කතුවැකි

සිසුන් ගුරුවරුන් ඇමැතිවරුන් ඉගෙන ගන්නේ කවදාද?

විශ්වවිද්‍යාල සිසුන් කලකට පසු යළිත් කලඑළි බැස තිබේ. අද ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පා ගමනින් ගියේ රුපියල් 5000 ක් වන සිය මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 10,000 ක් කරන ලෙස ඉල්ලමිනි. අද කාලේ හැටියට රුපියල් 5000 කින් මාසයක් ජීවත් විය නොහැකි බව නොදන්නා කෙනෙක් නැත. එහෙත් උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන කියන්නේ මේ ඉල්ලීම නම් ඉටුකළ නොහැකි බවය. ඒ රුපියල් 2500 කින් පවුලකට ජීවත් විය හැකි යැයි කියූ ඔහුගේ න්‍යාය නිසා නොව මහපොළ වැඩි කරන්නට මුදල් ප්‍රතිපාදන නොමැති බැවිනි. ඇමැතිවරයා කියන අන්දමට පසුගිය ආණ්ඩුව සමයේ මහපොළ අරමුදලේ තිබූ රුපියල් බිලියන දෙකක මුදලක් අතුරුදන් වී තිබේ. ඔහු මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද කර ඇත. දැන් රටේ ගනුදෙනු සිදුවන්නේ අතුරු සම්මත ගිණුමකිනි. මේ නිසා මහපොළ වැඩි කිරීමට නම් අයවැයක් එනතුරු සිටිය යුතු බවද ඇමැතිවරයා කියයි.

ශිෂ්‍යයන්ට රුපියල් 5000 කින් ජීවත් විය නොහැකි බව සත්‍යයක් වන්නා සේම අමාත්‍යවරයා කියන කතාවේද සත්‍යයක් තිබේ. ඒ බව ශිෂ්‍යයන්ද නොදන්නවා නොවේ. නමුත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයට උද්ඝෝෂණයක්, විරෝධතාවක්, වර්ජනයක් නොකර සිටියහොත් නිකම් කසනවා කසනවා වගේය. ඒ නිසා ඔවුන් සරසවි සිසුන් පාරට බැස්සවීමට කුමක් හෝ හේතුවක් සොයා ගනී.

සරසවි සිසුන් අරගලකාරී වීම, තම අයිතීන් වෙනුවෙන් සටන් කිරීම, වාද විවාද කිරීම, ප්‍රශ්න කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුය. විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ පළමු උපකුලපතිවරයා වූ පූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත හිමියන්ද මෙවැනිම අදහස් සරසවි සිසුන් සම්බන්ධයෙන් පළ කර තිබේ. එසේ වුවත් සරසවි සිසුවා අරගලකාරී වන්නා සේම විචාරශීලී විය යුතු යැයිද උන්වහන්සේ කියා ඇති බව වර්තමාන සරසවි සිසුන් අමතක කර තිබීම කනගාටුවට කරුණකි. මහපොළ ශිෂ්‍යාධාර වැඩි කරන්නැයි ඉල්ලා පෙළපාලි යන සිසුන් මහපොළ අරමුදලේ රුපියල් බිලියන දෙකක මුදලට කුමක් වූයේ යැයිද සොයා බලන්නේ නම් කොතරම් අගනේද?

උසස් පෙළ සමතුන් සියලු දෙනාටම සරසවි වරම් ලබාදිය යුතු බව සිසුන්ගේ දිගු කාලීන ඉල්ලීමකි. මෙතෙක් කිසිදු ආණ්ඩුවක් මේ ඉල්ලීමට කන් දුන්නේ නැත. එහෙත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රටට ඉදිරිපත් කර ඇති රට හදන සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන මගින් උසස් පෙළ සමතුන් සියලු දෙනාට උපාධියක් දක්වා යෑමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කරන බවට සහතික වී තිබේ. ඒ අනුව ඉදිරියේදී විශ්වවිද්‍යාල විද්‍යායතන (University college) තුන්දහසක් ආරම්භ කිරීමට නියමිතය. මෙය තරමක අභියෝගාත්මක පියවරකි. මේ දක්වාම අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මේ ගැන කිසිදු අදහසක් පළකර නැත්තේ මන්දැයි අපට නොතේරේ. ප්‍රශ්න විසඳන්නට ඔවුන් අකැමැති දැයි අප දන්නේ නැත.

උසස් පෙළ සමතුන් සියලු දෙනාට උපාධියක් හිමිකර දීම යටතේ මේ වසරේ විශ්වවිද්‍යාලයට ඇතුළු කරගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව දසදහසකින් වැඩි කිරීමටද ආණ්ඩුව තීරණය කර තිබේ. මෙයද අගය කළ යුතු පියවරක් වන නමුත් අපට ඒ සම්බන්ධයෙන් මතුවන ගැටලු කිහිපයක් තිබේ. අමතර සිසුන් දස දහසක් සරසවිවලට ඇතුළත් කර ගත්තත්, ඔවුන්ගේ අවශ්‍යතා සපිරීමට අවශ්‍ය පහසුකම් තිබේද යන්නය. විශේෂයෙන්ම දේශන පැවැත්වීම සඳහා අවශ්‍ය ආචාර්යවරුන් ප්‍රමාණවත්ද යන්නය.

