විශේෂාංග

සාස්තර කියන දේව වරම ගන්න ලක්ෂ දෙකයි?

‘‘දේව වරමින් ශාස්ත්‍ර කියනු ලැබේ’’
මෙම සඳහන සහිත පුවරු මගතොට දී අප ඕනෑ තරම් දැක ඇත. එමෙන්ම සමහරු මෙම දේව වරමින් කියැවෙන ශාස්ත්‍ර ඇසීමට විශේෂ කැමැත්තක් දක්වති. මෙම දේව වරම යනු කුමක්ද? එය කෙසේ ලැබෙන්නක්ද යන්න පිළිබඳ බොහෝ දෙනකු ප්‍රමාණවත් ලෙස කරුණු දන්නා බවක් නොපෙනේ.

මෙලෙස දේව වරමින් ශාස්ත්‍ර කියන ස්ථාන බොහෝමයක් එක් එක් දෙවිවරුන්ගේ නම ද සඳහන් කොට තිබේ. ඒ කාලි වරමින්, දැඩිමුණ්ඩ වරමින්, ගම්බාර සූනියම් වරමින්, කඩවර වරමින් ආදී වශයෙනි. එම පුවරු අතරේ කතරගම හෝ පත්තිනි දේව වරමින් යනුවෙන් සඳහන් දැන්වීම්ද දැකිය හැකිමුත් විෂ්ණු දේව වරමින් සමන් දේව වරමින් යනුවෙන් සඳහන් පුවරු දැකිය හැක්කේ ඉතා කලාතුරකිනි. ශ්‍රී ලාංකීය බෞද්ධ සමාජයේ ප්‍රමුඛතම දෙවියා වන ‘ශක්‍ර දේව වරමක්’ ගැන පැවසෙන එකම නාම පුවරුවක්වත් නැත.

එමගින් අපට වැටහෙන එක් දෙයක් තිබේ. එනම් මෙලෙස වරම් දීම සම්බන්ධයෙන් අප රටේ අදහනු ලබන ක්ෂාන්තිවාදී ලක්ෂණවලින් යුතු ප්‍රමුඛ පෙළේ දෙවිවරුන්ට වඩා යක්ෂ සම්භවයකින් යුතු දෙවන පෙළ දෙවි දේවතාවන් ඉදිරියට වැඩමකොට සිටින බවකි.

මෙම දේව වරම් ලැබීමේ දී පුරුෂ පක්ෂය අබිබවා කාන්තා පක්ෂය පෙරට පැමිණීම ඉතා පැහැදිලිවම දක්නට ලැබෙන්නකි. දේව වරමින් ශාස්ත්‍ර කියන ‘පියවරුන්’ට වඩා ‘මෑණිවරුන්’ බහුල ලෙසම දැකිය හැක්කේ එබැවිනි. එමෙන්ම මොවුන්ගෙන් වැඩි පිරිස ජීවිතයේ යොවුන්විය ඉක්මවූවන් බවද පෙනෙයි. සමාජමය වාතාවරණය අනුව මොවුන්ගෙන් බහුතරය අඩු හෝ නොවිධිමත් ආදායම්ලාභී පහළ මධ්‍යම පන්තියට අයත් වෙති. මෙරට ග්‍රාමීය සමාජ ස්ථරයෙන් වැඩිපුර දක්නට ලැබෙන මොවුන්ගෙන් සුළුතරයක් නාගරික අඩු හෝ නොවිධිමත් ආදායම්ලාභීන් අතරින් මතුව ඇති බව පෙනේ.

ඒ හැරුණු කොට ඉහත සඳහන් සමාජ ස්ථරයන්ගෙන් බැහැරව මෙවන් දේව වරම්ලාභීන් වාර්තා වන්නේ නම් ඒ ඉතා සුළු වශයෙනි. මෙලෙස දේව වරම් ලැබූවන් පිළිබඳ වෙන් වෙන් වශයෙන් කරුණු විමසා බැලීමේදී පෙනී යනුයේ ඔවුන්ගෙන් වැඩි පිරිස ජීවිතයේ යොවුන් වියේදී විවිධාකාර පෞරුෂ, පවුල්, සමාජමය ගැටලු අර්බුදවලට මුහුණ පාන ලද්දවුන් බවය.

