විශේෂාංග

සුනාමිය දා මහමෝදර රෝහලේදී මෙලොව එළිය දුටිමි

දිනය දෙදහස් හතරේ දෙසැම්බර් විසිහය වැනිදාය. දරු ප්‍රසූතියට මහමෝදර ශික්ෂණ රෝහලට ඇතුළු වී සිටි ගැබිනි මවුවරු කීපදෙනෙක් එදින ඉර පායන්නටත් පෙර සූතිකාගාරයට යමින් සිටියෝය. සූතිකාගාරය ඇත්තේ රෝහලේ දෙවැනි මහලේය. රෝහල් තාප්පයෙන් එවිට ඇත්තේ ගාලු කොළඹ ප්‍රධාන පාරය. එම පාරේන් එහා ඉන්දීය සයුරු දියවරය.

හැමදාමත් හිමිදිරියෙත් සැන්දෑයාමයෙත් වාට්ටුවලට එබිකම් කර නික්ම යන ඉර පායන්නෙත් බැස යන්නෙත් මේ සයුර දියවර මතිනි. එබැවින් මහමෝදර රෝහලේ ගැබිනි මවුවරුන්ට රෝහල ඉදිරියෙන් වූ මහ සයුර අමුත්තක් නොවීය.

මුහුදුකරේ අම්බලන්ගොඩ උපන් ෂෙහාරා මධුවන්තිටද මහමෝදර රෝහල ඉදිරියෙන් වූ මහමුහුද අරුමයක් නොවීය. දෙදහස් හතරේදී ෂෙහාරාට වයස අවුරුදු විසිහතරකි. එකල ඇය කුලුඳුල් දරු ප්‍රසූතියට සූදානමින් සිටියාය. ඇගේ සැමියා සූජීව එගොඩගේය. ඔහු ග්‍රාම නිලධාරියෙකි. ඔවුන් පදිංචිව සිටියේ අම්බලන්ගොඩ පෝරඹය. ​ෂෙහාරා කුලුඳුල් දරු ප්‍රසූතිය වෙනුවෙන් මුලින්ම සායනයට ගියේ බලපිටිය මූලික රෝහලටය. ඇයට දෙදහස් හතරේ දෙසැම්බර් විසි හයවැනිදා දරුවා ලැබෙනු ඇති බවට ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයා දින තීන්දු කළේය. ඒ සමග ඔහු කීවේ බිලිඳා ගැනීමට සිදුවනු ඇත්තේ සීසේරියන් සැත්කමකින් බවය. එය ඇසූ ෂෙහාරා බියට පත් වූවාය. ඇය බලපිටියේ රෝහල වෙනුවට වැඩි පහසුකම් ඇති මහමෝදර ශික්ෂණ රෝහල තෝරා ගත්තේ එබැවිණි. මාතෘ රෝහලක් වන්නට පෙර එය ගාල්ලේ ප්‍රධානම රෝහලද විය. කරාපිටිය ශික්ෂණ රෝහල ඉදිකළ පසුව මහමෝදර රෝහලේ මාතෘ ඒකකය හැර අනෙකුත් සියලු අංශ කරාපිටියට රැගෙන ගියේය. එතැන් සිට මහමෝදර ශික්ෂණ රෝහල දකුණු පළාතේ ප්‍රධානම මාතෘ රෝහල විය.

නෙත්මි අවුරුදු 3 1/2 දී

ෂෙහාරා මධුවන්ති මහමෝදර ශික්ෂණ රෝහලට ඇතුළු වන්නේ දෙසැම්බර් විසිපස්වැනිදා උදේය. සිසේරියන් සැත්කමකින් බිලිඳා ගන්නා බව මුලින් කියා තිබුණද වෛද්‍යවරුන් එදින නිගමනය කර තිබුණේ ඇය ස්වාභාවිකව දරුවා බිහි කරනු ඇති බවය. ඒ අනුව දෙසැම්බර් විසිහය වැනිදා පාන්දර පහට පමණ ෂෙහාරා සූතිකාගාරය වෙත රැගෙන ගියාය.

