විශේෂාංග

සිංහල අවුරුද්දට ලාබෙට බත් කන්න පුළුවන්ද?

හාල් මිල අඩු කරන්නට ආණ්ඩුව ගැසට් පිට ගැසට් ගැහුවත් වැඩක් වුණේ නැත. වී මිලදී ගත්නෙත් හාල් විකුණන්නෙත් මුදලාලිට ඕනෑ විදිහටය. ඔවුන්ගේ මාෆියාව කොතරම් ප්‍රබලදැයි කියනවා නම් තිස් වසරක් පුරා පැවැති යුද්ධය අවසන් කරන්නට හැකි වුවත් හාල් මාෆියාව අවසන් කරන්නට තවමත් කිසිදු ආණ්ඩුවකට මෙන්ම ඇමැතිවරයකුට නොහැකිවී තිබේ. මහා පරිමාණ මෝල් හිමියන්ට ඇති දේශපාලන හයිය ඊට ප්‍රධාන හේතුව බව රහසක් නොවේ. එහෙත් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ කියන්නේ අප්‍රේල්වලට පෙර හාල් මිල අඩු කරන බවය. මේ ඒ ගැන ඔහු සති අග අරුණට කියන කතාවය.

මහ කන්නයේ අපේක්ෂිත වී අස්වැන්න කොපමණද?

මෙට්‍රික් ටොන් ලක්ෂ 28ක් 30ක් අතර ප්‍රමාණයක් අප අපේක්ෂා කරනවා.

අස්වැන්න මිලදී ගැනීමේ වැඩපිළිවෙළ කොහොමද?

අම්පාර, අක්කරෙපත්තුවේ වී මිලදී ගැනීම අපි ආරම්භ කළා. අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත රුපියල් බිලියන 16ක් ලැබී තිබෙනවා. මීට පෙර වී මිලදී ගැනීමට රුපියල් බිලියන 5ක් පමණ තමයි හිමිවුණේ. වී ගබඩා සියල්ල ශ්‍රී ලංකා යුද හමුදාව යොදවා රුපියල් මිලියන 100ක් වැය කරමින් අලුත්වැඩියා කර තිබෙනවා. මමත්, රාජ්‍ය අමාත්‍යවරයාත් වී වගා කරන සියලු දිස්ත්‍රික්කවල ගමන් කරමින් නිලධාරීන් දැනුවත් කරමින් වී මිලදී ගැනීම කරනවා. ඒ සඳහා යාන්ත්‍රණය සකස් කර අවසන්.

වී වගා කර ඇති බිම් ප්‍රමාණය ​​කොපමණද?

මහ කන්නයේ හෙක්ටයාර හය ලක්ෂ හැට අටදහස් හාරසීයක වී වගාකර තිබෙනවා. තෙත වී කිලෝග්‍රෑමයක් රුපියල් හතළිස් හතරකටත්, නියමිත පරිදි වේළාගත් වී කිලෝග්‍රෑමයක් රුපියල් පනහකටත් අපි මිලදී ගන්නවා. සම්බා වී කිලෝවක් රුපියල් පනස් දෙක බැගින්ද මිලදී ගන්නවා. ගොවියාට හොඳ මිලක්.

මෙම මුදල ගොවියාට හොඳ මුදලක්. නිෂ්පාදන පිරිවැය බලන විට සහල් කිලෝග්‍රෑමයක් ඉහළ අගයක් ගන්නවා නේද?

අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේදී රුපියල් අනූ හතකට පමණ සහල් කිලෝග්‍රෑමයක් අලෙවි කරන්න. පාඩුවක් වෙන්නෙ නැහැ.

පාඩුවක් වෙන්නෙ නැත්තෙ කොහොමද?

වී දීර්ඝ කාලයක් තියාගත්තොත් තමයි පාඩුවක් වෙන්නෙ. අපි වී තොග තියාගන්නෙ නැහැ. වෙළෙඳපොළ අවශ්‍යතාව මත මෙට්‍රික් ටොන් 50,000 බැගින් නිදහස් කරනවා. එලෙස වී තොග මුදාහැරීමේදී සහල් මිල අඩු වෙන්න පුළුවන්. රජයක් විදිහට අපි ජනතා සේවයක් ඉටු කරන්නේ. එමගින් ලාභ ලබන්න බැහැ.

