විශේෂාංග

සහරාන්ට වැඩිය රිස්වාන් මොන තරම් වෙනස්ද…

මේ ලෝකය ජාති, ආගම් සීමාවන් අතික්‍රමණය කළ මනුස්සකමින් යුත් මිනිසුන්ගෙන් හිස් නැත. මිනිස්සු ජාති ආගම් වශයෙන් බෙදී අනෙක් ජාතිය විනාශ කිරීමට බෝම්බ බැඳගෙන පනිද්දී, ඒ කිසිවක් නොවිමසා, අනෙකකුට ජීවිතය දීමට ජීවිත පූජාවෙන් කටයුතු කරන්නෝ වෙති. ඒ වනාහී මිහිපිට දෙවිවරුය. එවන් දෙවිවරු මතුවන්නේ දිව්‍යලෝක පරිසරයක නොව, ව්‍යසනයේ දරුණුම තැනිනි. ඉකුත් බ්‍රහස්පතින්දා පෙරවරු 10 පසුවී විනාඩි 15ක් වන විට ඉහළ කොත්මලේ ජලාශය කිට්ටුවේ දුම්රිය පාලම අසල තිබුණේද එවැනි වටපිටාවකි.

දිගින් දිගටම වැටැණු වර්ෂාව ගිලගනිමින් තවත් ඉහළට ගිය ඉහළ කොත්මලේ ජලාශයේ ජළකඳ මැද මරුවා දකින මානයට ගොස් සිටින යුවතියකි. නිවසින් ඇයට නොගැලපෙන විවාහයකට බල කර සිටීමේ ප්‍රතිඵලය වූයේ විවාහ දිවියක් තබා දිවියවත් එපා යැයි කියමින් ඇය මේ ජල කඳ මතට පැනීමය. නමුත් ඇය ගිලුනේ නැත. ඈ ඇඳ සිටි කබායට වාතය රඳා සිටි බැවින් ඈ විටක තරමක් යටගොස් නැවත පාවෙයි. නැවතත් යට යයි. දුම්රිය පාලම මතට රැස්වූ 300ක් පමණ පිරිසක් මේ මාරක දර්ශනය නරඹමින් සිටියදී තරුණයෙක් ඇගේ ජීවිතය නැවත ලබාදෙනු පිණිස අඩි 60ක් පමණ ගැඹුරු ජල තලය මතට පැන්නේ ඇඳ සිටි ඇඳුම හෝ උනාදැමීමට කාලයක් නොගනිමිනි. ඔහු අත කඹයක් විය. ජලය සමග ඔට්ටු වෙමින් ඇය සමීපයටම ගොස් ඈ වෙතට කඹය දිගුකරත්ම මේ නීර්භීත, පරාර්ථකාමී මිනිසා මහා ජල කඳ අතර නොපෙනී ගියේය. ඒ දසුන දුටුවන්ගේ සිත් කම්පා කළේය. තරුණිය බේරාගැනීමට අනෙකකු තුළ සිතක් පහළවී නම් ඒ චිත්ත ධෛර්යද දියකර හැරියේය. තවත් තරුණයන් කිහිපදෙනෙකු වතුරට පැන ඈ වෙත පිහිනීමට උත්සහ කළද ඔවුන්ද පෙර තරුණයාට අත්වූ ඉරණම දකිමින් සිය උත්සහය අතහැර ආපසු හැරී ආහ.

මේ සිදුවීම් මාලාව විනාඩි 10ක පමණ කාලයක් පුරා ඇදී යද්දී තවකෙක් ජලයට පැන්නේය. ඔහු හුලං පිරුණු ටියුබයක්ද, කඹයක්ද රැගෙන ගිලෙන, උඩඑන, ඈ පාවෙන ඉසව්වට ළංවිය. ඒ වන විට, පෙර එහි පිහිනා ගිය තරුණයා රැගෙන ආ කඹ කෑල්ල පමණක් පාවෙමින් තිබියදී ඒ උතුම් ජීවිතය සලකුණකුදු නොතබා දිය තුළ අතුරුදන්ව තිබිණි. නමුත් ජීවිතය එපා කී තරුණිය ජීවිතය ඉල්ලමින් සිටියාය. ටියුබය ඈ සමීපයට රැගෙන ගියද දෙවැනි පිහිනුම්කරුට ඇයව එහි නංවාගැනීම පහසු නොවීය. තුන්වැනියෙක් පිහිනා එතැනට පැමිණියේ එවිටය. ඒ කවුදැයි හඳුනාගැනීමට උත්සහ දරනු වෙනුවට තුන්වැන්නාගේ එකතුවෙන් තරුණියව ටියුබය මතට නංවන්නට දෙවැනියට පිහිනාගිය ඔහුට හැකිවිය. අවසානයේ තරුණිය නිරුපද්‍රිතව ජලයෙන් ගොඩට ගත්තේය. ඇගේ ජීවිතය බේරාගැනීමට කළ උත්සාහය මැද එක් අයෙක් මරුවෙත ගිය බව දැන දැනත් ටියුබය රැගෙන වතුරට පැන ඈ වෙත ගිය ඔහු තලවකැලේ පොලිස් ස්ථානාධිපති රුවන් ප්‍රනාන්දු ය. ඒ පසුපස පිහිනා එමින් ඇයව ටියුබයට නංවන්නට උපකාර කළ ඔහු අනෙකකු නොව රුවන් මහතාගේ පොලිස් ස්ථානයේම සමාජිකයකු වන පොලිස් කොස්තාපල් කාන්ත රූබන් මහතාය.

