කතුවැකි

සියලු රජයේ සේවකයන් කැඳවීම හා වැඩ කිරීම

සියලුම රජයේ සේවකයන් අද සිට යළි සේවයට කැඳවීමට ආණ්ඩුව තීරණය කර තිබේ. ඇතැම් විදේශ මාධ්‍ය ආණ්ඩුවේ මෙම තීරණය වාර්තා කර ඇත්තේ එතරම් නුවණට හුරු ක්‍රියාවක් නොවන බව හැඟවෙන පරිදිය. මේ නිසා ඔවුන් මෙම පුවත වාර්තා කර ඇත්තේ ‘‘කොවිඩ් අවදානම ඉහළ යද්දී ශ්‍රී ලංකා ආණ්ඩුව රජයේ සේවකයන් සේවයට කැඳවයි’’ වැනි අදහසක් ගන්නා සිරස්තල සමගය. මේ අදහසම ඇති අය මෙරට සමාජයේ හිඟ නොවන බවට සැකයක් නැත. විශේෂත්වය වන්නේ ඉන් බහුතරය රජයේ සේවකයන් නොවීමය.

ආණ්ඩුව රජයේ සේවයේ සියලු දෙනා සේවයට කැඳවා ඇත්තේ රට තුළ බලවත් සෞඛ්‍ය අවදානමක් තිබියදී බව සත්‍යයකි. යළිත් වරක් ආසාදිතයන්ගේ සංඛ්‍යාවත් වැඩි වන්නට පටන් ගෙන ඇති අතර මරණ සංඛ්‍යාවද ඉහළ යමින් තිබේ. හොංකොං විශ්වවිද්‍යාලයේ වසංගතවේදය පිළිබඳ මහාචාර්ය මලික් පීරිස් පවසන අන්දමට කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය දරුණුම ව්‍යාප්තිය සිදුවිය හැක්කේ ඉදිරි මාස කිහිපය තුළදීය. රට තුළ පවතින අනතුරුදායක තත්ත්වය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අනතුරු අඟවා ඇතැයි අද අපේ පත්‍රයෙන් වාර්තා කර ඇත.

මේ අනුව පළාත් සංචරණ සීමාවන්ද අහෝසි වන්නට හැර සියලු රජයේ සේවකයන් යළි සේවයට කැඳවීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ ඉතාමත් අවදානම් සහගත අභියෝගයක් තිබියදී බව පැහැදිලිය. සිහිකල්පනාව ඇති කිසිවකුට ඊට හේතු පැහැදිලි කළ යුතුව ඇතැයි සිතිය නොහැකිය.

රජයේ සේවකයන් සියලු දෙනා එකවර සේවයට කැඳවෙන්නේ මාස තුනකට ආසන්න කාලයකින් පසුවය. පසුගිය මැයි මාසයේ දහවැනිදා සිට ඔවුන්ගෙන් බහුතරය රාජකාරියේ නියුතු වූයේ තම තමන්ගේ නිවෙස්වල සිටය. තම තමන්ගේ නිවෙස්වල සිට රාජකාරි ඉටු කළේ යැයි කියන නමුත් රජයේ සේවකයන් වැඩි පිරිසකට සේවා ස්වාභාවය, තාක්ෂණික පහසුකම් ආදී කාරණා හේතුවෙන් ඔවුන්ගේ නිවෙස්වල සිට කරන්නට තරම් රාජකාරියක් තිබුණේ නැත. තම නිවසේ සිට වැඩියෙන්ම රාජකාරි කළේ නම් ඒ ගුරුවරුන් පමණය. එහෙත් තාක්ෂණික පහසුකම් ප්‍රශ්න නිසා ඔන්ලයින් ඉගැන්වීම පවා සියයට සියයක්ම සාර්ථක වූයේ නැත.

කොවිඩ් තත්ත්වය නිසා රටේ ආර්ථිකයට සිදුව තිබෙන විපත්තිය කවුරුත් දන්නා කාරණයකි. රජයේ සේවය අඩපණ වීම ආර්ථිකයේ පසුබෑමට එක් හේතුවකි. රාජ්‍ය ආදායමට විශාල දායකත්වයක් දක්වන වරාය, රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යන මේ සියල්ල රාජ්‍ය ආයතනය. රාජ්‍ය ආයතන මගින් රාජ්‍ය ආදායමට ලැබෙන දායකත්වය සැලකිය යුතු තරමින් අඩු වී ඇතත් පසුගිය මාස තුනක කාලය තුළදී ලක්ෂ 14ක් ඉක්ම වූ සියලු රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම නතර වූයේ නැත. මේ වන විට රජයේ බදු ආදායමෙන් සියයට 85ක් පමණ වැය වන්නේ රාජ්‍ය සේවයේ වැටුප් සඳහාය. රටේ ආදායම අඩු නොවී තිබියදී පවා මෙම වියදම විශාල බරක්ව තිබූ තත්ත්වයක් තුළ ආදායම අඩු වී ඇති මේ කාලයේ මෙම වියදම කොතරම් බරක් දැයි නොතේරෙන්නේ කාටද?

රාජ්‍ය සේවය අකර්මණ්‍ය වී තිබෙන තත්ත්වයක් තුළ තවත් කී දෙනකුගේ ආදායම් මාර්ග අහිමි වී තිබේද? පෞද්ගලික බස් කර්මාන්තය ඉන් එක් ක්ෂේත්‍රයක් පමණකි. සංචරණ සීමා පැවැති කාල සීමාව තුළ පෞද්ගලික බස් කර්මාන්තයේ තිස්දහසකට ආසන්න පිරිසකට සිය ආදායම් මාර්ග අහිමි වී ඇති බවට වාර්තා පළව තිබුණි. රාජ්‍ය ආයතන වසා තැබීම නිසා බුලත්විට කඩයේ සිට තවත් කී ලක්ෂයකට සිය ආදායම් මාර්ග අහිමි වන්නට ඇත්දැයි කිසිවකු තවමත් ගණන් බලා නැත.

