Uncategorized

ලෝක සෞඛ්‍යය පරීක්ෂා කරන සිංහරාජ වෙද නළාව

සිංහරාජ වනාන්තරය ලෝක උරුමයක් බවට පත් වූයේ ඒ පිළිබඳ කළ පුළුල් පර්යේෂණයක් ඇසුරින් ඉදිරිපත් කරන ලද දත්ත පාදක කර ගනිමිනි. එම සුවිශේෂ පර්යේෂණයට දායකත්වය දක්වන ලද්දේ මහාචාර්ය නිමල් ගුණතිලක, මහාචාර්ය සාවිත්‍රි ගුණතිලක ඇතුළු පිරිසක් විසිනි.
මහාචාර්ය ගුණතිලක ශ්‍රී ලංකාවේ නිවර්තන වැසි වනාන්නර පිළිබඳ විද්වතකු මෙන්ම පර්යේෂකයකුද වේ. සිංහරාජ ලෝක උරුම වනාන්තරය හා මෙරට වනගහනය, ශාක විවිධත්වය, වඳවීයාමේ තර්ජනයට මුහුණ පා ඇති හාක පිළිබඳව ඔහු හා කළ සංවාදයක් ඇසුරින් මේ ලිපිය සැකසිණි.
ලංකාවේ ඊට පෙර නොතිබුණු අන්දමින් මහා පරිමාණ යාන්ත්‍රික දැව කැපීමේ ව්‍යාපෘතියක් 1970 ගණන්වල මුල් භාගයේ සිංහරාජ වනාන්තරයේ දියත් විය. ඊට එරෙහිව පරිසර සංවිධාන, පුද්ගලයන් ආදී පිරිස් විශාල හඬක් නැගීය. ඒ හේතුවෙන් මේ වනාන්තරය ගැන විශාල අවධානයක් ඇති විණි. 1977 දී සිදු වූ ආණ්ඩු වෙනසෙන් පසුව සිංහරාජය දැව කැපීම අත්හිටුවා, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණ වනාන්තරයක් ලෙස නම් කෙරිණි. ඉන්පසු එහි පාරිසරික වටිනාකම පිලිබඳ මිනිසා සහ ජෛවගෝල වනාන්තර පිළිබඳ දේශීය කමිටුව කළ නිර්දේශ සලකා බලා ‘‘මිනිසා සහ ජෛවගෝල වනාන්තරය’’ යනුවෙන් යුනෙස්කෝව මගින් නම් කෙරුණි. ඒ වනවිට එය ජාත්‍යන්තර වශයෙන්ද ප්‍රසිද්ධ වෙමින් තිබුණේය. අවට ගම්මානවල සිටි ගැමියෝද සිංහරාජ වනාන්තරයේ පාරිසරික වටිනාකම ගැන අවබෝධයෙන් පසුවිය. සිංහරාජය​ ලෝක උරුමයක් වශයෙන් නම් කිරීමේදී එහි ඇති ශාක වර්ග වැනි වෙනත් රටවල නැති අපේ රටේ පමණක් ඇති ශාක හා තර්ජනයට ලක්ව ඇති ශාක ගැන විද්‍යාත්මක කරුණු දැක්වීමක් සිදු විය යුතුය. සීගිරිය, දඹුල්ල වැනි ලෝක උරුම දෙස බලා ඒවා හඳුනාගත හැකි නමුත් සිංහරාජය දෙස බලා එකවර එසේ කිව නොහැකිය. ඊට දත්ත හා සංඛ්‍යාත්මක තොරතුරු අවශ්‍ය වේ.
