News

සේරුවාවිල රනින් රටම බැබළෙයිද?

සේරුවාවිල ප්‍රදේශයේ පාෂාණ අතර රත්තරන් තිබෙන බවට මේ වනවිට අනාවරණය වී හමාරය. එපමණක් නොව නැගෙනහිර, මධ්‍යම, ඌව සහ දකුණු පළාත් ආශ්‍රිතව පිහිටි ඛනිජ නිධිවලද රත්තරන් තිබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න අනාවරණය කරනු ලබයි. ඒ දීර්ඝ කාලයක් තිස්සේ මේ පිළිබඳව කරන ලද අධ්‍යයනවලින් අනතුරුවය.

1971 වසරේදී භූ විද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සේරුවාවිල ප්‍රදේශය ආශ්‍රිතව කරන ලද ගවේෂණයකදී අහම්බයෙන් යකඩ නිධියක් සොයා ගැනිණ. එහි තඹ තිබෙන බවට අනාවරණය වීමෙන් පසුව ප්‍රංශ රජයේ භූ විද්‍යා ආයතනය සමග වසර හතරක පහක පමණ කාලයක් ගවේෂණයක් සිදු කරනු ලැබුවේය. නමුත් තඹ සහ යකඩ ප්‍රමාණවත් පරිදි නොතිබීම නිසා එම ව්‍යාපෘතිය අත්හැර දැමීමට බලධාරීන් කටයුතු කරන ලදී. එම ප්‍රදේශය ආශ්‍රිතව ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් කිසිදු අධ්‍යයනයක් සිදු නොවුණද මෙම ප්‍රදේශය ආශ්‍රිතව මහාචාර්ය අතුල සේනාරත්න විසින් අධ්‍යාපනික වශයෙන් පර්‌යේෂණ රැසක් සිදු කළේය.

ඒ අනුව ඔහු ඇතුළු කණ්ඩායමක් සේරුවාවිල රත්තරන් පිළිබඳ අධ්‍යයන කටයුතු ආරම්භ කරනු ලැබුවේ 2018 නොවැම්බර් මාසයේදීය.

මෙරට ප්‍රධාන වශයෙන් භූ විද්‍යාත්මක කලාප දෙකක් පිහිටා ඇත. කඳුරට ශ්‍රේණිය සහ නැගෙනහිර උද්‍යාන ශ්‍රේණිය ලෙස මෙම කලාප දෙක හඳුන්වනු ලබයි. සේරුවාවිල පිහිටා ඇත්තේ මේ කලාප දෙක අතරය. මෙම කලාප දෙක අතර භූමියේ ඛනිජ සම්පත් බහුලව ඇති බවට විවිධ අදහස් ඉදිරිපත්ව තිබිණි. මෙහිදී මේ සම්බන්ධව සිදුකළ පැරණි පර්‌යේෂණ පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න පුළුල් අධ්‍යයනයක් සිදු කළේය.

ප්‍රදේශයේ ඛනිජ සම්පත් ස්වීඩනයේ කිරූනා ප්‍රදේශයේ ඛනිජ සම්පත් විහිදී ඇති ආකාරයට සමානව විහිදී ඇති බව එම අධ්‍යයනයේදී තහවුරු විය. ස්වීඩනයේ කිරූනා ප්‍රදේශය ආශ්‍රිතව යකඩ, තඹ, පොස්පරස් සහ රත්තරන් තිබෙන අතර ඒවා පිහිටා ඇත්තේද එකිනෙකට වෙන් වෙන්වය. පරීක්ෂණවලදී මේ සමානත්වය පිළිබඳ භූ විද්‍යාඥයන්ට තොරතුරු අනාවරණය කරගැනීමට හැකි විය.

