විශේෂාංග

සුළු වරදකින් දරුවකු සිටින දාහත් වියැති දියණියට සුදුසු මනාලයකු පියා සොයයි!

හේන්පිටගෙදර ඥානසීහ හිමියන් මෙරට දේශපාලන ඉතිහාසයේ කතාබහට ලක් වූ චරිතයකි. 56 පෙරළියේ මෙන්ම බණ්ඩාරනායක මැතිනිය දේශපාලනයට ගෙන ඒමේ සටනට සක්‍රියව දායක වූ චරිතයක් නම් ඥානසීහ හිමියන්ය. පාතකඩ භික්ෂු අධ්‍යාපන විද්‍යාලය ගොඩනගන යුගයේ එහි වූ බෝ රුකකට දිනපතා වයසක මවක බෝධි පූජාවක් පවත්වනු උන්වහන්සේට දැකගත හැකි විය. දිනක් උන්වහන්සේ වයසක මෑණියන් කැඳවා බෝධි පූජාව පැවැත්වීමට හේතුව ඇසීය.

එකල මේ ප්‍රදේශයේ කුල භේදය දරුණු ලෙස තිබුණු යුගයකි. මේ වයසක මාතාව ‘උණ්ඩියා’ නම් කුලහීන යැයි කියා පුද්ගලයකුගේ ඇඹේණිය විය.

‘‘අනේ හාන්දුන්නේ ලොකු දුවට කටයුත්තක් හරියන්ටෙයි කියලා බෝධි පූජාව තියන්නේ.’’
‘‘ඉතිං කපුවෙක්ට එහෙම කියලා බැලුවෙ නැතය?’’

‘‘අවසරයි හාන්දුන්නේ, ඉතිං කසාදයක් කර ගන්නකොට කෙල්ල ලස්සන වුණත් කුලමල එහෙම පරහකට හිටිනව නෙව.’’
‘‘ඉතින් යෝදියේ මොන හත්ඉලව්වකටද මේ බෝගහට වතුර වත්කර කර ඉන්නේ. පත්තරේ මංගල දැන්වීමක් දාලා හිටහන්!’’

හේන්පිටගෙදර ඥානසීහ හාමුදුරුවන්ගේ චරිතාපදානයේ සඳහන් කරන පරිදි මේ කියන සිද්ධියේ සිංහල බලවේගවලට නායකත්වය දුන් චරිතයක් නම් ‘දියෙස්’ ලාය. සිංහල පවුල්වල තරුණියන් කුල ප්‍රශ්නය, දෑවැදි ප්‍රශ්නය, දරිද්‍රතාව ආදී ප්‍රශ්න නිසා ගෙදරට නාකිවන හැටි ගැන ඥානසීහ හිමියන් වරක් ඩී. බී. ධනපාලට පවසා ඇත.

ඥානසීහ හිමියන් කියූ කරුණ ධනපාලයන්ගේ මතකයේ සුවිශේෂී තැනක පැලපදියම් විය. ඩී. බී. ධනපාල යනු මෙරට පත්‍ර ලොවේ විවිධ අත්හදා බැලීම් කළ පුද්ගලයෙකි. මේ යුගයේ ධනපාල මහතා ‘දවස කොම්පැනිය’ පටන් ගත් යුගයයි. තම අදහස ක්‍රියාවට නැංවීමට අවසානයේ ධනපාල මහතා කර්තෘ මණ්ඩලයේ අවිවාහක පැඟිරන් කීප දෙනකු තම කාමරයට කැඳවන ලදී. ධනපාල මහතාගේ කාමරයට ඇතුළුවන ‘බාබර් සාප්පු දොර’’ ඇරගෙන එකිනෙකා ඇතුළු වූයේ විමතියෙනි. මේ සිදුවීම ගැන අද මතක් කරන්නේ එදා හොඳ ගැටවරයකු වූ පුවත්පත්කලාවේදී ආතර් යූ. අමරසේනය. ඔහු කියන පරිදි කොළඹ මිහිඳු මාවතේ ‘දවස’ කොම්පැනියේ ධනපාල මහතාගේ කාර්යාලයට තරුණයන් 20 ක් පමණ රැස්කොට ඇත. පැමිණි පිරිස දෙස ධනපාල මහතා සිනාසෙමින් බලා ඇත්තේ පීකොක් සිගරැට්ටුවක් විනාඩියට අඟලක් වේගයෙන් උරමිනි. ෆිල්ටරය නැති සිගරට් කොටය ‘සිගරට් අළු බඳුනේ චප්ප කර දැමූ’ ධනපාල මහතා තරුණ පිරිස අමතන්නට විය.

