කතුවැකි

සාග් ජයග්‍රහණවලින් පසුවට…

කැරොලයින් ජූරි ලෝක විවාහක රූ රැජන ලෙස කිරුළ පැලඳීම තනිකරම ඇයගේ පෞද්ගලික ජයග්‍රහණයක් වුවත් ඒ ජයග්‍රහණයේ ගෞරවය අප සියලු දෙනාටම, සමස්ත රටටම හිමිය. ඒ නිසා ඒ ජයග්‍රහණය අපට ආඩම්බරයකි. ඒ නිහතමානී ආඩම්බරය විඳීමට අපට අවස්ථාව සලසා දීම ගැන කැරොලයින්ට අපගේ ස්තුතිය හිමිවේ. ඇයගේ මේ ජයග්‍රහණයේ සතුට අපට අතිශය වැදගත් වන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුව විදේශ තානාපති කාර්යාල සේවිකාවක පැහැරගෙන ඇති බවට චෝදනා නැගෙමින් සිටියදී එය හිමි වීම නිසාය.

මේ අභූත චෝදනාව පදනම් කරගෙන රටට අපකීර්තියක් අත්කර දීමේ උත්සාහයක් පවතින අතරේ රටට කීර්තියක් අත්කර දුන් තවත් පිරිසක් සිටිති. ඒ නේපාලයේ පැවැත්වෙන 13 වැනි සාග් හෙවත් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩා කණ්ඩායමය. ඔවුන් වෙතද සමස්ත ජාතියේ ගෞරවය හිමිවිය යුතුය. නේපාලයට ගිය අපේ මලල ක්‍රීඩකයන් මේ ගෞරවය රටට අත්කර දුන්නේ බොහෝ දුෂ්කර තත්ත්වයන්ට මුහුණ දෙමිනි. නේපාලයට පය තැබූ මොහොතේ සිට ඔවුන්ට නවාතැන් ආදී මූලික පහසුකම් පිළිබඳ ගැටලුවලට මුහුණ දීමට සිදු විය. ක්‍රීඩා පිටියේ තරගවලට අමතරව ඔවුන්ට මෙරට සිට රැගෙන ගිය ඩෙංගු රෝගය සමගද තරග කරන්නට සිදුව තිබිණ.

අප රටේ දිදුලන ක්‍රීඩාව ක්‍රිකට්ය. ඊළඟට රගර්ය. බැරි බැරි ගාතේ වුවත් වැඩි දෙනා උත්සාහ කරන්නේ ක්‍රිකට් ගහන්නටය. මලල ක්‍රීඩකයකු වන්නට සිහින දකින්නේ එහෙමත් කෙනෙකි. පාසල් මට්ටමේදී වුවත් තත්ත්වය එසේය. ක්‍රිකට් ක්‍රීඩාව අතින් රට කොතරම් අසාර්ථක වුවත් ඊට ඇති ඇල්ම බැල්මේ අඩුවක් නැත. ජාතික ක්‍රිකට් කණ්ඩායම අසාර්ථක වන විට ඊට හේතුද පිළියම්ද ඉදිරිපත් කරන්නෝ එමටය.

ක්‍රිකට් ක්‍රීඩාව තරම් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ මලල ක්‍රීඩාවෙන් අත්කර ගන්නට අප තවමත් සමත් වී නොමැති බව සැබෑවකි. එහෙත් අවශ්‍ය සැලසුම් හා අනුග්‍රහයන් තිබේ නම් මලල ක්‍රීඩාවටද ජාත්‍යන්තරය ජය ගැනීමට හැකි බව සුසන්තිකා ජයසිංහ, සුගත් තිලකරත්න වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔප්පු කර තිබේ. එහෙත් ඒ යුගයෙන් පසු මෙරට මලල ක්‍රීඩාව සම්බන්ධයෙන් එවන් අවධානයක් යොමුව නොතිබූ බව කවුරුත් පිළිගත යුතු සත්‍යයකි.

