විශේෂාංග

සිරුරේ දොස් ජලයේ දියකරන දෙහි කැපිල්ල

ඇස්වහ කටවහ හෝ අඬෝවැඩියා දෝෂ ගැන බොහෝ දෙනකුට ඇත්තේ බියකි. ගලෙන් ගැහුවොත් බේරෙන්න පුළුවන්, ඇස්වලින් ගැහුවොත් බේරෙන්න බෑ යන දමිළ කියමනට අනුව එහි බරපතළකම කොතෙක්ද යන්න හඳුනාගත හැකිය. කෙසේ නමුත් ඇස්වහ, කටවහ දෝෂයන්ට තමන් ගොදුරු වේය යන්නත්, තම දියුණුවට අනුන් අකුල් හෙළන්නේය යන්නත් බොහෝ දුරට ඇතැමුන් තුළ ඇති මති මනාත්තරයකි. මෙම දෝෂයන්ට පිළියම්ද ගැමි සමාජයේ ඇත. එම ක්‍රමවලට එකල නාගරික සමාජය තුළ ද යම් තැනක් හිමි විය. දෙහි කැපීම ඇස් වහ පිච්චීම ආදී ශාන්තිකර්ම කලඑළි බසින්නේ ඇස්වහ, කටවහ හදි හූනියම්වලින් බේරීමේ ක්‍රමයක් ලෙසිනි.

දෙහි කැපීම හෝ ඇස්වහ පිච්චීම මගින් පුද්ගලයකුගෙන් එල්ලවන අහිතකර කිරණ මර්දනය වී හිතකර කිරණ වර්ධනය වන්නේ යැයි විශ්වාසයක් පවතී. එහිදී යහපත අපේක්ෂාව වන අතර වින බන්ධන වේ නම් ඒවාද දූරිං භූත කිරීමේ බලයක් මේ තුළ ඇතැයි විශ්වාස කෙරේ.

ඇස්වහ පුච්චන්න අවශ්‍ය වන ද්‍රව්‍ය තිබේ. පොල්කටු, අබ, ගම්මිරිස්, ලූනු, තුංමං හන්දියෙ පස්, මිදුලේ පස්, දෙහිකොළ, ගේ අතුගාපු කුණු, තමන්ගේ ඇඳුම්වල නූල් දමා ඇස්වහ කටවහ දෝෂ දුරු කරන බව යකැදුරන් කියති. දෙහි කපන අස්ථාවේ දීත්, ඊට අදාළ ස්තෝත්‍රයක් කියා දෙහි කැපීමෙන් ශාන්තිය උදාවෙන බවද යකැදුරන්ගේ විශ්වාසයයි.

දෙහි විෂබීජ නාශක ගුණයෙන් ඉහළය. දෙහි කැපීමෙන් තුන්දොස් නිවන්න, ඇස්වහ කටවහ දෝෂ සමනය කරන්න දෙහිවලට හැකියාව පවතී. මේ ගැන පුරාණ කතාන්දරයක්ද තිබේ. ඉස්සර කාලේ සිටි ඔඩ්ඩිසි නරේන්ද්‍රයාගේ අග්‍ බිසවුන් වහන්සේට කළ ශාන්තිකර්මයක් ගැන සඳහන් වෙයි. ඊට දෙහි ගෙනාවේ නාග ලෝකයෙන් බව කියැවේ.

දෙහි කපන විට ආතුරයාගේ අගුණ කැපුණේ නම් එම දෙහි වතුරට දැමූ විට යට ගිලෙති. දියමත පාවෙන්නේ නැත. හිසේ සිට පාදාන්තය දක්වා ස්තෝත්‍ර මන්ත්‍ර මුමුණමින් දෙහි කපති. එවිට තුන්දොස් ඇවිස්සෙනවා කියා මතයක්ද තිබේ. ඉන් අදහස් කරන්නේ නැති ලෙඩ ඇතිවේය යන්නය. මතුරා කහ නූල් දැමීම උදේ ගෙදරට දුම් අල්ලා අබ, මිරිස් පිච්චීම අදටද සිදු කරයි. දේවාලවලට ගොස් පොල් ගැසීම මිරිස් ඇඹරීම ද අදටත් දැකිය හැකිය.

