විශේෂාංග

සිංහල ජාතියේ සැබෑ සුමිතුරා සිංහයාද, මී ගවයාද?

සිංහල බසෙහි ඇති අපහාස වදන් අතුරින් ‘මී හරකා’ යන්න මුල් තැනක් ගනී. මිනිසුන් එසේ ‘මී හරකා’ යනුවෙන් හැඳින්වනුයේ යම් අමනෝඥ, අවිචාරවත් ක්‍රියා පදනම් කර ගනිමිනි. ඒ අනුව මෙම ‘මී හරකා’ යන වදන වර්තමානයේ පවත්නා දේශපාලන හැලපැප්පීම් අතරේ සමාජ කරළියේ නිතර රැව් පිළිරැව් දෙන වදනක් වී තිබේ.

එහෙත්, එම උපහාස වදනින් පැවසෙන අන්දමට මී හරකා හෙවත් මී ගවයා සැබැවින්ම මෝඩ, අවිචාරවත් සතෙක්ද? ඒ සඳහා දිය හැකි ඉතා පැහැදිලි පිළිතුරක් තිබේ. එනම් ‘නැත’ යන්නය.

සිංහල නවකතා කලාවේ මුදුන්මල්කඩ ලෙසින් සැලකෙනුයේ හෙළයේ මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ සූරීන් විසින් ලියන ලද ‘විරාගය’ නවකතාවයි. එහි කතානායක අරවින්ද එදා මෙදාතුර සිංහල නවකතාවේ ගැඹුරුතම හා සංකීර්ණතම චරිතය ලෙස අදත් ඇතැම් විචාරකයෝ හඳුන්වති. තරුණ අරවින්දට ජීවිත පරිඥානය ලබා දීමෙහි විපුල මෙහෙවරක යෙදෙන කුලසූරිය හෙවත් තැපැල් මහත්තයා සම්ප්‍රදාය පිටුදකින නිදහස් චින්තකයෙකි. විරාගය කෘතිය තුළින් තම ආත්ම භාෂණයක යෙදෙන අරවින්ද, කුලසූරිය පිළිබඳ එක් තැනක මෙසේ සඳහන් කරයි.

‘‘ඔහු (කුලසූරිය) මී හරකුන් අරබයා කී තොරතුරු මම මහත් ආසාවෙන් ඇසුවෙමි. ‘මී හරකා නුවණැති සතෙකි‘ ඔහු කීවේය. ඉවසීමෙන් ඌ ළං වන්නේ තලතුනා ගැමියකුටය. තවුසකු මෙන් උදාසීන සතකු වන මී හරකා කිපෙන්නේ කලාතුරකිනි. උගේ මුහුණත්, ගතියත් තලතුනා මිනිහකු සිහි කරවයි. ගොවියන් විසින් හීලෑ කොට අවුරුදු දහස් ගණනක් කුඹුරු වැඩට යොදන ලද මී හරකා පරණ මිනිසුන්ගේ සමහර හොඳ ගති උකහා ගනිමින් වැඩුණු සතෙකි. මී හරකුන්ගේ ඇඟ හා හිස අතගෑමෙන් උන්ට තණ කැවීමෙන් තමා තලතුනා ගැමියන් ආශ්‍රය කිරීමෙන් සන්තෝෂය ලබන බව කුලසූරිය කියයි.’’

සිය ආත්ම භාෂණය මගින් එසේ පවසන විරාගයේ අරවින්ද මෙසේ ද කියා තිබේ.

‘‘එයා හරි මී හරකායි කියනු අසා කිපෙන්නා අමනයෙකි. කුලසූරිය මී හරකා තලතුනා ගැමියන්ට ළං වුණ සතෙකියි කියන්නේ මිනිසුන්ට නින්දා කරන අදහසින් යැයි මම සිතුවෙමි. එවැනි අදහසකින් ඔහු මී හරකාගේ ගුණ නොකියන බව මා ඇසූ ප්‍රශ්නවලට ඔහුගෙන් ලැබුණු පිළිතුරුවලින් මම සිතා ගත්තෙමි.

