විශේෂාංග

සිංහයන් එක්කත් යාළු සත්තුන්ගේ දොස්තර

මහ කැලෑවක සතුන් මැද්දේ ජීවත්වෙන්නට ලැබුණොත් එය බොහෝ දෙනකුට ඉතාමත් බියකරු අත්දැකීමක් වනු ඇත. ඒත් එය සුන්දරත්වයක් කරගෙන ජීවිතයේ සතුට කරගත්තෝ ලංකාවේත් සිටිති.

පශු වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණත් එවන් අයෙකි. ඒත් ඔහු සතුටෙනි. අක්කර පන්සීයක කැලෑවක් මැද්දේ සිංහ, කොටි, අලි, වලස්සු අැතුළු සතුන් හාර පන්සීයක් මැද්දේ ගෙවන ජීවිතය ගැන ඔහු සිටින්නේ සතුටෙනි. ඊටත් වඩා ඒ සිංහයන් හුරතල් කරමින් සෙල්ලම් කරන්නටත්, අසනීප වූ කල ළඟට ගෙන බෙහෙත් කරන්නටත් හැකිවන සේ සතුන් හීලෑකර ගැනීම ඔහු ලැබූ විශාලම ජයග්‍රහණයක් වන්නේය.

පශු වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණ සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවට ඇති එකම සෆාරී උද්‍යානය වූ හම්බන්තොට රිදීගමට පත්ව එන්නේ 2016 වසරේය.
” මම ගොඩක් කැමැත්තෙන් හිටියේ සත්ත්ව කළමනාකරණය ඔස්සේ ග්‍රාමීයව ගොවිපොළ ආර්ථිකයට සම්බන්ධ වෙන්න. අහම්බෙන් වනජීවී අමාත්‍යාංශයේ පත්වීමේ ලියුම ලැබුණෙ. මට කැමැත්තක් තිබුණෙම නෑ මේ සෆාරී උද්‍යානයට එන්න. ඒත් පොඩිකාලේ ඉඳලා සත්තුන්ට තිබුණ ආදරේ ඒ අකැමැත්ත පරාද කළා. “

ප්‍රියසාද්ගේ බාලකාලය ගෙවුණේ මාතර තංගල්ලේය. බොහෝ වේලාවට ඔහු කුඩා කල කී ඇතැම් දේවල් අම්මා, තාත්තා ඉවසා දරා සිටියේ ඔහු පශු වෛද්‍යවරයෙක් වෙතැයි සිතා නොවේ. ඊට වඩා ඉහළට යතැයි සිතාය.

” මම පුංචි කාලේ සත්තුන්ට හරිම ආදරෙයි. ඒ හින්දා සත්තු හැදුවා. ඒ වගේමයි බල්ලො පූසො මැරුණම ඒ අය වළලන්න කලින් මම ඒ අයව කපලා ඇඟ ඇතුළ අඳුනාගන්න උත්සාහ කළා. තව ඔය පූසො අල්ලලා මැරෙන ලේන්නු , කුරුල්ලො වගේ සත්තුන්ටත් ඒ වැඩේ කළා. තුවාල වෙලා බේරුණ සතෙක් දැක්කොත් හොඳකරගෙන හැදුවා. මම මකුළුවෝ, ගෝනුස්සො කුරුමිණියො, හැදුවා, ඒ සත්තුන්ගෙ චර්යාව බලන්න. ඒ කාලේ මැස්සෙකුත් බෝතලේකට දාලා කාමරේ තියාගෙන හැදුවා. “