යම් අයකුට වින දෝෂයක් ඇත්නම් ලී පුටුවක කෙසෙල් කොළයක් අතුරා බුලත් කොළ 9 ක් සහ පුවක් මල් ගෙන එය හතරැස් කොටුවක් ලෙස පිහිටන සේ අතුරනු ලබයි. පසුව මල්පහන්, හඳුන්කූරු දල්වා කහ වතුරෙන් සෝදා පඬුරු 9 ක් තැන්පත් කරයි. කහ වතුරෙන් සේදූ දෙහි ගැට 21 ක් පෙර කී පුටුව මත තැන්පත් කොට තිසරණ සහිත පන්සිල් සමාදන්ව නව අරහාදී ගාථාව 9 වරක් ගායනාකොට මන්ත්‍රයක් මතුරමින් දෙහි කැපීම කළ යුතුය. මෙමගින් අාතුරයා හෙවත් රෝගියා සුවපත් වනු ඇතැයි විශ්වාස කෙරේ.

දෙහි කැපීම සඳහා තෝරගත යුතු දෙහිගෙඩි සංඛ්‍යාව සහ දෙහිවල ස්වරූපය සොයා බලයි. දෙහි ගෙඩි හතක් (7), දහහතරක් (14), විසි එකක් (21) වැනි ‘හතේ’ සංඛ්‍යාවක් ඊට යොදා ගැනේ. එහෙත් ගෘහ ආරක්ෂාවක් හෝ භූමි ආරක්ෂාවක් සඳහා මෙසේ සංඛ්‍යාවක් තීරණය කළ නොහැක්කේ යම් දෝෂයක් පවතී නම් එය අවසන් වනතුරුම දෙහි කැපීම සිදු කළ යුතු නිසාය.

එසේම දෙහි කැපීමට තෝරාගත යුත්තේ ඉදුණු හෝ පැසුණු දෙහි නොව ‘පැඟිරි දෙහි’ හෙවත් දෙහි ගැටය. දෙහි කැපීම ගැන කියද්දී එක නැට්ටේ දෙහි කැපීම දක්නට ලැබේ. එක නැට්ටේ දෙහි ගෙඩි 3 කපන්නේ ප්‍රබල අනවිණ කොඩිවින සඳහාය. මෙහිදී පළමුව ආතුරයාට යම් බන්ධනයක් සිදුකොට ඇත්දැයි සැක හැර දැනගත යුතුය. මෙම ක්‍රියාව නිමිති බලනවා යැයි හඳුන්වයි. එහිදී යම් දෝෂයක් ඇත්දැයි විනිශ්චය කිරීමට හැකිය.

සිරුරේ තිබෙන දොස් ඇද ගැනීමේ පුදුමාකාර බලයක් දෙහි ගෙඩියක තිබේ. පිරිසුදු කිරීමේ ගුණය, කිළි නොවැදීමේ බලය හා විෂබීජ නාශක ගුණය අතින් ගත්තත් දෙහි සුවිශේෂයි. දෙහිවල ගුප්ත බලයක් තියෙන බව පුරාණ කාලයේ සිටම එන පිළිගැනීමකි. ආතුරයකුගේ දොස් සමනය කරන්න දෙහි කපනවා නම් ඒක විශේෂ ගිරයකින්ම කළ යුතුව ඇත. නිවැරදිව දෙහි කැපුවොත් සැණෙකින් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් යැයි විශ්වාසයක් වේ. ඒත් ඒ ශරීරස්ථානය බාහිර කිසි කෙනකුට දැන ගන්නට ඉඩ නොතැබීම වැදගත්ය. දෙහි කැපීමේ ශාන්තිකර්මය හරියට කළොත් කළාමය. නොඑසේ නම් එය ගඟට ඉනි කැපුවාක් මෙනි.

කුඩා දරුවන්ට සහ ගර්භණී මාතාවන්ට දෙහි කැපීම් නොකළ යුතු අතර ශාස්ත්‍රය නොදැන කරන්නන් වාලේ දෙහි කපන්න ගියොත් දොස් සමනය වීම කෙසේ වෙතත් සිද්ධ වෙන්නේ තවදුරටත් දොස් උග්‍ර වීම බවද නොකියා බැරිය.

