ්ඩායම් අතර දුරස්ථභාවය පැවැත්වූවාට වරදක් නැහැ.

සෝබා. ඩී කෝලියවංශ