විශේෂාංග

සල්ලි අච්චු ගහලා රටේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන්ද?

ආර්ථිකය කියන්නේ පුළුල් සංකල්පයක්. එතකොට මුදලේ සැපයුම (Money supply) කියන්නේ මේ සංකීර්ණ ක්‍රමය තුළ තියෙන එක මෙවලමක් විතරයි. මේ ආර්ථික ක්‍රමයෙන් කරන්නේ අසීමිත අවශ්‍යතා සපුරගන්න තියෙන සීමිත හා හිඟ සම්පත් උපරිම මට්ටමෙන් භාවිත කරන්නෙ කොහොමද කියන තීරණය ගන්න අපිට උදව් කරන එක. එතනදී මුදල නැත්තං සරලව කියනවනං සල්ලි තමයි අපිට මිලදී ගන්න පුළුවන් එහෙමත් නැත්නම් විකුණන්න පුළුවන් භාණ්ඩ හා සේව ප්‍රමාණය තීරණය කරන මිනුම් දණ්ඩ වෙන්නේ. ඒ වගේම ‘මිල’ කියන සංකල්පයෙන් තමයි වෙළෙඳපොළේ මොන වගේ භාණ්ඩ හා සේවා සීමිතද, මොන වගේ භාණ්ඩ හා සේවා, ප්‍රමාණයට වඩා තියනවද කියල පෙන්වන මිනුම් කෝදුව. යම් භාණ්ඩයකට තවත් භාණ්ඩයකට වඩා වැඩි ඉල්ලුමක් තියෙද්දී, ඒකෙ මිල වැඩි වෙනවත් එක්කම ඒ භාණ්ඩයට තියන සැපයුමත් ඉහළ යනවා. සරලව කිව්වොත් කහවල මිල වැඩි වෙද්දි වැඩි මිලක් ගන්න බලාගෙන වැඩි දෙනෙක් කහ වවල වෙළෙඳපොළට නිකුත් කරල මුදල් උපයන්න බලනවා. එතකොට කහවල සැපයුම වැඩි වෙනවා.

නූතන මූල්‍ය න්‍යාය

මේ වගේ අවස්ථාවලදී සැපයුම බොහෝ වෙලාවට ඉහළ යන්නේ නිෂ්පාදකයන් වැඩි ලාභයක් ලබා ගන්න බලාගෙන ඉන්න නිසායි. රටක නිෂ්පාදනය වෙන භාණ්ඩ හා සේවා ප්‍රමාණය ගැන නොසලකා මුදල් අධික ලෙස නිර්මාණය කිරීම මිල උද්ධමනයට හේතුවක් වෙනවා වගේම එය මුළු වෙළෙඳපොළේම තියෙන සාපේක්ෂ මිල විකෘති කරනවා. ශ්‍රී ලංකාව විවිධ වර්ගයේ ආර්ථික ගැටලු ගණනාවකට මුහුණ දෙනවා. එතැනදි මුදල් මුද්‍රණය කරන එකෙන් අපේ ආර්ථිකය මුහුණ දෙන අභියෝග ජය ගන්න පුළුවන්ද කියන එක ගැන අපි හොයලා බලන්න ඕනේ. ඔන්න ඔය අතරවාරයේ තමයි නූතන මූල්‍ය න්‍යාය (Modern Monetary Theory/ MMT ගැන සාකච්ඡාවක් ඇතිවෙලා තියෙන්නෙ. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන තීරණ ගන්න ප්‍රධාන නිලතලවල ඉන්න බොහෝ දෙනෙක් මේ ගැන අදහස් දක්වල තිබුණා.

MMT ගැන කතා කරන සමහරක් දෙනා කියනවා රටකට කිසිම ගැටලුවක් ඇති නොවෙන විදිහට ඕන තරම් මුදල් මුද්‍රණය කරන්න පුළුවන් කියලා. තවත් සමහරක් අය කියනවා කිසිම ප්‍රශ්නයක් නැතුව විශාල මුදලක් ණයට ගන්න රජයකට පුළුවන් කියලා. හැබැයි අන්තිමට බලද්දි මුදල් මුද්‍රණය කරනවා කියන්නෙත් මහ බැංකුවෙන් ණයට ගන්න එක විදියක්. හැබැයි ගොඩක් අය යෝජනා කරන්නේ උද්ධමනය බලපෑම නවත්තන්න පුළුවන් විදිය තමයි බදු ගහන එක (Taxation) කියලා.

MMT ගැන සුබවාදීව කතා කරන අය විවිධ මත පළ පළකර තිබෙනවා. ඒ අතර සමහර ප්‍රධාන අදහස් වෙන්නේ රජයකට අය වැය පරතරය වැඩි කර ගනිමින් සල්ලිත් අච්චු ගහන්න පුළුවන් කියල. තවත් සමහරු තර්ක කරන්නේ බැඳුම්කර විදියට රජය ලබාගෙන තියෙන ණය ගෙවන්න සල්ලි අච්චු ගහන්න පුළුවන් නිසා ණය ගෙවන්න බැරි වෙයි කියල පොඩ්ඩක්වත් බය වෙන්න ඕන නෑ කියලා. හැබැයි මෙතැනදි තේරුම් ගන්න අවශ්‍ය දෙයක් තමයි රජයක් නිවසකට සංසන්දනය කරන්න බැරි බව. මේකට හේතුව වෙන්නේ අපේ ගෙදර වියදමට සල්ලි මදි වුණාට සල්ලි අච්චු ගහන්න බැරි වුණට ස්වෛරීය රාජ්‍යයකට සල්ලි මදි වුණොත් සල්ලි අච්චු ගහන්න පුළුවන් නිසයි.