‘‘අයිෂේ, තමුසෙලා බැඳලා නෑනේ. තමුසෙලා විවාහ වෙන්න කැමැති ළමයාගේ වයස, කුලය, උසමහත, කෙට්ටුද, නැතිනම් තමුසෙලා කැමැති ඔක්කෝම වචන විසිපහකින් විතර ලියනවා. මොකෝ තමුසෙලා දැනටමත් ‘එන්ගේජ්’ වෙච්ච කට්ටිය ඉන්නවද බයවෙලා බලං ඉන්නේ. නම් ගම් දාන්නේ නැහැ. පත්තරේ බාරේ දැන්වීම පළ කරන්නේ.’’

අමරසේන මහතා කියන පරිදි ධනපාල මහතාගේ ඉල්ලීම අසා බොහෝ දෙනකු සිනා සී ඇත. ඊළඟ රිවිදින පුවත්පතේ මංගල යෝජනා තීරයක් පළ කරමින් ලංකා පත්‍ර කලා ඉතිහාසයේ ප්‍රථම මංගල යෝජනා දැන්වීම් අතිරේකය ඩී. බී. ධනපාලයන් විසින් අරඹන ලදී.

ධනපාලයන්ගේ ‘මංගල යෝජනා’ තීරයේ මෙරට පුවත්පත් කලාව උඩු යටිකුරු කරන්නට සමත් විය. ඒ නිසාම දවස කොම්පැනියට නමක් තැබීමට එච්. පී. එස්. රත්නවීර හා රිචඩ් විජේසිරි ඇතුළු ‘ඇත්ත’ පුවත්පතේ උදවිය කටයුතු යොදා තිබුණි.

එවකට ලංකාවේ ප්‍රධාන වශයෙන් වාණිජමය මට්ටමින් පුවත්පත් මුද්‍රණය කළ ආයතන තුනකි. ‘ඇත්තේ’ රත්තන් බේරේ වැව ළඟ තිබුණ නිසා ලේක් හවුසියට කිව්වේ බේරේ ගෙදරය. කොටුවේ තිබුණ පරණ ‘ටයිම්ස් ලංකාදීප’ කොම්පැනියට ඔවුන් බෞතිස්ම කළ නාමය ‘සමයං ගෙදර’ය. සමයං යනු සමයම නොහොත් හෝරාව යන අරුත සිංහලයෙන් දෙන Times නාමයයි. අලුතින්ම බිහි වූ දවස කොම්පැනියට ඇත්තේ රත්තන් තැබූ නාමය ‘මඟුල් ගෙදර’ය. ඒ කවුරුත් පත්තරයක භාර නොගන්නා ‘මංගල යෝජනා’ දැන්වීම් පළ කරන බැවිනි.

ධනපාල මහතා නමෝවිත්තියෙන් පළ කළ මංගල යෝජනා සියල්ලටම පාහේ හැරෙන තැපෑලෙන් පිළිතුරු ලැබෙන්නට විය. අමරසේන මහතාට ලැබුණු මංගල යෝජනා ගණන 300 කට අධික විය.