කුමන හෝ හේතුවක් මත සිය පවුල් දිවිය බිඳවැටුණු හෝ අසාර්ථක වූ ‘මෑණිවරුන්’ ද මෙම පිරිස් අතර සිටිති. වරක් මා එම කරුණු සම්බන්ධයෙන් එවන් දේව වරම් ලැබූ බව පැවසෙන මෑණි කෙනකුගෙන් විමසූ විට ඇය කියා සිටියේ පත්තිනි මෑණියන්ටත් පවුල් ප්‍රශ්න තිබුණා යනුවෙනි. ඒ පිළිතුරින් මම මොහොතකට නිරුත්තර වීමි.

පුරා විසි වසරකටත් වැඩි කාලයක් තිස්සේ මා විසින් කරනු ලැබූ අධ්‍යයනයනට අනුව මෙම මැණිවරුන්ට දේව වරම් හිමිවන ක්‍රම කිහිපයකි. තම ජීවිතයට එළැඹි අනේක විධ දුක් කරදර දෙවියන් හමුවේ නිරන්තයෙන් කියා සිටින අතරේ ඇය එම දුකින් මුදාලනු පිණිස දේව වරමක් දිය හැකි බව දෙවියන් විසින් ඇය වෙත පවසා හිඳීම ඉන් එක් ක්‍රමයකි. ඇතැම් විට එම කාන්තාවට නිතර පෙනෙන සිහිනයක් ලෙසින් මෙම පණිවුඩය ලැබෙන අතර තවත් විටෙක ඇය හිටිහැටියේ පත්වන ආරූඪයක් මගින්ද දෙවියන්ගේ මෙම පණිවුඩය ඇය වෙත හිටිහැටියේ සන්නිවේදනය විය හැක.

‘‘උඹට වරමක් තියෙනවා දරුවා ප්‍රමාද නොවී ඒක ගනින්’’
එහිදී ආරූඪයට පත්වන ඇය දෙවියන් ලෙසින් හඬ ගා කියන්නීය. එසේම එම ආරූඪයෙන් පසු එම කාන්තාවගේ ගති ලක්ෂණ වෙනස් වීම සේම වරින්වර ඇය රෝගාබාධවලට ලක්වීමද සාමාන්‍ය තත්ත්වයකි. එවිට හිටිහැටියේ ඇය එවන් ඉරණමකට ලක්වනුයේ දේව අණට පිටු පෑම නිසා බව ඇගේ ඥාතීහු වටහා ගනිති. මීට අමතරව කලක් සුවපත් නොවන රෝග වැලඳී ඇති කාන්තාවන් පැපොල, සරම්ප සේම ඩෙංගු ආදී වෛරස් රෝග වැලඳී ඇති කාන්තාවන්ද හිටිහැටියේ එලෙස ආරූඪයට පත් වූ හෝ තමන්ට දේව වරමක් ලැබීමට ඇතැයි පවසා සිටි අවස්ථා කොතෙකුත් තිබේ. තම මුළු සේසතම උකස් කොට ලියාපදිංචි නොවූ රැකියා ඒජන්සියකින් සෞදි අරාබියේ ගෘහ සේවයට ගොස් සිටිය කාන්තාවක් එරටින් පිටුවහල් කරනු ලදුව අන්ත අසරණ ලෙසින් යළි දිවයිනට පැමිණියාය.

පසුව මඳ කලකින් මෙවන් දේව වරමක් ලද ඇය තම නිවසේ දේවාලයක් තනා ශාස්ත්‍ර කීම ඇරඹූ අතර අද වන විට ‘මෑණි කෙනකු’න් වශයෙන් මහත් ප්‍රසිද්ධියට පත්ව සිටින අතර මේ වන විට ඇය විදේශ ගෘහ සේවයෙන් ලැබීමට තිබූ වැටුප මෙන් දහදොළොස් ගුණයක මාසික ආදායමක් ලබන බව පැවසෙයි. මෙම සිදුවීම වාර්තා වනුයේ අනුරාධපුර ප්‍රදේශයෙනි.

