විශේෂාංග

සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ

මේ වන විට ලොව පුරා ජනතාව හාරලක්ෂ විසිදහසකට වැඩි ප්‍රමාණයක් ලෙඩ කළ, සතෙකුගෙන් පැමිණි වෛරසයක් ලෙස අර්ථගන්වන කෝවිඩ් -19 වෛරසය මිනිසා වෙනත් කිසිඳු සත්ත්වයෙකුට හානි කළේ නැත. නිශ්පාදන නතරවී , සංචරනය නතර වී , මිනිසා දෛනික ජිවිතයෙන් ඈත්කර අත් පා ගැට ගැසූ මෙම වෛරසයේ බලපෑම විශ්ලේෂණය කළ විට එය මාරයෙක් ලෙසම සැළකිය නොහැකි යැයි කිවහොත් ඇතැමෙක් එය පිළිනොඟන්නටද පුළුවන.

ඊට හේතුව මෙසේ පැහැදිලි කරගනිමු. පසුගිය දෙසැම්බර් මස අගභාගයේ චීනයේ වූහාන් නගරය භීතියට පත්කරමින් පැමිණි කෝවිඩ් -19 වෛරසය සමඟ මිනිසා මාස තුනක් පොර බදන්නේය. මේ කාලය තුළ අහිමි වන මිනිස් ජීවිත සංඛ්‍යාව , ආර්ථිකය කඩා වැටීම සහ ඒ හේතුවෙන් ඇතිවී තිබෙන පාරිසරික වෙනස්කම් පිළිබඳව ලෝකයේ වැඩි අවධානය යොමුවී තිබේ.

එහිදී දක්නට ලැබුණු ප්‍රධාන කාරණය නම් කෝවිඩ් – 19 කෝවිඩ් වෛරසය ලොව පුරා පැතිර යන විට ආර්ථිකය කඩා වැටීම සහ අනෙක් අතට පාරිසරික වශයෙන් යහපත් තත්ත්වයක් උදාවෙමින් තිබීමයි. ආර්ථිකය හා බැඳී ඇති නිෂ්පාදනය වැඩි වන විට කර්මාන්ත ශාලාවලින් පිටවන විෂ දුමාරය, ඉහළ ගියේය. මෙම විස වායු විමෝචනය ඕසෝන් ස්ථරය ගිල ගත්තේය. අක්‍රමවත් අපද්‍රව්‍ය බැහැර කිරීම තුළ ගංගා ඇළ දොළ දූෂණය විය. මේ පාරිසරික හානි හේතුවෙන් පෙරළා මිනිසාටම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය. පාරිසරික හානි නිසා වසරකට මිනිස් ජීවිත මිලියන ගාණක් අහිමි වන බව ගණන් බලා තිබේ.

නමුත් කෝව්ඩ් – 19 පණ ගැන්වීම තුළ මෙකී බොහොමයක් පරිසර දූෂණ නතර වී තිබේ. ඒ අනුව ගෙවී ගිය මාස තුනක කාලය තුළ පරිසර හානිය අවම වීම නිසා රැකදුන් මිනිස් ජීවිත සංඛ්‍යාව කෝවිඩ් – 19 ආසාදනය වීම නිසා අහිමි වූ ජීවිත සංඛ්‍යාව මෙන් කිහිප ගුණයක් බව දත්ත විශ්ලේෂණයන් මඟින් පෙන්වා දී තිබේ.

ඒ නිසා මෙය මිනිසාට තමන් කළේ කුමක්දැයි සිතන්නට ඉඩක් දුන් වෙලාවකි. සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නොමැති බව පසක් කරගැනීමට දුන් අවස්ථාවකි.

ගෝලීය වශයෙන් සිදුවන පරිසර දූෂණ දත්ත ගත්විට 30 % කින් ඊට දායක වී ඇත්තේ චීනය විය. එහි කර්මාන්ත ක්ෂේත්‍රයේ පිබිදීම මුළු පෘථිවියටම තර්ජනයක් වූයේය. මීට අමතරව ඇමරිකාව 15% කින් ද, ඉන්දියාව 7% කින්ද , රුසියාව 5% කින්ද ජපානය 4 % කින්ද ගෝලීය වශයෙන් පරිසර දූෂණට දායක වී සිටී.