‘‘ඒ වෙන​කොටත් මගේ වෝටර් බෑග් එකත් ගැහිලා තිබුණේ. මට හිතුනා නෝමල්ව දරුවා ලැබෙයි කියලා. මට හරිම සතුටක් දැනුණා. ඒත් උදේ හයහමාර වෙනතුරුම මට දරුවා ලැබුණේ නැහැ. ඒ වෙලාවේ තමයි මට ඇහුණේ මගේ මහත්තයාගේ කටහඬ. මහත්තයාට නර්ස් කෙනෙක් කිව්වා දරුවා බලන්න දවල්ට එන්න කියලා. උදේ හතයි පහට මට දුවෙක් ලැබුණා. අපි කලින් ස්කෑන් කරල බලලා දැනගෙන හිටියා මට හම්බ වෙන්නේ දුවෙක් කියලා. මං ළඟ හිටිය ලේඩි ඩොක්ටර් මට දරුවා පෙන්නුවා. දරුවා සනීපෙන් සිටින බව නර්ස් කෙනෙක් කීවා. ඒ වෙලාවේ ලේබර් රූම් එකේ හිටියේ මමයි තවත් අම්මා කෙනෙක් විතරයි…..’’ ‘‘ඒ අම්මාට මට කලින් දරුවා ලැබිලා හිටියෙ. මම දරුවා ලැබිලා සෑහෙන වේලාවක් ලේබර් රූම් එකේ හිටියා.’’ ෂෙහාරා කියන්නීය.

ඒ වන විටත් ඇය පැය දෙකක් දරුවා ලැබී සූතිකාගාරයේ සිටියාය. බිලිඳාට කිරි පොවමින් ඇය කල්පනා කළේ දහවලේ තමාත් දුවත් බැලීමට එන සැමියා ගැනය. ඊට කලින් ​ෂෙහාරා බිලිඳා සමග වාට්ටුවට රැගෙන යා යුතුය. නමුත් ඒකටත් තව වෙලාවක් ගත වන්නේය.

එකවරම ‘‘පට පට’’ යනුවෙන් විශාල ශබ්දයක් ෂෙහාරාට ඇසුණේය. සූතිකාගාරයේ සිටින නිසා ඇයට එම ශබ්දයේ අගමුල තේරුණේ නැත. ඒ බිත්ති හතර හැර වෙන කිසිවක් පේන්නේ නැති බැවිණි.

‘‘මට හිතුණේ ඉස්පිරිතාලේ ගිනි ගන්නවා කියලා. මට කිසිම දෙයක් හිතාගන්න බැරිවුණා. මම දරුවා තුරුලු කර ගත්තා. ඒ එක්කම ලේබර් රූම් එකට කලබලෙන් ආපු ඇටෙන්ඩන්ට් කෙනෙක් මට කීවා.

‘‘අම්මේ ඉක්මනින් නැගිටලා එළියට එන්න කියලා එතකොටම මම දකුණු අතින් දුව අරගන ඇඟට තුරුල් කර ගත්තා. අනෙක් අතින් සේලයින් බෝතලයත් අරගෙන එළියට ආවා. මම හිටියේ ලේ තැවරුණු ඇඳුම් පිටින්මයි ඒවා මාරු කර ගන්නවත් මට වෙලාවක් තිබුණේ නැහැ.’’

අරමුණක් නොමැතිව සූතිකගාරයෙන් එළියට පැමිණි ​ෂෙහාරාට යන්නේ කෙ​හේද කරන්නේ කුමක් දැයි කියාවත් හැඟීමක් නොතිබිණි. කෑ ගසමින් විශාල පිරිසක් ඒ මේ අත දුවන අයුරු ෂෙහාරා දුටුවාය. සමහරු හිසේ අත්බැඳගෙන කෑ ගසති. සමහරෙක් දෑත් නළලේ තබාගෙන පිරිත් කියති. ඉතිපිසෝ ගාථාව කියති.

