විශේෂාංග

සල්ලි දානකොට හිනැහෙනවා ගන්න ගියහම ඔරවනවා

එය අගනුවර සුපිරි පන්තියේ සුපර් ග්‍රේඩ් තලයේ බැංකු ශාඛාවකි. කඩවසම් ලෙස ඇඳ සිටි පුද්ගලයකු පැමිණ සිටියේ නුවර සිටය. ඔහු තමන් පැමිණියේ නුවර සිට බවත්, තමන්ට
රු. 15,000ක් ලබාගැනීමට අවශ්‍ය බවත් බැංකු කවුන්ටරයේ පුයර උලාගෙන, ලිප්ස්ටික් ගාගෙන සිටි යුවතියට කියන ලද්දේ බලාපොරොත්තු සහගතවය.

‘‘සොරි, සොරි, මේ කවුන්ටරයේ මාරු කරන්නේ විත්ඩ්‍රොව් (මුදල් ආපසු ලබා දෙන්නේ) කරන්නේ ලක්ෂයකට වැඩි ගෙවීම් විතරයි. අනිත් කවුන්ටර්වල ඔක්කොම කස්ටමර්ස්ලා හැම කිව් (පෝලිම්) එකකට දහයකට වැඩියි. ඒ පෝලිමක ඉඳලා ඔය රු. 15,000 මාරු කරගන්න.’’

නුවර සිට ආ පුද්ගලයාද අත්හැරියේ නැත. ඔහු තම ඉතිරි කිරීමේ ගිණුම් පොතෙන් මුදල් ලබාගන්නා කොළයක් පුරවා රුපියල් එක්ලක්ෂ පහළොස් දහසක මුදලක් ලබාගන්නා ලදී. එයින් රුපියල් 15,000ක මුදලක් ගණන් කොට තම පසුම්බියට දමාගත් ඔහු මුදල් තැන්පත් කිරීමේ පෝර්මයක රුපියල් ලක්ෂයක මුදලක් ලියා නැවත තම ගිණුමට බැර කරන්නට දුන්නේ තමන්ට රුපියල් 1,15,000ක් මාරුකර දුන් බැංකු නිලධාරිනියටමය. බැංකු නිලධාරිනියගේ මුහුණ කෝපයෙන් වෙව්ලන්නට වුවත් ඇයට එම මුදල තැන්පත් කිරීම ප්‍රතික්ෂේප කළ නොහැකි විය. ඊට හේතුව එම කවුන්ටරය වෙන්කොට ඇත්තේ ලක්ෂයකට වඩා මුදලක් තැන්පත් කරන තැන්පත්කරුවන් උ‍දෙසා වීමය.

රොනී ද මැල් මුදල් ඇමැති යුගයේ මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති ලේකම් වූයේ ප්‍රභාත් මානවසිංහය. ප්‍රභාත් යනු ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහගේ පුතුය. ඒ සන්ධියේ මහජන බැංකුවේ සභාපති වූයේ ඇස්.ටී.ජී. ප්‍රනාන්දුය. වින්සන්ට් සුබසිංහ යුගයේ බැංකුවේ ලාංඡනය වෙනස් කරන්නට මුදල් ඇමැතිවරයාට අවශ්‍ය විය. ඒ යුගයේ මහජන බැංකුව, ලංකා බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අනුග්‍රහයෙන් ‘කල්පනා’ සඟරාව පළ විය. ලංකාදීපයේ වැඩ කළ කිත්සිරි මෙවන් ජයසේන, ගුණසේන රණවක, වටරැක ප්‍රේමදාස හා වසන්ත ශ්‍රීනාත් කල්පනාවේ චිත්‍ර ශිල්පීන් විය. කිත්සිරි, චින්තන ජයසේනගේ මල්ලීය. ප්‍රභාත් මේ අයට බැංකුවට අලුතින් ලෝගෝ එකක් අඳින ලෙසත්, එයට විශේෂ මුදලක් ගෙවන බවත් කීය.

බැංකුවට එන ශිල්පීන් අඳින ලද නව ලාංඡන මුදල් ඇමැතිවරයාට පෙන්වීමට පෙර ප්‍රභාත් මානවසිංහ චිත්‍ර ශිල්පීන්ගෙන් කරුණු විමසන ලදී. වටරැක බැංකුවට ඇඳ තිබූ ලාංඡනය දැක මුදල් අමාත්‍යාංශයේ ප්‍රභාත් මානවසිංහ වම් අතින් කට වහගෙන හිනාවුණේ නොනවත්වාමය.