චෙරි මල් අතරින් පැහැදිලි අහස

කෙසේ නමුත් කෝවිඩ් – 19 වසංගත තත්ත්වයත් සමඟ ලොව පුරා කර්මාන්ත අඩපණ වූ අතර ප්‍රවාහන හේතුවෙන් වන වායු විමෝචනයද නතර විය. අපද්‍රව්‍ය බැහැර කිරීම අවම විය. ඒ අනුව වැඩිම පරිසර දූෂණයකට හේතු වූ චීනය නිහඬ වීම සමස්ථ පෘථිවි තලයේ තර්ජනයද අවම කළේය.

මාස තුනකට පසු චීනය මෙම වෛරසයෙන් යම් අස්වැසිල්ලක් ලබමින් සිටියද මේ වන විට විදෙස්ගතව සිටි චීන ජාතිකයින්ගේ පැමිණීම

නිසා ආසාධිත සංඛ්‍යාව නැවත ඉහළ යමින් තිබේ. කෙසේ නමුත් චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වෛරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛයාව බිංදුවයැයි පසුගියදා වාර්තා වූ විට මේ චෙරි මල් පිපෙන සමයේ වූහාන් වැසියන්ගේ පමණක් නොව සමස්ත ලෝකවාසීන්ගේම හිස්වල චෙරි මල් පිපුණි.

බලෙන් හෝ සොබාදහමට අවනත කිරීම තුළ මේ වන විට වෙනදා නැති තරම් සුවඳකින්, වෙනදා නැති තරම් දැකුම්කළු පාටකින් චෙරිමල් පිපී වූහාන් වසාගෙන ඇත. වුහාන් නගරයේ නැගෙනහිර විලෙහි (East Lake) චෙරි මල් දහස් ගාණක් පිපෙන්නට පටන් ගෙන තිබේ. මේ චෙරි මල ගස් බොහොමයක් 1998 දී චීන්නු සහ ජපන්නු එක්ව රෝපණය කරන ලද ඒවාය. “මොෂාන් චෙරි බ්ලොසම් උද්‍යානය” ලෙසද හැඳින්වෙන වුහාන්හි පිහිටි ඊස්ට් ලේක් චෙරි බ්ලොසම් උද්‍යානය “ලෝකයේ චෙරි මල අගනගර” තුනෙන් එකක් ලෙසද හැඳින්වේ.

චෙරි මල් පිපෙන නැගෙනහිර විල

චීන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ උප මහලේකම් ඩිං ෂියැන්යාං චෙරි මල් ප්‍රබෝධය ගැන මෙසේ කියන්නේය.

“මම උදේ එළියට යන විට චෙරි මල් මගේ දොර ඉදිරිපිට මල් පිපී තිබුණා. ශීත කාලය ගෙවී ගොස් වසන්තය පැමිණ ඇති බව ඒ මල් අපට පැවසුවා. මම හිතන්නේ හැමෝම බලා සිටි දවස වැඩි ඈතක නෙවෙයි ”.

අවසානයේ ආර්ථික කරුණු කියමින් මුදල් පසුපස ගිය දේශපාලන බලවතුන්ට මල් සුවඳ විඳින්නත් අවස්ථාවක් දුන්නේ වෛරසයක්ය.
කාබන් ඩයෝක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ්වලින් බරවූ සහ සිදුරු වූ ඕසෝන් ස්ථරයකින් තොර අහසක් අවරුදු ගාණකට පසුව ඔවුන් මේ වසන්තයේදී දකී.