මෙතෙක් කලක් වසරකට සරසවි ප්‍රවේශය හිමි වූයේ තිස්දහසක පමණ පිරිසකට පමණය. මේ නිසා ඉතා විශාල පිරිසක් විදේශ සරසවි උපාධි ලබා ගැනීමට යොමුව සිටිති. මෙය ඔවුන්ගේ ආර්ථිකයට දැරිය නොහැකි බරක් වන අතර රටේ මුදල් විදේශයන් වෙත ගලා යෑම වැඩිවීමට හේතුවකි. සැමට උපාධියක් ලබා දීමට ආණ්ඩුව අදහස් කර ඇත්තේ මේ තත්ත්වය ද වළක්වා ගැනීමේ අරමුණෙනි.

මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා ආණ්ඩුවට විශාල මුදලක් සේම පරිශ්‍රමයක්ද දැරීමට සිදුවනු ඇත. එහෙත් ඒ සියල්ලට පෙර පළමුව කළ යුත්තේ මෙරට උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් ශිෂ්‍ය ප්‍රජාවගේ හා වැඩිහිටියන්ගේ ඇති ආකල්පය වෙනස් කිරීමය. මෙරට සරසවියකට ඇතුළත් වීමට සුදුසුකම් නොලබන සිසුන් පමණක් නොව, සුදුසුකම් ලබන සිසුන්ද විදේශ විශ්වවිද්‍යාල සොයා යෑම දැන් ප්‍රවණතාවක් වී තිබේ. ඇති හැකි අය පමණක් නොව නැති බැරි දෙමාපියන් පවා තම දරුවාට විදේශ උපාධියක් හිමිකර දීමට හැකිනම් ඒ අවස්ථාව මගහරින්නේ නැත. දේශීය විශ්වවිද්‍යාලයකට සිසුන් එන්නේ ඔවුන්ට වෙනත් විකල්පයක් නොමැති නම් පමණක් සේය.

අමානුෂික නවකවදය ඊට එක් හේතුවකි. සෑම වසරකම මේ නවකවදය නැවැත්වීමට සිසු ආචාර්ය දෙපාර්ශ්වයම කතා කළත් තවමත් ඊට සමත් වී නැත. උසස් පෙළ විභාගයට පෙනී සිටීම හා සරසවි ප්‍රවේශය අතර කාලය දීර්ඝ වීම තවත් හේතුවකි. 2018 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි ඇතැම් විෂය ධාරාවක සිසුන් තවමත් සිටින්නේ නිවෙස්වලය.

නිතර නිතර පන්ති වර්ජන, උද්ඝෝෂණ පෙළපාලි සේම ඇතැම් වි​ටෙක අධ්‍යාපන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල වර්ජන නිසාද, සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා සිදුවේ. සිසුන් මෙරට සරසවිවලට ඇතුළු වීමට අකැමැති වීමට මෙයද හේතුවකි.

රැකියා වෙළෙඳපොළට නොගැළපෙන උපාධි පාඨමාලා, උපාධි පාඨමාලා යාවත්කාලීන නොවීම, විශ්වවිද්‍යාල අධ්‍යාපනයද, උසස් පෙළ මෙන් කටපාඩම් ක්‍රමයට සිදුවීම, ආචාර්යවරුන්ගේ දැනුම පිළිබඳ ප්‍රශ්න ආදියද අප රටේ උපාධිවල මට්ටම පහත වැටීමට හේතුය. මේ හේතු නිසා අවම වශයෙන් දකුණු ආසියානු කලාපය තුළ හොඳම විශ්වවිද්‍යාල 10 අතරට හෝ එන්නට මෙරට විශ්වවිද්‍යාලයක් සමත්ව නැත. මෙරට අංක එකට සිටින පේරාදෙණිය විශ්වවිද්‍යාලයට දකුණු ආසියානු කලාපය තුළ හිමිව ඇත්තේ 47 වැනි ස්ථානයයි. ලෝක ශ්‍රේණිගත කිරීම අනුව ඊට හිමිව ඇත්තේ 1981 වන ස්ථානයයි.

මේ තත්ත්වයන් ගැන අධ්‍යාපනයට සම්බන්ධ කුමන පාර්ශ්වයක් හෝ කල්පනා කරන්නේ දැයි අප දන්නේ නැත. අධ්‍යාපනය සඳහා රටේ දළදේශීය නිෂ්පාදනයෙන් සියයට 6 ක් වෙන් කළ යුතු බවට සරසවි ආචාර්යවරුන් මීට වසර 5 කට පමණ පෙර විරෝධතා ව්‍යාපාරයක් ගෙන ගියේය. අධ්‍යාපනය සඳහා සියයට හයක් නොව දහයක් වෙන් කළත්, විශ්වවිද්‍යාල වැඩි කිරීම, ගොඩනැගිලි ඉදිකිරීම, සිසුන් වැඩි කිරීම වැනි කරුණු මගින් පමණක් රටේ අධ්‍යාපනය දියුණු කළ නොහැකි බව අපගේ අදහසය.

ආණ්ඩුවේ අධ්‍යාපන බලධාරීන්ද නව අධ්‍යාපන වැඩපිළිවෙළක් දියත් කරන්නට යන්නේ ඒ බව දැනගෙන යැයි සිතමු. රටේ අධ්‍යාපනය දියුණු කිරීම මහ පාරේ පෙළපාලි යෑමෙන් පමණක් කළ නොහැකි බව සිසුන්ද තේරුම් ගතහොත් ඒ වැඩපිළිවෙළ සාර්ථක වනු ඇත.