අප මුලින්ම කළේ සිංහරාජ වනාන්තරය වටා හොරපිටියේ සිට දෙණියාය දක්වා එනම් බටහිර කෙළවරේ සිට නැගෙනහිර කෙළවර දක්වා වනාන්තරයේ පැතිරීම නි​යෝජනය වන පරිදි හෙක්ටයාර් 5 බැගින් නියැදි 5 ක් තෝරගෙන ඒවා අධ්‍යයනය කිරීමය. ඉන් අපි බලාපොරොත්තු වූයේ සිංහරාජයේ ශාක විවිධත්වය ස්වභාවය සහ පැතිරීම සොයා බැලීමයි. එහිදී මෙම ශාකවලින් 65% ක් ඒකදේශීය බව අපට පෙනී යන්නේය. එනම් ලංකාවට පමණක් අාවේණික ශාක 65% ක් සිංහරාජයේ තිබිණි. ඉන් ලබාගත් දැව 90% ක්ම ලංකාවට ආවේණික වූ ශාකවලින් ලබාගත් දැවය. මෙවැනි තොරතුරු අප කලින් දැන සිටියේ නැත. මේ දැව කොස්ගම තුනීලෑලි කම්හලට ගෙන ගොස් තේ පෙට්ටි සෑදීමට අවශ්‍ය පරිදි සකස් කෙරිණි. එවකට ජෛව විවිධත්වය ගැන එපමණ විශාල අවධානයක් ලංකාව ඇතුළු අනෙකුත් නිරක්ෂීය රටවලත් ප්‍රචලිතව නොවීය. එවක අදහස වුයේ වනාන්තර යනු දැව ගබඩාවක් බවය. අප සිංහරාජයේ පර්යේෂණ සඳහා යොමුවන විට ද දැව කැපීම් සිදු වෙමින් තිබිණි.
එහිදී මේ ඒකදේශීය ශාක දැව සඳහා කැපීම කොපමණ සිදුවෙනවාද, කොපමණ ඉතිරිවෙනවාද යන්න ගණනය කෙරිණි. මේ විනාශය සංඛ්‍යාත්මකව නිරූපණය කළ හැක්කේ එවිටය. දිගින් දිගටම සිදු වූ ඒ විනාශය වනාන්තරයේ පැවැත්මට බලපෑවේය. වන විද්‍යා නිර්දේශ අනුව සිංහරාජය දැව කැපීමේ වනාන්තරයක් ලෙස හඳුනාගෙන තිබුණද, තවදුරටත් එය කළ නොහැකි බව අපගේ පර්යේෂණවලින් තහවුරු විය. වඳවී යාමේ තර්ජනයට ලක් වූ ශාක වර්ග 63 ක් පමණ ඒ වන විටත් හඳුනාගෙන තිබිණි. දුර්ලභ කාණ්ඩයේ ශාක විශේෂ 64 ක් හඳුනා ගැනිණි. එනම් එහි තිබූ ශාකවලින් 90% ක්ම අයත් වූයේ මේ කාණ්ඩ දෙකටය. මීට පෙර කන්නෙලිය, හිනිදුම, ගිලීමලේ, කොට්ටව වැනි වනාන්තර අධ්‍යයනය කර ලබාගත් තොරතුරුත් ආශ්‍රය කරගෙන සිංහරාජයත් සමග පහතරට තෙත් කලාපයේ වනාන්තර පිළිබඳ හොඳ නියැදි සාම්පලයක් සැකසීමට හැකි විය. පහත රට දේශගුණික කලාපවල දක්නට ලැබෙන වනාන්තරවල ඇති ඒක දේශීය ශාක ප්‍රමාණය ගැන සන්සන්දනාත්මක අධ්‍යනයක් සිය පී. එච්. ඩී. උපාධිය සඳහා කළේ මහාචාර්ය සාවිත්‍රි ගුණතිලකය. මේ වනාන්තර පිළිබඳ ප්‍රමාණාත්මක දත්ත සැපයීමට අපට හැකි විය.
යුනෙස්කෝව මේ තොරතුරු සලකා බැලීමෙන් අනතුරුව 1988 දී සිංහරාජ වනාන්තරය ‘‘ස්වභාවික ලෝක උරුමයක්’’ ලෙස ප්‍රකාශයට පත් කළේ ය. එය ප්‍රකාශයට පත් කරමින් ඉදිරිපත් කළ හේතුපාඨයේ එසේ නම් කිරීමට හේතු දක්වමින් යුනෙස්කෝව කියා සිටියේ සිංහරාජය යනු ජෛවීය පරිණාමය ගැන සලකන විට භූගෝලීය වශයෙන් වැදගත් සන්ධිස්ථානයක් බවයි. එහිදී ශ්‍රී ලංකාවේ පහතරට තෙත් කලාපීය වැසි වනාන්තර අතරින් සිංහරාජයට හිමිවුණු වැදගත්කම සුවිශේෂී වූවකි. මේ වනාන්තරයේ ඒකදේශීය ශාක විශේෂ 139 ක් තරම් විශාල ප්‍රමාණයක් තිබීමද ඊට බලපෑවේය.