අමරසේන මහතාට එවා තිබූ මංගල යෝජනා අතර බත්තරමුල්ල පැත්තේ වීරකෝන් යුවළ එවා තිබූ මංගල යෝජනාව අමරසේන මහතාගේ සිත් ගෙන තිබුණි. එහි කේන්ද්‍ර පිටපතද අමුණා තිබූ අතර එය ‘ටකේට’ ගැළපෙන බව ඒවා බැලූ නක්ෂත්‍රකරුවා පවසන්නට විය. වීරකෝන් යුවළගේ දියණියගේ නම ශ්‍රියානි වීරකෝන් නම් විය. ලංකා පත්‍ර කලා ඉතිහාසයේ පළමු පළ වූ මංගල යෝජනා දැන්වීමේ ආනුභාවයෙන් පුවත්පත් කලාවේදී ආතර් උස්මීයගේ අමරසේන තරුණයා හා සුරූපී ශ්‍රියානි වීරකෝන් තරුණිය මංගල පෝරු මස්තකප්‍රාප්ත වන්නට වූයේ මෙරට පත්‍ර කලාවේ නොමැකෙන සිහිවටනයක් ලෙසය. ප්‍රසිද්ධ නිළියන් සමග විවාහ වන පුද්ගලයන් බොහෝ විට කරන්නේ තම බිරිඳ නිළි වෘත්තියෙන් මුදවා ගෙදරට කොටුකර ගැනීමය. ඒත් අමරසේන මහතා කළේ තම බිරිඳට මනා ලෙස කලා කටයුතුවල දිගු ගමනක් යාමට ආශිර්වාද කිරීමය. ශ්‍රියානි වීරකෝන් ඉන්පසු කලා ලොව හඳුනා ගන්නේ ශ්‍රියානි අමරසේන නම් වූ ප්‍රතිභාපූර්ණ කලා ශිල්පිනිය ලෙසය.

මංගල යෝජනා පළ කරන අතරම එම මංගල යෝජනාවලින් ‘සැට්’ වූ ජෝඩුවල මංගල පින්තූරයද ලොකුවට දැමීමට ධනපාල මහතා පියවර ගෙන තිබුණි. ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නම් ඇති පුද්ගලයන්ගේ මංගල ඡායාරූප පළ කිරීම නිසා විවිධ ප්‍රශ්න ඇති වූ අවස්ථා ද තිබුණි.

වරක් ජාතික ලේඛනාගාරයේ ඇති ඉපැරණි පුවත්පත් අතර වූ අලුත විවාහපත් ජෝඩුවකගේ ඡායාරූපය මවිතයට පත් කරන එකක් විය. ඡායාරූපය යටින් නුගේගොඩ ගුණදාස ලියනගේ සහ මනාලිය ලෙස සඳහන් විය. පසුදින පළවූ දවස පත්‍රයේ දැන්වීමක මෙසේ සඳහන් විය.

‘‘ඊයේ ‘රිවිදින’ පුවත්පතේ නුගේගොඩ ගුණදාස ලියනගේ ලෙස පළ වූ ඡායාරූපයේ පෙනී සිටින්නේ මා නොවන බව දැනුම් දෙමි.

– ගුණදාස ලියනගේ
යනුවෙන් එහි සඳහන් විය.

කර්තෘ මණ්ඩලයේ මංගල යෝජනා පළ කළ පසු ‘රිවිදින’ පුවත්පතට මංගල යෝජනා ගලා එන්නට විය. නමුත් පත්තර කලාවේ නව අත්හදා බැලීමක් නිසා ඒවා සියල්ලද ධනපාල මහතාගේ අනුමැතියට යොමු විය යුතු විය. දිනක් එක් මංගල යෝජනාවක් දැක ධනපාල මහතා, එම දැන්වීමේ ඇති එක් වාක්‍යයක් යටින් රතු පෑනෙන් ඉරක් ඇඳ මහානාම දිසානායකයන් තම කාමරයට ගෙන්වා ගන්නට විය.