‘‘මම ඉස්පිරිතාලේ උඩ තට්ටුවේ හිටියේ. මට මේ කිසිම දෙයක් හිතාගන්න බැරි වුණා. මම කොරිඩෝවේ ඇවිදගෙන ගිහින් ජනේලයකින් බිම බැලුවා. ඉස්පිරිතාලේ වටේම කළුපාට වතුරින් යටවෙලා. පාර පැත්තෙ තිබුණු තාප්පයක් කඩාගෙන වැටිලා තිබුණා. මට ඒ වෙලාවේ කම්පනයක් ඇති වුණා. ඉස්පිරිතාලේ කඩාගෙන වැටේද කියලත් හිතුණා. කෑ ගහන අය අතරේ මමත් අසරණ වෙලා හිටියේ. ඒ වෙලාවේ මං ළඟට ආපු දොස්තර කෙනෙක් මට කලබල වෙන්න එපා කිව්වා. පුළුවන්නම් උඩ තට්ටුවට නඟින්න කිවුවා. ඒත් මට ඒ වෙලාවෙ උඩ තට්ටුවට නගින්න තරම් ශක්තියක් තිබුණේ නැහැ.’’ දැන් ඒ කතාව කියන විටත් ෂෙහාරා බියෙන් සැලේ. දුකට කඳුළු හැ​ලේ.

ඉස්පිරිතාලේ දෙවැනි මහලේ සිටි ඉදිරිපස බැලූ ෂෙහාරාට ගාලු, කොළඹ පාර නොපෙනේ. මහ මුහුද ඉස්පිරිතාලේ වටකර තිබූ තාප්පයත් පෙරළාගෙන රෝහලට කඩා වැදිලාය.ඊයේ උදේ හවස දුටු වෙරළ එහි නැත. හැම පැත්තෙම ගලන්නේ කළු පැහැයට හැරුණු මහා ජල කඳකි. වතුරට කොටුවූ රෝගීන්ද සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිලධාරීහුද බියෙන් විලාප දෙති. වුණේ කුමක් දැයි කිසිවකුට නිච්චියක් නැත්තේය. මුහුද ගොඩගලා ඇති බව නම් බැලූ බැල්මට පෙනේ.

පැය භාගයකින් පමණ පසුව මහමෝදර රෝහල වටකරගෙන සිටි මහ ජලකඳ බැස ගියේය.

නෙත්මි අවුරුදු 15 දී

රෝහලේ ඉහළම මහලේ සහ පහත මහලේ හිරවී සිටි රෝගීන් වෛද්‍යවරුන්, හෙදියන්, ඇතුළු කාර්ය මණ්ඩලයේ සියල්ලෝම බිම් මහලට කඩිසරව ගමන් කළහ. ඒ අතර ෂෙහාරාද වූවාය. කඩිමුඩියේම සියලුදෙනා මහ මගට බැස ගමන් කරන්නට වූහ.

‘‘මට දරුවයි සේලයින් බෝතලයයි අරගෙන ඉක්මනට යන්න බැහැ. ඒක දැකපු නර්ස් කෙනෙක් මගේ අතින් දරුවා ගත්තා. ඒත් මට බය හිතුනා. දරුවා මට නැති වේවිය කියලා. මම අඬලා අඬලා දරුවා ආපසු මගේ ළඟට ගත්තා. මේ වෙලාවේ ගමේ අය ඇවිත් අපට උදව් කළා. ට්‍රොලියක් අරගෙන ඇවිත් මමයි දුවයි. තවත් අම්මලා දෙන්නෙකුයි තියාගෙන ඉක්මනට තල්ලුකරගෙන ගියා. ඒ එක්කම ඇම්බියුලන්ස් එකක් ආවා. ඒත් ඒකේ යන්න මට බය හිතුනා. ඊට පස්සේ ගමේ අය වාහනයක් අරගෙන ඇවිත් අපි කවුරුත් කරාපිටිය රෝහලට එක්කගෙන ආවා.’’

ෂෙහාරා කරාපිටිය ශික්ෂණ රෝහලට පැමිණි විට දක්නට ලැබුණෙ විසාලා මහනුවරකි. ඇතැම් තැන්වවල මළ සිරුරය. දරුවන් නැති දුකෙන් වැලපෙන මව්පියවරුය.