කන්නෙලිය, දෙදියගල, මාලිබඩ වැනි වනාන්තරවලද මේ තත්ත්වය දකින්නට පුළුවන. වේවැල් හොඳින් ඉහළට වැඩී තිබීමෙන් පෙනෙන්නේ තවමත් ඒ වනාන්තර මුල් තත්ත්වයට වර්ධනය වී නැති බවය. සිංහරාජයේ ද විශාල ගස් කපා දැමීම හේතුවෙන්, ඒ විවර තුළින් වේවැල් හොඳින් ඉහළට මතුවේ. එනම් තවමත් එවැනි තැන්වල හොඳ තුරු වියනක් ඇතිවී නැත. මේ වනවිට අවුරුදු 40 ක් පමණ ගතවී ඇති අතර සාමාන්‍යයෙන් මෙවැනි වනාන්තරයක් පෙර තිබූ තත්ත්වයට ආසන්න මට්ටමකට ඒමට වසර සිය ගණනක් ගත වේ.
සිංහරාජයේ කළ පර්යේෂණවලදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා අංශයේ මහාචාර්ය ඊ. ජේ. කොස්ටර්වාස් වතුරාවේ ශාකයක් හඳුනාගත් අතර එක් කුරුඳු ශාකයක්, සිනමෝවුම් සිංහරාජයෙන් සිස් යැයි නම් කෙරිණි. අළු බෝ විශේෂයක්, දියතාලිය ශාක විශේෂයක්ද මේ අතර විය.
මෙවැනි වනාන්තරවලට පසුකාලීනව ඇති වූ තර්ජන සලකන විට වනාන්තර කැබලිකරණය වීම ප්‍රධානය. සිංහරාජය හැරුණු විට මාතර, රත්නපුර, ගාල්ල, කළුතර වැනි දිස්ත්‍රික්කවල ඇති කුඩා ප්‍රමාණයේ පහතරට වර්ෂා වනාන්තර ද රැකගත යුතුය. ඒවා කුඩාවීම නිසාම ඒ ශාක වඳවී යාමේ තර්ජනය වැඩිය. මීට ප්‍රතිකර්මයක් ලෙස මෙවැනි කුඩා වනාන්තර දෙකක්වත් ජල මූලාශ්‍රද ඇසුරු කරගෙන එකට සම්බන්ධ කිරීමට පුළුවන් තරමින් වෑයම් කෙරෙමින් පවතී. වළංකන්ද, දෙල්වල වැනි ප්‍රදේශවල මෑතක ඒ ප්‍රයත්නය දියත් කෙරිණි. සිංහරාජයට උතුරින් පිහිටි ප්‍රදේශයක වූ කලාප 2 ක් අතර බිම් තීරයේ පුද්ගලික සමාගමකට අයත් තේ වගාවක් පවතී. ඔවුන් සමග සාකච්ඡා කිරීමෙන් පසු සංරක්ෂණය සඳහා ඒ භූමිය ලබා දීමට ඔවුන් කැමැති විය. අදාළ අංශත් සම්බන්ධ කරගෙන මේ බිම් කොටස ඔස්සේ දෙපස ඇති වනාන්තර ප්‍රදේශ යා කිරීම ගැන පර්යේෂණ කෙරෙමින් තිබේ. මහාචාර්ය නිමල් ගුණතිලකගේ උපදෙස් මත රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්ය නාලක ගීකියනගේ ඇතුළු කණ්ඩායමක් මේ කාර්යයේ නියැළී සිටී. නොයෙක් තර්ජන නිසා මේ වනාන්තරවල ඇති ඒකදේශීය ශාක විශේෂවලින් හරි