‘‘වටේ ලෝගෝ එකේ අදහස නම් ටකේට හරි. ඒත් ඉතින් මේක බැංකුවේ ලාංඡනය හැටියට ප්‍රසිද්ධියේ එල්ලන්නේ කොහොමද? මං මේ ලෝගෝ එකෙන් සල්ලි දාන්න හරි ලේසියි. ගන්න අමාරුයි. ඉතුරු කරන්න එහෙමම තියාගන්න කියන අදහස තමයි පෙන්වන්න ගියේ.’’

වටරැක නිරූපණය කළ එම ලාංඡනයේ ව්‍යාංගාර්ථයෙන් චිත්‍රණය කොට තිබුණේ ‘බලු පූට්ටුවකි.’

නිරතුරුව බැංකු සමග ගනුදෙනු කරන පුද්ගලයකු ලෙස එම ලාංඡනයේ ප්‍රායෝගික බව වැටහෙන්නේ එදා නොව අදටය.

මෙරට සම්ප්‍රදායික බැංකු ක්‍රමයේ මුදල් තැන්පත් කරන්නට යන ගනුදෙනුකරුවාට ලැබෙන්නේ ප්‍රශංසාත්මක සිනාවකි. උණුසුම් පිළිගැනීමකි. ඒත් තමන් තැන්පත් කළ තමන්ගේම මුදල් ගන්නට ගිය විට ගනුදෙනුකරු පත්වන අපහසුතා බොහෝය.

‘‘මිස්, මං මේ සල්ලි ගන්න ආවේ. ඔයාගේ සල්ලි නෙවෙයි, මගේ සල්ලි’’ යැයි බැංකු නිලධාරිනියගේ මූණටම ගනුදෙනුකරුවන් කියන්නේ මේ නිසාය.

මෙරට බැංකු ගනුදෙනුකරුවන් ප්‍රධාන වශයෙන් තම ගිණුමෙන් මුදල් ලබාගැනීමට ගිය විට අපහසුතාවට පත්වන්නේ අත්සන නිසාය. ඒ සමහර අත්සන් අවුරුදු 10-15කට ඉස්සර ගහපු ඒවාය. ගනුදෙනුකරු අපහසුතාවට පත්කරමින් මුල්ම අත්සනට සමාන ලෙස අත්සන් කරන ලෙස කරන නියෝගය ගනුදෙනුකරුවන්ට දස වදයක් වී හමාරය. කලින් කලට ක්‍රමයෙන් කාලය ගතවෙද්දී පුද්ගලයකුගේ අත්සනද පරිණාමය වීම බැංකුවට අදාළ නැත. එසේ නම් ඇඟිලි සලකුණු හෝ පිටරටවල බැංකුවල ටේලර් කාඩ්පත සක්‍රිය වීමට ඇස තබා අනන්‍යතාව තහවුරු කිරීම වැනි ප්‍රායෝගික ක්‍රමවේදයක් වෙත අපේ බැංකු ක්‍රමය සංශෝධනය විය යුතු කාලය එළැඹ ඇත.

ඉරුණ සහ සලකුණු ඇති විකෘති කළ නෝට්ටු භාර නොගැනීමට දැන් බැංකු නිදහසට පෙන්වන්නේ මහ බැංකුව නිකුත් කළ පෝස්ටරයකි. එහි දිනක් සඳහන් කොට ඊට පසු ඉරුණු හා විකෘති කළ නෝට්ටු භාර නොගන්නා බව දක්වා ඇත. පෝස්ටරය බැලූ බැල්මට පේන්නේ දැන් ඉරුණු හා විකෘති කළ නෝට්ටු මහ බැංකුව භාර නොගන්නා බවකි. එහෙත් අප මේ ගැන මහ බැංකුවෙන් විමසූ විට පැවසුවේ තමන් තවමත් එවැනි නෝට්ටු භාරගැනීමට බැඳී ඇති අතර එම නෝට්ටු අවලංගු කිරීමට තමන්ට බලයක් නැති බවය.