නමුත් වී අලෙවි මණ්ඩලය ගන්නේ සමස්ත වී නිෂ්පාදනයෙන් සියයට දහයක් වැනි ප්‍රමාණයක්?

අපි මිලදී ගන්නේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනයි. මාසික පරිභෝජනයට අවශ්‍ය සහල් ප්‍රමාණය වන්නේ මෙට්‍රික් ටොන් එක්ලක්ෂ අනූපන් දහසක්. මිලදී ගන්නා වී ප්‍රමාණයෙන් සහල් මෙට්‍රික් ටොන් මිලියන දෙකක් පමණ ලැබෙනවා. එය වෙළෙඳපොළට ප්‍රමාණවත් නොවුණත් සහල් වෙළෙඳපොළට බලපෑමක් කරන්න පුළුවන්. නමුත් මෙවර අස්වැන්න මාස දහයක සහල් අවශ්‍යතාවට ප්‍රමාණවත්.

වී අලෙවි මණ්ඩලයෙන් ඔබගේ බලාපොරොත්තුව ඉටු කරගන්න පුළුවන්ද?

වී අලෙවි මණ්ඩලය ස්ථාපිත කර තිබෙන්නේ ගොවියාට සහතික මිලක් යටතේ වී මිලදී ගැනීමට. පසුගිය කාලවලදී වී මිලදීගෙන ගබඩා කරලා වෙළෙඳපොළට මුදාහැරියේ ප්‍රමාදවයි. නැතිනම් සත්ත්ව ආහාරවලට දුන්නා, හොරකම් කළා. මහා මෝල් හිමියන්ගෙන් කෝටි ගාණක් අරගෙන වී ටික දීලා කොමිස් ගැසුවා. ගබඩා කුලියට දුන්නා. තව වසර තුනක් ගියා නම් මණ්ඩලය ඈවර කරනවා. පසුගිය වසරවලදී අරගෙන තියෙන්නේ වී මෙට්‍රික් ටොන් තිස් දහසක් වැනි ප්‍රමාණයක්.

ලබාගන්නා වී සහල් කරගැනීමේ ක්‍රමවේදය කොහොමද?

කුඩා වී මෝල් හිමියන්ට සහල් කිරීම සඳහා දෙනවා. ඔවුන් ලියාපදිංචි කර තිබෙනවා. දැනට 300ක් ඉන්නවා.

නමුත් කුඩා වී මෝල් 700ක් විතර ලංකාවේ වැහිලා තිබෙනවා?

වහන්න වුණේ වී නොමැතිකම නිසයි. වී දුන්නෙ නැහැ. ක්‍රමවේදය තුළ කුඩා වී මෝල් හිමියාට වී ලැබෙනවා. මරදගහමුල වී මෝල් හිමියන්ට පවා වී ලැබුණේ නැහැ.

ඔබ ප්‍රකාශ කළාට මහා පරිමාණ වී මෝල් හිමියන්ගෙන් ඊට ඉඩක් ලැබෙයිද?

පසුගිය කාලයේ එහෙම මාෆියාවක් තිබුණා. රජය සතුව වී තොග නැති නිසා මහා පරිමාණ වී මෝල් හිමියන් මිල පාලනයක් සිදු කළා.

එම මාෆියාවට ඔබට මුහුණ දෙන්න පුළුවන්ද?

කිසි දේකට බයවෙන්න එපා. අපි එම මාෆියාවට මුහුණ දෙනවා. අපි ළඟ වී තියෙනවා නම් බයවෙලා වැඩක් නැහැ. මහා පරිමාණ වී මෝල් හිමියන් වී හංගලා මිල වැඩි කරනවා. එවිට අපි සතුව තිබෙන වී සහල් කරලා වෙළෙඳපොළට මුදාහරිනවා.

සහල් අලෙවි කරන්නේ කොහොමද?

කුඩා පරිමාණ වී මෝල් හිමියන්ට වී ලබාදී සහල් කිරීමෙන් පසු සමුපකාර හා සතොස හරහා අලෙවි කරනවා.

අතරමැදි මාෆියාවත් සහල් මිල ඉහළ යාමට බලපා තිබෙනවා නේද?

ඔව්, කෘෂිකර්මාන්තයේ සෑම භෝගයකටම අතරමැදියෙක් බෝවෙලා ඉන්නවා. වී මෝල් හිමියාට වඩා අතරමැදියන්ද වී මිලදී ගන්නවා. ඔවුන්ද ගබඩා කරනවා. අතරමැදියාද ගාණක් තියාගෙන වී මෝල් හිමියාට වී ලබාදීමේ මාෆියාවක්ද තියෙනවා. ඒ මාෆියාව තුළ ගොවියාට ලැබෙන්නේද අඩු මුදලක්.