ධනපාල මහතා රතු පෑනෙන් ඉරක් ඇඳ තිබූ පාඨය මෙවැන්නකි.
‘‘තහනම් පෙමක් නිසා අනාථව සිටින තම නැගණියට සුදුසු සහකරුවෙකු රජයේ සේවයේ නියුතු අයියා සොයයි.’’
‘‘මහානාම මේවා දැන්වීම් වුණාට Light Reading- ඕනෑ කෙනකුට කියවලා බලන්න පුළුවන් වෙන්න ඕන. ධනපාල මහානාමට යෝජනා කළේ එම වැකිය වෙනුවට වෙනත් වාක්‍යයක් යෝජනා කරන ලෙසය.

ටික වේලාවකින් මහානාම දිසානායක තම යෝජිත වචනය ධනපාල කන තැබුවේ දුරකථනයෙනි. මහානාම වචන තුනකින් තම අදහස ප්‍රකාශ කළේ ය. මෙම වචන තුන අදත් ජීවමානය. එම වාක්‍යය ‘වරදට සමාව දෙන’ නම් විය.
මේ වරදට සමාව දෙන වාක්‍යය අදත් මංගල යෝජනා දැන්වීම්වල දක්නට ඇත. මෑතකදී පළ කළ මංගල යෝජනාවක මෙසේ සඳහන් විය.

‘‘සුළු වරදකින් දරුවකු සිටින 17 වියැති ළාබාල දියණියට වරදට සමාව දෙන සහකරුවකු රජයේ සේවයේ නියුතු පියා සොයයි.’’
මේ මංගල යෝජනා හේතුවෙන් නොදැනුවත්කමින් අගතියට පත් වූ තරුණියන් පවා ඇත. පසුගිය පුවත්පතක මෙවැනි වංචාවක් වාර්තා කොට තිබුණේ මෙසේය.

වෘත්තියෙන් ප්‍රංශයේ පදිංචි ඉංජිනේරුවරයකු ලෙස පෙනී සිටිමින් පුවත්පත්වල මංගල යෝජනා පළ කර ඇති තරුණියන්ගේ නිවාසවලට ගොස් රුපියල් ලක්ෂ ගණනක් වංචා කළ විවාහ කීපයක දරුවන් සිටින, එළවළු වෙළෙන්දකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කළුතර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

තමා ප්‍රංශයේ පදිංචි ඉංජිනේරුවකු බව පවසා මනාලිය බැලීමට නවීන පන්නයේ මෝටර් රථයකින් පැමිණ ඇති මොහු මනාලියව උපක්‍රමශීලීව තම රථයේ නංවාගෙන ගොස් විවාහයෙන් පසුව ඇයව ප්‍රංශයට කැඳවාගෙන යාම සඳහා වීසාවලට යැයි කියමින් බැංකු ගිණුමෙන් රුපියල් 5,52,000 ක මුදලක් ගෙන පලාගොස් ඇතැයි පොලිසිය අධිකරණයට වාර්තාකර තිබුණි.
මෙවැනි දැන්වීමක් නිසා තරුණියක අගතියට පත් වුවහොත් පුවත්පතට එරෙහිව නඩු පැවරූ අවස්ථා ලෝකයේ වාර්තා වුවත් ලංකාවේ නම් ඒවා තවම වාර්තා වී නැත. එදා මොනතරම් මේ මංගල දැන්වීම් පළ කිරීමේදී Non Marriage Certificate අවශ්‍ය බවට ලංකාවේ නීතියක් නැත.

හැට දශකය අග භාගයේ සිට අසූව දශකය තෙක් මංගල යෝජනාවල බොහෝ විට දකින්නට අැති වචන නම් ‘යුරෝපීය ඇඳුමැති’ දොස්තරවරයකු, ඉංජිනේරුවකු වැනි වචනයි. එහෙත් අද මංගල යෝජනා දැන්වීම්වල ඊමේල් ලිපිනවලින් නොනැවතී ජංගම දුරකථන අංක පවා ඇත.