‘‘මෙහිදී අපට තේරුම් ගියා පොළොවේ පාෂාණ නැවත දියවීමකට ලක්වෙලා ගලාගෙන ගොස් තැන් තැන්වල තැන්පත් වන බව. සේරුවාවිල ප්‍රදේශයේත් මෙවැනිම වූ ඛනිජ සැකසුමක් තිබූ නිසා රත්තරන්ද මෙම ස්ථානයේ පිහිටා ඇති බවට සැක මතුවුණා. 1971 වසරේදී ගවේෂණය කරන ලද ස්ථානයට වඩා මඳක් ඈතින් රත්තරන් තිබිය හැකියි කියා මම සිතුවා. ඉන්පසු එම ප්‍රදේශය ආශ්‍රිතව මේ සම්බන්ධව ගවේෂණය කරන්න භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයෙන් ගවේෂණ බලපත්‍රයක් 2016 වසරේ මුල් වකවානුවේ ඉල්ලා සිටියා. එය ලැබුණේ 2018 වසරේ නොවැම්බර් මාසයේදී. මෙම බලපත්‍ර ලබාගැනීමට ආයතන රැසකින් අවසරය ලබාගත යුතුයි’’ මහාචාර්ය අතුල සේනාරත්න පවසයි.

රත්තරන් ඇති බවට සැක කරන ප්‍රදේශය ඔවුන් මුලින්ම සිතියම් ගත කිරීමට ගවේෂණයක් සිදු කළ බවයි. මේ සඳහා සේරුවාවිල මංගල රජමහා විහාරස්ථානයේ නායක හිමියන්ගෙන්ද භූ විද්‍යාඥ කණ්ඩායමට විශාල සහයෝගයක් ලැබී ඇත.

මුලින්ම එම කණ්ඩායම වර්ග කිලෝමීටර් අටක ප්‍රදේශයක් සිතියම්ගත කර ඇත. ඒත් එය අසීරු කටයුත්තක් විය. අනතුරුව එක් ප්‍රදේශයක් තෝරාගෙන භූ භෞතික විද්‍යා ගවේෂණයක්ද සිදුකරන ලදී. එම අවස්ථාවේ සේරුවාවිල රජමහා විහාරස්ථානයට අතීතයේදී රජවරුන් පූජා කරන ලද ඉඩමක බටහිර උතුරු කෙළවරේ කොටසක විදුම් කටයුතු කර පාෂාණ සාම්පල ලබාගැනීමට භූ විද්‍යාඥ මහාචාර්ය අතුල සේනාරත්න ඇතුළු කණ්ඩායම තීරණය කර තිබිණි. මෙය අධික වියදම් වන කටයුත්තකි. විදුම් කටයුතු සිදු කිරීම සඳහා මීටරයකට වැයවන මුදල රුපියල් දහනව දහසකි. මෙම විදුම් ක්‍රමයේදී අඟල් දෙකක පමණ රවුමක් පොළොව අභ්‍යන්තරයට හෑරීම සිදුවේ. එහිදී සිලින්ඩරයක් ආකාරයට පොළොව අභ්‍යන්තර කොටස ඉහළට පැමිණෙයි. එලෙස විදීම සිදු කළ විට විවිධ පාෂාණ තට්ටු දක්නට ලැබී ඇත.

එම ගවේෂණය සඳහා විදුම් නවයක් සිදු කෙරිණි. එහිදී විදුම් අටක්ම සිදු කෙරුණේ මීටර් හැත්තෑවක්, අසූවක් පමණ ගැඹුරටය. නවවැනි විදුම මීටර් දෙසීයක් ගැඹුරට හාරන ලදී. මේ සෑම විදුම් කළ ස්ථානයකම නියැඳි ලබාගත් අතර දවසකට විදුම් කරනු ලැබුවේ මීටර් තුනක් ගැඹුරකටය. පාෂාණ තට්ටුවල තත්ත්වය අනුව මේ විදුම් කටයුතු සඳහා රුපියල් මිලියන හතළිහක පමණ මුදලක් වැය වී තිබේ.

විදුම් කර ලබාගත් සාම්පල මුලින්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ රසායන පර්‌යේෂණාගාරයට යොමුකර පුළුල් විශ්ලේෂණයක් සිදුකළ බව මහාචාර්ය අතුල සේනාරත්න කියයි. එම පාෂාණ සාම්පල බහුතරයක් තුළ රත්රන් විවිධ ප්‍රමාණවලින් තිබුණ බවට එහිදී අනාවරණය වී ඇත.