ඉන්ධන දහනය, මෝටර් රථ ධාවනය, විදුලි බලාගාර සහ ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ මගින් වන නයිට්‍රජන් ඩයොක්සයිඩ් විමෝචනය ශ්වසන

වූහාන් අහසට නැගෙන දුමාරය

රෝග ඇතුළු තවත් රෝග රැසකට හේතු සාදන බලවේගයන්ය. කෝවිඩ් – 19 වෛරසය පැතිරීමත් සමඟ චීනයේ වුහාන් නගරයේ වායු දූෂණය කැපී පෙනෙන ලෙස පහත වැටුණි.

COVID-19 වසංගතය සමඟ වසා දැමුණු චීනයේ වායු දූෂණ දත්ත සටහන් සීඝ්‍ර ලෙස පහත වැටී ඇති අයුරු නාසා ආයතනය විසින් මෑතකදී ගත් චන්ද්‍රිකා ඡායාරූප මඟින් පෙන්නුම් කළේය.

චීනයේ වායු දූෂණ මට්ටම දැක්වෙන නාසා චන්ද්‍රිකා දර්ශන

මේ අතර කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් සරසවියේ පෘථිවි පද්ධතිය සම්බන්ධ විද්‍යාඥයෙකු වූ මහාචාර්ය මාෂල් බර්ක් විසින් කෝවිඩ් -19 වසංගතය පැතිරීමත් සමඟ පරිසර දූෂණය අවම වීම පිළිබඳව විශ්ලේෂණයක් කළේය. ඒ අනුව, කොරෝනා වෛරසය හේතුවෙන් චීනය වසා දැමීම නිසා කර්මාන්තශාලා සහ වාහනවලින් සිදුවන වායු දූෂණය අඩු කිරීමෙන් ජීවිත දස දහස් ගණනක් බේරා ගත හැකිවී ඇති බව අනාවරණය වී ඇත.

මහාචාර්ය මාෂල් බර්ක් ඇමරිකා එක්සත් ජනපදයේ රජයේ සංවේදකවල දත්ත භාවිත කරමින් චීනයේ ප්‍රධාන නගර හතරක වායුගෝලයේ අංශු මට්ටම (PM2.5) නිරීක්ෂණය කළේය. වාතයේ ඇති ඉතා කුඩා මාරාන්තික අංශු පදාර්ථ මඟින් පරිසර දූෂණය වන මට්ටම් සහ රටපුරා සිදුවන මරණ අනුපාතය ඔහු විසින් එහිදී ගණනය කළේය.

මෙසේ කළ ගණනය කිරීම්වලට අනුව පසුගිය මාස දෙකක කාලය තුළ චීනයේ පරිසර දූෂණය අවම කිරීම හේතුවෙන් වයස අවුරුදු 5 ට අඩු ළමුන් 4,000 ක් සහ වැඩිහිටියන් 73,000 ක් ජීවිත බේරාගෙන ඇත. මේ බව ඔහු ගෝලීය ආහාර, පරිසරය සහ ආර්ථික ගතිකය පිළිබඳ විද්‍යාඥයින් හත් දෙනෙකු විසින් පවත්වාගෙන යනු ලබන “ජී-ෆීඩ්” (G-Feed) නම් බ්ලොග් අඩවියේ දක්වා තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වන නාසා හි වායු තත්ත්ව පර්යේෂක ෆී ලියු පැවසුවේ, විශේෂිත සිදුවීමකදී මෙතරම් පුළුල් ප්‍රදේශයක් පුරා මෙතරම් නාටකාකාර ලෙස වායු දූෂණය පහත වැටීමක් තමා දුටු පළමු අවස්ථාව මෙය බවයි.

විශේෂයෙන් දකුණු චීනයේ නගර වන ෂැංහයි සහ වුහාන්හි වායු දූෂණය පහළ යාම වාර්තාගත ලෙස සිදුව ඇති බවත් ගෙවී ගිය ශීත සෘතුවේ වායු දූෂණයට ප්‍රධාන වශයෙන් මෝටර් රථ හා කුඩා කර්මාන්තවලින් පිටවන දුම හේතුවී ඇති බවත් වාර්තාවල දැක්වේ.