මේ මංගල යෝජනා කරන තැන්වලට ගොස් ඇති තරම් කා බී විනෝදවන තරුණයන් ගැනද විටින්විට එවක පුවත්පත් වාර්තාකොට තිබුණි. කඩවසම් තරුණයකු, කුලියට අම්මා තාත්තා ආදී ඥාතීන් රැගෙන මේ ගමන් ගොස් ඇති බව එම පුවත්පත් නිරීක්ෂණයේදී පෙනී යන කරුණකි. එහෙත් එවැනි වාර්තාවල එම යෝජිත මනමාලයා වංචනිකයකු ලෙස වාර්තාකොට නැත. විවාහ ගිවිස නොගැනීම හා මෙම මනමාලයා අවිවාහකයකු වූ නිසා කා බී ගියාට විරුද්ධව පොලිසියට ගත හැකි පියවරක් නැත. ‘විනෝදයට නොලියන්න’ යැයි මේ මංගල යෝජනාවල පළවන්නට වූයේ ඉන් පසුවය.

එදා මෙදාතුර මංගල දැන්වීම් පිරික්සීමේදී පෙනී යන්නේ යෝජිත මනාලියන්ගේ ප්‍රමාණය වැඩි බවය. අද බොහෝ මංගල යෝජනාවල කුලය ගැන සඳහන් වේ. බොදු ගොවි, බොදු සලාගම, කරාව ලෙස ඒවා ඍජුවම අද දක්නට ඇත. විවාහ දැන්වීම්වලදී ජ්‍යොතිෂය ප්‍රධාන සාධකයක් වී ඇති බව පැහැදිලිව පෙනෙන කරුණකි. කුජ 8 ට ගැළපෙන, මා මුල නැකත විශේෂයි. කුජ දෝෂ සහිතයි යනුවෙන් ඒවා සඳහන් වේ. බොහෝ මනාලියන්ගේ දැන්වීම්වල එක ප්‍රධාන සාධකයක් ලෙස දැකිය හැක්කේ සුරා සූදුවෙන් තොර මනමාලියන්ට ඇති ඉල්ලුමයි. හැත්තෑව දශකයේ සිට වර්තමානය වනතුරු ද දශක පහක් වැඩිම ඉල්ලුමක් ඇත්තේ ඒ හේතු පාඨයටය. මනාලියන්ගේ දැන්වීම්වලින් දශකයක් තුළ දික්කසාද දැන්වීම් ප්‍රමාණාත්මකව ඉහළ ගොස් ඇත.

මෙම දැන්වීම් අතර අරුම පුදුම දැන්වීම්ද අැත. පසුගියදා එක් මංගල යෝජනාවක් දෙමාපියන් පළකොට තිබුණේ 1984, 1988, 1989 සහ 1990 උපන් දියණියන් සිව් දෙනාට එකවර මනාලයන් සොයන්නටය. බින්න ක්‍රමයට සලකා බැලේ යනුවෙන් තවමත් මංගල යෝජනා පළ කෙරෙන අතර ගිය සතියේ එක් මංගල යෝජනාවක වූයේ කෙටි විවාහයකින් ඉවත් වී කතෝලික සභාවෙන් නැවත විවාහයකට අවසර ලබා ඇති බවය. මුස්ලිම් තරුණියන්ගේ මංගල යෝජනා නම් මේ මංගල දැන්වීම් අතර හමුවන්නේ කලාතුරකිනි. ප්‍රේමතිලක මාපිටිගම විසින් මෙරට දික්කසාද කොමිසමේ සේවය කළ කාලය අළලා ‘සාර්ථක විවාහයට මග’ නම් කෘතියක් වාර්තා කොට ඇත. එහෙත් මේ මොන කොමිසමකවත් ලංකාවේ මංගල යෝජනා ගැන නම් කරුණු විමසූ බවට වාර්තා වී නැත.

වජිර ලියනගේ