සාත්තු සේවිකාවක් ඇයගේ දරුවා තුරුලට ගත්තාය. රෝහලේ පිවිසුම් දොරටුව ඉදිරිපිට තිබූ පුටුවක ෂෙහාරාට හිඳ ගැනීමටද ඇය පහසුකම් ලබාදී තිබිණි.

‘‘මම මේ වෙලාවේ හරිම අසරණ වුණා. මට මහත්තයා සිහිවුණා. මම එතන හිටිය අයගෙන් ෆෝන් කිහිපයක් ඉල්ලගෙන මහත්තයාට කතා කරන්න හැදුවා. ඒත් එකම ෆෝන් එකකින්වත් මට කතා කරන්න බැරි වුණා. ෆෝන් වැඩ කළේ නැහැ. මම හිටියේ ඉස්පිරිතාලෙට ඇතුළු වන දොරටුව ළඟ මැරිච්ච මිනිස්සුන්ගේ මිනී පේළියට ගොඩ ගහලා තිබුණා. සමහර තාත්තලා එයාලගේ දරුවො දෑත්වලින් බදාගෙන රෝහලට ගෙනාවා. ඒ දරුවන්ගේ කටින් කළු පාට සෙම වාගේ මොනවද ගලනවා. දැක්කා. මට ඒවා බලාගෙන ඉන්න බැහැ. මේ වෙලාවේ අම්මා කෙනෙක් මගේ ඇඳුම දැකලා මට ඇඳ ගන්න චීත්තයක් දුන්නා. අතේ තිබුණු සේලයින් එකක් ඉවරවෙලා. ඒකත් ඇටෙන්ඩන්ට් කෙනෙක් ගලවලා දැම්මා.’’

‘‘මට මේ වෙලාවේ මතක් වුණා. අපේ ගමේ කෙනෙක් වාට්ටුවක නතර වෙලා ඉන්න බව. මම අමාරුවෙන් නැගිටලා ඉස්පිරිතාලේ උඩ තට්ටුවට ගියා. වාට්ටු දිහා බලා බලා ඉස්සරහට ගියා. සමහර අම්මලා මට දොස් කිව්වා. ඇවිදින්නේ නැතුව දරුවා ළඟින් තියාගෙන එක තැනකට වෙලා ඉන්න කියලා. ඒත් මට එහෙම ඉන්න බැහැ සෙනග ඒ මේ අත දුවනවා. ඒ අතරේ මට මහත්තයා වගේ අය පේනවා. ඒත් ළඟට ආවම වෙන කෙනෙක්. කොහොම හරි ගොඩක් වෙලාවකට පස්සේ මහත්තයා මං සොයාගෙන ආවා. දුවයි මමයි දැක්ක ගමන්ම මහත්තයා අපි දෙන්නම තුරුලු කර ගත්තා. ඒ මොහොත සිහිකරන විට දැනුදුත් ෂෙහාරාගේ දෑසට කඳුළු උනන්නේය.

ෂෙහාරා සුනාමිය සමග පොර බදන විට සුජීව සිටියේ අම්බලන්ගොඩය.

මම විසිහය වැනිදා උදේ ෂෙහාරා බලන්න ඉස්පිරිතාලෙට ගිහින් ඇවිත් ගෙදර හිටියා. පෝරඹ හංදියට ආපු වෙලාවෙ දැන ගත්තා මුහුද ගොඩ ගලන බව. මගේ යාළුවො කිවුවා අපි ඉක්මනට ෂෙහාරා නංගි බලන්න වෑන් එකකින් හොස්පිට්ල් එකට යමු කියලා. ඒත් මං දැනගත් තොරතුරුවලට අනුව අපි දෙන්නෙක් විතරක් මෝටර් සයිකලයකින් බද්දේගම හරහා කරාපිටිය ඉස්පිරිතාලයට ගියා. ඒ වෙනකොට මං දැනගෙන හිටියා. ​ මහ මෝදර රෝහලේ හිටිය රෝගීන් කරාපිටියට ගෙනා බව. මං ෂෙහාරා සොයාගෙන හැමතැනම ගියා.

