විශේෂාංග

සු කී මුවාවෙන් මියන්මාර හමුදාවට තැළීම

ඇමරිකාවේ වොෂින්ටන් නුවර‍ඉගෙනීමේ කටයුතුවල යෙදෙමින් සිටි මරිනා බුටිනා නමැති රුසියානු තරුණිය රුසියානු ඔත්තුකාරියකැයි චෝදනා මත අත්අඩංගුවට ගැනුණි. රොයිටර් වාර්තාකරුවන් වශයෙන් පෙනී සිටිමින් මියන්මාර් රජය හා හමුදාව ගැන වැරදි වාර්තා සැපයූ බවට චෝදනා ලැබූ බුරුම ජාතිකයින් දෙදෙනෙකු පිළිිබඳ නඩු තීන්දුව යන්ගුන් අධිකරණය විසින් ප‍්‍රකාශ කිරීමට නියමිතය. සමාන සිද්ධි දෙකක් නමුදු මියන්මාරයේ සිද්ධිය ගැන බටහිර මානව හිමිකම් සංවිධාන කලබල වී  ද`ගලන අතර මාධ්‍යවේදීන් දෙදෙනා වහා නිදහස් කරන්නැයි මියන්මාර රජයට බලපෑම් එල්ල වේ.
සවුදි අරාබිය විසින් යේමනය අපායක් බවට පමුණුවා තිබේ. රෝහල්වලට හා පාසල්වලට පවා බෝම්බ හෙලනු ලැබේ. මිය යනවා හැර ඔවුන්ට පණ බේරාගෙන පලායන්නට තැනක් නැත. සවුදි අරාබියට ආයුධ සපයන්නේ ප‍්‍රංශය, බි‍්‍රතාන්‍යය හා ඇමරිකාව විසිනි. ඔවුහු සවුදි අරාබියේ හමුදාවද පුහුණු කරති. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම යේමනයේ විනාශය දැක දැක මියන්මාරයට ඇ`ගිල්ල ඔසවයි. බටහිර රටවල වෙසෙන ඇතැම් මානව හිතවාදියෝ අවුසන් සු කීට පිරිනැමුණු නෝබල් තෑග්ග ආපසු ගත යුතු යයි යෝජනා කරති.

