විශේෂාංග

සිංහල ගීතිකා ගැයූ මුල්ම දෙව්මැඳුරට ගියෙමි

එංගලන්තයේ ග්‍රේව්සෙන්ඩ් වරායෙන් 1817 දෙසැම්බර් 20 වැනිදා ගමන් ඇරඹූ වික්ටෝරියා රුවල් නැව දීර්ඝ මුහුදු ගමනකින් පසු ගාල්ල වරායට සේන්දු වූවේය. ඒ දින දෙසීයක කාලයක් ගෙවා 1818 ජුනි 29 වැනිදාය. නැව පදවාගෙන පැමිණියේ එංගලන්තයේ මුහුදු යාත්‍රාවල නියැළුණු පවුලක කෙනකු වුණ ජෝර්ජ් වින්ටර් වූ අතර නැවෙහි පැමිණ තිබුණේ එංගලන්ත සභාව හෙවත් මිෂනාරී සභාව නියෝජනය කළ මිෂනාරීවරුන්ගේ කණ්ඩායමකි. මේ කණ්ඩායමේ නායකයා වූයේ රොබට් මේයර් පියතුමාය. ඔහු සමග මේ රුවල් නැවෙහි තවත් සිව් දෙනකුන් ඇතුළු කණ්ඩායමක් පැමිණියහ. ඒ රොබට් මේයර් පියතුමා හා එම මැතිණිය, සැමුවෙල්ලැම්බ්‍රක් පියතුමා, ජෝශප් නයිට් පියතුමා හා බෙන්ජමින් වෝඩ් පියතුමා හා මැතිනිය ඇතුළු පිරිසකි. ඔවුන් ලංකාවට එවා තිබුණේ එංගලන්තයේ ක්‍රිස්තියානි මිෂනාරී සමාගමේ මව් කාරක සභාව විසිනි. ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචි පණිවුඩය ලංකාව පුරා බෙදාහැරීම සඳහාය. එංගලන්ත ක්‍රිස්තියානි මිෂනාරී සමාගමේ මව් කාරක සභාව විසින්ම ඒ පැමිණි රොබට් මේයර් පියතුමා ගාල්ලටත්, සැමුවෙල් ලැම්බ්‍රක් පියතුමා කොළඹටත්, ජෝශප් නයිට්තුමා යාපනයටත්, බෙන්ජමින්​ වෝඩ් පියතුමා ත්‍රිකුණාමලයටත් පත්කර තිබුණේය.

ඒ අනුව ගාල්ලට ළඟාවූ රොබට් මේයර් පියතුමා මුලින්ම ගාලු ප්‍රදේශයේ මුහුදුබඩ ප්‍රදේශවාසී ජනතාව සමග මිත්‍රත්වයක් ඇතිකර ගත්තේය. ඒ මුහුදුබඩ ප්‍රදේශයේ ජනතාව සමග එක්වී වැඩ කටයුතු කරමිනි. ඔහු ළඟ තිබූ විද්‍යා හා ශල්‍යකර්ම පිළිබඳ දැනුම නිසා මිනිසුන්ට වඩාත් ළංවන්නට හැකිවූවෝය. එසේ මුහුදුබඩ ප්‍රදේශවාසී මිනිසුන්ගේ සිත් දිනාගත් රොබට් මේයර් පියතුමා අනතුරුව රට අභ්‍යන්තරයට යන්නට සිතුවේය. ඒ අනුව 1818 ඔක්තෝබර් 20 වැනිදා එම මැතිනියද සමග ගිංගඟ හරහා ඔරුවක නැගී තෙලිකඩ ප්‍රදේශයට ගියේය. එහි නොරැඳී ගිංගඟ හරහාම බද්දේගම ප්‍රදේශයට පැමිණි ඔහු බද්දේගම මුදලිතුමාගේ නිවසේ එදින රැය පහන් කළ බව කියයි.