සමහරු කිවුවා අම්මලා දරුවොත් එක්ක මැරුණු අය ඉන්න වාට්ටුවට ගිහින් බලන්න කියලා. මං ඒ පැත්ත පළාතක ගියේ නැහැ. මට හොඳටම විශ්වාසය තිබුණා. ෂෙහාරායි මගේ දුවයි කිසිම කරදරයක් නැතිව ඉන්න බව. මං ෂෙහාරා සොයා ගෙන යනකොට ගමේ නංගි කෙනෙක් මුණ ගැසුණා. ඒ නංගි කිවුවා ෂෙහාරා අක්ක ඉන්නවා කියලා. මං ඒ නංගිගෙන් විස්තර අහගෙන ෂෙහාරා ඉන්න තැනට ගියා. සුජීව එගොඩගේ කියන්නේය. සුජීව ඇය බලන්න ගොස් තිබුණේ ඇයටත් දුවටත් අවශ්‍ය ඇඳුම් පැලඳුම් රැසක් රැගෙනය. ඒ ඇඳුම් පැලඳුම් එදින කරාපිටියේ සිටි තවත් මව්වරුන් කිහිපදෙනකුටත් ලැබුණි. එදින ෂෙහාරා බැලීමට පැමිණි අම්බලන්ගොඩ නෑයන්ගේ එදින රාත්‍රී නවාතැන වූයේ කරාපිටිය ඉස්පිරිතාලේ ඉදිරිපිට පිහිටි පන්සලය. ෂෙහාරාත් බිලිඳාත් පසුවදා උදේ හතට පමණ වාහනයක් ගෙන්වා ගෙන ඔවුන්ට නිවසට පැමිණීමට කරාපිටියෙන් පිටත් විය. එදින පැවැති මාර්ග අවහිරතා නිසා ඔවුන්ට අම්බලන්ගොඩ නගරයට පැමිණීමට හැකි වී තිබුණේ දහවල් දොළහට පමණය.

‘‘මම ඒ දවස්වල රාජකාරි කළේ මහ අම්බලන්ගොඩ ග්‍රාම සේවා වසමේ. විසිහය වැනිදාත් මම කරාපිටිය රෝහලේ දී අනතුරට ලක්වෙලා හිටිය රෝගීන් බේරාගන්න ගොඩාක් සහාය දුන්නා. මගේ ග්‍රාම සේවා වසමේ අනතුරක් නැති වුණත්, මං එදා ෂෙහාරයි දුවයි ගෙදර නතර කරලා ඇවිත් අම්බලන්ගොඩ සුනාමියෙන් අවතැන් වී සිටි අයට සහන සලසන්න කටයුතු කළා. සුජීව කීවේය.

ෂෙහාරා මධුවන්ති දැනට සේවය කරනුයේ අම්බලන්ගොඩ නගර සභාවේ කළමනාකරණ සහකාරිවරියක වශයෙනි.

එදා මම කලබලේ හොස්පිට්ල් එකෙන් කිසිම දෙයක් අරගෙන ආවේ නැහැ. මම කල්පනා කළේ මගෙයි දරුවාගෙයි ජීවිත බේර ගන්න විතරයි. මට එදා ඒ ගැන මතකයක් තිබුණෙත් නැහැ. මම ගෙදර එනකොට අරගෙන ඇවිත් තිබුණේ දරුවාගෙයි මගෙයි අත්වල ගැට ගහලා තිබුණු අංක 699 දරන කඩදාසි කෑල්ල විතරයි. ඒ වගේම දරුවා ඉපදිලා පැය විසි හතරක් ඇතුළත ගහන්න ඕන. B.C.G එන්නත විදින්නත් එදා බැරි වුණා. ඒ එන්නත දුවට ලබා දුන්නේ ඊට සතියකට පස්සේ. එනම් ජනවාරි පළමු වැනිදා පොල්වත්තේ දිසා රෝහලේදියි.