ඉහත සඳහන් කවර හෝ ලෙසකින් දේව වරමක් ඇති බව වටහා ගන්නා කාන්තාව හෝ පිරිමියා එය ලබා ගැනීම පිණිස එම දෙවියන් හා සම්බන්ධ ප්‍රධාන දේවාලයට යාම පිළිගත් සම්ප්‍රදායයි. එහිදී එම දේවාලයේ ප්‍රධාන කපු හෝ පූජක තැනට තමන් පැමිණි කාරණය පැවසූ විට එම දේව වරම හිමි කාන්තාවට එම වරම ප්‍රදානය කිරීම ඒ දේවාලයේ ප්‍රධාන කපුවා හෝ පූජකවරයා විසින් කළ යුතුව තිබේ.

එහෙත් ඒ සම්බන්ධ ප්‍රායෝගික පක්ෂය ඊට සපුරාම වෙනස්ය. එනම් ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේවාල බොහෝමයක පාලක පක්ෂය හෝ කපු මහතුන් එබඳු වරම් ගැනීමට පැමිණෙන්නවුන් සතපහකට වත් ගණන් නොගැනීමය. මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී නවගමුව පත්තිනි දේවාලයේ කපු මහතකු මා හා කියා සිටියේ එම වරම් ලබා දීම ඒ ඒ පුද්ගලයන්ගේ මියගිය ඥාතීන් විසින් සිදු කරනු ලබන්නක් මිස ඊට පත්තිනි මෑණියන්ගේ හෝ වෙනයම් දෙවිවරුන්ගේ කිසිදු සබැඳියාවක් නොමැති බවකි.

‘‘කිසිම දෙවියෙක් මිනිස් ශරීරයකට ආරූඪ වෙන්නේ නෑ. එහෙම වුණොත් ඒ වෙලාවෙම ඒ තැනැත්තාගේ ඔළුව හත්කඩකට පුපුරලා යනවා. දේව බලය ඒ තරම් ප්‍රබලයි. ඇත්තෙන්ම ඒ විදිහට ආරූඪ වෙන්නේ මියගිය ඥාතීන්ම තමයි. නමුත් ඒ ඥාතීන් අතර දෙවිවරුන්ගේ දේව මණ්ඩලවල සේවය කරන අය’ ඒ සම්බන්ධයෙන් එලෙස දේව වරම් ලබා ගන්නවුන්ගේ පාර්ශ්වයේ අය එසේ කියති.

ඉහත සඳහන් දෙවිවරුන් සම්බන්ධ ප්‍රධාන දේවාලවල තත්ත්වය එසේ වුවද, එලෙස දේව වරම් ඇත්තවුන් හට එම වරප්‍රසාදය හිමිකරගත හැකි වෙනත් දේවාල තිබේ. මේවායින් බොහෝමයක් පෞද්ගලික පාලනයන්ට යටත් ඒවාය. මෙලෙස දේව වරමක් ඇති බවට ඉඟි පළවන අයකු එවන් දේවාලයකට ගොස් එවැන්නක් කී විට එම දෙවියන් සඳහා සංවිධානය කෙරෙන සුවිසල් පූජාවකට යටත්ව එම දේව වරම ප්‍රදානය කරවීමේ කොන්ත්‍රාත්තුව එම දේවාල පාලකයෝ භාර ගනිති.

එවිට එම දේවාලයේදී එම කපුවා හෝ එම වරම් හිමි තැනැත්තා ආරූඪයට පත්කොට එම වරමේ ස්වභාවය සහ ඉන් ගත හැකි ප්‍රයෝජන පිළිබඳ දෙවියන්ගේ ස්ථාවරය පැහැදිලි කර දෙනු ඇත. නමුදු ඒ සඳහා සැලකිය යුතු මුදලක් වැය වන අතර ඇතැම් විට එය රුපියල් ලක්ෂ ගණනක්ද විය හැක. මෙය හරියට රජයේ වෛද්‍ය විද්‍යාලවලින් වෛද්‍ය උපාධියක් ලබා ගැනීමට නොහැකි පසුබිමක් තුළ එය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් හෝ ලබා ගැනීමට වෙර දැරීමක් සේ මට හැඟෙයි. ඉන්පසු එම තැනැත්තාට පෞද්ගලික දේවාලයක් ඇරඹීමේ ‘දේව වරම’ හිමි වෙයි. මෙම දේව වරම් ගැනීම පිළිබඳ ප්‍රායෝගික තත්ත්වය මෙය වන අතර ඒ සම්බන්ධ සාම්ප්‍රදායික විශ්වාසයන් මීට තරමක් වෙනස්ය.

