විශේෂාංග

සාහිත්‍ය කුලවල ප්‍රශස්ති නැති සාහිත්‍ය සම්මාන නැති රුපියල් විස්සේ පොත්

යසපාලිත නානායක්කාර මෙරට ජනප්‍රිය සිනමාවේ බොක්ස් ඔෆීස් වාර්තා තැබූ අධ්‍යක්ෂවරයෙකි. ඔහුගේ චිත්‍රපට තේමා පාඨය වූයේ ‘යසපාලිත නිර්මාණයක් – රස සාගරයක්’ ය. යසපාලිත යනු ඇමැති වාසුදේව නානායක්කාරගේ සහ හිටපු මන්ත්‍රී හේමකුමාර නානායක්කාරගේ සොහොයුරකු බව අදටත් බොහෝ දෙනකු නොදනී. යසපාලිත​ගේ ජීවිතයේ අවසන් කාලයේ බොක්ස් ඔෆීස් වාර්තා තැබූ මේ ඩිරෙක්ටර්ගෙන් පත්තර කලාවේදියකු අසා සිටියේ සිනමා ජීවිතයේ ලද සම්මාන මොනවාද බවය.

‘‘මට තියෙන්නේ ‘මහජන සම්මාන’. ඔය කොයි කවුරු ජනාධිපති සම්මාන, සරසවි සම්මාන බලාපොරොත්තු වුණත් මම බලාපොරොත්තු වන්නේ මහජනතාවගේ සම්මාන. මගේ චිත්‍රපට ලබපු ආදායමෙන්ම මම මහජනතාවට රස සාගරයක් පෙන්නලා මහජන සම්මාන ගන්න බව පේනවනේ.’’

චිත්‍රපට​ සාහිත්‍යයේ ගත්තත්, ගීත සාහිත්‍යයේ ගත්තත්, ග්‍රන්ථකරණයේ ගත්තත් කිසිදු සාහිත්‍ය කුලයක ප්‍රශස්ති හෝ සම්මාන නැතිව පොදුජනතාව අතර රැඳෙන නිර්මාණ ඇත. පොත් එක්දහස් ගණනක් ලිව්වායි කියන ඩීමන් ආනන්ද වැනි ලේඛකයන් ලැබුවේ මහජන සම්මානයි. එහෙත් ඩීමන් ආනන්ද ලියූ පළමු පරිවර්තනය ‘යුද්ධය හා සාමය’ බව ඇසුවහොත් ඔබ මවිතයට පත්වනු නියතය.

අසූව දශකයේදී පමණ සාමාන්‍යයෙන් පොතක මිල රුපියල් සියයක් වත් වු​ණේ නැත. ඊට දශක දෙක තුනකට පසු අද සාමාන්‍ය පොතකුත් රුපියල් දෙතුන් සීයකින් මෙහා මිලදී ගැනීමට නැත. භාණ්ඩයක ග්‍රෑම් 500 ක වැනි පැකට්ටුවක මිල ඉහළ යද්දී නිෂ්පාදකයන් කර තිබෙන්නේ සාමාන්‍ය ජනතාවට දරාගත හැකි මිලකට එම නිෂ්පාදනය ඇසුරුම් කිරීමයි. රුපියල් දෙතුන් සීයේ සබන් කුඩු දැන් රුපියල් දහයේ පැකට් ලෙස ඇත්තේ මේ නිසාය.

මෙය ආර්ථික විද්‍යාවේ ‘ඇසුරුම් න්‍යාය’ ලෙස විග්‍රහ කෙරේ. අන්තිමට හිටු කියා ඉහළ ගිය මේ අපේ පොත් කර්මාන්තයටත් ‘ඇසුරුම් න්‍යායයේ’ පිහිට පතන්නට සිදුවිය. අද බස්වල රුපියල් 50 ට හෝ පොත් 5 ම රුපියල් 100 යි ලෙස විකුණන පොත් කර්මාන්තයක් බිහිවන්නේ කාටත් නොදැනී මේ ඇසුරුම් න්‍යායට පින්සිදු වන්නටය. මේ පොත් ප්‍රකාශකයන්ට ලැබුණ රාජ්‍ය අනුග්‍රහයක් නැත. ඔවුනගේ පොත් රජයේ හෝ පෞද්ගලික පුස්තකාලවලට මිලදී ගන්නේද නැත. මේ පොත්වලට ස්වර්ණ පුස්තක සම්මාන අගුපිලටවත් ගොඩවීමේ වරම් නැත. ඊටත් වඩා සාහිත්‍ය සම්මාන නම් මේ පොත්වලට තහනම් වචනයක් වී තිබේ.