‘මෙහේ මිනිස්සු ගහකින් අත්තක් ගෙදරකට කඩා වැටුනත් පොලිසියට කතා කරලා කියනවා. ඉතිං අර ගැහැනු ළමයා වතුරට පැන්නා දැකපු ගමන්ම කෙනෙක් පොලිසියට කතා කරලා ඒ බව කියලා තිබුණා. එය දැනගත්තු හැටියෙම මම මගෙ නිලධාරීන් පිරිසක් එතැනට යැව්වා. ඒ අය තමයි කඹයයි ටියුබ් එකයි අරගෙන ගිහින් තිබුණේ. මමත් ඒ සැනින්ම එතැනට ආවා. ගෑනු ළමයව බේරගන්න පැනපු කෙනා යටගිය නිසාද කොහෙද වතුරට පැනලා එයාව බේරගන්න හදපු සමහර අයත් ආපහු හැරිලා ඇවිල්ල තිබුණා. අර ගෑනු ළමයා යටගියේ නැතිවුණාට වතුර පෙවි පෙවී තිබුණේ. කෙනෙක්ට වැඩිවෙලා එහෙම ඉන්න බැහැ. අපේ ඇස් ඉස්සරහ කෙනෙක්ව මැරෙන්න අරින්නෙ කොහොමද එහෙම. අනික ඒ වෙලාවට වැඩිය හිතන්නත් බැහැ. වැඩිය හිතුවනම් ඇත්තටම වතුරට පනින්න තිබුණු ආත්ම ශක්තියත් නැතිවෙලා යන්න තිබුණා. මගෙ කමිසෙයි, පර්ස් එකයි, ඔරලෝසුවයි මම ළඟ හිටපු කාගෙ හරි අතට දුන්නා. ඒ කවුද කියන්නවත් මම දන්නෙ නැහැ. මම වතුරට පැනලා ඒ ගෑනු ළමයා ළඟට ගියත් එයාව ටියුබ් එකට දාගන්න එක ලෙහෙසි වැඩක් වුණේ නැහැ. එතැනදි තමයි තව කෙනෙක් වතුරෙන් මතුවුණේ. ඒ ආපු කෙනා කවුද කියලත් හිතාගන්න තරම් වෙලාවක් තිබුණෙ නැහැ. පස්සෙ තමයි මේ අපේ කොස්තාපල් රූබන් කියලා හඳුන ගත්තේ. එයාට පීනන්න පුළුවන් කියල මම දැනගෙන හිටියේ නැහැ. පොලිසියේ අනිත් අය දන්නෙ නැහැ මට පීනන්න පුළුවන් වග’

එසේ වුවද පොලිස් ස්ථානාධිපති රුවන් ප්‍රනාන්දු පොලිස් ජීවිතාරක්ෂක කොට්ඨාස සමග පවා සම්බන්ධව සිටියෙකි. අම්පාරේ සිය පාසල් කාලය ගෙවෙද්දී අසල ගඟක පිහිනා එම හැකියාව ලබාගත් ඔහු මෙයට පෙර සේවය කළ ප්‍රදේශවලද ඇළේ, දොළේ, ගඟේ, වැවේ පිහිනා පුරුද්ද ඇත්තෙකි. එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සාම නිලධාරියෙක් ලෙසින් 2007-2009 වසරේ සේවය කළ ඔහු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ උපාධිය හදාරන්නෙකි. අත්දැකීම්ද, දැනුමද, සේවයේ කැපවීමද නොමදව ඇත්තෙකි. ඒ සියල්ලට අමතරව ඔහු දරුවන් සිව්දෙනෙකුගේ පියෙකි.

