කතුවැකි

සුබ නව වසරක් වේවා!

අද නව වසරක ආරම්භක දිනයයි. ජනවාරි පළමුවැනිදා උත්සවශ්‍රීයෙන් සැමරීම බටහිර චාරිත්‍රයක් වුවත් දැන් එය අපගේද චාරිත්‍රයක් බවට පත්ව තිබේ. ජනවාරි 01 දා සැමරීමේ සම්භවය කෙසේ වුවත්, එය කාට අයිති චාරිත්‍රයක් වුවත්, අප එය සමරන්නේ ශ්‍රී ලාංකීය සංස්කෘතික ලක්ෂණ ද සමගය. සිංහල, දෙමළ අලුත් අවුරුද්දට සේම ළිප් බැඳ ගිනි මොලවා කිරි උතුරුවන අප නව වසර ආරම්භ කරන්නේ කිරිබත් අනුභවයෙනි.

ජනවාරි 01 වැනිදා බොහෝ බටහිර රටවලට නිවාඩු දිනයක් වුවත් අප එදින සලකන්නේ වැඩ කළ යුතුම සුබ දිනයක් ලෙසිනි.

ජනවාරි 01 දා සැමරීම අපට වැදගත් වන්නේ මේ නිසාය. ඒ දිනය අපට හුදු සැමරීමේ දිනයක් නොව අපගේ ජීවිත අලුත් කර ගන්නට ප්‍රවේශයක් සලසන අවස්ථාවකි. මෙවැනි අවස්ථාවකින් අප පෞද්ගලිකව අපගේ ජීවිතවලට එක්කර ගන්නා නැවුම් හැඟීම පෙරළා සමස්ත සමාජයට නව ජීවනයක් එක් කිරීමට හේතු වන්නේ නිතැතින්මය.

2020 වසර නව වසර උදාවට වෙනත් වසරක ආරම්භයට වඩා සුවිශේෂීත්වයක්ද හිමිය. 2020 නව වසරත් සමග නව දශකයකද ආරම්භය සිදුවන බැවිනි. නව වසරක උදාව අපට ගෙවී ගිය වසරේ අත්දැකීම් සමාලෝචනයකට අවස්ථාව සලසා දෙන අතරේ නව වසර ගැන සුබවාදී ආකල්පයකින් සැලසුම් කරන්නට අවස්ථාව උදාකර දෙනු ලබයි. 2020 වසර උදාව අපට ගෙවී ගිය 365 දිනක පමණක් නොව ගෙවී ගිය දශකයකම අත්දැකීම් සමාලෝචනය කරගන්නට අවස්ථාව උදාකර දී තිබේ. මේ නිසා ඉදිරි දින 365 හෙවත් 2020 වසර වඩාත් පැහැදිලිව හා තිරසාරව සැලසුම් කරගන්නට අවස්ථාවක් හිමිව ඇත.

නව වසරක උදාව අපට සිහිපත් කරවන තවත් වැදගත් කාරණයක් තිබේ. එනම් අප ජීවත්වන්නේ සමූහයක, සමාජයක වන අතර, අප විසින් ඉටුකළ යුතු සමාජයීය යුතුකම් සහ වගකීම්ද ඇති බවය. මේ යුතුකම් හා වගකීම් පවුල් සංස්ථාවේ සිට සමස්ත රට දක්වාම විහිද යන්නේය. ගෙවී ගිය වසරේ මෙන්ම ගෙවී ගිය දශකයේම අප පෞද්ගලිකව ලැබූ ජය පරාජයන් සේම රටක් ලෙස, සමාජයක් ලෙස ලැබූ ජය පරාජයන්ද ඇත්තේය.

මේ නිසා නව වසරේ අපගේ ප්‍රාර්ථනාවන්, අරමුණු, ඉලක්ක සටහන් කර ගැනීමේදී ඒ ගැනද අවධානය යොමු කළ යුතුව තිබේ. තනි තනි පුද්ගලයන් ලෙස අපට සාර්ථකත්වයක් අත්කර ගැනීමට අප ජීවත්වන පරිසරයද වැදගත් වන බැවිනි.

නව වසරේ අපගේ පෞද්ගලික ප්‍රාර්ථනා, අරමුණු, අපේක්ෂා එකිනෙකට වෙනස් විය හැකිය. නමුත් රට ගැන, අපගේ සමාජය ගැන අප සියලු දෙනාගේ ප්‍රාර්ථනයද, අරමුණද අපේක්ෂාවද විය යුත්තේ එකකි.

පසුගිය වසරේ සේම පසුගිය දශකයේද අප රට බොහෝ අභියෝගයන්ට අසීරුතාවන්ට මුහුණ දී තිබේ. අවමානයන්ට, නින්දාවන්ට සේම අපහාසයන්ට ලක්ව තිබේ. කනගාටුවට කරුණ වන්නේ අප රටේම ඇතැමුන් රට ගැන එවැනි ආකල්පයන්ගෙන් යුක්ත වීමය. මේ අය කල්පනා කරන්නේ මේ රට ජීවත් වීමට ඇති නරකම රට ලෙසය.

මේ නිසා තරුණ පරම්පරාවේ ඇතැමකු බලා සිටින්නේ කුමන හෝ ආකාරයකින් රටින් පිටව යන්නට අවස්ථාවක් එනතුරුය.

රට වෙනුවෙන් අපට කළ හැකි ලොකුම සේවය නම් මෙවැනි අයහපත් ආකල්පයන්ගෙන් බැහැර වීමය. නව වසරක උදාව ඒ සඳහා හොඳ අවස්ථාවකි. රට ගැන, සමාජය ගැන අපේම අසල්වැසියා ගැන නිතරම අයහපත් සිතුවිල්ලෙන් යුතු වීම, පළමුව විනාශ කරන්නේ අපමය. ඒ නිසා එවැනි අසුබවාදී, සිතුවිල්ලෙන් බැහැරවීම තමන් ගැන සිතා හෝ කළ යුතුම කාර්යයකි. අප නව වසරක උදාවේ සුබ පතන්නේ සුබ නව වසරක් වේවා යනුවෙනි. එහෙත් කෙනකු අපට සුබ පැතූ පමණින් අපගේ නව වසර සුබ වන්නේ නැත. වචන යථාර්තයක් කරගත යුත්තේ අප විසිනි. ඒ සඳහා පළමු පියවර තැබිය යුත්තේ සුබ සිතිවිලි ඇති කර ගැනීමෙනි.