මෙයින් අපට පෙනී යන්නේ අපේ වාණිජ බැංකු පොලී පසුපස හඹා යනවා විනා එවැනි මහජනතාවට පිළිසරණක් වන සේවාවක් පවත්වාගෙන යෑමට ඇති අකමැත්ත නොවේද?
​මෙරට බැංකු ඉතිරි කිරීමේ ගිණුම්, ජංගම ගිණුම් හා ක්‍රෙඩිට් කාඩ්වලින් අයකරගන්නා අමුතුම ක්‍රමයක් ඇත. ඒ ලිපිද්‍රව්‍ය සඳහා ගිණුමෙන් මුදල් කපා ගැනීමයි. මෙය ‘‘Stationary Charges’’ නමින් හැඳින්වේ. ඊටත් වඩා එකම බැංකුවේ කවුන්ටරයෙන් ගත් මුදල් එම බැංකුවේම මුදල් තැන්පත් යන්ත්‍රයෙන් Invalid Note ලෙස ප්‍රතික්ෂේප කිරීම හතර බීරි කතාවකි. බැංකුවක කවුන්ටරයෙන් මුදල් නිකුත් කිරීමේදී නෝට්ටුවල අංක එකින් එක ලියාගන්නා ක්‍රමයක් නැත. අවසානයේ සියලු පාඩු දරාගන්නට වන්නේ බැංකු ගනුදෙනුකරුවන්ටමය. මහ බැංකුව ගැන ලිපියක් ලියන්නට ගිය විටෙක එහි ඉහළ විධායක ශ්‍රේණියක පුද්ගලයකු මා එක් අංශයකට යොමු කළේ ඒ ගැන බොහෝ දෙනා නොදන්නා නිසාය.

එම අංශයෙන් කෙරුණේ ලෝකයේ දැන් දියුණු හොර සල්ලි අල්ලන මැෂින්වලින් නියම ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නෝට්ටු ලෙස සහතික කළ නෝට්ටු යොමු කරන ආකාරයයි. එම යන්ත්‍රයට රුපියල් දස ලක්ෂයක් දැමූ විට සැලකිය යුතු නෝට්ටු ප්‍රමාණයක් ඉවත් වන්නේ ඒවා හොර සල්ලි නිසාය. මහ බැංකුව කරන්නේ එම නෝට්ටු ඉඳිකටු තුඩක් තරම් කුඩාම කැබලි කරන යන්ත්‍රයකට දමා යෝගට් කෝප්පයකට වඩා ටිකක් විශාල කුට්ටි බවට පත්කර විනාශ කිරීමය.

ටෙලර් කාඩ්පතක් නිකුත් කළ බැංකුවෙන් නොව වෙනත් බැංකුවක ටේලර් කාඩ්පතකින් මුදල් ගැනීමේදී ගනුදෙනුකරු පත්වන්නේ දැඩි අසීරුතාවකටය. මෙම කාරණය මා පෞද්ගලිකව අත්විඳ ඇති නිසා මෙය සඳහන් කළ යුතුමය. පිටකොටුවේදී මගේ ටෙලර් කාඩ්පත වෙනත් බැංකුවක ටෙලර් කාඩ්පතකින් මුදල් ලබාගැනීමෙන් පසු තිරයේ දිස්වූයේ ඔවුන්ගේ බැංකුවේ විවිධ සේවාවන් ඇති බැවින් ඒ ගැන දැන ගැනීමට කැමති නම් ජංගම දුරකථන අංකය ඇතුළු කරන ලෙසය. මේ නිවේදනය කියවමින් සිටියදී ටෙලර් කාඩ්පත ස්වයංක්‍රීයව එළියට විත් එය ලබාගන්නටත් පෙර නැවත ටෙලර් යන්ත්‍රය තුළට ඇදගන්නා ලදී. ඉන්පසු නිකුත් වූයේ රිසිට්පතකි. එහි සඳහන් වූයේ කළමනාකරු හමුවන ලෙසය. එහි සිටියේ කළමනාකරුවකු නොව කළමනාකාරිනියකි.