පසුදින ඔහු ඇතුළු පිරිස නැවත ගිංගඟ දිගේ බෝට්ටුවෙන් ගමන් ඇරඹුවේ මාපලගම දක්වාය. ඒ දෙව් මැදුරක් පිහිටුවීම සඳහා සුදුසු ස්ථානයක් සොයමිනි. මාපලගමදී ඔහු හිනිදුම කඳුවැටි සමූහයේ සුන්දරත්වයට වශීවූ අතර කඳු පාමුල ලැඟ සිටි වලි කුකුළකු දැක ‘හේ කොක්’ කියා ඇත. ඒ කන්දට ඔහු දුන් නම ලෙසට හේ කොක් යන්න අදටත් ඒ ප්‍රදේශයේ ජනවහරේ පවතියි. මාපලගම දක්වා පරිසරය බලමින් ගිය පියතුමා ඇතුළු පිරිස යළිත් බද්දේගමට පැමිණියේ ඒ මග දෙව්මැඳුරකට සුදුසු තැනක් හමු නොවූ නිසාය. එහෙත් බද්දේගම ගං ඉවුරේ වූ සුන්දර කඳුවැටියට සිත බැඳි රොබට් මේයර් පියතුමා ඒ එක් කන්දක් මත දෙව්මැඳුර හදන්නට තීරණය කළේය. ඒ කන්දට ඔහු දුන් නම ‘පල්ලි කන්දයි!’

දෙව්මැඳුර ඉදිකරන්නට පෙර රොබට් මේයර් පියතුමා එම කඳුවැටියේ ගිංගඟට ආසන්න කොටසේ පදිංචි වුණේය. ඒ තල්ගස්කන්දේය. ඒ පදිංචියත් සමගම 1819 වසරේ රොබට් මේයර් පියතුමාගේ බිරිඳ ප්‍රදේශයේ දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්වීමට පන්තියක් ආරම්භ කළාය. පසුකාලීනව ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලය වූයේ ඒ ඉංග්‍රීසි පන්තියයි. අද වන විට එය වසර 200 ක ඉතිහාසයකට උරුමකම් කියන පාසලකි.

මිනිසුන්ගේ යහපතට වැඩ කරමින්, සිත් දිනා ගනිමින් සිටි රොබට් ​මේයර් පියතුමා බද්දේගම දෙව්මැඳුර පල්ලිකන්දේ ඉදිකිරීම ඇරඹුවේ තවත් කාලයක් ගිය පසුවය. ඒ 1822 වසරේ පෙබරවාරි 14 වැනිදාය. දෙව්මැඳුර හා දේවගැති නිවස්නය ඉදිකිරීමද හිතූ තරම් පහසු වී නැත. පල්ලිකන්ද දැඩි වනගහනයෙන් හා ගල්කුළුවලින්ද, වන සතුන්ගෙන්ද පිරී තිබුණු ප්‍රදේශයක් වුණේය. ඒ නිසා කන්ද එළිපෙහෙළි කරගැනීමට මිෂනාරීවරුන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදුවිය. එහිදී එවකට ගාල්ලේ මුදලිතුමා ලෙස කටයුතු කළ දොන් ආබ්‍රහම් ඩයස් අබේසිංහ මහතාගෙන් ඔවුනට විශාල ලෙස උදව් ලැබී ඇත.

පල්ලිකන්දේ දෙව්මැදුර ඉදිකරන්නට ඝන කැලෑව එළි කරන්නට කම්කරුවන් සොයා ගැනීම බලවත් ගැටලුවක් වුණේය. ඒ අවස්ථාවේ මේයර් පියතුමන් ඒ සඳහා ගම්වැසියන් ගෙන්වා ගන්නට උපක්‍රමයක් කර ඇත. ඒ කැලෑව පුරාවටම කාසි විසි කර ඇති බවට ආරංචියක් පතුරුවා හැරීමය. ඒ අනුව ගම්වාසීන් කැලෑවේ වැඩට ආ අතර ඔවුන් පැමිණ ඇත්තේ කුඩා දරුවන්ද සමග බවත් කියයි. එහිදී ගම්වාසීන් කැලෑව එළිපෙහෙළි කිරීම් කටයුතු කරනතුරු මිෂනාරී කණ්ඩායම දරුවන් සියලු දෙනා හොඳින් බලාගෙන ඇත. සියලු දෙනාටම ආහාරද ලබා දී ඇති අතර විශේෂයෙන් ඒ දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දෙන්නත් මුල් වී ඇත.