බස් රථයට නගින පොත් වෙළෙන්දා මෙවැනි කටපාඩම් කරගත් විස්තරයක් කරගෙන යයි.

‘‘ඔන්න මහත්තයා, නෝනා, අක්කේ, නංගි, අයියේ, මල්ලියේ මං වටිනා පොත් 5 ක් ගෙනාවා. තව අවසාන සෙට් පහයි තියෙන්නේ. පුංචි අයට පරිගණක දැනුම, රාජාවලිය, සිංහලෙන් දෙමළ හෝඩිය, ඉංග්‍රීසියෙන් ලියුම් ලියන හැටි, ඔන්න අන්තිම පොත. එහෙම වෙන්නේ ඇයි? විද්‍යාත්මක දැනුම පොත්, දැන් ඔය පුංචි අයට පරිගණක දැනුම පොතේ තියෙන්නේ…’’

කියමින් ඔහු පොත් පහම ගැන එකින් එක විචාරයක් කරන්නේ බස් රථයේ සිටින සියලු දෙනාම තමන්ට ග්‍රහණය කරගනිමිනි. ග්‍රන්ථ පහ විචාරයෙන් පසු පොත් අලෙවිය පටන් ගන්නේ තමන් ලබාදෙන තඩි ඩිස්කවුන්ට් එක ගැන කියමිනි.

‘‘මේ පොතක් කඩේ ගන්න ගියොත් එක පොතක් රුපියල් පනහයි. ඒ කියන්නේ පොත් පහට රුපියල් දෙසිය පනහක් නොවැ. ලේසි ගාණක්ද? මට ඉතින් ඔය කඩ කුලි, ලයිට් බිල්, වතුර බිල්, සේවක පඩිනඩි, ඊ.පී.එෆ්., ඊ.ටී.එෆ්. මුකුත් නැහැ. කඩේ විකුණන රුපියල් 250 න් මම රුපියල් 150 ක්ම අඩුකළා. අසාධාරණ සල්ලි එපා. මට මේ පොත් 5 ම අරන් පුංචි රුපියල් සියයක් දෙන්න.’’

බස් රථය තුළ කෙරෙන කමෙන්ට්‍රිය මුල් වරට අහන කොන්දොස්තර හා ඩ්‍රැයිවර් උන්නැහේ පවා පොත් සැට් එකේ මුල්ම ගැනුම්කරුවා වන අවස්ථා අනන්තය. ඒ අලුත් පොත් සෙට් එකක් බජාර් එකට බැස්ස දාටය. පොත් අලෙවිය සරු වන්නේ පොත් අලෙවිකරුගේ වාචාලකම වැඩිවන තරමටය. බසයේ විකුණන්නට පොත් මදිවුවහොත් ඔහු කියන්නේ ‘‘මං කිව්වානේ පොත් ෆුල් ඩිමාන්ඩ්. ඉස්සෙල්ලම ඉල්ල ගන්න කියලා’’ යනුවෙන් තරවටුවක්ද කරමිනි. මේ පොත්වල ඇති විශේෂත්වය මේවායේ කවර සිත කාගෙන යන වෛර්ණයෙන් මුද්‍රණය වීමය.