අඩක් පමණ වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇත. වෙළෙඳාම නිසා තර්ජනයට ලක්ව අැති ශාකද මීට ඇතුළත්ය. හොඳම උදාහරණය වල්ල (වල්ලාපට්ටා) ශාකයයි. බෙරලිය, අළු බෝ විශේෂ, දියතාලිය වැනි තවත් ශාක විශේෂ ද වඳවීමේ අනතුරට මුහුණ පා ඇත. සිංහරාජයේ ඇති ඒකදේශීය ශාක විශේෂ 135 න් 90% කට වඩා දුර්ලභ ශාක බවට පත්වෙමින් තිබේ. ​ජෛවීය පරිණාමීයව සිංහරාජය වැදගත් සන්ධිස්ථානයක් වන්නේ කෙසේ දැයි මේ අනුව වටහා ගැනීමට පුළුවනි. වන සංරක්ෂණ දෙපාර්තෙම්න්තුව මේ වැදගත්කම සලකා වෙනත් වනරක්ෂිතවලටත් වඩා දැඩි නීතිරීති සිංහරාජය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරමින් සිටී. මිනිසා සහ ජෛවගෝල වනාන්තරය නම් සංකල්පය යටතේ සිංහරාජ වනාන්තරය කොටස් 3 කට බෙදා ඇත. පළමු කොටස අධි සංරක්ෂිත කලාපයයි. මේ කොටසේ කිසිදු මිනිස් ක්‍රියාකාරකමකට අවසර නැත. දෙවැනි කොටස ප්‍රේරණ කලාපයයි. එහි පර්යේෂණ හා සංචාරක කටයුතු කළ හැකිය. තුන්වැනි කොටස තිරසර සංවර්ධනයට යොමු වූ ආර්ථික ක්‍රියාකාරකම් සඳහා මෙන්ම සංචාරක කලාපයක් ලෙසද භාවිත කළ හැකිය. එහෙත් වනාන්තරයට හානි නොවීමට වගබලාගත යුතුය. වසර 25-30 කට මෙම ප්‍රේරණ කලාපයේ පයිනස් වගා අතර වලඟසාල්, හල්, කිතුල්, බෙරලිය මහාචාර්ය ගුණතිලක අැතුළු කණ්ඩායම පර්යේෂණ ඇරඹීය. මේ වන විට ශාක වර්ගවැවීමට මහාචාර්ය ගුණතිලක ඇතුළු කණ්ඩායම පර්යේෂන ඇරඹීය. මේ වන විට කිතුල්, බෙරලිය, වැනි ගස්වල මල් පිපී ඇත. මේ පර්යේෂණ සාර්ථක බවට එය සාක්ෂියකි. සිංහරාජය නැරඹීමට එන සංචාරකයන්ට නැරමීමට මේවා ක්ෂේත්‍ර ආකෘති වශයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වාගෙන යයි.
ශාක රටින් පිට කිරීම සඳහා හොඳම උදාහරණය වල්ල ශාකයයි (වල්ලපට්ටා) 1980 ගණන්වල සිට මේ ශාකයට තර්ජනය ඇතිවෙන්නට පටන් ගත්තේය. ක්‍රමයෙන් 1990-2000 ගණන්වන විට විශාල ලෙස මේ ශාකය වඳවෙමින් ඇති අයුරු පැහැදිලි වේ. ඊට හේතුව නීති විරෝධී වෙළෙඳාමය. මේ වන විට වල්ල ශාකය ඉතා දුර්ලභය.