අතරමැදියා පාලනය කරන්නෙ කොහොමද?

අතරමැදියා ඉවත් කළ යුතුයි. සහල් මිල පාලනයේ ඒකාධිකාරය රජය ගන්න ඕන. ජනතාවට සාධාරණ මිලකට සහල් ලබාදීම වගකීමක්. මේ පාර ජනාධිපතිවරයා වී මිලදී ගැනීමත්, සහල් කර අලෙවි කිරීමත් අපට පවරා තිබෙනවා. රජය තෙත වී රුපියල් 44කට ලබාගන්න යන විට අතරමැදියන් හා මහා පරිමාණ මෝල් හිමියන් රුපියල් 50කට ලබාගැනීමේ සූදානමක් තියෙනවා.

ඔබ මොනවා ප්‍රකාශ කළත් පෞද්ගලික අංශය විවිධ උපක්‍රම භාවිත කරනවා..

වෙන්න පුළුවන්. නමුත් මෙවර පොහොර සහනාධාරය ලබාදෙන සෑම ගොවියකුගෙන්ම හෙක්ටයාරයකින් වී කිලෝග්‍රෑම් 1000ක් මිලදී ගන්නවා. ඔවුන් වී කිලෝග්‍රෑම 5000ක් පමණ නිපදවනවා. එවිට මෝල් හිමියාට ගොවීන්ට බලපෑම් කරන්න බැහැ.

නමුත් ගොවියා වැඩි මිලට වී මිලදී ගන්නා අයට වී තොග දෙන්න බැරිද? වී අලෙවි මණ්ඩලයට නොදී?

බැහැ, මොකද එහෙම කළොත් ගොවියාට යල කන්නයේ පොහොර සහනාධාරය ලැබෙන්නෙ නැහැ. එම නිසා ගොවියා බැඳිලා ඉන්නවා. මෙතෙක් කල් වී අලෙවි මණ්ඩලය වී මිලදී ගත්තෙ තමන්ගේ තැරැව්කරුවන් හරහා. ඒජන්තලා හිටියා, ඒ අය මෙවර ඉවත් කළා. ඒ සඳහා කෘෂිකර්ම පර්‌යේෂණ සහකාර නිලධාරීන් යොදාගත්තා. ඔහු තමයි වී මිලදී ගැනීමේ නියෝජිතයා. එම නිලධාරියා තමයි ගොවීන්ට පොහොර නිකුත් කරන්නේ. එම නිසා මෙම වැඩපිළිවෙළ ඒකාබද්ධ කර තිබෙනවා. ගොවියා පොහොර ගන්න එම නිලධාරියා ළඟට අනිවාර්යයෙන් පැමිණිය යුතුයි.

වී මිලදී ගැනීමේ වී අලෙවි මණ්ඩලයේ ඒකාධිකාරය බිඳ දැමීමට එරෙහිව ඔවුන් ඔබට බාධා කළේ නැද්ද?

බාධා ආවා. වී අලෙවි මණ්ඩලය විරුද්ධ වුණා. ගොවිජන සේවා මධ්‍යස්ථානත් දැන් වැඩපිලිවෙළට එකතු වෙලා තිබෙනවා. වී තෙතමනය පරීක්ෂා කරන යන්ත්‍ර, බර කිරන තරාදි නැහැ කියලා ප්‍රශ්න ආවා. අපි දැන් වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකරුවන් සමග කෘෂිකර්ම පර්‌යේෂණ සහකාර නිලධාරීන් සම්බන්ධ කර තිබෙනවා. අවශ්‍ය උපකරණ දුන්නා. මම දිස්ත්‍රික්ක ගානේ යමින් අධීක්ෂණය කරන්නේ එම නිසයි. වී අලෙවි මණ්ඩලය හරිම අකමැති වුණා. ඇතැම් නිලධාරීන් වී ලබාදීමේදී වී කිලෝග්‍රෑමයකින් රුපියල් තුන බැගින් කොමිස් අරගෙන තිබුණා. එවැනි නිලධාරීන්ගේ වැඩ තහනම් කළා.

