කතුවැකි

සීසීටීවී කැමරා ප්‍රජාතන්ත්‍රවාදයේ ද්‍රෝහියෙක්ද?

මෙරට ශිෂ්‍ය ව්‍යාපාරය සම්බන්ධයෙන් පොදු සමාජයෙන් නැගෙන චෝදනා සනාථ කරන්නට හේතුවන සිදුවීමක් කැලණිය විශ්වවිද්‍යාලයෙන් වාර්තා වී තිබේ. එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සවිකර තිබූ සියලුම සී.සී.ටී.වී. කැමරා මහා ශිෂ්‍ය සංගමය විසින් බලහත්කාරයෙන් ගලවා ඉවත්කර ඇත.

විශ්වවිද්‍යාල පාලනාධිකාරය මෙම කැමරා සවිකරන්නට පියවර ගත්තේ පාස්කු ප්‍රහාරයෙන් පසු ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක් වශයෙනි.​ එහෙත් පාලනාධිකාරියේ මේ ක්‍රියාමාර්ගය ශිෂ්‍ය මර්දනයට ගත් පියවරක් බව කියමින් මහා ශිෂ්‍ය සංගමය දිගින් දිගටම ඉල්ලා සිටියේ කැමරා ගලවා ඉවත් කරන ලෙසය.

ආණ්ඩුව හා විශ්වවිද්‍යාල බලධාරින් විසින් ගන්නා ඕනෑම පියවරක් ශිෂ්‍ය මර්දනයක් ලෙස හැඳින්වීම අපේ ශිෂ්‍ය ව්‍යාපාරයේ සාමාන්‍ය ලක්ෂණයකි. ශිෂ්‍ය ප්‍රජාව තුළ තමන්ගේ ආධිපත්‍යය පවත්වා ගත හැක්කේ හැම විටම තමන්ට සතුරකු සිටින බව පෙන්වීමෙනි. කෙසේ වුවත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයා පොතට පමණක් සීමා වූ හුදු ශිෂ්‍යයකු විය යුතු යැයි අප කියන්නේ නැත.

ශිෂ්‍ය ප්‍රජාවට පමණක් නොව පොදු සමාජයටද අගතිදායක යමක් දුටු විට ඊට එරෙහිව සටන් කළ යුතුය. ලෝකය පුරාම අතීතයේ සිටම මානව අයිතීන් දිනාගෙන ඇත්තේත්, රැකගෙන ඇත්තේත්, වැඩි වර්ධනය කරගෙන ඇත්තේ, අසාධාරණය, අයුක්තියට එරෙහිව සටන් කිරීමෙනි. ශිෂ්‍ය සටන් යනු සමාජයක ප්‍රශ්න ප්‍රධාන දේශපාලන ධාරාවේ ගාමක බලවේගයක් වන අතර ඕනෑම තලයක ජනතා සටන්, අරගල ඒ සමාජයේ නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක් ලෙසද සැලකිය හැකිය.

එහෙත් කුමන සටනක වුවත් සාධාරණ පදනමක් තිබිය යුතු අතර ඒ වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග ප්‍රශ්නයේ තරමට සාපේක්ෂව යුක්ති සහගත විය යුතුය. එසේ නොවන සටන් හැඳින්විය හැක්කේ ජනතා සටන් ලෙස නොව පාතාල ක්‍රියාකාරකම් හෝ ත්‍රස්තවාදී ක්‍රියාවන් ලෙසය.

කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ තිබූ සී.සී.ටී.වී. කැමරා ඉවත් කිරීමද අපට සැලකීමට සිදුවන්නේ එවැනි පාතාල හෝ ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙසය. සී.සී.ටී.වී. කැමරා සවි කිරීම අද සාමාන්‍ය ජනතාව අතර පවා ජනප්‍රිය – පහසු ආරක්ෂක විධික්‍රමයකි.

පාස්කු ප්‍රහාරයෙන් පසු මුළු රටම අනාරක්ෂිත හැඟීමකින් සලිත වී ගිය අතර, සී.සී.ටී.වී. කැමරා භාවිතය ඉහළ යන්නට එයද හේතුවක් විය. සී.සී.ටී.වී. කැමරා භාවිතය නිසා රටේ දුර බැහැර ප්‍රදේශවල පවා අපරාධ, අනතුරු, වංචා, මාර්ග නීති කඩකිරීම් හෙළිදරව් කර ගැනීමට හැකිවීමේ අවස්ථා දිනපතාම වාර්තා වෙමින් තිබේ. මේ නිසා සී.සී.ටී.වී. කැමරා භාවිතයේ වැදගත්කම අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.