බටහිර මාධ්‍ය සහ මානව හිමිකම් සංවිධාන නොකී කතාවක් මියන්මාර වැසියෝ කියති. ඊට අනුව බංගාලි දේශයේ සිට නීත්‍යනුකුල නොවන මාර්ගවලින් මියන්මාරයට සංක‍්‍රමණයවූ විශාල මිනිස් හමුදාවක් රකින් ප‍්‍රදේශයේ විසූහ. ඔවුන්ට මියන්මාර ජනතාවගෙන් විරෝධයක් මතු වූයේ නැත. අවුල ඇතිවූයේ රකින් ප‍්‍රදේශය අයිඑස් ත‍්‍රස්තවාදීන්ගේ රහස් මූලස්ථානයක් වූ පසුවය. ඊට සම්බන්ධ වූවෝ,’අරකන් රොහින්ග්‍යා සැල්වේෂන් ආමි’ නමින් ත‍්‍රස්ත සංවිධානයක් පිහිටුවූහ.
ඔවුහු එහි විසූ හින්දුන්ට පහර දුන්හ. මරා දැමූහ.බියට පත්හින්දු ජනයා ප‍්‍රදේශයෙන් පලා ගියහ. ඊළ`ගට රොහින්ග්‍යාවරු රකින් ඉස්ලාම් භූමියකැයි පවසමින් බෞද්ධයන්ට සහ ඔවුන්ගේ සිද්ධස්ථානයන්ට පහර දෙන්නට වන්හ. ඒ ගැන සෙවීමට ඉදිරිපත් වූ පොලිසියට පහර දුන්හ.පොලිස් ස්ථාන ගණනාවක් විනාශ කළහ. ත‍්‍රස්තවාදීහු හමුදා කණ්ඩායම්වලට පහරදීමට තරම් එඩිතර වූහ.එහි ප‍්‍රතිඵලය වූයේ කෝලහාල සිදුවී රකින් ප‍්‍රදේශයේ විසූ මුස්ලිම් පවුල් විශාල සංඛ්‍යාවට ආපසු බංගාලි දේශයට බලා පලායන්නට සිදුවීමයි.
රකින් අර්බුදය ගැන තොරතුරු සොයන්නන් කාලයක පටන් මියන්මාරයේ ‘රෙජීම මාරුවක්’ සඳහා බටහිර රටවල් උත්සාහ දැරූ බව පිළිගත යුතුවේ. මියන්මාර්ය චීනයට යාබද පිහිටි, චීනයට පක්ෂපාතී රටක්වීම ඊට හේතුවයි. ථෙරවාදී බෞද්ධ රටක් වීමද හේතුවක් යයි එරට වෙසෙන භික්ෂුන් වහන්සේ පවසති. බලවත් උත්සාහයකින් පසුව අවුසන් සු කී බලයට පත්කිරීමට බටහිර රටවල් සමත් වූහ. නමුත් රාජ්‍ය පාලන කටයුතුවලින් හමුදාව ඉවත් කිරීමට නොහැකි විය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම රොහින්ග්‍යා ජන සංහාරයක් සිදුවූ බව කියමින් චෝදනා එල්ල කරන්නේ මියන්මාර් හමුදාවේ ප‍්‍රධාන නිලධාරීන් පිරිසකටය. ඔවුන් කණස්සලූ වන්නේ, සු කී ඔවුන්ට වුවමනා කතාව නොකියා මියන්මාරයේ සිදුවූයේ ත‍්‍රස්තවාදය මර්දනය කිරීමක් බව පැවසීමයි.
සු කිට දුන් නෝබල් තැග්ග ආපසු ගත යුතු යයි බටහිර ඇතැම් ප‍්‍රධාන පුවත්පත්වල ලිපි පළ වී තිබුණි. ඇමරිකාවේ ජනාධිපති බැරැුක් ඔබාමාට සාමය සඳහා නෝබල් තෑග්ග හිමිවිය. ලිබියාව වැනසීම ඔබාමා ජනාධිපති කාලයේ සිදුවූවකි. එය මෙහෙයවූයේ ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් කිහිපයකි. ලිබියාවේ රාජ්‍ය නායකයා ප‍්‍රසිද්ධියේ මරා දමනු ලැබුවේය. ගඩාපිගේ මරණයෙන් පසුව ලිබියාව යුද්ධ බිය පැතිරුන, ත‍්‍රස්තවාදය හිස එසවූ අරාජික රටක් විය. එහි වැසියෝ පණ බේරාගැනීමට දිවි පරදුවට තබා රටින් පනිති.
සාමය පිළිබඳ නෝබල් තෑග්ග ඇමරිකාවේ රාජ්‍ය ලේකම්වරයා වූ හෙන්රි කිසිංගර්ට හිමිවූයේ ඔහු උතුරු වියට්නාමය හා ඇමරිකාව එකතු කළ සාම දුතයා වශයෙනි. මේ අතරකිසිංගර්ගේ අනුදැනුම ඇතිව ඇමරිකානු හමුදා කාම්බෝජයට බෝම්බ දැමීම ප‍්‍රසිද්ධ සිද්ධියකි. පලස්තීන විමුක්ති හමුදාවේ නායක යසර් අරපත් ද නොබල් සාම තෑග්ග ලැබූවෙකි. ඔහුට නෝබල් තෑග්ග ලැබුණු පසුවද විමුක්ති හමුදාව ඊශ‍්‍රායලය සමග ගැටුණේය. ඔබාමාගේ කිසිංගර්ගේ හෝ යසර් අරපත්ගේ නොබල් තෑග්ග ආපසු ගැනීමට කිසිවෙකු ඉදිරිපත් වූයේ නැත.
ඩේවිඩ් ඇන්තනී