කතුවැකි

සහල් මාෆියාවෙන් රට බේරා ගමු

සහල් මිල ඉහළ යෑම ගැන යළිත් ලිවීමට සිදුව තිබේ. අදින් දින දහයකට පෙරද අප මෙම තීරයේ සටහන් කළේ කිසි දිනෙක නොවූ අන්දමට සහල් මිල ඉහළ යෑම ගැනය. තවමත් එම තත්ත්වයේ වෙනසක් සිදුව නැත. මෙලෙස සහල් මිල ඉහළ යෑම ජනතාවට දරාගත නොහැකි තත්ත්වයකි. සහල් මිල ගැන යළිත් ලිවීමට සිදුවන්නේ ඒ නිසාය. සහල් මිල ඉහළ යෑම ජනතාවට දැවෙන ප්‍රශ්නයක් වී ඇත්තේ එළවළු මිලද අහස උසට නැග ඇති බැවිනි.

එළවළු මිල ඉහළ යෑමට මේ දිනවල පවතින කාලගුණය ද හේතු වී තිබේ. මාස තුනක පමණ කාලයක් එක දිගට පවතින වර්ෂාව ඉදිරි මාස දෙකක කාලයේද පවතිනු ඇතැයි අනාවැකි පළව ඇති තත්ත්වය තුළ එළවළු මිල ඉතා ඉකිමනින් පහත බසිනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය. සහල් මිල අඩු කිරීමට ආණ්ඩුව වහා පියවර ගත යුතුව ඇති එක් හේතුවක් වන්නේ එම කාරණයයි.

ඉහළ ගිය සහල් මිල අඩු කරන්නට ආණ්ඩුව මේ වන විට පියවර දෙකක් ගෙන තිබේ. පළමු වැන්න වී අලෙවි මණ්ඩලය සතුව තිබූ වී මෙට්‍රික් ටොන් හතලිස් අටදහසක් සහල් කොට වෙළෙඳපොළට මුදා හැරීමය. මේ අනුව මෙම වී තොග අනුරාධපුර, පොළොන්නරුව, වව්නියාව, හා වයඹ පළාතේ දිස්ත්‍රික් ලේකම්වරුන්ට නිකුත් කර ඇත. ඔවුන් තමන්ගේ බල ප්‍රදේශවල පිහිටි පෞද්ගලික වී මෝල් මගින් එම වී තොග සහල් කොට සතොස හරහා වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන තිබේ. එය එක්තරා අන්දමකට සහනයක් වුවත්, සතොසට පමණක් වෙළෙඳපොළ සහල් අවශ්‍යතාව සම්පූර්ණ කළ නොහැකිය.

අප රටේ සහල් ඒකාධිකාරය ඇත්තේ මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් පස් දෙනකු අතය. මේ නිසා සහල් වෙළෙඳපොළ පාලනය කරන්නේ ඔවුන් විසිනි. රටේ වී අස්වැන්නෙන් සියයට අනූපහක් පමණම මිලදී ගන්නේ ඔවුන් විසිනි. මේ ව්‍යාපාරිකයන් සතුව ඇති වී තොග සහල් බවට පත්කොට වෙළෙඳපොළට මුදා හැරියහොත් වෙළෙඳපොළේ සහල් මිල ඉබේම පහත බසිනු ඇත.

නමුත් රටේ ජනතාව කුමන දුෂ්කරතාවකට පත් වූවත් ව්‍යාපාරිකයන්ට එය අදාළ වන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය ලාභයම පමණකි. ඔවුන් කැමැති හිතු හිතූ මිලට සහල් අලෙවි කිරීමටය. නමුත් ඊට බාධාවක් වී ඇත්තේ සහල් සඳහා පනවා ඇති පාලන මිලය. පසුගිය මැයි මාසයේ පැනවූ පාලන මිලට අනුව සුදු සම්බා කිලෝ ග්‍රෑම් එකක උපරිම සිල්ලට මිල රුපියල් 85 කි. සුදු නාඩු රුපියල් 80 කි. රතු නාඩු රුපියල් 74 කි. මේ මිල ගණන්වලට සහල් අලෙවි කිරීමෙන් ව්‍යාපාරිකයන්ට කිසිසේත්ම පාඩුවක් සිදු නොවේ. සාමාන්‍යයෙන් සහල් කිලෝග්‍රෑම් එකක උපරිම නිෂ්පාදන වියදම රුපියල් 70 ක් පමණ වන බැවිනි.

එසේ වුවත් සහල් හිඟය අවසන් කිරීමේ පියවරක් ලෙස ආණ්ඩුව උපරිම සිල්ලර මිල රුපියල් 98 ක් දක්වා ඉහළ නැංවීමට තීරණය කළේය. විශේෂත්වය වන්නේ මේ මිල ආණ්ඩුව නියම කළ මිලක් නොව ජනාධිපතිවරයා සමග ප්‍රධාන සහල් ව්‍යාපාරිකයන් පැවැත් වූ සාකච්ඡාවේදී ඔවුන් ඉල්ලා සිටි මිලයි.