ඒ ඒ ගම්මුලාදෑනින්ගේ සහාය ඇතිව ක්‍රිස්තුදේව දෙව්මැදුර 1818 දී ඉදිකිරීම් අරඹා අවසන් කිරීමට වසර හතරකට ආසන්න කාලයක් ගත වී ඇත. ඒ අනුව වැඩ නිමකළ දෙව්මැදුරේ, 1822සෙැප්තැම්බර් 25 වැනිදා මුල්ම කැපකිරීමේ දේව මෙහෙය පවත්වා ඇති බවට ඉතිහාසයේ සටහන් වෙනවා.

දෙව්මැදුර කලින් කලට භාර වූ පියතුමන්ලා බද්දේගම ගොතටුව ශ්‍රීපාද චෛත්‍යාරාම විහාරස්ථානයත් සමග බැඳීමකින් සංහිඳියාවකින් කටයුතු කර ඇත. ඊට සාක්ෂි අදත් ඇත. ඒ එදා සේම අදටත් දෙව්මැදුරේ නත්තල් දින කැරොල් බැති ගී ප්‍රසංගය මුලින්ම රැගෙන යන්නේ මේ විහාරස්ථානයටයි.

එදා 1817 මිෂනාරීවරුන් ලංකාවට පැමිණීමත් සමග ලංකාවේ බිහිවූ මුල්ම ක්‍රිස්තු දේවස්ථාන අතරින් බද්දේගම ක්‍රිස්තු දෙව්මැඳුර ආරම්භ වූයේ එලෙසිනි. ක්‍රිස්තුදේව දෙව්මැදුර ඉදිකළාට පසුව අවට ජනතාවට විශේෂ වාසියක් අත්පත් වූවේය. ඒ වෙලාව දැන ගැනීමට හැකි වීමය. ඒ කාලයේ බද්දේගම අවට ප්‍රදේශවල වෙලාව බලා ගන්නට ඔරලෝසු තිබී නැත. දෙව්මැදුරේ ඝණ්ටාරය ප්‍රදේශවාසී හැමෝටම වෙලාව දැනුම් දී ඇත. උස කඳු මුදුනේ තිබූ දෙව්මැදුරේ වූ ඝණ්ටාර හඬ බද්දේගමට පමණක් නොව ඒ අවට ගම් ගණනාවකටත් ඇසී ඇත. උදෑසන 6.00 ට, දවල් 12.00 ට හා සවස 6.00 ට වශයෙන් දවසට තුන් වරක් මේ ඝණ්ටාරය නාද කර ඇත. ගිං ගඟ අසබඩ ගොවිබිම් හා අනෙකුත් කටයුතුවල යෙදුණු ජනතාව ක්‍රිස්තුදේව පල්ලියේ ඝණ්ටා නාදයට දවසේ වැඩ ආරම්භ කරන්නට හුරුව සිටියහ. එදා පටන් අදටත් පල්ලියේ ඝණ්ටාරය නොකඩවා නාද වෙයි.

රොබට් මේයර් පියතුමන් ඇරඹූ බද්දේගම ක්‍රිස්තු දෙව්මැඳුරේ එදා සිට අද දක්වා පියතුමන් තිහකට ආසන්න සංඛ්‍යාවක් කටයුතු කර ඇති අතර අද දෙව්මැඳුර භාරව කටයුතු කරන්නේ ඊ. එච්. පාලිත පියතුමාය. අද වනවිට නොකඩවා දේව මෙහෙයන් පවත්වාගෙන එමින් පවතින ලංකාවේ පැරණිම මෙන්ම ඓතිහාසිකද වූ දෙව් මැදුරක් ලෙසට ඉතිහාසගතව ඇත. විශේෂයෙන් දේශීයත්වයට මුල් තැන දුන් දෙව්මැඳුර ලෙස බද්දේගම ක්‍රිස්තු දෙව්මැඳුර ඉතිහාසගතව ඇති අතර එංගලන්ත ජාතික පියතුමන්ලා අතර ඒ කාලයේ සිංහල පියතුමන්ලාද දෙව්මැඳුර භාරව කටයුතු කර ඇත. ඒ අනුව මුල්ම සිංහල පියතුමා ලෙස පත්ව ඇත්තේ 1859 සිට 1862 අතර වූ වසර තුනක කාලයකට ඒබ්‍රහම් ගුණසේකර පියතුමාය. එමෙන්ම 1927 දී දෙව්මැඳුර භාරවූ ලක්දාස් ද මැල් පියතුමාගේ කාලය දේවස්ථාන ඉතිහාසයේ ඉතා විශේෂය.

