අතන මෙතන

සෑම දරුවෙක්ටම සමාන අයිතිවාසිකම් හිමිවිය යුතුයි !

මධ්‍යම පළාතේ පිහිටි මහනුවර ,මාතලේ හා නුවරඑලිය යන දිස්ත්‍රික්කවල ජිවත්වන විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ දිවිපැවැත්මට අවශ්‍ය කුසලතා සංවර්ධනය කර අන්තර්කරණ සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් වූ විශේෂ සේවා සැපයුම් සහයවීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වු සාකච්ඡාවක් පසුගියදා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත්විය .

මෙහිදී පසුගිය දිනවලදී පොල්ගොල්ල හා පල්ලෙකැලේ පදනම්ව විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් වැඩසටහන් පවත්වා එහි ප්‍රගතිය මත සේවා සැපයුම් මධ්‍යස්ථානයක අවශ්‍යතාවය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා විය.

මෙම වැඩසටහනේදී සහය සේවා මධ්‍යස්ථානයේ ස්වරුපය, නීතිමය පසුබිම , අවශ්‍ය භෞතික හා මානව සම්පත් , මධ්‍යස්ථාන පරිසර , දරුවන්ගේ රැකවරණ හා නීතිමය තත්වයන් , අවශ්‍ය වෙනත් ප්‍රතිකාරයන් , නඩත්තු කටයුතු ආදිය පිලිබදව මෙහිදී එකගතාවයන් ඇතිකරගත් අතර , පවතින අඩුපාඩුකම් සකසා කඩිනමින් මෙම විශේෂ අවශ්‍යතාවයන් සහිත දරුවන්ගේ සහය මධ්‍යස්ථානය ඇරඹීමට පියවර ගන්නා ලෙසට ආණ්ඩුකාරවරයා මෙහිදී උපදෙස් ලබාදෙන ලදී .

මෙම ව්‍යාපෘතිය සදහා අනුග්‍රහය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින සෙනෙහස සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍රය මගින් සැපයේ . යහපත් සමාජයක් සදහා සැමට එක හා සමානවූ අවස්ථාවන් ලගාකර දීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට මෙමගින් අපේක්ෂිතය .

මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කුමුදු කරුණාරත්න , ආණ්ඩුකාර ලේකම් උපාලි රණවක , ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ගාමිණි රාජරත්න , මහනුවර සහකාර දිස්ත්‍රික් ලේකම් දිල්හානි , දෙනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.සි.වීරකෝන් , දිස්ත්‍රික් පරිවාස නිලධාරින් , සෙනෙහස සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍රයේ සම්බන්ධීකරණ නිලධාරි ලුතිනල් කර්නල් ඒ . විජේසිංහ , ආචාර්ය ටි.ඩි.ටි.එල්.ධනපාල , ආරක්ෂක අංශ ප්‍රධානින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය .

 

චමින්ද සේනාරත්න