විශේෂාංග

සිරගත වූ රෝහණ විජේවීර හා ජේ.ආර් අතර ‘ඩීල්’ එකක්

ජ.වි.පෙ. යනු රෝහණ විජේවීරම මිස වෙන කිසිවකු නොවේ. පුද්ගලයකුට ඉතා විරලව පිහිටන දක්ෂතා රැසක් උරුම කරගෙන සිටි ඔහු සතුව දේශපාලනය ගැන පමණක් නොව වෙනත් විෂයන් ගැනද මහා දැනුම් සම්භාරයක් තිබූ බව පිළිගත යුතුය. එහෙත් ඔහුට අත්‍යවශයෙන්ම තිබිය යුතු එක් දෙයක් නොතිබුණේය. එනම් ස්ථිරසාර ප්‍රතිපත්තියකි.

එම නිසා මෙම දැනුම් සම්භාරය අවංකවත් නිවැරදිවත් පෙළ ගස්සනවා වෙනුවට ඔහු කළේ ඔහුටත් ජ.වි.පෙ. ටත් වුවමනා ආකාරයට ඒවා යොදා ගැනීම හා ප්‍රයෝජනයට ගැනීමය. මේ සඳහා ඔහු ප්‍රයෝජනයට ගත්තේ ඔහුගේ චතුර වාග් විලාසයයි. එමෙන්ම විශේෂිත උපක්‍රමයකි. එය නම් ෆ්ලැට් න්‍යායයි. මෙය ප්‍රතිවාදියාට පිළිතුරක් දෙනු වෙනුවට ප්‍රති ප්‍රශ්නයකින් හෝ වෙනත් තර්කයකින් ඔහු අපහසුවට පත් කර නිරුත්තර කිරීමයි. එම නිසා ෆ්ලැට් න්‍යායයේ පියා ලෙස හැඳින්වෙන්නේ රෝහණ විජේවීරය. විජේවීර ‘‘බෙරේ’’ වර්ගයේ කැප් එකක් පැලඳීමට පටන් ගත් පසුව ‘‘ඔබ දැන් තොප්පියක් පැලඳ ගෙන ඉන්නෙ මන්දැයි? පුවත්පත් සාකච්ඡාවකදී මාධ්‍යවේදියකු ඇසුවේය. විජේවීර ගත් කටටම ඇසුවේ ‘‘හෑන්ඩ් බෑග් එකක් අතේ තියාගෙන ඉන්නෙ ඇයි කියල ඔබ බණ්ඩාරනායක නෝනගෙන් අහනවද?’’ කියාය. විජේවීරගේ මෙම ෆ්ලැට් පිළිතුරු ක්‍රමය නිසා ජ.වි.පෙ. දේශපාලන මණ්ඩලය ඔහු පුවත්පත් සාකච්ඡාවලට නොයවන කාලයක් පවා තිබුණි.

මේ සම්බන්ධයෙන් මටම වූ පුද්ගලික අත්දැකීමක් ඇත.
විජේවීර සහෝදරයා අප ඇමතූ පක්ෂයේ අභ්‍යන්තර රැස්වීමකදී අද සිට පූර්ණ කාලීනයකු (FULL TIME MEMBER) ලෙස වැඩ කරන්නැයි ඔහු මගෙන් ඉල්ලා සිටියේය. එවිට මම අර්ධ කාලීනයෙකි. එයට එකඟ නොවූ මම ඒ සඳහා හේතුව දැක්වූයේ ‘‘ඇමීබයිසීස්’’ නම් බඩේ අමාරුවකි. ‘‘මෙන්න මෙයයි ඩොක්ටර් අතුලට දාලා (අතුල සුමතිපාල) බඩේ අමාරුව හොඳ කරල ෆුල්ටයිම් වැඩට ගන්න’’ ඔහු අපගේ දිස්ත්‍රික් ලේකම් ඇල්ගිරියේ මුණසිංහ සහෝදරයාට කිව්වේය. මම තවදුරටත් හේතු දක්වමින් එය ප්‍රතික්ෂේප කරන්නට වීමි. ‘‘ඇයි ඔය බඩේ ලෙඩේ හොඳ වෙනවට සහෝදරයා අකැමැතිද?’’ විජේවීර සහෝදරයා එසේ අසත්ම රැස්ව සිටි සහෝදර සහෝදරියන් සැවොම සිනාසුණි. තවදුරටත් පිරිසක් මැද පල්වීමට ඇති ලජ්ජාව නිසා ඉන් පසුව මම එකඟ වීමි. දේශපාලන මණ්ඩලයේ මධ්‍යම කමිටුවේ තව කොතෙකුත් නායකයන් හිටියද ජ.වි.පෙ. මත වැටී තිබුණේ විජේවීරගේ දැවැන්ත හෙවණැල්ලටය..