ලක්දාස් ජාකොබ් ද මෙල් මොරටුවේ ඇන්ග්ලිකන් පවුලක උපත ලැබූවෙකි. ඔහු ව්‍යවස්ථා සභාවේ හිටපු සාමාජික ශ්‍රීමත් හෙන්රි ද මෙල් සහ එල්සි ජයවික්‍රමගේ පුත්‍රයා වූ අතර ඉගෙනුම ලද්දේ කොළඹ රාජකීය විද්‍යාලයෙනි. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලද ලක්දාස් මෙල් ලංකාවට යාමට ප්‍රථම කෙනින්ග්ටන්හි ශාන්ත ජෝන් දෙව්මැඳුරේ කෙටි කාලයකට පූජකවරයාට පත්ව ඇත. ඔහු කොල්ලුපිටිය ශාන්ත මයිකල් පල්ලියේ දේවගැතිවරයා ලෙසටද කටයුතු කළේය. ලක්දාස් ද මෙල් පියතුමා බද්දේගම ක්‍රිස්තුදේව පල්ලියේ පියතුමා ලෙස වසර දහයක් කටයුතු කළේය. ඒ කාලයේ සිංහල ගැමි පරිසරයක තිබූ බද්දේගම පල්ලියට ගිය ඔහුට සිංහල හුරුවට පල්ලියේ කටයුතු කරන්නට සිත් වුණේය. ඊට ඔහු සහය ලබාගන්නේ එකල ප්‍රකට සංගීතඥයකු වන දෙව් ආර්. සූර්යසේරයන්ගෙනි.

එතෙක් දෙව්මැඳුර තුළ ලතින් භාෂාවෙන් ගැයුණු දේව ගීතිකා සියල්ල දේශීයත්වයට ගැළපෙන ලෙස සිංහලෙන් ගායනා කෙරුණේය. ඊට තනු යොදා සංස්කරණය කළේ දේව් ආර්. සූර්යසේනයන් වන අතර පියානෝව වෙනුවට ඊට පෙර භාවිතයට ගෙන නොතිබූ තම්බෝරාව, එස්රාජය, වයලීනය හා සර්පිනාව වැනි සංගීත භාණ්ඩ යොදා ගත්තේය. එසේම මේ සංගීත භාණ්ඩ පල්ලියේ බංකු මත නොතබා සිංහල ක්‍රමයට කලාල මත තබා වාදනය කිරීමත් සිදුවිය. එසේම දෙව්මැඳුර ප්‍රතිසංස්කරණය කිරීමේදී දේශීය කැටයම් කලාවද දෙව්මැඳුරේ සැරසිලි සඳහා යොදා ගත්තේය.