මෙම සියලු තත්ත්වයන් සැලකිල්ලට ගත් විට රට මුළුමනින්ම විවෘත කර සාමාන්‍ය පරිදි කටයුතු කරනවා හැරෙන්නට අන් විකල්පයක් ඇතැයි කිව නොහැකිය. ආණ්ඩුව මෙම තීරණය ගෙන ඇත්තේ මතුවිය හැකි අවදානම වළක්වා ගැනීමට දැනට ගත හැකිව තිබෙන සුදුසුම පියවර ගැනීමෙන් පසුවය. එන්නත්කරණය කොවිඩ් වසංගතයට ප්‍රතිකාරයක් නොවුණත් එය ආාසාදිතයකු නොවී සිටීමට සුදුසුම ආරක්ෂක පියවර බව අපි මීට පෙරද පෙන්වා දී ඇත්තෙමු. මේ වන විට රටේ ජනගහනයෙන් සියයට හතළිහකට වැඩි පිරිසකට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා දී අවසන් අතර මාත්‍රා දෙකම ලබාදී ඇති පිරිස මිලියන දෙකක් හෙවත් ජනගහනයෙන් සියයට දහයකට ආසන්නය. මේ වසර අවසන් වීමට පෙර වයස අවුරුදු 12ට වැඩි සියලු දෙනාටම එන්නතක් ලබා දීම රජයේ අපේක්ෂාවය.

මේ අනුව ආණ්ඩුව රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා තම වගකීම ඉටු කරමින් සිටින අතර අද සිට සේවා ස්ථාන වෙත වාර්තා කරන සියලු දෙනාගේ වගකීම වන්නේ සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් පිළිපදිමින් තම රාජකාරිය ඉටු කිරීමය. කොවිඩ් වසංගතයෙන් ආරක්ෂාව වීම සඳහා සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම තම තමන්ගේ වගකීමක් බව දැන උගත් පිරිසක් වන රජයේ සේවකයන්ට අමුතුවෙන් පැහැදිලි කර දිය යුතු නැති බව අපගේ අදහසය.

මෙහිදී ඔවුන් වෙත අවධාරණය කළ යුතු කාරණයක් තිබේ. කොවිඩ් ආරක්ෂණ සෞඛ්‍ය උපදෙස්වලට මුවා වී තම තමන්ගේ රාජකාරි ප්‍රමාද නොකළ යුතු බවය. දැනටමත් රටේ කටයුතු මාස තුනක් නොව වසර දෙකකට ආසන්න කාලයක් පස්සට ගොස් තිබේ. මෙය සාමාන්‍ය තත්ත්වයට පත් වන්නට නම් වෙනදාට වඩා උනන්දුවකින් ඕනෑකමකින් හා ඵලදායී ලෙස රාජකාරි කිරීමට රජයේ සේවකයන්ට සිදුවනු ඇත. මහජන මුදලින් වැටුප් ලබන ඔවුන් මේ බව හොඳින් තේරුම් ගෙන කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කරමු.

සුපුරුදු පරිදි චක්‍රලේඛවලටම සීමා නොවී තාක්ෂණය මත පදනම්ව නිර්මාණාත්මකව කල්පනා කරන්නේ නම් රජයේ සේවයේ කටයුතු කාර්යක්ෂම කළ හැකිවා පමණක් නොව ජනතාව සමග මුසුව කටයුතු කිරීමේදී ඇතිවිය හැකි කොවිඩ් අවදානමද පහ කර ගත හැකි වනු ඇත.

දැනටමත් අන්තර්ජාලය හරහා ඉටු කෙරෙන, සේවා එලෙසම කර ගෙන යෑම එක් ක්‍රමයකි. තවත් එලෙස ඉටු කළ හැකි සේවා හඳුනාගෙන ඊට අනුව කටයුතු කරන්නේ නම් මහජනතාව අනවශ්‍ය ලෙස රජයේ කාර්යාලවල ගැවසීම් අඩු කර ගත හැකිය. මහජනතාව කිසියම් සේවාවක් ඉටු කර ගැනීම සඳහා තමන් වෙත පැමිණි විට රජයේ සේවයේ සුපුරුදු රස්තියාදුවට ලක් නොකර ඉක්මනින් කෙටි කාලයක් තුළ ඔවුන්ගේ සේවා ඉටු කරදී පිටව යෑමට සැලැස්වීමෙන් කාර්යාලවල අනවශ්‍ය තදබදය අඩු කර ගත හැකිය.

රජයේ කාර්යාලයකින් සේවාවක් ඉටු කර ගැනීමට යන කෙනෙකුට රස්තියාදු වන්නට ප්‍රධාන හේතුව නම් එකී සේවාව ඉටු කර ගත හැකි ආකාරය ගැන පැහැදිලිව උපදෙස් දෙන ක්‍රමයක් නොමැතිකමය. මේ නිසා මේ දිනවල සෑම රජයේ කාර්යාලයකම නමට පමණක් නොව සැබෑම උපකාරක සේවාවක් ආරම්භ කිරීම වැදගත්ය. මෙම උපකාරක සේවය තවත් පුළුල් කරමින් කිසියම් අයකුට අදාළ කාර්යාලයට එන්නට පෙර අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට දුරකථන උපකාරක සේවාවක් ආරම්භ කළ හැකිය. අප මේ කියන්නේ 1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය වැනි අහලා කියන්නට හෝ ඇමතුම් භාර නොගන්නා පන්නයේ එකක් නොවන බව මතක් කළ යුතුය.