සියදිවි හානිකර ගන්න අය මුදවන්න අවුරුදු විසි පහක් කැප කළා
09 February 2020
සියදිවි හානිකර ගන්න අය මුදවන්න අවුරුදු විසි පහක් කැප කළා
09 February 2020
අපට සිටින ප්‍රවීණ රංගවේදියකු වන වසන්ත කොටුවැල්ල දශක දෙකහමාරකට පසුව සිය රංගන වින්‍යාසය අවදි කර තිබෙනවා. ඒ කෘතහස්ත ලෙඛකයකු වන සයිමන් නවගත්තේගම ‘සංසාරාරණ්‍යය අසබඩ’ නවකතාව ඇසුරෙන් නවගත්තේගමයන් විසින් රචනා කරන ලද ටෙලි නාට්‍ය පිටපතෙන් නිර්මාණය වූ සංසාරාරණ්‍යය අසබඩ තුළින්ය.
වසර ගණනාවක නිහැඬියාවකට හේතුව කුමක්ද?
1995 දී ලංකාවේ සියදිවි හානිකර ගැනීමේ ප්‍රතිශතය බොහොම ඉහළ මට්ටමකට ගියා. එක්තරා අවස්ථාවක වැඩිම සියදිවි හානිකර ගැනීම් වාර්තා වුණේ ලංකාවෙන්. මේ වෙලාවේ මෙකී තත්ත්වය පාලනය කිරීමට මගේ දායක්තවය ලබාදීමේ අරමුණෙන් මම ඔය හැම දේම අතහැරලා එක්තරා ආයතනයක් එක්ක මේ සම්බන්ධව කටයුතු කරන්න ගියා. වැඩ කරගෙන යද්දි මට හිතුණා, පුර්ණ කාලීනව මෙහි වැඩ කරන්න ඕන කියලා. සියදිවි හානිකර ගැනීම් වැඩිවෙලා තිබුණ දුෂ්කර ප්‍රදේශ වලට ගිහින් වැඩ කරපු නිසා කලාවෙන් ගොඩක් ඈත්වුණා.
මේ කාලයේ ඔබට ලැබුණ ඇරයුම එකහෙලාම ප්‍රතික්ෂේප කරනු ලැබුවාද?
සමහරක් වෙලාවල මට වැඩවලට කතාකරපු අවස්ථා තිබුණා. ඒත් මම ඒවට ගියේ නැහැ, එකවර වැඩ දෙකක් කරන්න බැරි නිසා. මට ඇරයුම් ලැබුණ සමහර නිර්මාණ සම්බන්ධව මට සෑහීමකට පත්වෙන්න බැරි නිසාත්, මම ඒ දෙවල් ප්‍රතික්ෂේප කරල තියෙනවා. තිර පිටපත කියවල මට ඒක හරි නැහැ කියල හිතුණොත් මම ඒක කරන්නෙ නැහැ. නමුත් මම ක්ෂේත්‍රයෙන් අයින් වෙලා ඉන්න කාලේ එක චිත්‍රපටයක රඟපෑවා. ඒ සුමිත්‍රා රහුබද්දගෙ ‘කන්දක් සේමා’ නවකතාව ඇසුරෙන් අශෝක අතාවුදහෙට්ට අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයේ. ඊට පස්සෙ තමයි ‘සංසාරාරණ්‍යය අසබඩ’ ටෙලිනාට්‍යයේ රඟපාන්නෙ.
කාලෙකට පස්සෙ රංගනයට එද්දි මෙහි සිදුවී තිබෙන වෙනස්කම් ඔබට දැනුණෙ කොහොමද?
එහෙම වෙනසක් මට දැනුණෙ නැහැ. ඒකට හේතුව මම ක්ෂේත්‍රයෙන් අවිඥානිකව අයින් වුණාට සවිඥානිකව මම මේවාගෙ රැඳිලා ඉන්නව. එකවර වැඩ දෙකක් කරන්න බැරි නිසා අයින් වෙලා හිටියා මිස මේකට තියෙන අකමැත්තක් නිසා රඟපෑමෙන් අයින් වුණා නෙවෙයි. රඟපෑමේ යෙදිල ඉන්නවට වැඩිය විශාල අරුතක් මට ඒ කාලය තුළ දැනුණා. අනිත් කාරණය මම ඒ කාලෙ ඒ තරම් සතුටකින් නෙවෙයි හිටියෙ.
කිසියම් කලකිරීමකුත් මේ දුරස් වීම පසුපස පැවතුණාද?