‘මේ සිද්ධිය වෙනකොට මගෙ පවුලේ අය ඇවිත් මගෙ නිල නිවාසයේ හිටියේ. ඒ අය දන්නෙත් නැහැ මම වතුරට පනිනවා. සිද්ධියෙන් පස්සෙ දන්න කියන කීපදෙනෙක්ම කතා කරලා දොස් කීවත් එක්ක. දැන් මේ වගේ ප්‍රතිචාර ලැබුණත් මට මොනවහරි උනානම් ‘ඕ.අයි.සී මහත්තයත් හෙවිල්ලක් බැලිල්ලක් නැතිව වතුරට පැන්නා’ කියන එකනම් අහගන්න තිබුණා. ඒකට කමක් නැහැ. අපි ඉන්නේ මිනිස්සුන්ගේ ජීවිත, දේපළ පරෙස්සම් කරලා දෙන්නනේ. මට පුළුවන් විදිහට මම ඒ දේ කළා. කොස්තාපල් රූපනුත් ඒකට එකතු වුණා’ යැයි චිත්‍රපටවල පමණක් අප දැක සිටි පොලිස් ස්ථානාධිපති චරිතයක ස්වභාවය සැබෑ ලෝකය ඉදිරියේ ක්‍රියාවෙන් ප්‍රදර්ශනය කළ තලවකැලේ පොලිස් ස්ථානාධිපතිවරයා ‘අරුණ’ට පැවසුවේය.

අඩි 60කට වඩා ගැඹුරු ජලකඳක් මතට පැන, අකාලයේ ලොවෙන් සමුගැනීමට ගිය ජීවිතයකට නැවත ජීවිතය දෙමින් ඉහළ කොත්මලේ ජල කඳ මතින් විරුවන් දෙදෙනෙකු එසේ මතුවද්දි තවත් විරුවෙක් තවකෙකු වෙනුවෙන් ජීවිතය දෙමින් ඒ ජලකඳ පත්ලේ සැඟව ගියේය.

ඔහු රිස්වාන්ය. මුස්ලිම් ජාතිකයෙකි. ඔහු දිවිහිමියෙන් බේරාගැනීමට තැත්කළ ඇය දෙමළ ජාතික තරුණියකි. පොලිස් ස්ථානාධිපතිවරයා සිංහල ජාතිකයෙකි. ඒ වික්‍රමයට උදව් දුන් කොස්තාපල්වරයාද දෙමළ ජාතිකයෙකි. අපි සියල්ලෝම මිනිසුන්ය.

සහරාන් බෝම්බ බැඳගෙන අන්‍ය ජාතීන්, ආගම්වල මිනිස් ජීවිත අතරට පනිද්දී රිස්වාන් ජීවිතය අතහැර, කාගෙ කවුරුන්දැයි නොදන්නා ඇගේ ජීවිතය වෙනුවෙන් මහා ජල කඳක් මතට පැන්නේය. එවැනි මිනිසුන් මියයන්නේ මියැදෙමින් පවතින මනුෂ්‍යත්වයට අලුත් පනක් දෙමිනි. ඔහු පෙදරේරුවන්ට අත්වැඩ දෙමින් යන්තමින් ජීවිතය ගැටගසාගත් මිනිසෙකි. දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. ඇත්තෙන්ම විශේෂ මිනිසෙකි. ඔහුගේ බිරිඳ තෙරේසා දෙමළ ජාතිකය. දරුවන්ට නම් තබා ඇත්තේ ලශාන් දිල්රුක්ෂ සහ ශානිකා මධුවන්ති ලෙසිනි. ඒ දරු දෙදෙනා ළිඳුල නාගසේන සිංහල මහා විද්‍යාලයේ ඉගෙනුම ලබති. ඒ දුප්පත් ජීවිත වලට පොහොසත් තාත්තා කෙනෙක් සිටියේය. ඒ මනුස්සකමෙනි. ඒ පොහොසතාගෙ දරුවෝ දැන් පියා නැතිව අන්ත දුප්පත්ය. දැන් ඉතිරිව ඇත්තේ ඒ උතුම් මිනිසා රිස්වාන් වෙනුවෙන් කළයුත්ත කිරීමය. මනුෂ්‍යත්වයේ නාමයෙන් එය ඔබටත් මටත් භාරය.

ඉන්ද්‍රජිත් සුබසිංහඡායාරූප – සිතාර ඉරාජ්, වටවල