මෙම වරම් වර්ග දේව වරම්, යක්ෂ වරම්, විද්‍යා වරම් යනුවෙන් තුන් ආකාර බව මහනුවර යුගයේ දී ලියැවුණු චූල සම්ප්‍රදායේ යන්ත්‍ර මන්ත්‍ර පොත්වල සඳහන් වෙයි. ඉන් පැවසෙන දේව වරම් සංඛ්‍යාව දහ අටක් ලෙසද ඒවායේ දක්වා තිබේ. එහෙත් මෙම දහඅට වරම එක් එක් ලේඛනවල විවිධාකාරයෙන් දැක්වීම මත ඒවායේ ඒකීයත්වය පිළිබඳ ගැටලු මතු වෙයි. අනවරම්, තෙදවරම්, බලවරම්, යන්ත්‍ර වරම්, මන්ත්‍ර වරම්, පේන වරම්, මුඛ වරම්, දුෂ්ඨිවරම්, ආකර්ශන වරම්, නාග වරම්, එර්දි වරම්, ප්‍රඥා වරම්, කවි වරම්, හාස්කම් වරම්, ඔසුවරම් ඒ අතරින් කැපී පෙනෙන වරම් අතර වෙයි. ඒ අතර මෙලෙස ශාස්ත්‍ර කීම සම්බන්ධයෙන් ඉවහල් වනුයේ මේවා අතුරින් වරමක් දෙකක් පමණක් බව පැහැදිලිය. මෙහි ඔසු වරම් යනු වෘත්තීය ලියාපදිංචියකින් තොරව රෝගීන්ට ප්‍රතිකාර කීමේ වරමක් වන අතර එය නීති විරෝධී වරමක් සේ පෙනෙයි.

ලෝක ප්‍රකට මහා කවි කාලිදාසයන් කාලි දෙවඟන විසින් වරම් කිහිපයක් ලැබීම නිසා සුවිශේෂ කවීත්වයකට හිමිකම් කී අතර ඒ සඳහා කාලි දෙවඟනට කෘතවේදීත්වය පළ කරනු පිණිස සිය සිය මුල් නම කාලිදාස ලෙසින් වෙනස් කරගත් බවද පැවසේ. ඒ කෙසේ හෝ කාලි දෙවඟනගෙන් වරම් ලත් ඔහු එමගින් ලෝක සාහිත්‍යයට කළ අමරණීය සේවයක් පිළිබඳ මිස ඔහු සිදු කළ දේව වරමින් ශාස්ත්‍රකීමක් වැනි යමක් පිළිබඳ කිසිදු තැනක සඳහන් නොවේ. ඒ කෙසේ වෙතත් මෙලෙස දේව වරම් ලැබ ශාස්ත්‍ර කියන සියල්ලෝම ආරූඪයට පත් නොවෙති. එලෙස ආරූඪත්වයට පත් වූ ශාස්ත්‍ර කියන්නෝද ඇතැම් විටෙක දෙවියන්ගේ නාමයෙන් ශාස්ත්‍රය ඔස්සේම පට්ටපල් බොරු දෙසා

‘‘ඔය විදියට ශාස්ත්‍ර කියන අයට සමහර විට ‘‘ආරූඪ වෙන්නේ ප්‍රබල දෙවිවරුන්ගේ දේව සභාවල ඉන්න පහත්ම පෙළේ ඇය, ඒ අතරේ ප්‍රේතයෝ, කුම්භාණ්ඩයෝ වගේ අයත් ඉන්න පුළුවනි. අන්න එහෙම අැය ආරූඪ වුණාම තමයි සාස්තරවලට ඔහොම බොරු කියැවෙන්නේ. අනික මොන තරම් වැදගත් ප්‍රභූවරයකු යටතේ වුණත් පහත් පෙළේ සේවකයෝ ඉන්න බැරිකමක් නැහැනේ, මෙතනත් වෙන්නේ ඒ වගේ දෙයක්’’ එලෙස දේව වරමින් පැවසෙන ශාස්ත්‍ර මගින් පට්ටපල් බොරු කියැවීම සම්බන්ධයෙන් එම පාර්ශ්වයෙන් නිදහසට කරුණු දක්වනුයේ එලෙසිනි.