නමුත් තවමත් මේ මිලට විවෘත වෙළෙඳපොළේ දී සහල් මිලදී ගැනීමට නැත. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කෘෂි පර්යේෂණ ආයතනය පසුගිය අඟහරුවාදා (17 වැනිදා) නිකුත් කළ වෙළෙඳපොළ වාර්තාවට අනුව සම්බා කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 106 කි. නාඩු රුපියල් 102 ක් වන අතර රතු කැකුළු රුපියල් 108 කි.

වෙළෙඳපොළ ආරංචි මාර්ගවලින් කියැවෙන්නේ උපරිම සිල්ලර මිල රුපියල් 98 ක් බව සඳහන් ගැසට් නිවේදනය නිකුත් කිරීම ප්‍රමාද වීම නිසා ව්‍යාපාරිකයන් සහල් වෙළෙඳපොළට නිකුත් කිරීමෙන් වැළකී සිටින බවය. එසේ නම් එය ආණ්ඩුවේ දෝෂයකි. මෙම ගැසට් පත්‍රය නිකුත් කිරීම ප්‍රමාද වී ඇත්තේ පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කර නැති නිසා බව කියැවේ. නමුත් එය නිදහසට කරුණක් ලෙස පිළිගත නොහැකිය. අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කිරීම ප්‍රමාද වීම වැනි පරිපාලනමය කටයුත්තක් නිසා රටේ හැම කෙනකුටම පීඩා විඳින්නට ඉඩ තැබීම වගකිවයුතු ආණ්ඩුවකින් බලාපොරොත්තු විය නොහැකි දෙයකි. ආණ්ඩුව ඉතා ඉක්මනින්ම මේ වරද නිවැරදි කර ගන්නට පියවර ගනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

කෙසේ වෙතත් එම ගැසට් පත්‍රය නිකුත් කළත් එය සහල් ඒකාධිකාරියෙන් රටේ ජනතාව ගලවා ගන්නට ස්ථිරසාර විසඳුමක් නොවන බවද සිහිපත් කළ යුතුය. රුපියල් 98 ක උපරිම සිල්ලර මිල ගැසට් පත්‍රය නිකුත් කළ ද අවශ්‍ය නම් සහල් ව්‍යාපාරිකයන්ට සහල් තොග මුදා නොහැර සිටීමට හැකිය. එසේ වුවහොත් ආණ්ඩුවට ගත හැකි පියවරක් තිබේද? යළිත් වරක් රුපියල් 98 න් වැඩි මිලක් පාලන මිල ලෙස නියම කිරීමද?

සහල් ව්‍යාපාරිකයන් ආණ්ඩු බිත්තියට හේත්තු කරමින් මස් රාත්තලම ලබාගත් අවස්ථා ඇත්තේ එකක් දෙකක් නොවේ. ඔවුන් දැන් කරමින් සිටින්නේද එයමය. ඔවුන්ගේ මේ ක්‍රියාකලාපය සමාන වන්නේ ව්‍යාපාරික කටයුත්තකට වඩා කප්පම්කරුවන්ගේ ක්‍රියාවකටය. මේ නිසා ව්‍යාපාරිකයන් යන්නට වඩා ඔවුන් හැඳින්වීමට සුදුසු වන්නේ මාෆියාකරුවන් යන්නය.

මේ අන්දමට රට තුළ සහල් මාෆියාවක් නිර්මාණය වන්නට දේශපාලන ආශිර්වාදයද, ඇතැම් නිලධාරින්ගේ දායකත්වයද තිබූ බව නොරහසකි. සහල් මාෆියාව මැඬලන්නට නම් ඒ ගැනත් අවධානය යොමු කළ යුතුය. සහල් මාෆියාවේ ග්‍රහණයෙන් ජනතාව මුදා ගැනීමට ඇති තවත් විසඳුමක් නම්, වී අලෙවි මණ්ඩලය හා සතොස වැනි සහල් වෙළෙඳාමට සම්බන්ධ රාජ්‍ය අංශය ශක්තිමත් කිරීමය.

වී ගොවියාගේ සුබසාධනයට සියලු වියදම් දරන්නේ ආණ්ඩුව විසිනි. පොහොර සහනාධාරය දෙන්නේ ආණ්ඩුවයි. වගාවන් හානි වූ විට වන්දි ගෙවන්නේ ආණ්ඩුවයි. ආණ්ඩුව මේ පියවර ගන්නේ ගොවීන් වෙනුවෙන් පමණක් නොව සමස්ත රටවැසියාගේ යහපත සලකාය. එහෙත් එහි ප්‍රතිලාභ ලබන්නේ මේ සහල් මාෆියාවය.

සහල් මාෆියාව පරාජය කිරීමට ආණ්ඩුවට ගත හැකි තවත් පියවරක් තිබේ. ඒ මධ්‍ය පරිමාණයේ හා සුළු මෝල් හිමියන්ට දිරි දීමය. සහල් මාෆියාවේ ග්‍රහණය නිසා මේ වන විට දිවයිනේ කුඩා සහල් මෝල් විශාල ප්‍රමාණයක් වැසී ගොස් තිබේ. ඔවුන් බැංකුවල ණයකරුවන් බවට පත් ව තිබේ. මේ ව්‍යාපාරිකයන්ට සහන සලසාදී සහල් ව්‍යාපාරයේ යෙදීමට ඔවුන්ට අවස්ථාව සලසා දිය හැකි නම් එයද ඵලදායී පියවරක් වනු ඇත.