ඒ සත්තුන් සමග සබැඳි ප්‍රියසාද්ගේ ළමාකාලයයි. ඔහු සතුන් විෂය කෙතරම් ප්‍රියකළාද යත් ඒ මතකයම සාක්ෂි දරයි. වෛද්‍ය විද්‍යාලය ලකුණකින් දෙකකින් මග ඇරෙද්දී තව අවස්ථාවක් ඉතිරිව තිබියදීත් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකු වීමේ සිහිනය පසෙක දමා ඔහු පශු වෛද්‍යවරයෙකු වීමට තීරණය කළේ හිත තුළ සතුන් කෙරෙහි නිධන්ව තිබූ සෙනෙහස, ආදරය, කැමැත්ත නිසාමය. ඒ ආදරය , සෙනෙහස, කැමැත්ත සෆාරී උද්‍යානයේදී ඔහු සතුන් හා බෙදාගත්තේ එය සතුන් හා මිත්‍රවීමට ඇති හොඳම මග බව දන්නා නිසාය.

” මම ගොඩක් වෙලාවට සත්තුන්ව යාළු කරගන්නෙ අතගාලා, සෙල්ලම් කරලා, හුරතල් කරලා, ඒ අය එක්ක කතා කරලා. එහෙම ළංවීම තුළින් සතුන්ගේ රෝග විනිශ්චය ඉතාම පහසු වෙනවා. ඕනම දරුණු සතෙක්ට පුංචි කාලෙ ඉඳලා ඒ විදිහට ළං වුණාම ලොකු වුණත් ඒ බැඳීම සතා තුළ ඇති වෙනවා. “
කැලෑවේ දරුණුම සතා වන සිංහයන් ප්‍රියසාද් යාළුකරගත්තෙත් එහෙමය. මේ සෆාරි උද්‍යානයට ඔහු එනවිට සිටියේ එක සිංහ ජෝඩුවක් පමණි.සිංහ ජෝඩුව අවස්ථා කීපයකදී පැටවුන් බිහි කර තිබුණත් එක් පැටවෙකු හෝ ජීවත්වූයේ නැත.

” වෙන රටවල සෆාරි උද්‍යනවල හොඳ තාක්ෂණයක් තිබ්බත් අපිට තියෙන තාක්ෂණය අඩුයි. ඒත් මං ආවට පස්සෙ සත්තුන්ගෙ සුබ සිද්ධියට වැඩපිළිවෙළක් හැදුවා. පිටින් මෙතෙන්ට තවදුරටත් සත්තු ගේනවට වඩා ඉන්න සත්තුන්ගෙන්ම පැටව් බිහිකරලා ටිකක් ලොකුවෙනකල් රැකබලා ගන්න එකත් ඊට ඇතුළත්. සිංහ ජෝඩුව වසයි, නපුරුයි. ඒත් තරමක් ඈත ඉඳලා දිනපතා නිරීක්ෂණය කිරීමෙන් පස්සෙ ගෑනු සතාගෙ බඩේ වෙනසක් අඳුනාගත්තා.ඒ ගර්භණීභාවය බවට තහවුරු කරගෙන පැටව් ලැබෙන කාලයත් ගණනය කළා. ඒ කාලය වෙද්දි වැඩකරන අයගෙත් උදව්වෙන් එයාව කොටුකළ තැනකට ගත්තා. ඊට පස්සෙ එයා ගැන තවත් හොඳින් බලන්න පුළුවන් වුණා. 2017 අප්‍රේල් 08 වැනිදා සිංහ ධේනුව පැටව් 4 දෙනෙක් බිහි කළා.

ඊට පස්සෙ නිරීක්ෂණය කළේ පැටවුන්ට කිරි තියෙනවද, පැටව් අම්මට යටවෙනවද, පැටවුන්ට දුර්වලතා තියෙනවද, ලෙඩ අසනීප හැදෙනවද කියලයි. අම්මට ඕන විදිහට එළියට යන්නත් ආපහු ඇතුළට ඇවිත් කිරි දෙන්නත් පුළුවන් විදිහට වටපිටාව සැකසුවා. ඒ හින්දා එයා ඕන වෙලාවට ඇතුළට ඇවිත් කිරි දීලා යන්නත් ඕන වෙලාවට පැටව් ළඟ ඉන්නත් පුරුදු වුණා. ඒ අතරෙ අපි පැටවුන්ට ලයිට් එළියෙන් උණුසුම දුන්නා. බෝවිය හැකි වෛරස් රෝගවලට අවශ්‍ය එන්නත් වගේම පණු බේතුත් දුන්නා. “