රෝහණ විජේවීරගේ දැනුම සමග තරග කළ හැකි තවත් සමානයකු ජ.වි.පෙ. නොසිටියේය. එම නිසා විජේවීර තම පක්ෂය ඇතුළතම බුද්ධිමය වශයෙන් හුදකලා විය. ජ.වි.පෙ. දෘෂ්ටිමය වශයෙන්ද ප්‍රායෝගික වශයෙන්ද එක් ප්‍රතිපත්තියක් නැතිකමට වැටීමට එම තත්ත්වය බෙහෙවින් බලපෑවේය.විජේවීර මොන තීරණය ගත්තද? මොන දේ කළද? එය වෙනස් කළ හැකි තවත් නායකයකු ජ.වි.පෙ. ඇතුළත නොසිටියෙන් අවසාන තීරකයාද ජයග්‍රාහකයාද වූයේ රෝහණ විජේවීරමය. අප මුල සිට 89 අරගලය දක්වා එමු.

විජේවීර ජ.වි.පෙ. හැදුවේම එක් දිනක් හෝ දෙකක් ඇතුළත කරන හදිසි සන්නද්ධ ප්‍රහාරයකින් රාජ්‍ය බලය අල්ලා ගැනීමටය. පක්ෂය දැඩි විනයක් යටතේ හැදිය යුතු බව පැවසූ ඔහු සාමාජිකයන්ට ප්‍රේම සම්බන්ධවල පැටලීම තහනම් කළේය. පසුව තමාම ප්‍රේම සම්බන්ධයක පැටලුණේය. ඒ අම්බලන්ගොඩ සිසිල් චන්ද්‍රගේ නිවසේ නැවතී සිටින විට ඔහුගේ නැගණිය යසෝමා සමගය. එය හෙළි වී පක්ෂයේ සහෝදරයන් විරුද්ධ වූ පසු යසෝමාට ලිපි කිහිපයක් ලියූ විජේවීර ඇයට තමා සමග පලා යාමට එන්නැයි යෝජනා කර තමා වාහනයක් ගෙන අසුවල් දවසේ එන්නෙමැයි කියා තිබූ බව මෑතකදී හෙළි කරන ලද්දේ ප්‍රධාන ධාරාවේ පුවත්පතකට ලිපි පෙළක් ලියූ ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු විසිනි. ඔහු එදා එම තරුණිය සමග පැන ගියේ නම් පසුව ශ්‍රී ලංකාවේ ඉතිහාසයට පරිච්ඡේද ගණන් එක් කළ මහා සංසිද්ධීන් දෙක සිදු නොවන අතර කොතරම් දුර්වලකම් තිබුණද රෝහණ විජේවීර යන ප්‍රබල නාමයද ඉතිහාසයට එක් නොවනු ඇත.