මෙයට අමතරව දෙහි යාග ශාන්තිය සිදු කරන විට කපන දෙහි මැටි කොරහකට දැමිය යුතුව ඇත. එය සිදු කරන්නේ විශේෂ හේතුවක් නිසාය. දෙහිවලට ඇද ගන්න සිරුරේ දෝෂයන් ජලයට දියව යෑම ඊට හේතුවයි. ඉන්පසු දෙහි බෑ සහිත ජල කොරහ ගලාගෙන යන දිය පහරකට දමයි.

දෙහි කැපීමේදී අහිංසක මිනිසුන් මුලා කරන අය සිටිති. දෙහි කපා අනවිණ කොඩිවිණ සම්පූර්ණයෙන් නැසිය නොහැකි වුවත් ඉන් විශාල ගුණයක් ලැබිය හැකිය. දෝෂ දුරු කරන්නත් දෙහි කැපීම යහපත්ය. දෙහි කැපීම භෞතිකව මෙන්ම මනෝ චිකිත්සාවක් හැටියට ද යහපත් යැයි සැලකේ.

දෙහි කැපීම අපට හුරුපුරුදු දෙයකි. සෑම ප්‍රදේශයකම වාගේ ‘දෙහි ටිකක් කපාගන්න’ කෙනෙක් සිටී. බොහෝ විට පන්සලේ ස්වාමීන් වහන්සේ ළඟට ගොස් ‘පිරිත් ටිකක්’ කියවා ගන්නා තරමටම ‘දෙහි ටිකක්’ කපා ගන්නටද ඇතැමුන් පෙලඹේ. දෙහි කැපීම ගුප්ත විද්‍යාවේ ඉතාම සරල ක්‍රමයකි.

ඇතැම් අවස්ථාවල දෙහි වෙනුවට වෙනත් ආදේශක යොදා ගැනේ. සෑම දෝෂයක්ම දෙහි ගෙඩිවලින් කපා අවසන් කළ නොහැකිය. දෙහි ඉවත් කළ හැකි දොස් සඳහා දෙහි යොදාගන්නා අතර ඊට වඩා වැඩි බලයක් ලබා දීම සඳහා ‘යකි නාරං’ හෙවත් ‘යක් නාරං’ යොදා ගැනීමද සිදුවේ.

තවත් අවස්ථාවක අහු ගෙඩි යොදා ගැනීමද ඊටත් වඩා බලවත් නම් අළු පුහුල් කැපීමද සිදුවේ. අහුගෙඩි කැපීම අපහසු දෙයකි. ඊට හේතුව අහුගෙඩි සොයා ගැනීමට ඇති අපහසුව සහ එම පල උදයේ නෙළූ විට සවස් වන විට එ්වා ‘කුණු’ වීමය.

දෙහි කැපීමේදී දෙහි ගෙඩිය ගිරයක රඳවා එම ගිරය ශරීරයේ ස්පර්ශ වන සේ ගෙන යා යුතුය. දෙහි කැපීමේදී හිස මුදුන සිට දෙපතුළ දක්වා එය ගෙන යා යුතු අතර දෙහි කැපීමේ දී ඇතැම් අවස්ථාවල සියලු දෙහි එකවර ජීවම් කොට ගන්නා අතර ඇතැම් අවස්ථාවල දෙහි ගෙඩියෙන් ගෙඩිය ජීවම් කළ යුතුය. දෙහි කැපීමේදී විවිධ මන්ත්‍ර ඇත. අවස්ථානුකූලව ඒවා යොදාගනු ලැබේ. එසේම ‘කිලි’ ගෙවල්වල ගිය පසුව නැවත නිවෙසට පැමිණෙන විට කහ සමග දෙහි ගෙඩියක් ශරීරයේ අතුල්ලා ස්නානය කිරීමෙන් ‘කිලි’ පහවන බව කියන්නේ එහි වන විෂබීජ නාශක ගුණයක් සමගින් විය හැකිය.

සුනෙත් ගාල්ලගේ