ලොව මී ගවයන් විශේෂ බොහෝමයකි. ඉන් අප රටේ දක්නට ලැබෙනුයේ (Bubalus Bubalis) යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ජල මීගවයන් (Water Buffalo) ය. ශ්‍රී ලංකාව සහ දකුණු සහ අග්නිදිග ආසියා කලාපයේත්, චීනයේත් දක්නට ලැබේ. පසුව මොවුහු ඇමෙරිකා සහ අප්‍රිකා මහද්වීපවලටත් ව්‍යාප්තව සිටිති.

විද්‍යාත්මක වශයෙන් එකම ප්‍රභේදයක් වුවද, ශ්‍රී ලංකාවේ මී ගවයන් කොටස් තුනක් වශයෙන් විස්තර කෙරේ. එනම් වල් මීගවයා හෙවත් කුළුමීමා, ගෘහස්ථ මී ගවයා සහ වල්මත් වූ මී ගවයා වශයෙනි. මොවුන් අතුරින් වල් මී ගවයා හෙවත් කුළුමීමා අතිශයින් දරුණු සතෙකි. සෙසු දරුණු බොහෝ වන සතුන් මිනිසුන්ට ප්‍රහාර එල්ල කොට මරා දමා එම කාරිය එතැනින් නිමවන අතරේ කුළු මීමකු මිනිසකුට පහර දී ඔහු මියගිය පසු එම ශරීරයේ ස්වභාවික හැඩය මැකී යනතුරුම තම සටන අත්නොහරින බව කියනු ලැබේ. එහෙත් ඔවුන් අතරින් අල්ලාගෙන මිනිස් වාසයට ගෙනෙනු ලබන කුළුමීමුන්ගේ ඊළඟ පරම්පරාව මිනිස් සමාජයට අතිශය හිතවත් හා නම්‍යශීලී ලෙසින් කටයුතු කරනු දැකීම විස්මයට කරුණක් බවද ඇතැමුන්ගේ මතයයි. එසේම සෙසු ගව විශේෂවලට සාපේක්ෂව මීහරකා අතිශය ඉවසිලිවන්ත සතෙකු ලෙසද ප්‍රකටය.

ඉංග්‍ර්‍රීසි යටත් විජිත සමයේ පුරාවිද්‍යා උප අධ්‍යක්ෂ ධුරය හෙබ වූ ජෝන් ස්ටීල් විද්වතාණන් විසින් ලියන ලද Jungle Tide නම් කෘතියෙහි හීලෑ මී ගවයන් සහ කුළුමීමුන් පිළිබඳ බොහෝ තොරතුරු අඩංගු වේ. එමෙන්ම ඔහු එමගින් ඔවුන් පිළිබඳ ප්‍රශංසාත්මක කතා කොට තිබීම ද විශේෂත්වයකි. වරක් හීලෑ මී ගවයන් පලවා හැර හීලෑ දෙනුන් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන සිටි කුළු මීමකු ගම්මුන්ගේ ඉල්ලීම පිට මරා දැමීම සිදු වූ බව ජෝන් ස්ටීල් විස්තර කරනුයේ අතිශයින් හැඟීම්බරවය.

විශාල වැව් පිටියක් මැද තමන් විසින් අත්පත් කරගත් හීලෑ මීදෙනුන් සමග සිටි කුළුමීමා ඉදිරියට ගොස් තමන් වෙඩි දෙකක් තැබූ බව පවසන ජෝන් ස්ටීල් ඒ මොහොතේ එම මී ගවයා තමන්ට වෙඩි වැදුණු බවක්වත් නොහඟවා රාජකීය ලීලාවෙන් හිස ඔසවා තමන් දෙස ඍජුව බලා සිට එක්වරම මැරී වැටුණු බව පවසනුයේ තමන් එතරම් ශ්‍රේෂ්ඨ සතකු කිසිදා නොදුටු බවක්ද අවධාරණය කරමිනි. එමෙන්ම තමන් එක් දවසක් පුරාම මී ගවයකුගේ පිටේ නැගී ගිය ගමනක් පිළිබඳ ජෝන් ස්ටීල් තම කෘතිය මගින් රමණීය විස්තරයක් කොට තිබේ.