පසුව එම සම්බන්ධය වැරැද්දකැයි පිළිගත් විජේවීර පක්ෂයෙන් සමාව ගත්තේය.
අප්‍රේල් පහරදීමට පෙර අත්අඩංගුවට පත් වී යාපනයේ බන්ධනාගාරයේ සිටින විජේවීර තමා බැලීමට ආ වනාතමුල්ලේ ඔස්මන්ඩ් සිල්වාගේ මෑණියන් වූ සීලවතී මාතාව අතේ පක්ෂයට පණිවුඩයක් එවන්නේ පහරදීමට නොගොස් පසු බසින ලෙසය. සීලවතී මාතාව මියයන තුරුම විජේවීර තමාට එසේ කියූ බව පැවසුවාය. එහෙත් ඊට පසු තමා බැලීමට ආ සගයකු අතේ පහරදීමේ තීරණය එවන විජේවීර තමා මුදා ගැනීමට 500ක කණ්ඩායමක් එවන ලෙසද දන්වා සිටියි. එසේ ගිය කණ්ඩායම යාපනේ බන්ධනාගාරයට ප්‍රහාරය එල්ල කළද අසාර්ථක වූයේය.

කැරැල්ලේ පරාජයෙන් හා විනාශයෙන් පසු සන්නද්ධ ප්‍රහාරයේ සියලු වගකීම් නිමලසිරි ජයසිංහ හෙවත් ලොකු අතුල පිටට දැමූ විජේවීර කැරලි ගැසූ වීරයා වන ලොකු අතුල වරද පිළිගෙන ආණ්ඩුවේ ප්‍රධාන සාක්ෂිකාරයා වූ හේතුවෙන් ඔහු ද්‍රෝහියා කර 71 කැරැල්ලේ සියලු ගෞරව තමා ප්‍රමුඛ ජ.වි.පෙ. දෙසට හරවා ගත්තේය.

ඔහුට ජීවිතාන්තය දක්වා (වසර 20ක) සිරදඬුවමක්ද අනෙකුත් අයට වසර 8, 12 ආදී වශයෙන් දඬුවම් ලැබ සිරගතව සිටියදී දෙවිනුවර මන්ත්‍රීවරයා වූ රොනී ද මැල් හරහා ජේ.ආර්. ජයවර්ධන සමග රහසිගත එකඟතාවකට පැමිණියේය.

අද ව්‍යවහාරයෙන් ‘‘ඩීල්’’ එකක් දා ගත්තේය. ඒ අනුව 1977 මහා මැතිවරණයෙන් යූ.ඇන්.පී.ය ජයගත් පසු තමන්ට නිදහස ලැබෙන බව ඔහු ස්ථිරවම දැනගෙන සිටියේය. මේ එකඟතාව අනුව තමා රජයක් පිහිටු වූ පසුව අප්‍රේල් කැරැල්ලට සිරදඬුවම් විඳින දේශපාලන සිරකරුවන් නිදහස් කරන බව ජේ.ආර්. ප්‍රසිද්ධියේ කිව්වේය. එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකුම බිම දමා ගැනීම ජේ.ආර්. ගේ ඉලක්කය විය. විජේවීරලා නිදහස් කළ පසුව ශ්‍රී.ල.නි.පයට හා බණ්ඩාරනායක මැතිනියට එරෙහිව යොදවා ගැනීම ඔහුගේ ප්‍රධාන අරමුණ වූයේය. දෙවැන්න ජ.වි.පෙ.ට සම්බන්ධ පවුල්වල සහයෝගය එ.ජා.ප. යට ලබා ගැනීමය.

මේ සියල්ල එසේම ඉටු වූයේය. ජ.වි.පෙ. හිතවාදී පවුල් එළිපිට මෙන්ම රහසිගතව ද එ.ජා.ප.පයට වැඩ කළහ. මේ සඳහා දිය හැකි හොඳම උදාහරණය අප්‍රේල් මහ නඩුවේ දෙවැනි විත්තිකරුවා වී වසර 12ක සිරදඬුවමක් ලබා සිටි ලයනල් බෝපගේ ගේ මුළු පවුලම එනම් පියා සහ මව නැගණියන් තිදෙනා සහ මළණුවන්, මස්සිනා ආදී සියලු දෙනා වැලිගම ආසනයේ එ.ජා.ප. බලවතා වූ මොන්ටේගු ජයවික්‍රමට වැඩ කිරීමය.

