කතුවැකි

සිව් වසරකින් කිරිපිටි නතර කරමි – ‘‘බම්බුව’’ තමා

තව වසර හතරකින් කිරිපිටි ආනයනය නතර කරන බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ දැඩි ප්‍රකාශයක් කර තිබේ. පසුගිය බදාදා (17 වැනිදා) අප පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තිය වූයේ අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය රැගත් පුවතකි. අමාත්‍යවරයා කියන අන්දමට දිනකට අප රටෙන් විදේශයන්ට ඇදී යන මුදල ඇමරිකානු ඩොලර් මිලියනයකි. අප වැඩිපුරම කිරිපිටි ආනයනය කරන්නේ නවසීලන්තයෙනි. එසේම නවසීලන්තයේ දෙවැනි විශාලම කිරිපිටි ගැනුම්කරුවා වන්නේද අපය. මේ නිසා කිරිපිටි ගෙන්වීම නැවැත්වීම හේතුවෙන් නවසීලන්ත අගමැතිවරයා පවා කලබලයට පත්වීමට ඉඩ ඇතත් තමන්ගේ තීරණය වෙනස් නොකරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ඉතා විශ්වාසයෙනි.

අමාත්‍යවරයා කියා ඇති ආකාරයටම කිරිපිටි ගෙන්වීම නැවැත්විය හැකි නම් එය මෙලොව වශයෙන් දේශපාලකයකු ලෙස මෙතෙක් ඔහුගෙන් සිදුව ඇති සියලු වැරදිවලට සමාව ලැබෙන පමණක් නොව, එලොව වශයෙන්ද සුගතියට පත්වන පුණ්‍යකර්මයකි.

කිරිපිටි ගෙන්වීම නැවැත්විය යුත්තේ, ඒ නිසා විදේශයන්ට ඇදී යන මහා මුදල් සම්භාරය ඉතිරිකර ගැනීමට පමණක් නොව කිරිපිටි බීමෙන් රටේ ජනතාව ලෙඩ වීමද වළක්වා ගැනීමටය. කිරිපිටි බීමෙන් ඇතිවන රෝගාබාධයන්ට ප්‍රතිකාර කිරීම සඳහාද ජාතික ධනයෙන් විශාල මුදලක් වැය වේ. රටේ ජනතාවට ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය වියදමක් වුවත් කිරිපිටි නිසා ඇතිවන රෝගයන්ට ප්‍රතිකාර කිරීමට කරන වියදම සැලකිය යුත්තේ අනවශ්‍ය අමතර වියදමක් ලෙසය.

අමාත්‍යවරයා ඔළුවෙන් හිටගෙන කියා සිටියත් කිරිපිටි ගෙන්වීම නවතා දියර කිරි ප්‍රචලිත කරන බව කීම එකහෙළා පිළිගැනීමට අසීරුය. කිරිපිටි ගෙන්වීම නවතන බවට මීට පෙරද ප්‍රතිඥා දුන් අය සිටියත්, අද දක්වා ඒ ප්‍රතිඥා යථාර්ථයක් වී නැත. ඒ නිසා කිරිපිටි ගෙන්වීම නවතන බව කී සැණින් අත්පුඩි ගසන්නට අප ඉක්මන් වන්නේ නැත. කිරිපිටි ගෙන්වීම මුළුමනින්ම කෙසේ වෙතත් අවම වශයෙන් සියයට පනහකින් අඩු කරගන්නට හෝ හැකි වුවහොත් එයද ජයග්‍රහණයකි.

අමාත්‍යවරයා ගෙන ඇති තීරණය එලෙසින්ම ක්‍රියාත්මක නොවනු ඇතැයි අප සැක පළ කරන්නේ හේතු දෙකක් මුල් කරගෙනය. අමාත්‍යවරයා කියා ඇති පරිදිම කිරිපිටි ගෙන්වීම නතර කළහොත් නවසීලන්තය කලබලයට පත්වනු ඇත. එහෙත් ඒ තීරණය නිසා අමාත්‍යවරයා හමුවීමට දුව එනු ඇත්තේ නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා නොව ඔහුගේ දේශීය නියෝජිතයන්ය. ඇතැම් විටෙක ඔවුන් ඇමැතිවරයා පමණක් නොව තවත් අය හමුවන්නට යනු ඇත. මීට පෙරද කිරිපිටි ගෙන්වීම නැවැත්වීමට සූදානම් වූ අවස්ථාවේ සිදු වූයේ එසේය.

ලෝකය පාලනය කරන්නේ දේශපාලනය විසින් යැයි කීවත් ඇත්තෙන්ම ලෝකය පාලනය කරන්නේ වෙළෙඳ ආධිපත්‍ය විසිනි. මේ වසරේ ජනවාරි 01 දා සිට ෂැෂේ පැකට් තහනමක් ක්‍රියාත්මක වීමට තිබුණත් එය සිදු වූයේ නැත. ලබන මාසයේ පළමුවැනිදා සිට එය ක්‍රියාත්මක වන බව කියන නමුත් ඒ දිනය උදාවනු ඇතැයි විශ්වාස කළ නොහැකිය. මිනිසුන්ගේ පරිභෝජනයට අහිතකර, විශේෂයෙන්ම දරුවන්ට අහිතකර ආහාරපාන, සබන්, සේදුම්කාරක කොතරම් නම් තිබේද? ඒවා අලෙවිය නවත්වනවා තබා ඒ ගැන කතා කරන්නටද නොහැකිය.