ඔබගේ සහ රජයේ අරමුණ මෙවැනි නිලධාරීන් මගින් ඉටුකර ගන්න පුළුවන්ද?

ඊට අප මුහුණ දිය යුතුයි. වී මිල ඉහළ යාමත් පාලනය කළ යුතුයි. රුපියල් 50-55 අතර වී මිලදී ගැනීම ගොවියාට ඉතාම හොඳයි. පාරිභෝගිකයාට සාධාරණ මුදලකට සහල් දීමත් වගකීමක්. ගොවියාගේ ප්‍රශ්නයක් නැහැ. වෙළෙඳපොළේ සහල් සුලබ කිරීමෙන් මිල අඩු වෙන්න පුළුවන්. පෞද්ගලික මහා පරිමාණ වෙළෙන්දන් වී හංගනකොට අපි සහල් එළියට දානවා.

වෙළෙඳ අමාත්‍යාංශය සහල් ආනයනය කිරීමට පවා සූදානම් වුණා නේද?

ඔව්, වෙළෙඳ අමාත්‍යාංශය එම යෝජනාව ඉදිරිපත් කළේ ඉහළ යන සහල් මිල පාලනය කිරීමටයි. නමුත් මම කීවා බැහැ කියලා. අවශ්‍ය තරම් වී තොග තියෙනවා කීවා. එය අවසානයේ පිළිගන්න වුණා. නමුත් සහල් මිල රුපියල් 120ට වැඩිවුණා. පොඩි පිරිසක් වෙළෙඳපොළ පාලනය කිරීම නිසයි එවැනි තත්ත්වයක් උද්ගත වී තිබෙන්නේ. එය පාලනය කරන්න බැරි නම් රජයක් ඉඳලා වැඩක් නැහැ.

රජයේ වැඩපිළිවෙළෙන් අප්‍රේල් මාසයට පෙර සහල් මිල අඩු වෙයි කියලා සහතිකයක් දෙන්න පුළුවන්ද?

අනිවාර්යයෙන්ම. නැතිනම් වැඩක් නැහැ. අප්‍රේල් වන විට නොවෙයි දිගටම සහල් මිල පාලනය කිරී‍මේ වගකීම රජය භාරගන්නවා.

හිඟුරක්ගොඩ හා පන්නෙගමුවේ පිහිටි රජයේ වී මෝල් මගින් ගන්නා වී සහල් කරන්න බැරිද?

එක පාර ඔක්කොම කරන්න බැහැ. වැටිලා තිබුණ වී අලෙවි මණ්ඩලය නැගිට්ටලා සහල් මිල පාලනය කිරීම පළමු අදියරයි. දෙවැනි අදියරේදී සහල් මෝල් සකස් කරනවා.

සහල් මිල පාලනය කිරීමට ගැසට් ගැසීම ගැන ඔබගේ අදහස කුමක්ද?

ගැසට් ගහලා පාලනය කරන්න බැහැ. පුළුවන් තරම් සහල් වෙළෙඳපොළේ සුලබ කිරීමෙන් මිල අඩු කරන්න පුළුවන්. පාරිභෝගික අධිකාරියට ගිහිල්ලා මෙය පාලනය කරන්න බැහැ. නමුත් ජනාධිපතිතුමාගේ නව වැඩපිළිවෙළ සාර්ථක කරගත යුතුයි. අපි සහල් හිඟයක් ඇති කළේ නැහැ, ජනතාව බඩගින්නෙ තිබ්බෙත් නැහැ.

ගොවියාට නවීන තාක්ෂණය නොමැති වීම ගැටලුවක්. විසඳුම කුමක්ද?

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව නවීන තාක්ෂණය තියෙනවා. තාක්ෂණය තිබෙන අමාත්‍යාංශය කෘෂිකර්මයයි. එය ගොවියාට දෙන්නෙ පළාත් සභාවයි. පළාත් සභාවෙන් එය නිවැරදිව වෙන්නේ නැහැ. එම නිසා කෘෂිකර්මයට අදාළ සියලු ආයතන ඒකාබද්ධ කර සාකච්ඡා පැවැත්වූවා. වී වගාවෙන් කුඹුරු ඉඩම් හෙක්ටයාරයකින් වී ගන්නේ මෙට්‍රික් ටොන් 5.8ක්. එය හෙක්ටයාරයකින් මෙට්‍රික් ටොන් 7.5ක් දක්වා වැඩි කිරීමට විද්‍යානුකූල දැනුම ගොවීන්ට දෙනවා. කෘෂිකර්ම නිලධාරීන්ටත් පුහුණුව දෙනවා. අපේ රටේ තාක්ෂණය ශීත කාමරවල තිබුණේ.