දවසින් දවස ලොකුවෙන සිංහ පැටව් පශු වෛද්‍ය ප්‍රියසාද්ගේ අතේ උණුසුමට, ඉවට හුරුකරගන්නට පටන් ගත්තේ මේ පුංචිම කාලයේ පටන් ය. පැටවුන් වැටි වැටී නැගිටින කාලය එද්දී අතගාන්න, හුරතල් කරන්න වගේම බෝල වැනි සෙල්ලම් බඩුවලින් සෙල්ලම් කරන්නත් පටන් ගත්තාය. බළල් පැටවු සේ, සිංහ පැටවුන් හතර දෙනා ප්‍රියසාද් හා සෙල්ලමට හුරු වූහ.

” මාස හතක් විතර වෙනකල් මං ඒ හතරදෙනා මට හුරුකරගත්තා.ඒ වයසට ආවම පැටවුන්ට එළියෙ පරිසරය ආරක්ෂිතයි. පැටවුන්ගෙ නිරෝගි බව සීයට සීයක් තහවුරු කරලා 2017 දෙසැම්බර් මාසෙ දි අම්මත් එක්ක පැටවු තුන්දෙනෙක් කැලේට යැව්වා. ඒ මීරා, ජෙනරල් සහ වොලී කියන සිංහ පැටව් තුන්දෙනා. පැටව් හතරදෙනාගෙන් එක්කෙනෙක් තමයි ඒ කාලෙම අඹේපුස්සට දුන්නෙ. . “

ඉන් පසු ඒ පැටවුන් තුන්දෙනා ප්‍රියසාද්ව කොහේදි දුටුවත් ඇඳින්නේය. ඕනෑම තැනක ඒ පැටවුන් ළඟට ගෙන හුරතල් කරන්නටත්, එන්නත් ආදිය ලබා දෙන්නත් ඔහුට පුළුවන් වුණේය. ඒත් ඔහුට ලොකු සිංහ ජෝඩුව නම් හීලෑකරගන්නට බැරි විය.” මම මෙතෙන්ට එනකොට මේ සිංහ ජෝඩුවට වයස අවුරුදු හතරක් පහක් ඇති. එතකොට ඒ අයගෙ ළමා කාලෙ ගිහිල්ලා. ඒ නිසා පුංචි කාලේ ඉඳලා ඒ දෙන්නගෙ ආව සැර ගතිය නැතිකරන්න බෑ. පැටව් ළඟ ඉන්දැද්දී මමයි සහායක මහත්තුරුයි එතෙන්ට ගියොත් සද්ද නැතුව ඉන්නවා. හුරු හින්දා. වෙන කවුරු ගියත් තරහෙන් ගොරවලා එළවනවා. පැටව් හොඳට වැඩිලා. අදටත් මා එක්ක හුරතල් වෙනවා, නටනවා සෙල්ලම් කරනවා. මට කට ඇතුළට අත දාලා වුණත් කෑම කවන්න පුළුවන් තරම් අදටත් හීලෑයි. .”