කෝවිඩ් – 19 වසංගතයක් බවට ලෝක සංවිධානය විසින් නම් කරද්දී හිතකාමී පාරිසරික බලපෑම ඇතිවූයේ චීනයට පමණක් නොවේ. යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියෙන් ලැබෙන දත්ත වලට අනුව, උතුරු ඉතාලියේද වායු දූෂණය ඉතාලිය වසා දැමීමත් සමඟ සීඝ්‍ර ලෙස පහත වැටී ඇත. මෙහිදී උතුරු ඉතාලියේ පෝ නිම්නය හරහා නයිට්‍රජන් ඩයොක්සයිඩ් විමෝචනය අඩුවීම කැපී පෙණුන බව කොපර්නිකස් සෙන්ටිනල් -5 පී චන්ද්‍රිකාවේ මෙහෙයුම් කළමනාකරු ක්ලෝස් සීනර් (Claus Zehner)සඳහන් කළේය.

“වලාකුළු ආවරණය සහ වෙනස්වන කාලගුණය හේතුවෙන් දත්තවල සුළු වෙනස්කම් තිබිය හැකි වුවද, අපට දැකිය හැකි විමෝචන අඩු වීම ඉතාලිය වසා දැමීම හා සමගාමීව අඩු ගමනාගමන හා කාර්මික ක්‍රියාකාරකම්වලට හේතු වන බව අපට විශ්වාසයි.” ඔහු පවසයි.

ඉතාලියේ වායු ගෝලයේ නයිට්‍රජන් මට්ටම පහත වැටී ඇති අයුරු

වායු දූෂණය හේතුවෙන් සාමාන්‍ය පුද්ගලයෙකුට සිය ආයු කාලයෙන් වසර තුනක පමණ කාලයක් අහිමි වේ. එය දුම්කොළ දුම්පානයේ බලපෑමට සමාන වන අතර මැලේරියාවට වඩා ඉහළ අගයක් ගනී.
ඉතාලියේ කැග්ලියාරි විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය සාරා ද මාතෙස් (Sara De Matteis) පවසන පරිදි වායු දූෂණ මට්ටම දිගු කාලීනව අඩු කිරීම අනාගතයේ ඇතිවන වසංගතයකින් වුවද සිදුවන මරණ සංඛ්‍යාව අඩු කිරීමට හේතු වේ.

දිගු කාලීනව වායු දූෂණයට නිරාවරණය වීම මඟින් නිදන්ගත පෙනහළු හා හෘද රෝග ඇති රෝගීන්ට පෙනහළු ආසාදනවලට එරෙහිව සටන් කිරීමට ඇති හැකියාව අඩු වන අතර මියයාමට ඇති ඉඩකඩද වැඩි බවද ඇය සඳහන් කරන්නීය.

කෝවිඩ් – 19 වෛරසය ලංකාවට පැමිණීමට පෙර ලංකාවේ ප්‍රධාන සෞඛය ප්‍රශ්නයක් බවට පත්ව තිබුණේද මෙරට වායු ගෝලයේ පැවැති ක්ෂූද්‍ර අංශු ප්‍රමාණය වැඩි වීමයි.. විශේෂයෙන් කොළඹ , මහනුවර , කුරුණෑගල යන ප්‍රධාන නගරවල වායු දූෂණය ඉතා ඉහළ වූ අතර වරෙක කොළඹ නගරය වසා ගත් විෂ වායු පටලය ඉන්දියාවෙන් ලැබූ තෑග්ගක්දැයි ලාංකිකයෝ විමතියෙන් පසුවූහ.

කෙසේ නමුත් කෝවිඩ් – 19 ලංකාවට පැමිණි පසු සතියකට වැඩි කාලයක සිට ශ්‍රී ලංකාවද සොබාදහමේ දඬුවමට යටත් විය. චීනය ඇතුළු මීට ගොදුරු වූ අනෙකුත් රටවල් 176 ක් නිහඬ වූ ආකාරයෙන් ලංකාවද නිහඬ විය. ඒ අනුව වාහනවලින් පිටවන දුම , කර්මාන්තශාලාවලින් පිටවන දුම, ගිණි තැබීම් ඇතුළු විවිධ හේතු සාධක පදනම්ව ඇතිවූ වායු ගෝල දූෂණය මේ වන විට හිතකර මට්ටමට පත්වෙමින් තිබෙන බව මධ්‍යම පරිසර අධිකාරියට අයත් වෙබ් අඩවියේ දත්ත සටහන් මඟින් පෙන්නුම්කර තිබේ.