සුසන්තිකාලා, සුගත්ලා එක්වරම ඔලිම්පික් හෝ ආසියානු මට්ටමේ තරග ජය ගත්තේ නැත. එම තරගාවලිවලට යන්නට පෙර ඔවුන්ට තවත් බොහෝ ජාත්‍යන්තර මට්ටමේ තරග අවස්ථා තිබුණි. නමුත් වර්තමානයේ මෙරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එවැනි අවස්ථා නැත. සාග් ක්‍රීඩා උළෙලට මෙවර සහභාගි වූ වැඩි දෙනකු ජාත්‍යන්තර මට්ටමේ තරගයකට සහභාගි වූයේ පළමු වරටය.

මෙවර සාග් ක්‍රීඩා උළෙලේ ජයග්‍රහණවලට වැඩි වටිනාකමක් අත්වන්නේ එවැනි තත්ත්වයක් තිබියදී ලබා ගත් ජයග්‍රහණ බැවිනි. එසේ වුවත් මේ ජයග්‍රහණ හෑල්ලුවට ලක් කෙරෙන කතාබහද, අදහස්ද පැතිර යමින් තිබේ. ඒවායින් කියැවෙන්නේ සාග් ජයග්‍රහණ දකුණු ආසියානු රටවල් කිහිපයක තරගාවලියක් නිසා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලෙස එතරම් ඇගයීමකට ලක් කළ නොහැකි බවය. එසේම අපට මෙවර වැඩි ජයග්‍රහණ සංඛ්‍යාවක් අත්කර ගත හැකිව ඇත්තේ ඉන්දියාව ඔවුන්ගේ සුපිරි ක්‍රීඩකයන් මෙවර ‘සාග්’ ක්‍රීඩා උළෙලට සහභාගි නොකරවීම නිසාය.

කාරණය ඇත්තය. ඉන්දියාව ඔවුන්ගේ ඔලිම්පික් මට්ටමේ ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සාග් ක්‍රීඩා උළෙලට සහභාගි කරවූයේ නැත. එය ඔවුන්ගේ ප්‍රශ්නයකි. අප රටක් ලෙස සහභාගි වූයේ කලාපයේ ලොකුම ක්‍රීඩා තරගාවලියටය. ඉතිහාසයට එක්වන්නේ එම තරගාවලියේ ජයග්‍රාහකයන් පමණකි. පරාජිතයන් හෝ සහභාගි නොවූ අය ඉතිහාසයට එක්වන්නේ නැත. තරගාවලියට එන්නට සිටි අය ගැනද සඳහන් වන්නේ නැත.

සාග් ක්‍රීඩා උළෙලට ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් රට වෙනුවෙන් තම උපරිමය ඉටුකර ඇත. දැන් ඉතිරිව ඇත්තේ රට ඔවුන් වෙනුවෙන් කළ යුතු වැඩ කොටසය. ඇත්තෙන්ම එය මලල ක්‍රීඩාව වෙනුවෙන් මෙන්ම රට වෙනුවෙන් කළ යුතුව තිබෙන වැඩ කොටසකි.

සාග් ක්‍රීඩා කඩඉම ජයගත් අපට ඇති ඊළඟ කඩඉම වන්නේ ආසියානු ක්‍රීඩා උළෙලය. සාග් තරග ජයග්‍රහණ ඒ සඳහා උත්තේජනයක් කරගත නොහැකිද? සාග් ජයග්‍රාහකයන් ආසියානු ජයග්‍රහණ වෙනුවෙන් සූදානම් කරවීමේ වගකීම ඇත්තේ පුහුණුකරුවන්ට හා නිලධාරින්ටය. දේශපාලකයන් ඊට අවශ්‍ය යටිතල පහසුකම් සලසා දිය යුතුය.

ඒ අන්දමට සාග් ජයග්‍රාහකයන් දිරිමත් කරමින්, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගතහොත් එය පාසල් මට්ටමේ සිටම මෙරට මලල ක්‍රීඩාවේ නව ප්‍රබෝධයක් ඇති කිරීමට හේතු වනු ඇත. සාග් ක්‍රීඩා උළෙලේදී අපගේ කණ්ඩායම ලත් ජයග්‍රහණ අගයමින් ඊට නිසි ගෞරවය ලබා දිය යුතුව තිබෙන්නේ එම අර්ථයෙනි.