දුවගේ උප්පැන්න සහතිකය හදන්න අවශ්‍ය ලිපි ලේඛන ගේන්න සුජීව මහමෝදර ඉස්පිරිතාලෙට ගියේ දුව ඉපදිලා මාස දෙකහමාරකදියි. එතකොටත් මං හිටපු ඇ​ඳේ කොට්ට, මෙට්ට තිබිලා තියෙනවා. ඒවා හොඳටම කිලිටි වෙලා තිබුණලු. කොට්ට උරයේ දූවිලි වැදිලා දුඹුරු පාට වෙලාලු. ඒ කොට්ට උරය ඇතුළේ තමයි මං දුවගේ ක්ලිනික් පොතයි මගේ එකෝ කාඩ්ස් එකයි හංගලා තිබුණේ. ඒ දෙකටම කොට්ට උරය ඇතුළේ තිබිලා සුජීව අරගෙන ඇවිත් තිබුණා. මං පාවිච්චි කළ බෙහෙත් බෝතල් ටිකත් එතැන තිබිල තියෙනවා. ඒත් මගේ බෑග් එකයි උණුවතුර බෝතලයයි තිබුණේ නෑ.

සුනාමිය නිසා ෂෙහාරාගේත් සුජීවගේත් කුලුඳුල් දියණියට නමක් තබා උප්පැන්න හදන්නට දෙතුන් මසක් පසු වුණේය. ඒ කාලෙදි ෂෙහාරාට සමහරු කීවේ සුනාමිය දා උපන් නිසා දුවට ‘සුනාමි’ යනුවෙන් නම තබන ලෙසය. එහෙත් ඇය එයට කැමැති වූයේ නැත. ඇයට ඕනෑ වුණේ සිය දිවි ගෙවන තුරා එදා මුහුණ දුන් අත්දැකීමට අමතක කරන්නටය. එහෙත් සෑම වසරකම දෙසැම්බර් විසිහයවනදා යළිදු වරක් ඒ බිහිසුණු මතකය ඇයගේ මතකයට එන්නේය. ඒ ඇ​ගේ දියණියගේ උපන් දිනය එදින බැවිනි. එදින උපන් දියණිය නෙත්මි කවිත්මාය. දැන් නෙත්මි කවිත්මා පහළොස් හැවිරිදි දූ කුමාරිකාවකි.

ඇය අම්බලන්ගොඩ ධර්මාශෝක ජාතික පාසලේ එකොළොස්වැනි වසරේ ඉගෙනුම ලබන්නීය.

පහළොස් වසරට ඉහත දී වූ දේ ගැන ඇය බොහෝ කාලෙකට පස්සේ දැන ගත්තේ ඇගේ අම්මාගෙනි. පසුකලෙක කවිත්මා දුව තනියෙන් සිටීමට අකැමැති වූ ෂෙහාරාත් සුජීවත් තවත් නංගියෙක් ගෙන ආවෝය. ඇය දුලිත්මා සෙතුමිණිය. ඇය ඉපදුණේ සුනාමියට වසර පහකට පසුවය. එහෙත් ෂෙහාරා සිය දෙවැනි දරු ප්‍රසූතියට ගියේ මහමෝදරට නොව බළපිටිය රෝහලටය.

මහමෝදර රෝහල දකින විටත් ඇගේ මතකයට දැනුදු එන්නේ බිහිසුණු අත්දැකීම් පෙළකි. සුනාමියට අවුරුදු හතරක් පිරුණු දවසින් පස්සේ අපට රෝහලේ අධ්‍යක්ෂවරයා විදුලි පුවතක් එවා තිබුණා. ඒකේ කියලා තිබුණේ සුනාමි දවසේ ඉපදුන දරුවන්ගේ උත්සවයක් දෙදහස් අටේ දෙසැම්බර් විසිපස් වැනිදා උදේ අටයි තිහට පවත්වන බවයි. එයට දරුවාත් සමග පැමිණෙන ලෙස දන්නා තිබුණා. එදා රෝහලේ පිරිත් කිවුවා. මිය ගිය අය සිහිපත් කරලා පින් අනුමෝදන් කළා. ඒ වගේම දරුවන්ට තෑගි දීලා උපන් දිනයට සුබ ප්‍රාර්ථනා කළා. ඒ මම මහමෝදර රෝහලට ගිය අන්තිම දවසය. ඇය කියන්නීය.