දැනට ඊට සමාන ශාකයන් විදේශයකින් ගෙන්වා මෙහි වගා කෙරේ. මේ ශාකයේ විශේෂ 7-8 ක් වියට්නාමය, ඉන්දියාව, බංග්ලාදේශය ආදී රටවල වාණිජව වගා කෙරේ. ඒ සුවඳවිලවුන් නිෂ්පාදනය සඳහාය. අපේ ශාකවර්ග හඳුනා ගැනීම සහ වනාන්තර ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව සිය නිලධාරින්ට පුහුණු වැඩසටහන් පැවැත්විය. ඊට මහාචාර්ය නිමල් ගුණතිලකගේද සහාය ලැබුණි. නිලධාරින්ද දැන් මේ සඳහා කැපවී සිටී. සිංහරාජය අවට ගම්වැසියන්ද මේ ගැන උනන්දුය. මේ වනවිට පරම්පරා 2-3 ක් වැඩ කිරීමෙන් මහාචාර්ය ගුණතිලක ඇතුළු පර්යේෂකයන් අත්දැකීම් ලබා සිටී. දැනට සිටින්නේ මේ පරම්පරාවල දරුවන් හා මුණුබුරන්ය. ඔවුන් මේ තත්ත්වය අවබෝධ කර ගනිමින් සිටී. කන්නෙලිය අවට ගම්වැසියෝද මේ සංරක්ෂණ කාර්යයන්ට සම්බන්ධ වී සිටිති. වල්ල ශාකයට වාණිජමය වශයෙන් වටිනාකමක් ලැබෙද්දී ඒ ජාවාරම් කෙරුණේ සමහර ගම්මුන් හවුල්කරගෙනය. පිට පළාත්වලින් ආ වෙළෙන්දන් මේ කාර්යයේ නියැලිණි. එසේ වුවද දැන් ක්‍රමයෙන් වැඩි දෙනා සංරක්ෂණයට කැප වී සිටිති. ඔවුන්ගේ ආර්ථිකයටත් ඉන් රුකුලක් ලැබේ. කිකිළිය මරා දමා රත්‍රං බිත්තර සියල්ල ගත්තා ආකාරයේ ක්‍රියාවකට ඔවුන් පෙලඹෙන එකක් නැත.
ලෝකයේම සපුෂ්පීය (මල් හට ගන්නා) ශාක විශේෂ ලක්ෂ 3 ක් පමණ තිබේ. ශ්‍රී ලංකාවට හා ඉන්දියාවේ බටහිර ගාට්ස් ප්‍ර​දේශයට ආවේණික ශාක විශේෂ 3000 ක් පමණ ඇත. එනම් එවැනි ශාක විශේෂවලින් 1% ක් ඇත්තේ අපි ළඟය. ඒ 1% න් 70% ක්ම ඇති භූමි ප්‍රදේශ මේ වනවිට දක්නට නැත. මේ නිසා ඉන්දියාවේ බටහිර ගාට්ස් හා ශ්‍රී ලංකාවත් ජෛව විවිධත්වය උණුසුම් ලක්ෂයක් (Hot Spot) බවට හඳුනාගෙන තිබේ. මේ Hot Spot සංකල්පය ඉදිරිපත් කරන ලද්දේ නෝමන් මයර්ස් විසිනි. ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය වැනි රටවල මේ විවිධත්වය රැක ගැනීමට කළ යුතු කාර්යභාරයක් තිබේ. න්‍යෂ්ටික බෝම්බ තැනීමට යුද අවි තැනීමට කරන වියදමට වඩා බොහෝ අඩු වියදමක් මේ පර්යේෂණ සඳහා වැය වුණත්, ලෝකය ඒ මුදල යොදවන්නේ නැත. ජීවයේ පැවැත්මට වනාන්තර අත්‍යවශ්‍ය වුණත් ඒවා රැක ගැනීමට කරන වියදමට වඩා ලෝකය විනාශ කිරීමට කරන වියදම වැඩිය.
ගෝලීය උණුසුම ඉහළ නැගීමත්, සමග එය අර්බුදයක් ලෙස මතුව තිබියදී 2011 දී ජෛව විවිධත්වය හා පාරිසරික සේවා ගැන අන්තර්ජාතික වේදිකාවක්ද නිර්මාණය විය. මේ ඔස්සේ අපේ රටවලට ද අවධානය යොමුවනු ඇත. දැනට ඇති වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර ලක්ෂ 2 කින් පමණ වැඩිකරගත යුතු බව පෙන්වා දී තිබේ.