ගොවියා රසායනික පොහොර භාවිතයෙන් මුදා ගැනීමට රජයට වැඩපිළිවෙළක් තියෙනවද?

කොමර්ෂල් පොහොර සමාගම වහලා කාබනික පොහොර නිපදවීමට අපි කටයුතු කරනවා. එය කාබනික පොහොර අධිකාරියක්. සියයට 70ක් කාබනික පොහොර භාවිතයෙන් ගොවිතැන් කිරීමට ගොවීන් හුරු කළ යුතුයි. එමගින් රසායනික පො​හොර භාවිතය අඩු කිරීම අපගේ අරමුණයි. අපේ ගොවීන් රසායනික පොහොර හෙක්ටයාරයට කිලෝග්‍රෑම් 300ක් විතර භාවිත කරනවා. පො​හොර අවභාවිතය නිසා පස නිසරු වෙලා. රසායනික පොහොර ආනයනයට වාර්ෂිකව රුපියල් බිලියන 70ක් වැය කරනවා. එම පොහොර හේතුවෙන් රෝගාබාධවලට ලක්වන අයට ඊට වඩා වියදම් කරනවා.

කොවිඩ් ව්‍යාප්තිය කෘෂිකර්මාන්තයට බලපා තිබෙනවාද?

කොවිඩ් හේතුවෙන් කෘෂිකර්මාන්තය තුළ ප්‍රබෝධයක් ඇතිවුණා. සෑම රටක්ම ආහාර සුරක්ෂිතතාවට ප්‍රමුඛත්වය දුන්නා. ලංකාවත් එහෙමයි. ඉන්දියාව ලොකු ලූනු අපනයනය නතර කර තිබෙනවා, සහල් අපනයනය නතර කළා. ජනාධිපතිවරයාගේ උපදෙස් මත අපිත් ආහාර සුරක්ෂිතතාවයට ප්‍රමුඛත්වය දී තිබෙනවා. එම නිසා කෘෂිකර්මාන්තයට ප්‍රමුඛස්ථානය දී ජාතික ආර්ථිකය ගොඩනගනවා.

නමුත් අපේ රටේ කෘෂිකාර්මික ජාතික ප්‍රතිපත්තියක් නැහැනේ…

ඔව්, කන්නයෙන් කන්නයට වෙනස් වෙන ප්‍රතිපත්ති තියෙන්නේ. පළාත් සභා නවයේ තියෙන්නේ කෘෂිකර්ම ප්‍රතිපත්ති නවයක්. එම නිසා පළාත් සභා වෙනම දුවනවා, මහවැලිය වෙනම වැඩ, කෘෂිකර්මය වෙනම වැඩ. එම නිසා ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් සකස් කිරීම ආරම්භ කර තිබෙනවා.

කෘෂිකර්මාන්තය පිළිබඳ නිවැරදි තොරතුරු නැහැ කියා චෝදනාවක් එල්ල වෙනවා…

එය සත්‍යයක්. නිවැරදි තොරතුරු සහ දත්ත නැහැ. මාස තුනකින් තොරතුරු දත්ත පද්ධතිය සකස් කර අවසන් කරනවා. රටේ කෘෂිකාර්මික දෛනික නිෂ්පාදනයවත් අපට සොයාගන්න බැහැ. මහ බැංකු පොත්වල තියෙන කෘෂිකාර්මික තොරතුරු පිළිබඳව මට ගැටලුවක් තියෙනවා. දැනට තිබෙන දත්ත යාවත්කාලීන කර නැහැ. 2015 න් පසු සමීක්ෂණයක් කර නැහැ. දත්ත පද්ධතිය සකස් කිරීමෙන් පසු එක් එක් දිස්ත්‍රික්කවල දේශගුණික සාධක මත වගා කරන බෝග නම් කරනවා. රටේ අවශ්‍යතාවය සලකා බලා කෘෂිකාර්මික භෝග වගා කරනවා. නාස්තියත් අවම කරන්න පුළුවන්. අමාත්‍යාංශ අතර අන්තර් එකඟතාවකින් වැඩ කරලා නැහැ.

උදයජීව ඒකනායක