‘‘අපිට අවශ්‍ය වුණා ස්වාධීන රසායනාගාරයක් තුළදී මෙම පාෂාණ සාම්පල පරීක්ෂා කරගැනීමට. මැණික් හා ස්වර්ණාභරණ පර්‌යේෂණ ආයතනයේ සිදුකළ පරීක්ෂාවේදී ද මෙම සාම්පලවල රත්තරන් තිබෙන බව අනාවරණය වුණා. රත්තරන්වලට අමතරව තවත් සුවිශේෂී ලෝහ වර්ග රැසක් තිබෙන බවද මෙහිදී තහවුරු වුණා. මිනිරන්,යකඩ, පොස්පේට්, තඹ ආදියද මේ සාම්පලවල අන්තර්ගතයි. එමෙන්ම අධි තාක්ෂණික කටයුතු සඳහා යොදාගන්නා අති දුර්ලභ ලෝහ වර්ගද මෙහි අන්තර්ගත වුණා.’’

මේ සාම්පල තවදුරටත් පර්‌යේෂණ කිරීම සඳහා අයර්ලන්තයට සහ කැනඩාවටද කොටසක් යැවිණි. අයර්ලන්තයේ පර්‌යේෂණාගාරයකට යවන ලද සාම්පලවල රත්තරන් තිබෙන බවට තහවුරු වී තිබිණි.

‘‘අපි මෙම පාෂාණ පරීක්ෂණය සිදු කරනු ලැබුවේ වර්ග කිලෝමීටර් අටක කොටසකින් වර්ග කිලෝමීටරයක ප්‍රදේශයකයි. මේ සඳහා තවත් විදුම් කටයුතු සිදුකළ යුතු නමුත් විශාල වියදමක් දැරීමට සිදුවෙනවා. දෙවැනි අදියරට යෑම සඳහා තවත් විදුම් හතළිහක් පනහක්වත් සිදුකළ යුතු වෙනවා. මීටර් දෙසීයක් ගැඹුරු විදුම් දහයක්වත් සිදුකළ යුතු වෙනවා. මේ පරීක්ෂණ කටයුතු සඳහා අදාළ බලපත්‍ර සියල්ල අප ලබාගත්තේ මුදල් ගෙවලයි. මේ කටයුතු සඳහා අපට කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් ලැබුණේ නෑ, පුද්ගලික වශයෙන් මේ කටයුත්තට උනන්දුවක් තිබෙන අයගේ දායකත්වය නිසයි අපිට මේ පරීක්ෂණ කරන්න පුළුවන් වුණේ. ඉදිරි ගවේෂණ කටයුතු සිදු කරන්න රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා නම් එය ඉතා පහසුවක් වෙනවා. මෙරට ආර්ථිකයට විශාල පිටිවහලක් ලැබිය හැකි මේ ඛනිජ සම්පත් නිධිය අත්හැරීම සිදුකළ යුතු නෑ. මේ පිළිබඳව මම අවස්ථා කීපයකදීම සඳහන් කළත් කාගේවත් ඇස් ඇරුණේ නෑ.’’ මේ අයුරින් තවත් පළාත් කීපයකද පොළොව අභ්‍යන්තරයේ රත්තරන් තිබෙන බව මහාචාර්යවරයා පවසන්නේය. එම ස්ථාන මෙතෙක් විදුම් කර නොමැති අතර, නිරීක්ෂණය කරන ලද ස්ථානවල පාෂාණ, පස්, මැටි සාම්පල නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මේ බව තහවුරු කරගෙන තිබේ. එම ස්ථානවල තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා මහාචාර්යවරයා විසින් ගවේෂණ බලපත්‍ර ඉල්ලුම් කර ඇතත් ඒවා මෙතෙක් ලැබී නැත. 2001 වසරේදී මහාචාර්යවරයා සොයාගත් බුත්තල යපස් නිධිය වසර විස්සක කාලයක් ගතවීත් කිසිදු ප්‍රයෝජනයකට ගෙන නැත්තේ මෙවැනි දේශපාලනඥයන්ගේ විවිධ බලපෑම් නිසාය.

සාලිය කුමාර ගුණසේකර