එමෙන්ම කුඹුරු වැඩට, තවලම් සහ කරත්ත ඇදීමට යොදා ගන්නා මී ගවයන්ගෙන් කොටසක් සතුන් දඩයම් කිරීම පිණිස යොදා ගන්නා ‘දඩමීමුන්’ ලෙස පුරුදු පුහුණු කෙරෙන බව සඳහන් කරන ජෝන් ස්ටීල් දඩමීමකු පුහුණු කළ තම ගැමි හිතවතකුද සමග එම දඩමීමාට මුවා වී වන සතුන්ට සමීපව ඔවුන් නැරඹූ අවස්ථාවක් පිළිබඳවද විස්තර කරයි. ඒ තමන් විසින් දැක ඇති ගව කුලයට අයත් බුද්ධිමත්ම සත්ත්වයා එම ‘දඩමීමා’ බව අවධාරණය කරමිනි.

මීට මඳ කලකට ඉහත අනුරාධපුර රුවන්මැලි සෑය ඉදිරියේ එක් සංවිධානයක් විසින් පවත්වනු ලැබූ ආගමික වැඩසටහනක් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ශ්‍රවණය කිරීමට ඒ ආසන්නයේ සිට මට අවස්ථාව ලැබිණි. එම වැඩසටහන අවසානයට එක්කොට තිබුණේ පුණ්‍යානුමෝදනාව මෙහෙය වූ ස්වාමීන් වහන්සේ සිරිලක සම්බුදු සසුන ස්ථාපිත කරවීමට උපස්ථම්භකව රාජ රාජ මහාමාත්‍යවරුන්ට මෙම වෙහෙර විහාර දාගැබ් තැනීමට කාලයෙන්, ධනයෙන්, ශ්‍රමයෙන් දායක වූ සමාජයේ සියලු තරාතිරම්වල සත්පුරුෂයන්ට සේම ඒ සඳහා ශ්‍රමයෙන් දායක ඇත්, අස්, ආදී සතුන්ට ද පින් පමුණුවනු අසන්නට ලැබුණි. එහෙත් එම පුණ්‍යානුමෝදනය මගේ හදවතට කාවැදුණේ පද තුනකින් නිමා කළ සිව්පද කවියක් මෙනි.

අතීතයේ වෙහෙර විහාර, දාගැබ් තැනීම පිණිස මිනිස් ශ්‍රමයට අමතරව සත්ත්ව ශ්‍රමයද යොදා ගැනුණු බව ඒකාන්ත සත්‍යයකි. එහෙත් එවන් උදාර ජාතික, ආගමික සංස්කෘතික මෙහෙවරක යෙදුණු සියවස් ගණනක ජනතාවට ඒ සඳහා ජීවය ලබාදුන් බත සැපයීමට දිවි හිමියෙන් ශ්‍රමය පිදූ ගව මහීෂාදීන්ට එවන් කෘතවේදීත්වයක් පළ කිරීමේ යම් දොසක් තිබේද? එමෙන්ම අප මේ වෙහෙර විහාර, දාගැබ් තැනවීමට ඒවා ආශ්‍රිතව තම ශ්‍රමය කැප කළ අලි ඇතුන් සහ අශ්වයන්ට සාපේක්ෂව අප රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම සිදු වූ අක්කර ලක්ෂ ගණනක වී ගොවිතැන උදෙසා මීගවයන් කොපමණ සංඛ්‍යාවක් ඒ උදෙසා ශ්‍රම ඒකක කීයක් නම් කැප කරන්නට ඇද්ද?

