News

සුනාමියෙන් අතුරුදන් වූ පස් හැවිරිදි පුතු වසර 16කට පසු යළි මවු තුරුලට

‘‘සුනාමියෙන් අතුරුදන් වුණු මගේ පස් හැවිරිදි පුතා අවුරුදු 16කට පස්සේ මට ආයේ හමුවුණා. පුතා හැදී වැඩිලා තියෙන්නේ සිංහල පවුලක එයා දැන් හින්දි නළුවෙක් වගේ. මගේ පුතා නැවත සොයාගන්න දෙවියන් මට පිහිට වුණා’’ යැයි 2004 දෙසැම්බර් 26 වැනි දින අතුරුදන් වූ දරුවා 16 වසරකට පසු සොයා ගත් අම්පාර සමන්තුරෙයිහි සිත්ති හමාලියා (37) සතුටු කඳුළු අතරින් පැවසුවාය. අම්පාර අෂ්රෆ් අනුස්මරණ රෝහලේ සුළු සේවිකාවක ලෙස කටයුතු කළ අබුසාලි සිත්ති හමාලියා එකල වයස අවුරුදු 21කි. වසර 16ක් පුරා තම දරුවා සොයා ගන්නට ඈ ගත් උත්සාහය, දැරූ වෙහෙස වදන් බවට පෙරළුණේ මෙලෙසිනි.

නාසින් මුහම්මද් අක්‍රම් රස්කාන් පුතා 2004 දෙසැම්බර් 26 වැනිදා හිටියේ සමන්තුරෙයි, මාලිකයිකාඩු නිවෙසේ. අවතැන් කඳවුරුවල කොටු වී හිට මට නිවෙසට යන්න පුළුවන් වුණේ සුනාමි ඛේදවාචකය සිදුවී දින තුනකට පස්සේ. ගෙදර ගිහිං බලද්දී මගේ දරුවා හිටියේ නැහැ. මම හඬා වැළපෙමින් දරුවා හෙව්වත් දරුවා ගැන කිසිම හෝඩුවාවක් ලැබුණේ නැහැ.

සුනාමියෙන් තුවාල ලැබූ අය නතර කරල තියෙනවා කියලා දැනගෙන විශ්‍රාමික ප්‍රාදේශීය ලේකම්වරයකු වන මගේ සොයුරියගේ සැමියා අම්පාර රෝහලට ගියා. ඒ රෝහලේ රෝගීන් ඇතුළත් කිරීමේ පොත පරීක්ෂා කිරීමේදී මගේ පුතාගේ නම එහි සඳහන්ව තිබුණා.

නමුත් වෙනත් පාර්ශ්වයක් දරුවාගේ මවු පියන් යැයි කියමින් පස් වියැති දරුවා රෝහලෙන් රැගෙන ගොස් තිබුණා. මම හඬා වැළපෙමින් පුතා හෙව්වා. ජීවතුන් අතර සිටිනවා කියන සතුට නිසා දරුවා සොයාගෙන පිස්සියක් වගේ හැම තැනම ගියා. දරුවගේ පින්තූරය පෙන්නල අහපු නැති කෙනෙක් නැහැ. මම සමන්තුරෙයි පොලිසියේ පැමිණිල්ලකුත් දැම්මා. කල්මුණේ මානව හිමිකම් කොමිසමෙනුත් ඇහුවා දරුවාගේ ඡායාරූපය අරගෙන නොගිය තැනක් නැහැ.

කොහොම හරි දරුවා ඉගෙන ගන්න පාසල හොයා ගන්න මට පුළුවන් වුණා. ඒ ඉස්කෝලේ විදුහල්පතිවරයාට මම මේ ගැන කිව්වාත් ඔහු මාව බැණල එළව ගත්තා. මට දරුවා ගැන කිසිම තොරතුරක් ලබාදුන්නේ නැහැ. දරුවාව නැවත ලබා ගන්න විවිධ ක්ෂේත්‍රවල අයගෙන් සහාය ඉල්ලුවා. ජනාධිපති ලේකම් කාර්යාලයෙනුත් සහාය ඉල්ලුවා. නමුත් කිසිම සහායක ලැබුණේ නැහැ. දරුවා ගැන කවුරු හරි කිව්වොත් ඒ තැනට ගිහිල්ල විපරම් කරන එක මගේ පුරුද්දක් වෙලා තිබුණා.

අවුරුදු 16ක් තිස්සේ මා ඒ වෙනුවෙන් ගත්තු උත්සාහය නිසා දරුවා හදා වඩාගත් අය සහ දරුවා සිටින නිවෙස හොයාගන්න පුළුවන් වුණා. මම එහෙට ගිහින් ඔවුන් එක්ක කතා කළා. සිංහල පවුලක හැදී වැඩෙමින් සිටි පුතාට ඒ මොහොතේ දෙමළ භාෂාව කතා කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ නිසා පුතා එක්ක අදහස් හුවමාරු කර ගැනීමට මට අපහසු වුණා. පුතා කට වචනයට මම එයාගේ මව කියා විශ්වාස නොකරයි කියල මම පුතාගේ සිරුරේ උපන් ලප සහ සලකුණු ගැන විමසූ පසුවයි පුතා මාව හොයාගෙන සමන්තුරේ නිවසටම ආවේ.

හමාලියා පැවසුවේ නිම්හිම් නැති සතුටකිනි. දෙවියන් විසින් තම පුතා නැවත මුණ ගැස්සූ බව ඇගේ විශ්වාසයයි. ඉකුත් වසර 16 පුරා සිය පුතා සොයන්නට වචනයකින් හෝ සහාය වූ සැමට ඈ තුති පුද කරන්නේ හද පත්ලෙන්මය.

 

එෆ්.අස්ලම්
ටී.එල්. ජව්ෆර්කාර්- මඩකලපුව