හොඳාකාරම දන්නා දෙයක් නම් පයිනස් වගාව ජල මූලාශ්‍රවලට බලපාන බවය. මේ වගා බොහෝමයක් කඳුකර ජල පෝෂක ප්‍රදේශවල ඇති නිසා නැවත වන වගා ඇති කිරීම බෙහෙවින් වැදගත්ය. 1996 දී අක්කර 60 ක වන වගාවක අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව සිංහරාජයේ නිරිත දිග ප්‍රදේශයේ මූකලාන කොටස තුළ අැරඹීමු. මෙවැනි පර්යේෂණ ලෝකයේ තවත් රටවල් 27 ක වනාන්තර 64 ක සිදුවේ. එවැනි වනාන්තර ලෝකයේ සෞඛ්‍යය පරීක්ෂා කරන වෛද්‍ය නළාවක් ලෙස හඳුන්වයි.
ගස් සිටුවීම මෙන්ම රැකබලා ගැනීම ද අවශ්‍යයි. පසුගිය දශක ගණනාව තුළ රුක් රෝපණය කළද රැක බලා ගැනීම ගැන අවධානය ප්‍රමාණවත් නොවීය. ඒ සඳහා කලින් කලට දත්ත ලබාගත යුතු වේ.
සිංහරාජයේ අක්කර 60 ක මුකලානේ කළ නැවත වගාවේ පැන්සලක ප්‍රමාණයේ ශාකය දැන් මීටර් 30 ක් පමණ උසට වැඩෙන තෙක්ම කලින් කලට ලබාගත් දත්ත තිබේ. ඒ සෑම ගසක්ම ආරක්ෂා කෙරේ. අවශ්‍ය අයකුට මේ නැවත වන වගාව දැක බලා ගැනීමට පුළුවන්. මේ වනවිට සිංහරාජයේ නා ගස් මියයන ස්වභාවයක් හඳුනා ගැනීමට හැකි වී තිබේ. එය විශාල ප්‍රශ්නයකි. මේ පිළිබඳ අප දැඩි අවධානයක් යොමු කළ යුතුය.
නැවත වන වගාව කිරීමේදී ඒ පරිසර තත්ත්වවලට ගැළපෙන ශාක විශේෂ හඳුනාගෙන වගා කළ යුතුය. කඳුකරයේ ඉහළ වැවෙන ශාක පහළ වගා කිරීම පල රහිතය. හොර, දොරණ, වැනි ශාක කඳු මුදුන්වල වැවීමෙන් පලක් නැත. අනෙක් කාරණය දැවැන්ත ගස් වශයෙන් වැඩෙන ශාක වර්ග මුඩුබිමක එක්වරම රෝපණය කිරීමට වඩා මුඩුබිම ක්‍රමයෙන් වන ලැහැබ මූකලාන ආදී වශයෙන් වෙනස් වන විට ඊට ගැළපෙන ශාක වගා කර අනතුරුව එවැනි ගස්වර්ග වැවීම ඵලදායකය. එවිට ඒ පරිසරයට ගැළපෙන පරිදි ශාක තෝරා ගැනීම නිසා හොඳ තත්ත්වයේ නැවත වන වගාවක් ක්‍රමයෙන් එහි ඇති වේ.
අපට ආවේණික ශාක වර්ග මෙන්ම වල්ල වැනි ශාක විශේෂ රටින් පිටවීම වැළැක්වීමට රේගුව අවධානයෙන් පසු වේ. නමුත් කොතලහිඹුටු වැනි අපේ ශාක වර්ගවලට අත් වූ ඉරණම සලකා මෙවැනි නීති විරෝධී ක්‍රියාකාරකම්වලට තවදුරටත් වැටබැඳිය යුතුය. ලබන වසරේ අපේ රටේ පැවැත්වෙන CITES සමුළුවේදී අපට මේ කාරණා ගැන අවධානය යොමු කරවීමට හැකියාව තිබේ. අතීතයේ අපේ සම්පත් කොල්ලකෑවාක් මෙන්ම වර්තමානයේද මෙවැනි සම්පත් කොල්ලකමින් සිටී. මේ තත්ත්වය වැළැක්වීමට ගතයුතු ක්‍රියාමාර්ග ගැන අපට මෙවැනි සමුළුවකදී පියවර ගැනීමට පුළුවන.
ධම්මික සෙනෙවිරත්න