ලංකාවේ ඕෆ්සෙට් මුද්‍රණ ක්‍රමය ව්‍යාප්තිය ඇරඹෙන්නේ 1977 විවෘත ආර්ථිකයත් සමගය. එතෙක් මෙරට මුද්‍රණ අවශ්‍යතා සපුරාලන ලද්දේ බ්ලොක් කපා හෝ අකුරු අමුණා මුද්‍රණය කරගන්නා ලෙටර් ප්‍රෙස් මුද්‍රණ ක්‍රමයෙනි. එයට ‘උඩුතල මුද්‍රණය’ කියාද හඳුන්වනු ලැබේ. ඔය කියන සංදියේ ගස්, ගල්, පඳුරු ගානේ ප්‍රින්ටින් ප්‍රෙස් තිබුණේ නැත. මුද්‍රණාල හිමියෙක් යනු රටේ පිළිගත් සමාජ තත්ත්වයක් තිබූ පුද්ගලයකු විය. මුද්‍රණාල ආඥා පනත අනුව දිස්ත්‍රික් නඩුකාර තැන ඉදිරියේ රුපියලේ මුද්දරයක් අවලංගු කොට අත්සන් තැබූ දිවුරුම් දුන් ලේඛනය එදා මුද්‍රණාලයකට ඇතුළු වන තැන ගෝල්ඩ් ෆ්‍රේම් එකක දමා රාමු කර එල්ලා තැබුණේ ප්‍රින්ටින් ප්‍රෙස්කාරයකු එසේ මෙසේ සිල්ලර පොරක් නොවන බව නොකියාමය.

විවෘත ආර්ථිකයත් සමග ලංකාවේ මුද්‍රණ වෙළෙඳ පොළට ජර්මනියේ, ඔස්ට්‍රේලියාවේ, කැනඩාවේ භාවිත කළ ඕෆ්සෙට් මුද්‍රණ යන්ත්‍ර ගලා ආවේ සීග්‍රයෙනි. මේ යන්ත්‍ර අතරින් රයෝබි, ඩේවිඩ්සන්, මල්ටිලිස්, සොල්නා, රොටාප්‍රින්ඩ් ආදී සියලු මැෂින් අභිබවා ලංකාවේ මුද්‍රණ ලොවේ කිරුළු පලන් ඕෆ්සෙට් යන්ත්‍රය වූයේ බටහිර ජර්මනියේ නිෂ්පාදිත හයිඩල්බර්ග් කෝඩ් නමැති මුද්‍රණ යන්ත්‍රයයි. ලංකාවේ විවෘත ආර්ථිකය බිහිවී දශක තුනක් පමණ ගතවූ 2007 වන විට ලංකාවේ මුද්‍රණ අවශ්‍යතාවෙන් දෙගුණයක් ඕෆ්සෙට් යන්ත්‍ර මෙරටට ආනයන කොට තිබුණි. මුද්‍රණ කර්මානයේ නියැලුණු ප්‍රවීණ මුද්‍රණවේදීන්ට අමතරව බීම නිෂ්පාදකයන්, බිස්කට් නිෂ්පාදකයන්, ඇඟලුම් කම්හල්වලින් නොනැවතී තම පෝස්ටර් ගැසීමට දේශපාලනඥයන් මෙන්ම ටියුෂන් ගුරුන් පවා තමන්ගේම මුද්‍රණාල ආරම්භ වන්නට විය. අන්තිමට වෘත්තීය මුද්‍රණවේදීන්ට වැලේ වැල් නැතිවිය. මේ පොත් 5 ක් රුපියල් 100 ට දෙන පොත් කර්මාන්තය මූලිකව බිහිවන්නේ මෙවන් මුද්‍රණවේදියකුගේ අතිනි. අද එය වර්ධනය වී ගොස් දැවැන්ත කර්මාන්තයක් බවට පත්වී තිබේ. මේ පොත් කර්මාන්තය නිසාම කිසිදු කොම්පැණියක මුද්‍රණ වැඩ හිඟා කන්නට නොගොස් තමන්ගේම වැඩවලින් ස්වයංපෝෂිත මුද්‍රණාල පද්ධතියක් ලංකාව තුළ ස්ථාපනය වීම සතුටට කරුණකි.

අද මේ පොඩි කර්මාන්තය පොත් 5 ක් රු. 100 යි සංකල්පයෙන් ඔබ්බට ගොස් ඇත. පින්තූර 10,000 පොත්, පාට කරන පොත්, සිතියම් පොත්, ශබ්දකෝෂ, සින්දු පොත්, කෑම හදන වට්ටෝරු, හින්දි, චීන, ජපන් භාෂා උගැන්මේ ​පොත් ආදී දහස් ගණනක පොත් දැන් වෙළෙඳ පොළේ ඇත. මේ පොත් තොග අලෙවි හලක් ළඟ ටිකක් රැක සිට පොත් ප්‍රති අලෙවිය සඳහා මිලදී ගන්නා පුද්ගලයකුගේ පොත් අලෙවිය ගැන තොරතුරු විමසුවෙමු.