මේ පශු වෛද්‍යරයා එසේ සිංහ පවුලක් හැදුවේ සෆාරි උද්‍යානයේ සත්ත්ව රෝහලේ සේවය කරමින් සතුන්ගේ රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර කරන අතරේය. එමතු ද නොව තවත් බොහෝ දේ ඔහු අතින් සතුන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් මේ උද්‍යානය තුළත්, රෝහලේත් සිදු වේ. අක්කර 500 ක් ඇති රිදීගම සෆාරි උද්‍යානයේ දැනට අක්කර දෙකක සත්තු සිටිති. සත්තු වත්තක සිටින සියලුම සත්තු වර්ග සිටින මෙහි ඒ ඒ සතුන්ට වාසයට කලාප වෙන්කර ඇත. ඒ සිංහ කලාපය, ආසියාතික අලි කලාපය, බෙංගාලි ව්‍යාඝ්‍ර කලාපය, ලෝක ශාක භක්ෂක කලාපය, ලෙසිනි. දවසට වරක් හෝ දෙකක් අනිවාර්යයෙන්ම මේ අක්කර දෙසීය තුළ ඔහුත් දැනට සිටිනා අනෙක් පශු වෛද්‍යවරයාත් ගොස් සතුන් ගැන සොයා බලති. ඒ සඳහා මේ උද්‍යානයට හොඳ සහායක පිරිසක් ද සිටිති.

” ලෝකයේ වඳවීමේ තර්ජනයට මුහුණ පාලා ඉන්න ඇරැබියන් ඔරික්ස් කියන සත්තු හතර දෙනෙක් දැන් මේ සෆාරි උද්‍යානයෙ ඉන්නවා. එයාලා ගව කුලයට අයිති එළුවා වගේ සතෙක්. එ්ත් එයා හරි දරුණුයි. මං මෙතෙන්ට එනකල්ම ඒ ගොල්ලන්ගෙත් පැටියෙක් නම් හදාගන්න පුළුවන්වෙලා නෑ. මං ඒ ගොල්ලන්ගෙ පැටියෙක් හදනවා කියලා හිතුවා. සිංහ ධේනුව වගේ එයාවත් අපි නිරීක්ෂණය කරලා ගර්භණීභාවයට ඇවිත් කියලා ලක්ෂණ පේනකොට එයාගෙ කණ්ඩායමෙන් වෙන් කළා. තමන්ගෙ අයගෙන් වෙන් කරපුවාම ඕනම සතෙක් දරුණු වෙනවා.මෙයත් ඒ වගේ. එළියට යන්නමයි හැදුවේ. එයාගෙ අනිත් සත්තුන්ට වැට ළඟට එන්න දුන්නා. සතියක් යනකොට සතා සන්සුන් වුණා. ඒත් සතාගේ ජීවිතේ වගකීම තිබුණෙ මට. මේ අවුරුද්දෙ ජනවාරි 18 වැනිදා පැටියෙක් දැම්මා. ඊට පස්සෙ අම්මයි පැටියයි දෙන්නම් හොඳට හිටියා. පැටියට මාස හතක් වුණාට පස්සෙ සිංහ පැටවුන්ට වගේම, එන්නත් ,පණු බේත් ආදියත් දීලා අනෙක් සත්තු මෙන් හුරු කරලා තමයි කැලේට යැව්වෙ. “

ඔහුගේ දක්ෂතාව නිසා ඇරැබියන් ඔරික්ස් සත්වයින් තිදෙනාට තව සතෙක් එකතුවුණේය. මේ අයුරින් වඳවීගෙන යන සතුන් සංරක්ෂණය කරන්නට මේ උද්‍යානයේ වෙනම කලාපයක් ද ඉදිරියේ ඇතිකරන්නට නියමිතය. උරග කලාපයක් හා පොඩි ප්‍රමාණයේ හාවුන් මීමින්නන්, ඉත්තෑවන් වැනි සතුන්ට වෙන් කළ කලාපයක් ද ඉදිරියේ ඇතිවන්නටත් නියමිතය.

පශු වෛද්‍ය ප්‍රියසාද් සේවය කරන සෆාරි උද්‍යානයේ ඇති සත්ව රෝහලේ සතුන්ට ප්‍රතිකාර කිරීම සේම එහි පෝෂණ අංශයක් ද පවතී. සතුන් සඳහා දෙනු ලබන කෑම වර්ග සතුන්ට ලබාදීමට පෙර දිනපතා පරීක්ෂා කෙරෙනුයේ මේ පෝෂණ අංශයෙනි. මුළු සෆාරි උද්‍යානයේම රෝහල් අංශයට හා සත්ව අංශයට සේවකයින් සීයකට වඩා සිටිති.