මෙහිදී කොළඹ නගරයේ වායු ගෝලය සාමාන්‍ය අගයක පවතින අතර පිටපළාත්වල වායු ගෝලය යහපත් තත්ත්වයේ පවතින අයුරුද දැකිය හැකි විය. ගෙවී ගිය සතියක කාලය වායු දූෂණයේ සීඝ්‍ර පහළ වැටීමක් නිරීක්ෂණය කළ නොහැකි නමුත් ඉදිරියටත් මේ තත්ත්වය පැවතිය හොත් පාරිසරික අතින් සුවිශේෂි ධනාත්මක වෙනස්කම් දැකගත හැකි වනු ඇති බව මේ පිළිබඳව අදහස් දක්වමින් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ ජේ්‍යෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි පැවසීය.

එමෙන්ම මිනිසා කෙටිකලකට හෝ අසීමාන්තික පරිභෝජනයෙන් ඈත් කළ සොබාදහම පොසිල ඉන්ධන පරිභෝජනය පහත හෙලීම හරහා නිෂ්පාදන අඩු කිරීමටත් ඒ හරහා හරිතාගාර වායු ආචරනය පහළ හෙලීමටත් සමත් වූ බව පරිසරවේදී ජයන්ත විජේසිංහ කියා සිටී. වායු දූෂණය පමණක් නොව නාවික කටයුතු අඩාල වීම හරහා සමුද්‍රීය දුෂණයද මේ වන විට සැළකිය යුතු ලෙස අඩුව ඇති බව ඔහු පවසයි.

ලොව පුරා වාර්ෂිකව වායු දූෂණය හේතුවෙන් මිලියන 5 කට ආසන්න ප්‍රමාණයක් මිය යන අතර එයින් ලක්ෂ තුනක් ඉන්දියාවෙන් වාර්තාවේ. ශ්‍රී ලංකාවේද 1000 කට අධික සංඛ්‍යාවක් මිය යන්නේ වායු දූෂණය හේතුවෙනි.

අසීමාන්තක පරිභෝජනය , අසීමාන්තක ආත්මාර්ථය, අසීමාන්තික සැප විඳීමේ ආශාවෙන් මිනිසා ඈත් කිරීමට ඇහැට නොපෙනෙන කුඩා වෛරසයකට හැකි විය. මිනිසා කොපමණ ආත්මාර්ථකාමී වුවත් අනෙකා ගැන සිතිය යුතු තත්ත්වයට නීතිය ගෙන ඒමට මේ වෛරසයට හැකිවිය.

පසුගිය කාලයේ උදෑසන අවදිවන විට පොළොවට බරවූ අංශු මාරයා දැක ඒ අලුයම අසිරිය ගෙන ආ මීදුම්වලාවක් යැයි මිනිසා සිතුවේය. වසර 15 කට කලින් මුහුද හිඳෙනවා දැක කාසි වැස්සක් වැටෙනවා යැයි සිතුවේය. කොපමණ සූත්තර ඇටෙව්වත් මිනිසා සොබාදහමට රැවටී ඇත්තේ එකේ පංතියේ ළදරුවන් සේය. පාලනයට යටත්ව මේ වන විට වූහාන් සුවපත් වෙමින් සිටීම කොරෝනා වනාහි ලෝකයටම කළ තරවටුවක්ම වන බව පසක් කර ඇත. හෙට කොරෝනා වෙනුවට තව කෙනෙක් පැමිණිය හැකිය. මේ සියල්ල සොබාදහම් මෑණියගේ පොතේ ලියවුණු විවිධාකාර පරිච්ඡේදයන්ය.

ශිරන්තනි මානවඩු