ලක්දාස් ද මැල් පියතුමා ක්‍රිස්තුදේව දෙව් මැදුරේ සිංහල කැටයම් කළ බවට හොඳම සාක්ෂිය වන්නේ දෙව්මැදුරේ ප්‍රධාන දොරටුව පාමුල ඇති සඳකඩපහණයි. බෞද්ධ සිද්ධස්ථාන ආශ්‍රිතව හැරුණුකොට ලංකාවේ සඳකඩපහණක් ඇති එකම දෙව්මැදුර වන්නේ මේ දෙව්මැදුරයි. ගිං ගඟට යාබදව ඇති මීමැඩුම ගම්මානයේ එදවස ඉතාමත් දක්ෂ ගල් කැටයම් ශිල්පීන් සිටියේය. ලක්දාස් පියතුමන් සඳකඩපහණ නිර්මාණය කරන්නට උදව් ගෙන ඇත්තේ ඒ කැටයම් ශිල්පීන්ගෙනි. සඳකඩපහණ පමණක් නොව දෙව්මැදුරේ ප්‍රධාන ද්වාරය හා කලාත්මකව නිමවා ඇති ගල්කණු , උලුවහු මෙන්ම ජනෙල් හා හුළං කවුලු සඳහා ද කර ඇති කලාත්මක ලී කැටයම් දෙව්මැදුර තුළ තිබූ දේශීයත්වය කොතෙක්දැයි යන්න කියාපායි. එමෙන්ම දෙව්මැදුර භාරව කටයුතු කර ස්වර්ගස්ථ වූ පියතුමන්ලා රැසකගේ සොහොන් බිම් රැසක් ද දෙව්මැදුරු ආලින්දයේ මෙන්ම දෙව්මැදුරු බිමේ ද වෙයි. ඒවා නිමැවී ඇත්තේත් මීමැඩුව ගමේ ගල්වඩුවන් අතින් බව හොඳින්ම පෙනෙයි. ඒ ලක්දාස් ද මැල් පියතුමා මග පෙන්වූ දේශීයත්වයයි. එසේ සිංහල ක්‍රමයට හැඩගැස්වූ බද්දේගම ක්‍රිස්තුදේව දෙව්මැදුර අදත් ඒ සිංහල ක්‍රම රැකගෙන නොකඩවා පුද පූජා කටයුතු සිදුකරයි.

ලංකාවට රොබට් මේයර් කැඳවා ඒමේ සහ ගම්වලට ඔහු හඳුන්වා දුන්නේ ජෝර්ජ් වින්ටර්ටය. මේ පිරිස ගිංගඟෙන් එගෙඩටට කැඳවාගොස් ඇත්තේ ද ඔහුය. ඒ නිසා රොබට් මේයර් ඇතුළු කණ්ඩායම ගිංගඟෙන් එගොඩ කිරීමට යොදාගත් තොටුපොළ අදත් හඳුන්වන්නේ වින්ටර් තොටුපොළ නමිනි. ජෝර්ජ් වින්ටර් පදිංචියට නිවසක් ඉදිකර ඇත්තේ පල්ලි කන්දට මුහුණලා මීමැඬුම කන්ද පාමුල ප්‍රදේශයේය. අදටත් සන්සයිඩ් නමින් හඳුන්වන්නේ වින්ටර් පදිංචිව සිටි ප්‍රදේශයයි. එසේම මේ ජෝර්ජ් වින්ටර් ලංකාවට තවත් විශේෂිත නමක් වී ඇත්තේ 1832 දී ලංකාවේ එළිදැක්වූ සිලෝන් ඔබ්සවර් පුවත්පතේ මුල් කතුවරයා වී ඇත්තේ ඔහු නිසාය. මෙවන් ඉතිහාසයකට උරුමකම් කියන බද්දේගම ​​​​ඓතිහාසික ක්‍රිස්තු දෙව් මැදුර ශ්‍රී ලාංකිකයන් රැකගත යුතු ස්ථානයක් වුවත් අද එය ගැටලු රැසකට මුහුණ පා ඇති තැනක් බව කියනුයේ වත්මනේ දෙව්මැඳුර භාරව කටයුතු කරන පියතුමන් විසිනි. මේ දෙව්මැදුර ඇත්තේ බද්දේගම උස් බිම් ප්‍රදේශයකය.

පසුගිය කාලයේ අවස්ථා කීපයකදීම එම ප්‍රදේශය නාය යාමවලට ලක් වූ නිසා ඒ අවධානම මේ දෙව්මැදුරට ද ඇත. එමෙන්ම මේ ප්‍රදේශය මේ වනවිට අවධානම් කලාපයක් ලෙසද නම් කර ඇත. ඒ නිසා එය ආරක්ෂාකර ගැනීමට වගකිවයුතු අයගේ අවධානයත් පියතුමා ඉල්ලා සිටියි.