brand logo

සියලු සරසවි වල සිසුන් PCR පරීක්ෂාවට

12 October 2020

මේ වනවිට විශ්වවිද්‍යාලවල රැඳී සිටින සියයට හැටක් පමණ වන සිසු පිරිසට අහඹු ලෙස හෝ පී.සී.ආර්. පරීක්ෂා සිදු කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇත. කැලණිය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවලින් කොවිඩ් ආසාදිත සිසුවියන් හමුවීම නිසා කොමිෂන් සභාව මෙම තීරණය ගෙන තිබේ. කැලණිය විශ්වවිද්‍යාලයීය කලා පීඨයේ තෙවැනි වසරේ සිසුවියකට වයිරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වූයේ පෙරේදා (10 වැනිදා) සවසය. ඇය මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටින අතර ඇයගේ පියා බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයෙකි. මෙම සිසුවිය ඉකුත් 28 වැනිදා විශ්වවිද්‍යාලයට පැමිණ 30 වැනිදා යළි නිවසට ගොස් ඇත. ඇයට වයිරසය ආසාදනය වී ඇත්තේ විශ්වවිද්‍යාලයෙන් පිටතදී බව පරිපාලනය විශ්වාස කරයි. මේ වන විට විශ්වවිද්‍යාලයට නිවාඩු ලබාදී ඇති බැවින් එම සිසුවිය සමග දේශනවලට සහභාගි වූ සෙසු සිසුන් කවුරුන්ද යන්න පිළිබඳ පදිංචි ප්‍රදේශවල සෞඛ්‍ය අංශවලට දැනුම් දෙමින් සිටින බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් එම විශ්වවිද්‍යාලයීය ලේඛකාධිකාරී එම්. කරුණාරත්න සඳහන් කළේය. වයිරසය ආසාදනය වූ බවට තහවුරු වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය කළමනාකරණ පීඨයේ තෙවැනි වසර සිසුවිය සමීපව ඇසුරු කළ සිසුවියන් තිදෙනකු ඇතුළුව පනස් තුන්දෙනකු පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකර තිබේ. එම පරීක්ෂණ වාර්තා අනුව විශ්වවිද්‍යාලයට නිල වශයෙන් නිවාඩු ලබාදෙනවාද, නැද්ද යන්න පිළිබඳ අද (12 වැනිදා) තීරණය කරන බව එහි උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ ‘අරුණ’ ට පැවැසීය. දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි සිසුන් විශ්වවිද්‍යාලවල රැඳී සිටින බවත් පවතින තත්ත්වය මත ඔවුන් කෙරෙහි බරපතළ අවධානයක් යොමු කළ යුතු බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පැවැසීය. නිලත්ත මදුරාවල
 

More News..