” අපි හැම සතෙකුටම කරුණාවන්ත වුණොත් පෙරළා ඒක ලැබෙනවා. නපුරුයි කියන සත්තු යාළු කරගන්න පුළුවන් ඒ සත්තු හොඳින් හීලෑ කරගැනීමෙන්. බෙංගාලි කොටි කූඩු ඇතුළෙ ඉන්නේ. ඒත් මම කූඩු ඇතුළට අත දාලා එයාලා හුරතල් කරනවා. ප්‍රතිකාර කරනවා. ඒ යාළුවුණාට පස්සෙ හපාකන්න පනින්නෙ නෑ. මෙහාට අලි ගෙනවිත් තියෙන්නෙ දෙහිවලින් සහ පින්නවලින්. ඒ අයට දම්වැල් දාලා නෑ. මෙහෙ නිදැල්ලේ ඇරලා ඉන්නෙ.

නමුත් ඒ සත්තු ළඟටත් යන්න පුළුවන්. අල්ලන්න පුළුවන්. අනික මම අත්දැකීමෙන් දන්න දෙයක් තමයි ඕනෑම සතෙක් පහර දෙන්නෙ බඩගින්නට සහ බයට කියලා. උපතින්ම සැරපරුෂ සතෙක් වුණත් බඩ පිරිලා නම් පහර දෙන්නෙ නෑ. මෙහෙ සත්තුන්ට එහෙම කුසගින්නක් දැනෙන්නෙ නෑ. දවස පුරා අවශ්‍ය වෙලාවට කන්න දෙනවා. මම යාළු කරගත්ත සත්තු මම දකිනකොට දඟලනවා. මම ඔලුව අතගාන එක, ආදරෙන් කතා කරන එක ඒ සත්තු බලාපොරොත්තු වෙනවා. ආදරේට කතා කරන වචන නොතේරුණත් එයාලා ස්වරයේ හඬ තේරුම් ගන්නවා. “ මේ උද්‍යානයේ ඉන්නා සියලුම සතුන්ට අවුරුද්දට හතර වතාවක් පණු බෙහෙත් දෙනවා. ඒ සියල්ලන්ටම වාර්ෂිකව වෛරස් රෝග සඳහා එන්නත් ද ලැබෙනවා. ඒවා කළයුතු දේවල් ය.

” මම මෙතනදි හිතුණ දේ කරලා බලනවා. ඒ හොඳ පැත්තට. පොතේ දේවලට වඩා ඒ මොහොතේ වෛද්‍යවරයෙකුට කරන්න සිදුවෙන දේවලුත් තියෙනවනේ. ඒ වගේ ළඟදි සීබ්‍රා කෙනෙකුට සැත්කමක් කළා. පිළිකාවක් අයින් කරන්න. මං ඉස්සර ඉඳලම ආස කළේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් වෙන්න. ඒ කපන්න, කොටන්න ආසකමටමයි. ඉබේම මම කැමති දේටම ඇවිල්ලා. මාත් එක්ක එකට පාඩම් කරපු යාළුවෝ මෙඩිසින් යනකොට මම වෙට්නරි ගියා. මම ඉස්සර හිතාගෙන හිටියෙ පශු වෛද්‍යවරු සත්තුන්ට ප්‍රතිකාර කරනවා කියලා විතරයි. ඒත් දැනගෙන හිටියෙ නෑ මේ දේවල් කරන්නෙත් පශු වෛද්‍යවරු කියලා. මගේ යාළුවෝ වෛද්‍යවරු වෙනකොට මම පශු වෛද්‍යවරයෙක් වුණා. හැබැයි, මම ඇත්තටම අනිත් අයට වඩා ජීවිතේ විඳිනවා. ..”
පශු වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණ කීවේ සැබෑවටම හදවතින්මය.

බියංකා නානායක්කාර