සී.සී.ටී.වී. කැමරා යෙදවීමට විරුද්ධ විය හැක්කේ හොරුන්, මංකොල්ලකාරයන් හෝ අපරාධකාරයන් වැනි සමාජ විරෝධී වසලයන්ට පමණකි. සී.සී.ටී.වී. කැමරා නිසා ඔවුන්ගේ ක්‍රියාකාරකම් හෙළිදරව්වන බැවිනි. කැලණිය මහා ශිෂ්‍ය සංගමය සී.සී.ටී.වී. කැමරාවලට විරුද්ධ ඔවුනුත් මෙවැනි නීති විරෝධී, සමාජ විරෝධී කටයුතුවල යෙදෙන නිසාද? විශ්වවිද්‍යාල තුළ නවකවදය මුවාවෙන් නවක සිසු සිසුවියන්ට ලිංගික හිරිහැර කරන බවට නැගෙන චෝදනා සත්‍ය බවද? එසේත් නැතිනම් කිසියම් රාජ්‍ය විරෝධී ක්‍රියා විශ්වවිද්‍යාල තුළ සිදුවන්නේද?

වැසිකිළි, කැසිකිළි, නිදන කාමර වැනි ස්ථාන ඉලක්ක කර සීසීටීවී කැමරා සවි කිරීමට හැර වෙනත් පොදු ස්ථානවල මෙම කැමරා සවි කිරීමට නීතිගරුක, සාමකාමී කිසිවකු විරුද්ධ වන්නේ නැත.

එලෙස සීසීටීවී කැමරා සවිකිරීම වැරදි ක්‍රියාවක් නම්, පෞද්ගලික නිවාසවල, පවා මහපාර ඉලක්ක කර සීසීටීවී කැමරා සවි කිරීමට එම මාර්ගයේ ගමන් කරන ජනතාවද විරුද්ධ විය යුතුය.

විශ්වවිද්‍යාල තුළ ශිෂ්‍ය සංගම් තහනම් නැත. පන්ති වර්ජන, උද්ඝෝෂණ, පෙළපාළි මේ ආදී ශිෂ්‍ය සටන් සඳහා උපයෝගී කර ගන්නා කිසිදු ක්‍රියාමාර්ගයක් තහනම් නැත.

මෙම ක්‍රියාමාර්ගවල නිරතවන සිසුන් මර්දනය කිරීමට පාලනාධිකාරිය පියවර ගතහොත් ඊට එරෙහි අධිකරණයට පවා යෑමට සිසුන්ට අයිතියක් තිබේ. එවැනි සටන් ක්‍රියාමාර්ග සමග අපිද සිට ගන්නෙමු.

විශ්වවිද්‍යාල සංස්කෘතිය යනු පොදු සමාජය තුළ පවතින උප සංස්කෘතියකි. එවැනි උප සංස්කෘතීන් තුළ එවාට අනන්‍ය වූ ඇවතුම්, පැවතුම් තිබේ. එහෙත් මේ කුමන ඇවතුම් පැවතුම් වුවත් පොදු සමාජයේ නීති රීති, සම්මතයන්ට අනුගත විය යුතුය.

කුමන උප සංස්කෘතියක් තුළ වුවත් මිනිස් ඝාතනය, ස්ත්‍රී දූෂණය, හිංසාව, සොරකම, වංචාව කළ නොහැක්කේ ඒවා පොදු සමාජයේ නීති පද්ධතියට අනුව වැරදි – අපරාධ වන හෙයිනි. කිසියම් කණ්ඩායමකට ගංජා ඉරීම පුරුද්දක් ලෙස කළ හැකි වුවත් පොදු සමාජයේ එය වරදකි.

විශ්වවිද්‍යාල ප්‍රජාව පොදු සමාජයේ මේ නියමයන්, නීතිරීති නොතකා කටයුතු කරන්නේ දැනුවත්ව නම් ඉන් හැඟවෙන්නේ ඔවුන්, සමාජ විරෝධීන් බවය. එවැනි පිරිස් සමාජයක යහ පැවැත්මට හානිදායකය. බහුතරයේ යහපත වෙනුවෙන් ඔවුන් පුනරුත්ථාපනය කිරීම හෝ පොදු සමාජයෙන් බැහැර කිරීම කළ යුතුය.

කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සීසීටීවී කැමරා කඩා ඉවත් කිරීම පොදු දේපොළ පනත යටතේ ගැනෙන වරදකි. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම බලධාරින්ගේ වගකීමකි.

සරසවි ශිෂ්‍ය සංගම් නූතන ලෝකයේ මෙම තත්ත්වයන් ගැන නොදන්නේ නම් ඉන් කියැවෙන්නේ ඔවුන් තවමත් දියුණු සමාජයට නොපැමිණි ගෝත්‍රවාදීන් කණ්ඩායමක් බවය. මෙරට ශිෂ්‍ය ව්‍යාපාරය කලින් කලට එක් එක් දේශපාලන කණ්ඩායම් විසින් හසුරුවන බව කවුරුත් දන්නා කාර්යයකි.

ශිෂ්‍ය ව්‍යාපාරයේ මේ අන්තවාදී, ගෝත්‍රිකවාදී ක්‍රියා තමන් අනුමත කරන්නේ දැයි ඔවුන් රටට පැහැදිලි කළ යුතුය. නැතහොත් සමාජය පිළිගනු ඇත්තේ ඔවුන්ද, තවදුරටත් අචීර්ණකල්පික උපක්‍රම තෝරන, ගෝත්‍රිකවාදී හෝ අන්තවාදී කණ්ඩායමක් ලෙසය.