අතන මෙතන

සියඹලාණ්ඩුව මූලික රෝහලේ වෛද්‍යවරුන්ගේ හා හෙද හෙදියන්ගේ උග්‍ර හිඟයක්

මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන රෝහලක් වන සියඹලාණ්ඩුව මූලික රෝහලේ පවතින වෛද්‍යවරුන්ගේ සහ හෙද හෙදියන්ගේ හිඟය නිසා රෝහලේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යාම පවා අසීරුවී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

රෝහල සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට වෛද්‍යවරුන් තිස්දෙනෙකු සිටිය යුතු නමුත් දැනට සිටින්නේ වෛද්‍යවරුන් එකොළොස් දෙනෙකු පමණි.

හෙද හෙදියන් අසූදෙනෙකුගේ සේවය අවශ්‍යවී ඇතත් දැනට සිටින්නේ හතලිස්දෙනෙකු පමණි.

සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පමණක් නොව ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචිකරුවන්ද ප්‍රතිකාර ලබාගැනීමට පැමිණේ මෙම රෝහලටය.

බාහිර රෝගී අංශයට දිනකට රෝගීන් දෙසියයකට ආසන්න පිරිසක් ප්‍රතිකාර ගැනීමට පැමිණෙති.රෝහලේ වාට්ටුවලද සියයකට ආසන්න පිරිසක් නේවාසිකව ප්‍රතිකාර ලබති.

ප්‍රමාණවත් පරිදි වෛද්‍යවරුන් හා හෙද හෙදියන් නොමැතිවීම නිසා රෝහලේ එදිනෙදා සේවාවන් ඉටුකිරීම අසීරුවී තිබෙන අතර සේවයේ නියුතු වෛද්‍යවරුන්ට හා හෙද හෙදියන්ට තමන්ට හිමි නිවාඩු පවා ලබානොගෙන සේවයකිරීමට සිදුවී තිබේ.
මේ පිළිබඳව රෝහලේ වෛද්‍ය අධිකාරි ධම්මික දිසානායක මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ රෝහලේ පවත්නා වෛද්‍යවරුන්ගේ හිඟය එදිනෙදා සේවාවන් පවත්වාගෙන යාම විශාල ගැටලුවක්වී ඇති බවයි.කායික රෝග සහ ළමා රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකු සිටිනවා. සායන පැවැත්වෙන දින වලදී ඒ වෙනුවෙන්ද සාමාන්‍ය වෛද්‍යවරයෙකු යෙදවීමට සිදුවෙනවා.බාහිර රෝගී අංශයටද වෛද්‍යවරුන් යෙදවිය යුතුයි. ඊට අමතරව නේවාසික රෝගීන් වෙනුවෙන්ද වෛද්‍යවරුන් යොමුකර යුතුයි.

රෝහලට අනුමත වෛද්‍යවරුන් සංඛ්‍යාව තිහයි.නමුත් සිටින්නේ වෛද්‍යවරුන් එකොළොස්දෙනයි.වෛද්‍යවරුන් තිස් දෙනෙකුගෙන් ඉටුවියයුතු සේවාවන් එකොළොස් දෙනෙකුගෙන් සිදුකිරීමට යාමේදී ගැටලු රාශියකට මට මුහුණ පෑමට සිදුවී තිබෙනවා.රෝහලේ පවතින වෛද්‍යවරුන්ගේ හිඟය සහ හෙද හෙදියන්ගේ හිඟය පිළිබඳව ඌව පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත දැනුම්දී තිබෙනවා.

කැලුම් ගුණතිලක මොනරාගල