‘‘කොහෙද වර්ක් කරන්නේ? සැලරි එක (පඩිය) යන්නේ ඒ බැංකුවටද? අපේ බැංකුවට සැලරි එක ට්‍රාන්සර් කරන්නකෝ. ගොඩක් ෆැසිලිටි තියෙනවා’’ කියමින් ඇය තම බැංකුවට පඩිය හැරවූ විට ලැබෙන ණය පහසුකම් ගැන පත්‍රිකාවක් මා අත තැබීය. මට ඒ අවස්ථාවේ අවශ්‍යව තිබුණේ පත්‍රිකා හත්ඉලව්වක් නොව, මගේ ටෙලර් කාඩ්පතය. ඒ මට රෝහල්ගතව සිටි ඥාතියකුගේ රෝහල් බිල ගෙවීම සඳහාය. එම කාඩ්පතින් රෝහලේ බිල ගෙවන විට 10%ක වට්ටමක් හිමිවීම එයට හේතුවයි. මැනේජර්තුමියගේ අදහසට මා අවනත නොවූ තැන ඇය මට කිව්වේ ටෙලර් යන්ත්‍රයේ හිරවන සියලු කාඩ් පසුදින උ‍දේ නවයට යන්ත්‍රය විවෘත කොට ලබාගන්නා බැවින් ඒ වෙලාවට පැමිණෙන ලෙසය.

පසුදින උ‍දේ 8.30ට අදාළ බැංකුවට ගිය මුත් කළමනාකාරතුමිය පැවසුවේ තම බැංකුවේ ‘ප්‍රොසිඩියර් එක’ අනුව වෙනත් බැංකුවල කාඩ්පත් හෙඩ් ඔෆීසියට ගෙන ගොස් විනාශ කරන බවය. මා සතුව බැංකු පොතද ඒ මොහොතේ නොවූ බැවින් මම අන්දුන් කුන්දුන් වීමි. පසුව මා මේ ගැන මහ බැංකුවෙන් ලිඛිතව විමසනු ලදුව ඔවුන් මා වෙත දන්වා එවා තිබුණේ වෙනත් බැංකුවල ටෙලර් කාඩ්පත් හිරවූ විට ගත යුතු ක්‍රියාමාර්ග ගැන මහ බැංකුව නිර්ණායක ඉදිරිපත් කොට ඇති බවය.

වෙනත් බැංකුවල ටෙලර් කාඩ්පත් හිරවූ විට නැවත ලබා නොදී විනාශ කරන බවට බෝඩ් ලෑල්ලක් ගැසීමටවත් අපේ බැංකු ක්‍රමය අමානුෂික වූයේ ඕං ඔහොමය. ඊටත් වඩා බදුල්ල හෝ බණ්ඩාරවෙල වැනි ප්‍රදේශයක පවුලේ පිරිස් සමග ගිය විට මෙවැනි ඉරණමකට පත්වුවහොත් සිදුවන්නේ පයින් ගෙදරවිත් බැංකු පොත ගෙන එන්නටය.

අපේ බැංකු ක්‍රමයේ මුදල් තැන්පත් කිරීමටත් මුදල් ආපසු ගැනීමටත් ඇති පත්‍රිකාවල ඇත්තේ කියවීමට අපහසු කූඹි අකුරුය. මෙරට බැංකු මුදල් තැන්පත් කරන යන්ත්‍රවලට අලුත් නියාමනයක් හඳුන්වා දිය යුතු කාලය දැන් එළැඹ ඇත. සමහර බැංකුවලට හවස 8ට මුදල් තැන්පත් කළ විට එම මුදල ලබාගැනීමට පසුදින වනතුරු බලා සිටීමට වීම අපේ බැංකු ක්‍රමයේ ඛේදවාචකය කදිමට තහවුරු කරන්නකි.

මේ බැංකුවලින් ණය ගත් බොහෝ පුද්ගලයන්ව බය කරන්නේ කොහෙන්වත් ණය ගැනීමට බැරිවන ලෙස නම ක්‍රිබ් (Crib) එකට දමා අසාදු ලේඛනගතව (Black List) කරන බවය. ක්‍රිබ් එකට නම ගියා කියා ණය නොදෙන්නට එය හේතුවක් නොවේ. ඊටත් වඩා ලංකාවේ පුද්ගලයන් අසාදු ලේඛනගත නොහොත් බ්ලැක් ලිස්ට් කිරීමට නීතියක් නැත. අපේ බැංකු ක්‍රමය පොදු ජනතාවට පීඩාවක් නොවන පරිදි ප්‍රතිසංස්කරණය විය යුත්තේ ඒ නිසාමය.

 

වජිර ලියනගේ