ඉහත අඩුපාඩුව ඒ හිමියන්ට සිදු වූ එම නිර්ණායකය අනුව බලන විට ගවයෝ ඇතුන්ට සහ අසුන්ට බොහෝ ඉදිරියෙන් සිටිති. අත්වැරදීමක් බව නිසැකය. එහෙත් එය පසෙක තිබියදී මීහරකුන්ට පින් දීමත් ‘මීහරක්කමක්’ සේ සැලකීමට තරම් අද වන විට මී ගවයාගේ තත්ත්වය වේගයෙන් පල්ලම් බැස තිබෙන බවද කිව යුතුය.

වර්තමානයේ මී ගවයාගේ තත්ත්වය මෙතරම් ශෝචනීය වුවද, අතීතයේ එම සත්ත්වයා පිළිබඳ සංකේතයක් පූජනීයත්වයට පත් ව තිබූ බවටද සාධක තිබේ. මොහෙන්ජෝදාරෝ කැණීම්වල දී හමු වූ සතුන් පිරිවරා සිටින අං යුවළක් සහිත දෙවි කෙනකුගේ මුද්‍රාව ඒ සම්බන්ධ වැදගත් සාක්ෂියකි. තවත් සතුන් වට කරගෙන හිඳින එම දෙවියා සතුන්ට අධිපති ‘පශුපත්’ බවට පුරාවිද්‍යාඥයෝත්, ඉතිහාසඥයෝත් අනුමාන කරති. ඒ කෙසේ හෝ එම දෝෂයන් අගේ අං යුවළ මී ගවයකුගේ එකක් බව නම් අතිශයින් පැහැදිලිය.

අප රටේ වී ගොවිතැන යම් ප්‍රමාණයකට සීමා වීමෙන් වී ගොවිතැන සඳහා ට්‍රැක්ටර්, ඇතුළු මීගවයන්ගේ කාර්යභාරය සඳහා නවීන තාක්ෂණික උපකරණ භාවිතයට ගැනීමත් සමග ශ්‍රී ලංකාවේ මී ගව ගහනය ශීඝ්‍රයෙන් අඩුවීමට පටන් ගෙන තිබේ. එසේම මීකිරි කර්මාන්තය සඳහා පමණක් මී ගවයන් ඇති කිරීම ඇරඹීමත් සමග එක් මුරයකදී කිරි ලීටර් දෙදහසක් පමණ ලබාගත හැකි මූරා, සූර්ති, නිළි, රවි වැනි ඉන්දියානු ගව විශේෂ ශ්‍රී ලංකාවට හඳුන්වා දීමත් සමග දේශීය මී ගවයා ශීඝ්‍රයෙන් වඳ වීමේ තත්ත්වයක් උදා වි තිබේ. එමෙන්ම එවන් තත්ත්වයක් යටතේ ද පසුගිය වසරවල ශ්‍රී ලංකාවේ මීකිරි කර්මාන්තය සැලකිය යුතු පසුබෑමකට ලක්ව ඇති බව මහ බැංකු වාර්තාව පෙන්වා දී තිබෙන්නේ 2016 මහ බැංකු වාර්තාවට අනුව කිරි ලබා ගන්නා මීදෙනුන් 83150 ක ගණනය වී ඇති අතර එය 2015 ගණනය වූ සංඛ්‍යාවට වඩා 9.2% ක අඩු වීමක් බව සඳහන්ය. එමෙන්ම කිරි ලබා ගැනීම හැරුණු කොට මීගවයන්ගෙන් ලබා ගන්නා සෙසු සේවා ඇනහිටීම, මී ගවයන් ඇති කිරීම පණිස වන භූමි ප්‍රදේශ අහිමි වීම ආදී සාධක මත මීදෙනුන්ට හිමිවන ජීවත් වීමේ වාසනාව මී වස්සන්ට කුඩා කාලයේදීම අහිමි කිරීම නිහඬ ඛේදවාචකයකි.