ඒ කෙසේ හෝ යමකු මෙලෙස ආරූඪයට පත් වීම හුදෙක් ඒ තැනැත්තාගේ යටි සිතේ බලපෑමකට අනුව සිදුවන්නක් මිස වෙනත් බාහිර බලවේගයක් සිරුර තුළට ඇතුළු වීමෙන් සිදු වන්නක් නොවන බව මේ වන විට විද්‍යාත්මක වශයෙන් මනාව අනාවරණය වී තිබේ. එමෙන්ම යම් යම් පුද්ගලයන් තම ජීවිතයේ මුහුණ දෙන ගැටලු අර්බුද මත පැන නගින මානසික ගැටුම (Conflict) නම් වන සාධකය හමුවේ ඒ තැනැත්තා ප්‍රකෘති පෞරුෂයෙන් අත්මිදී වෙනත් පෞරුෂයකට පිවිසීම මෙහිදී සිදුවන බව තහවුරු කරන නවීන මනෝ විද්‍යාව එය හඳුන්වනුයේ විඝටන අපවර්තනය (Dissociative Conversion) යන නමිනි.

ඒ අනුව මනෝ චිකිත්සක ප්‍රතිකාර මගින් සමනය කළ යුතු එවන් මානසික අර්බුද සාම්ප්‍රදායික ජන සමාජයන් තුළ යම් යම් කළමනාකරණයන්ට ලක්වීමෙන් ඒවා මුල්කොට ‘‘දේව වරමින් ශාස්ත්‍ර කීම’’ නම් වෘත්තියක් හෙවත් වෙළෙඳපොළක් නිර්මාණය කර තිබීම අප රටේ මෙන්ම ආසියා, අප්‍රිකා මහද්වීපවල සාම්ප්‍රදායික ජන සමාජයන්හි බහුල වශයෙන් සිදු වන්නක් බව පෙනේ.

එමෙන්ම තමන්හට දේව වරමක් ලැබුණු බවට මානසික සංඥා ලැබීම භින්නෝන්මාදය (Schizophvena) යන සයිකෝසීය මානසික රෝගයේ මූලික ලක්ෂණයක්ද විය හැක. නමුදු එවැනි රෝග ලක්ෂණ දේව වරම් ලැබීම ලෙස ‘‘කළමනාකරණය’ කළ නොහැක. ඒ එම රෝගයේ ලක්ෂණ වරින්වර වෙනස් වන බැවිනි. ඒ කෙසේ හෝ තම ජීවිතයේ විවිධ ගැටලු, අර්බුද මුල්කොට එවන්, මානසික ගැටුම්වලට ලක්වන සමහරුනට ‘දේව වරම් ලැබීම’ මත ශාස්ත්‍ර කීමෙන් ඉතා යහපත් සමාජ ආර්ථික තත්ත්වයක් හිමිකරගත හැකිය. එවිට ඒ තැනැත්තාගේ මානසික ගැටලුව දුරුවී මනැස ප්‍රකෘතිමත් වීම මත එම ආවේගය (Trance) හෝ ආරූඪය (possession) අහිමි වී යාමද ස්වභාවිකම සිදුවන්නකි. නමුදු එම තත්ත්වයට මුහුණ දෙන ‘මෑණිවරුන්’ වුව ඉන්පසුවද තම දේව වරමින් ශාස්ත්‍ර කීම එලෙසින්ම පවත්වාගෙන යනු ලබනුයේ කෘත්‍රිම ආරූඪයක් හෙවත් සමාරෝපණ තත්ත්වයක් (Impersonation) යටතේය.

මෙය සැබැවින්ම දැනට අප රටේ සිනමාවේ, ටෙලි නාට්‍යයේ හෝ වේදිකාවේ පහසුවෙන් දක්නට නොලැබෙන අතිසාර්ථක රඟපෑමක්ද විය හැක.

නමුදු අදටත් බොහෝ දෙනකුට එම රඟපෑමේ කලා රසය විඳ ගැනීමට නොහැකි වනුයේ ‘එය දේව වරමින් ශාස්ත්‍ර කීම’ යන පුවරු යටතේ සිදුවන බැවින් හා එම රඟපෑම් දෙස අන්ධ භක්තියෙන් යුතුව බලා හිඳින බැවිනි.

තිලක් සේනාසිංහ