77 මහමැතිවරණයෙන් ටික කලකට පසු රෝහණ විජේවීර සහ ජ.වි.පෙ. තවත් නායකයන් දෙදෙනකු රාත්‍රීන් කිහිපයකදීම ජේ.ආර්.ගේ වෝඩ් ප්ලේස්හි නිවසට ගොස් කෝපි බිබී රහස් සාකච්ඡා පැවැත්වූ බව අප ඉහත ලිපියක ලියා ඇත. බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතීන් අහෝසි කළ කොමිසමේ ජ.වි.පෙ. ප්‍රබල සාමාජිකයන් දෙදෙනකු සාක්ෂි දෙන්නේ ඒ අනුවය. රෝහණ විජේවීර විසින්ම ‘‘ශ්‍රී.ල.නි.ප.යේ ගමනක අවසානය’’ දේශන මාලාවක් ලෙස රට පුරා පැවැත්වීම එහි තවත් පියවරකි.

ඇත්ත වශයෙන්ම මේවා මාක්ස්වාදී කොමියුනිස්ට්වාදී විප්ලවවාදී දේශපාලනයට කොහෙත්ම නොගැළපෙන, අයත් නොවන විලිලජ්ජා නැති දේවල්ය. මේවා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කුමන්ත්‍රණය. ජ.වි.පෙ. මෙවැනි කුමන්ත්‍රණය සහ ගේම්වලට කප් ගසා ඇති පක්ෂයකි.

ජ.වි.පෙ. නායකයන් කොතෙක් නැත කිව්වද කුමන පුහු තර්ක ගෙන ආවද ජ.වි.පෙ. 2015 ජනවාරි 08 සිදු කළ බල පෙරළියට පෙර සිදු කළ කුමන්ත්‍රණයේ ප්‍රබල කොටස්කරුවෙකි. එදා විජේවීරගේ ජ.වි.පෙ., ජේ.ආර් සමග කුමන්ත්‍රණය කර සිරිමා බණ්ඩාරනායක ගෙදර යැව්වා සේ මෙදා අනුර කුමාරගේ ජ.වි.පෙ. චන්ද්‍රිකා, මංගල, රාජිත, චම්පික යන පිරිස සමග එකතු වී කුමන්ත්‍රණය කොට මහින්ද රාජපක්ෂ පරාජය කළේය. තමන් මාක්ස්වාදී වමේ පක්ෂයක් යැයි කියා ගන්නා ජ.වි.පෙ. මේ දෙවතාවේදීම සේවය කළේ නැතහොත් ක්‍රියා කළේ අන්ත ප්‍රතිගාමී ධනපති එ.ජා.ප.ය. බලයට පත් කිරීමටය.

අප ඉහත කී ලෙස ජේ.ආර්. සමග වූ එකඟතාවකින් නිදහස ලබාගත් විජේවීර ඉන්පසු රට පුරා යමින් කිව්වේ වෙනත් කතාවකි. එනම් ජේ.ආර්., ජ.වි.පෙ. නායකයන් නිදහස් කළේ ජ.වි.පෙ. ට ඇති අනුකම්පාව නිසා නොව එවාට විදේශ විනිමය වංචා චෝදනාවට වරදකරුවන් වී සිරදඬුවම් විඳින ජේ.ආර්. ගේ මිත්‍රයන් වූ ‘‘තාහා සහ මුක්තාර්’’ යන දෙදෙනා නිදහස් කිරීමට හදිසි නීතිය අහෝසි කළ බැවින් හදිසි නීතිය යටතේ දඬුවම් කර සිටි විජේවීරලා නිකම්ම එළියට වැටුණු බවය.