ඒ තිබුණ සංස්කෘතිය රඟපෑම් කරත්දි නිෂ්පාදන කටයුතු කරන විදිහ ගැන මට පැහැදීමක් තිබුණෙ නැහැ. වෙලාවට වැඩ කරන්නෙ නැහැ. සමහර පහසුකම් අවශ්‍ය වෙලාවට ලැබෙන්නෙ නැහැ. සමහර විට මෙවැනි හේතු මතුවෙන්න නිෂ්පාදන කරන අයටත් විවිධ ප්‍රශ්න තියෙන්න ඇති. කොහොම වුණත් මේක මට හරියන්නෙ නැති ගතියක් තිබුණා. මේ ගැන වෙන කාටවත් දොස් කියන්න මම සුදානම් නැහැ. මම කල්පනා කළා මේකෙන් ඈත් වෙනව කියල. මම දේවල් පසුපස හඹායන්නෙ හෝ විරුද්ධව අරගල කරන මනුස්සයෙක් නෙවෙයි. මට හරියන්නෙ නැහැ කියල හිතුණොත් මම ඔනෑම පරිසරයකින් ඉවත් වෙනව. ඒක මගේ හැටි.
කලකට පසු සම්බන්ධ වෙන්න ලැබුණ මේ විශේෂ නිර්මාණය ගැන ඔබේ අදහස් කුමක්ද?
මේ චරිතය ගැන මට කතා කරන්න එනකොට මම නවගත්තේගමගේ දඩයක්කාරයා, උරුමකාරයාගෙ කතාව, සංසාරාරණ්‍යය අසබඩ යන පොත් තුනම කියවල තිබුණා. මේ තුන හතරෙන්ම සමාජයේ එක්තරා හරස්කඩක් තමයි කතා කරන්නෙ. මෙහි මම රඟපාන හාමුදුරුවන්ගෙ චරිතය මම තේරුම් ගත් විදිහ නම් උන්වහන්සේ සමාජය දකින අකාරය හා දකින්න කැමැති ආකාරය අතරෙ මිරිඟුවක් තමයි තියෙන්නෙ. මේ චරිතය ගැන තවදුරටත් කතා කරන්න මම කැමැති නැහැ එයින් නරඹන්නාගේ රසාස්වාදයට බාධා වෙනවා.
කලකට පසු අලුත් පරම්පරාව සමග වැඩ කරන්න ලැබීමේ අත්දැකීම කුමනාකාරද?
මට දැනෙන හැඟීම හරිම සුන්දරයි. අලුත් අය ගැන අනිත් අය එක්ක කතාකරනවාට වඩා අලුත් අය එක්ක වැඩ කරත්දී එයාලගෙන් ඉගෙන ගන්න බොහෝ දෙවල් තියෙනවා. මම හැම වෙලාවෙම ඕනම කෙනකුගෙන් යමක් ඉගෙන ගන්න පසුබට වෙන්නෙ නැහැ. මම ඔවුන්ගෙන් ඉගෙන ගනිමින් රඟපෑව ඒක හරිම සුන්දර අතදැකීමක්.
ඉදිරියේදී ලැබෙන නිර්මාණවලට දායක වෙන්න කාලය සොයා ගන්න ඔබ සුදානම්ද?
කොහොමටත් කොයි කාලෙත් ලැබෙන හැම එකක්ම මම රඟපෑවේ නැහැ. මම වැඩක් භාරගන්නවද නැද්ද කියල තීරණය කරන්නෙ මාත් එක්ක වැඩේ ගැන කතාකරන්න එන පුද්ගලයා කතා කරන විදිහ අනුව තමයි. ඔහුට පුළුවන් වෙන්න ඕන මාව යම්කිසි තැනකට ගේන්න. ඔහු නවකයෙක් වුණත් මට ප්‍රශ්නයක් නැහැ. කෙනෙක් හොඳ නිර්මාණයක් කරන්න උත්සාහ දරනව නම් ඒකට සහභාගි වෙන්න මම කැමැතියි. ඒක අසාර්ථක වුණත් මට ප්‍රශ්නයක් නැහැ. හොඳ වැඩක් කරන්න ගිහින් ලෝකයම ඒ වැඩේ ප්‍රතික්ෂේප කළත් මම ඒ කාර්ය වෙනුවෙන් ඒ පුද්ගලයා සමග ඉන්නවා.
ධම්මිකා සුරංජි පතිරණ
ඡායාරූපය - ඒශාන් දසනායක