ශ්‍රී ලංකාවේ සෙසු බොහෝ ප්‍රදේශවල සේම අගනුවර තදාසන්න ප්‍රදේශවලද හැත්තැව දශකය තෙක් මීගව කර්මාන්තය පුළුල් ලෙස සිදුකොට ඇත. අගනුවර උතුරු මායිමේ පිහිටි කැලණි ගඟින් ඔබ්බෙහි පිහිටි මුතුරාජවෙල සහ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර රෝහල ඇතුළු හැත්තෑව දශකයෙන් පසු නව ඉදිකිරීම් සිදුකළ දියවන්නාව අද්දර වගුරුබිම් ප්‍රදේශය ඉන් ප්‍රධානය.

‘‘ඉස්සර මේ පාර්ලිමේන්තුව වටේ හරියට මී හරක් හිටියා. පුංචි කාලේ මේ පැත්තේ එනකොට මම මී හරක් හැට හැත්තෑවේ රංචු දැකලා තියෙනවා. මම පසුගිය දිනයක පාර්ලිමේන්තුව පෙනෙන මානයේ පිහිටි ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව මාවතේ ගමන් කරන අතරේ මගේ හිතවතෙකුට කීවෙමි.

‘‘එහෙම නම් ඉස්සර ඉඳලා තියෙන්නේ මේක වටේට විතරයි.’ ඔහු ඇඟපතට නොදැනී කීයේ දුරින් පෙනෙන පාර්ලිමේන්තුව පෙන්වමිනි.

සිංහල ජාතිය නියෝජනය කරන සිංහයා ජාතිය නියෝජනය කිරීම කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සත්ත්වයකුවත් නොවේ. එමෙන්ම සිංහල ජාතිය සහ සිංහයා අතර ඇති සබැඳියාව හුදෙක් අස්වාභාවික පුරාවෘත්තයක් මත පදනම් වූවකි. විවිධ ජාතීන් තමන්ගේ ජාතිය සංකේතවත් කිරීම පිණිස සත්ත්ව නාම, සත්ත්ව රූප ආදිය යෙදීම මානව විද්‍යාවේ හැඳින්වෙනුයේ ගෝත්‍ර විහ්නවාදය (Totemism) යනුවෙනි.

එහෙත් සිංහල ජාතිය සහ සිංහයා අතර පවත්නා සබැඳියාව එවන් අස්වාභාවික පදනමක තිබියදී සිංහල ජාතිය සමග වසර දහස් ගණනක් මුළුල්ලේ මීගවයා විසින් දක්වා අැති අවයෝජනීය යාවජීව සබැඳියාව අපි ඉතා අකාරුණික ලෙස අමතක කොට ඇත්තෙමු. කොටින්ම මෙරට බෞද්ධ සංස්කෘතියේ මුදුන්මල්කඩවන රුවන්වැලිය නම් මහා ථූපය තැනීමට පවා මේ මහා ’දායකයා’ගෙන් ලැබුණු සුවිසල් ශ්‍රම දායකත්වය ඛේදනීය ලෙස අමතක කොට ඇත්තෙමු.

ඒ වෙනුවට අප සිදු කරනුයේ කමත් භාෂාවේදී ‘අම්බරුවා’ යන ගරු නම්බු සහිත වදනින් හඳුන්වනු ලැබූ මෙම ගුණ නැණ බලෙන් යුතු උසස් සත්ත්වයා සඳහා ‘මීහරකා’ යන වදන මෝඩ, පහත් මිනිසුන්ට බැණ වැදීමට යොදා ගැනීම පමණි. මෙය අප වහා නිවැරදි කරගත යුතු අපේ ජාතිකත්වයේ බරපතළ අඩුවක්, වරදක් නැතහොත් දෝෂයක් වන්නේය.

තිලක් සේනාසිංහ