හයෙන් පහක විශාල බලයක් තිබූ තමාට කළ නොහැක්කේ ගැහැනියක් පිරිමියෙක් කිරීම පමණකැයි ප්‍රසිද්ධියේම කියූ, අධිකරණයෙන් වරදකරුවකු කර දඩයක්ද ගැසූ ප්‍රේමදාස උඩුගම්පොළට උසස්වීමකදී රජයෙන්ම දඩ මුදලද ගෙවූ, කළු ලකීලා ලවා නඩුකාරවරුන්ගේ නිවෙස්වලට ගල් ගැස්සවූ ජේ.ආර්. ට තම මිත්‍රයන් දෙදෙනා නිදහස් කර ගැනීමට වුවමනා වී නම් තව කොතෙක් ක්‍රම තිබෙන්නට ඇත්ද? දෙදෙනකු නිදහස් කර ගැනීමට ගොස් විජේවීර ඇතුළු සිය ගණනක් නිදහස් වන බව නොදැන සිටීමට තරම් ජේ.ආර්. තොත්ත බබෙක්ද?

මේ ලියන අප ද එදා විජේවීරයන් කියන දෙය කිසිදු විචාරයකින් තොරව පිළිගන්නා අනුගාමිකයන් ව සිටියෙමු. එයට ආදරය හා භක්තියද හේතු විය. එහෙත් අද එසේ නොවේ. වියපත් මිනිසුන් වශයෙන් අද අප ප්‍රමුඛත්වය දෙන්නේ විචාරශීලීව හා විමර්ශනාත්මකව සත්‍යය දැකීමට හා නොබියව එය ප්‍රකාශ කිරීමටය.

හිර ගෙවලින් නිදහස් වී එනතුරුම බලය ලබා ගැනීම සඳහා ජ.වි.පෙ. විශ්වාස කළ ක්‍රමය සන්නද්ධ අරගලයයි. එවිට පාර්ලිමේන්තුව හොර ගුහාවකි. අද ඇත්තටම හොර ගුහාවක් වී ඇති පාර්ලිමේන්තුවට ජ.වි.පෙ. එදා එසේ කිව්වේ අද අර්ථයෙන් නොවේ. එයින් කිසිදු යහපතක් සිදු නොවන ජනතාව රවටන ආයතනයකි යන අර්ථයෙනි. එසේම ඒ වන විට පාර්ලිමේන්තු සමාජවාදයට කොටු වී සිටින්නේ යැයි ජ.වි.පෙ. චෝදනා කරන සමසමාජ පක්ෂයේ සහ කොමියුනිස්ට් පක්ෂයේ නායකයන් ඔවුන්ගේ නිර්දය විවේචනයට ලක්විය. ජ.වි.පෙ. පන්ති පහේ දෙවැනි පන්තිය වූ ‘‘ශ්‍රී ලංකා මෙන්ෂෙවික් ව්‍යාපාරය’’ තනිකරම වෙන්වූයේ සමසමාජ කොමියුනිස්ට් පක්ෂ දෙකට ගසා ඒවා සමතලා කර දැමීමටය. එම පන්තියට න්‍යායික කරුණු මෙන්ම අපහාස උපහාසද ඇතුළත් විය.

ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා සහ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා, ජේ.ආර්. ජයවර්ධනගේ හොඳම මිතුරන් දෙදෙනා වීමද එක් උපහාසයකි. ඔවුන් මිතුරන් වන්නේ සමාන අධ්‍යාපනය, උගත්කම හා බැඳුණ පන්ති සමානාත්මතාවත් නිසාවෙන්ය. එසේ නම් උගත්කමින් හා පන්ති පදනමින්ද සමාන නොවන රනිල්ලා, රවිලා, විශ්වවිද්‍යාල මට්ටමට පමණක් ගිය නිර්ධන පන්ති ජ.වි.පෙ. නායකයන්ගේ ගජ මිතුරන්ව සිටින්නේ කෙසේද? ජ.වි.පෙ. යනු මෙන්ෂෙවිකයන්ගේ විරුද්ධාර්ථය වන බොල්ෂෙවිකයෝය. බහුතරය හෙවත් වැඩි දෙනාය. එහෙත් අවුරුදු 54ක් දේශපාලනය කරන මේ අයට මුළු රටෙන්ම 10%ක ඡන්ද පදනමක් නැත.

 

රෝහිත මුණසිංහ