‘‘මොනාද බොෂා, අපි දවල් රෑ නෑ, බස් තියෙනවා නම් අන්තිම බස් එක යනකම් අපි පොත් බිස්නස්. වැස්ස දාට බිස්නස් අඩුයි. අපි එළියට බහින්නෙත් නැහැ. සමහර දවසට උදේ එකොළහමාර වෙනකොට හත් අටදාහක පොත් විනාශ වෙනවා.’’

‘‘ඒ කියන්නේ පොත් ටික ගිනි ගන්නවද?’’

‘‘නෑ නෑ, අපේ භාෂාවෙන් විනාශ වෙනවා කියන්නේ විකිණෙනවා. මොනාද ඉතින් පැකට් 2 ක් අරගෙන දෙක වෙනකොට ගෙදර. ආයි ඉතින් අනිත් දවසේ තමයි.’’

මුහුණු පොත නිසා ක්‍රමයෙන් අපේ ජනතාව විශේෂයෙන් තරුණ පරම්පරාව කියවීමෙන් ඈත්විය. එහෙත් මේ අඩු මිල පොත් නිසා ඔවුන් පෙරළලා බලන්නට වත් පොතක් ගැනීම සතුටුදායකය. මෙතෙක් කල් මේ පොත් අතර තිබුණ ප්‍රස්ථාව පිරුළු, විරුද්ධ පද, පැරණි සිංහල බෙහෙත් වට්ටෝරු අතරට දැන් කෙටි කතා පොත්ද එක්වීම වර්ධනීය ලක්ෂණයකි. මේ අලෙවිය මුද්‍රණය කෙරෙන රූප පොත් අතර හොඳම ඉල්ලුමක් ඇත්තේ රූපය භාෂා තුනෙන්ම හඳුන්වා ඇති පොත්ය. මේ පොත් වෙළෙන්දා විවිධාකාරය. ශබ්දකෝෂ විකුණන අය පින්තූර පොත් විකුණන්නට යන්නේ නැත. යන්තර ගුරුකම් පොත් විකුණන අය සින්දු පොත් විකුණන්නට යන්නේ නැත. බොහෝ වෙළෙන්දන් කරන්නේ ප්‍රකාශන ආයතන 5 කින් පමණ පොත් මිලදී ගෙන ඒවා කලවම් කොට පොත් 5 ක සෙට් 1 ක් සාදා ගැනීමය.

මේ පොත් අතර සාමාන්‍ය දැනීම පොත්ද ඇත. එක පොතක ඇත්තේ එදිරිවීර සරච්චන්ද්‍ර යනු 1965 රජයේ අධ්‍යාපන අමාත්‍යවරයා බවය. තවත් පොතක තිබුණෙ ගුණදාස අමරසේකර සමගි පෙරමුණු රජයේ කැබිනට් අමාත්‍යවරයකු බවය. මේවා කියවන විට හිතෙන්නේ මේ පොත් කර්මාන්තය රජයේ නියාමනයකට යටත් විය යුතු බව නොවේද? ඇතැම් පොත් කර්මාන්තයෙන් රැකෙන පිරිස දසදහස් ගණනකි. ඒ අතර හමුදාවේ ආබාධිතයන්ද සිටී. එවැනි එක් හමුදා නිලධාරියකු අපට කිව්වේ බස් රථ තුළ වෙළෙන්දන් ඉවත් කිරීමට පියවර ගන්නට යන බව ආරංචි වී ඇතත් තමන් වෙඩි කෑවත් බඩවියත රැකගන්නා මේ වෘත්තිය අත් නොහරින බවය. එහෙත් කළයුතු වන්නේ මොවුන් ඉවත් කිරීම නොව පොදු ජනතාවගේ කියවීමේ ආසාව නැවත ඇතිකර මේ පොත් කර්මාන්තය නගා සිටුවීමට රාජ්‍ය අනුග්‍රහය ලබාදීම නොවේද?

වජිර ලියනගේ