පිටිකිරි ආනයනය තහනම් කිරීම සාර්ථක නොවන්නට තවත් හේතුවක් වන්නේ ඒ සඳහා විකල්පයක් ඉදිරිපත් කරන්නට අප අසමත් වීමය. මත්පැන්, දුම්වැටි භාවිත කරන කිසි කෙනකු එහි ආදීනව නොදන්නේ යැයි සිතිය නොහැක. එසේම කිරිපිටි බොන කුඩා දරුවන් හැරෙන්නට අනිත් හැම කෙනකුටම පිටිකිරි බීමෙන් ඇතිවන සෞඛ්‍යමය ගැටලු ගැන අවබෝධයක් තිබේ. මත්පැන්, දුම්වැටි බීම මෙන්ම කිරිපිටි බීමද ඇබ්බැහියකි. මත්පැන්, දුම්වැටි බීමෙන් මිනිසුන් ගලවා ගන්නට උපදේශන සේවා ඇතත් පිිටිකිරි බීමෙන් ජනතාව ගලවා ගන්නට උපදේශන සේවා නැත. එහෙත් පිටිකිරි වෙනුවට ඔවුන්ට විකල්පයක් ඇත්නම් එවැනි උපදේශන සේවා අවශ්‍ය වන්නේ යැයි සිතිය නොහැකිය.

පිටිකිරි සඳහා ආදේශකය වන්නේ දියර කිරිය. එහෙත් රටේ අවශ්‍යතාවට ප්‍රමාණවත් තරම් දියර කිරි නිෂ්පාදනයට අප අසමත්ය. කෘෂිකර්ම අමාත්‍යවරයාම පවසන පරිදි රජයට අයත් දේශීය කිරිපිටි නිෂ්පාදන සමාගම වන මිල්කෝ සමාගමේ දෛනික කිරි අවශ්‍යතාව ලීටර් ලක්ෂ හයක් වුවත් දැනට ලැබෙන්නේ ලක්ෂ දෙකක ප්‍රමාණයකි. දියර කිරි ප්‍රචලිත කිරීම කෙසේ වෙතත් මිල්කෝ සමාගමේ දෛනික කිරි අවශ්‍යතාව හෝ සපුරාගත හැකි නම් පිටිකිරි සඳහා විදේශයන්ට ඇදී යන අති විශාල මුදලෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඉතිරිකර ගැනීමට හැකිවනු ඇත.

දේශීය දියර කිරි නිෂ්පාදනය අවශ්‍ය තරමින් සිදු නොවන්නේ ඒ සඳහා ප්‍රමාණවත් ගවයන් නොමැතිකම, සිටින ගවයන්ගේ කිරි නිෂ්පාදන හැකියාව අඩුවීම, ආර්ථිකමය ස්ථාවරත්වයක් නොමැතිකම නිසා කිරි ගවයන් ඇති කිරීමට යොමුවන පිරිස අඩුවීම ආදී කාරණා නිසාය. මේ අතර මේ දිනවල කිරි ගවයන්ට ආහාරය සඳහා ප්‍රමාණවත් තරම් තණකොළ සපයා ගැනීමේ ගැටලුවක්ද මතු වී තිබේ.

ජනතාවගේ පරිභෝජනයට අවශ්‍ය තරම් දියර කිරි ඇත්නම් අමුතුවෙන් දියර කිරි ප්‍රචලිත කිරීමේ අවශ්‍යතාවක් ඇති නොවනු ඇත. එහෙත් ප්‍රශ්නය ඇත්තේ අවශ්‍ය තරම් නිෂ්පාදනය නොවනවා පමණක් නොව නිපදවන ප්‍රමාණය හෝ බෙදා හැරෙන, ජනතාවට පහසුවෙන් මිල දී ගන්නට වැඩපිළිවෙළක් නොමැතිකමය.

පිටිකිරි ආනයනය නැවැත්වීම යථාර්ථයක් කර ගැනීමට නම් පළමුව කළ යුත්තේ දියර කිරි නිෂ්පාදනය වැඩි කිරීමය. නිෂ්පාදනය කෙරෙන දියර කිරි රට පුරා බෙදා හැරෙන වැඩපිළිවෙළක් සකස් කිරීමය. එසේ වුවහොත් පිටිකිරි ආනයනය නැවැත්වීමට අමුතුවෙන් මහන්සි වීමට සිදු නොවනු ඇත. ඒවාට ඇති ඉල්ලුම අඩු වූ විට නිරායාසයෙන්ම ආනයනය පහත වැටෙනු ඇත. එසේ වුවහොත් පිටි කිරි ආනයනය නැවැත්වීම නිසා නවසීලන්ත අගමැති කලබල වනු ඇතැයි කියා චකිතයක් ඇතිකරගන්නටද අවශ්‍යතාවක් මතු නොවනු ඇත. කෘෂිකර්ම ඇමැතිතුමනි, පිටිකිරි ආනයනය නැවැත්වීමට පෙර දේශීය කිරි කර්මාන්තයේ තිබෙන අඩුපාඩු හඳුනාගෙන එය දියුණු කරන්නට පියවර ගමු.