හැමෝම කියන දෙයක්නෙ ඔය සල්ලි අච්චු ගැහුවහම උද්ධමනය වැඩි වෙනවා නැත්තං අපි එදිනෙදා පාවිච්චි කරන භාණ්ඩවල මිල නිකංම ඉහළ යනවා කියල. ඒත් MMT ගැන සුබවාදීව කතා කරන ඒ අය කියන්නේ රටක භාණ්ඩ නිෂ්පාදනයට රටේ තියෙන සියලුම සම්පත්, ඒ කියන්නෙ ශ්‍රමය සහ අනෙකුත් සම්පත් ඔක්කොම යෙදවිලා නැති නිසා ඒ වගේ තත්ත්වයකදි සල්ලි අච්චු ගැහුවට (Quantitative easing කියලත් කියනවා) උද්ධමනයට හේතු වෙන්නේ නැති බවයි. තවත් සමහරු තර්ක කරන්නේ උද්ධමනය වැඩි වුණොත් වියදම් කිරීමේ බලය සීමා කරන්නත් බදු ගහන්න පුළුවන් නිසා ඒ ගැන භය වෙන්න ඕන නෑ කියලා. ලංකාව වගේ රටක් මුදල් මුද්‍රණය කරන්න ගත්තොත් අපිට ගැටලු දෙකකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

රුපියල් අච්චු ගැහුවම ඩොලර් හිඟවෙන හැටි

එකක් තමයි ආර්ථික ක්‍රියාකාරකම් හා ණය ඉහළ යන විට ගෙවුම් ශේෂයේ (Balance of Payments) ප්‍රශ්න ඇති වෙන එක. ගෙවුම් ශේෂයේ ප්‍රශ්නයක් කියන්නෙ අපිට ඩොලර්වලින් ගෙවන්න තියන ගෙවීම් කරගන්න ඩොලර් මදි වෙන එක. ඔබ බලයි ශ්‍රී ලංකා රුපියල් අච්චු ගැහුවම කොහොමද ඩොලර් හිඟවෙන්නෙ කියල. මෙන්න මෙහෙමයි වෙන්නෙ.

අපි අධික ලෙස මුදල් මුද්‍රණය කළොත් ඒ මුදල් හබායන්නෙ ආනයන පිටිපස්සෙන්. ආනයනවලට අපිට ඩොලර් හෝ වෙනත් රටවල්වල මුදලක් ඒක අවශ්‍යයි. අන්න ඒකයි සල්ලි අච්චු ගැහුවහම අපිට ඩොලර් අඩු වෙන්නෙ. ඔබට හිතෙන්න පුළුවන් ආනයන තහනම් කරල නිසා ප්‍රශ්නයක් නැහැනෙ කියල. ආනයන සම්පූර්ණයෙන් තහනම් කරන්න බෑනෙ. අපිට ඕන ඉන්ධන, අපිට ඕනේ astrazeneca Covid එන්නත වගේ බොහෝ ඖෂධ ඇතුළු දේවල් ගණනාවක්ම අපිට ආනයනය කරන්නම වෙනවා. කිසිම රටකට පූර්ණ හුදකලාව ජීවත් වෙන්න බැරි බව අපි හැමෝම දන්න දෙයක්. මහ බැංකුවේ සංඛ්‍යාලේඛනවලින් පෙනී යනවා අපේ ආනයනය වලින් 80%ක් පමණ ප්‍රාග්ධන හා අතරමැදි භාණ්ඩ වන බවත් ඒවා පරිභෝජනයට සහ අපනයනය සඳහා අවශ්‍යයි කියලා. අන්න ඒකයි ආනයන සම්පූර්ණයෙන් නවත්වන්න බැරි සහ මුදල් අච්චු ගැහුවම ඒ මුදල් ආනයන පස්සෙන් දුවන්නෙ.

මීට අමතරව සංචිත සහ විනිමය අනුපාතය පහත වැටිලා, ආයෝජකයන්ට රට ගැන තියෙන විශ්වාසය නැති වෙන්න බලපානවා. ඒ වගේ අවස්ථාවලදී මුදල් ණයට ගත්තු විදේශකයන් හා වෙනත් ආයෝජකයන් ඔවුන්ගේ මුදල් ආපසු ඉල්ලන්න පටන් ගන්නවා. මේකට තමයි ආර්ථික ව්ද්‍යාවේ කියන්නෙ Capital Flight කියලා (ප්‍රාග්ධන සුළඟේ ගසාගෙන යනවා වගේ හිතා ගන්න පුළුවන්). මේ නිසා තමයි බැඳුම්කරවල ප්‍රතිලාභ ඉතා පහළ මට්ටමකට ගිහින් අපිට තවත් බැඳුම්කර නිකුත් කරන්න තියෙන හැකියාව නැති වෙලා යන්නෙ.

ඇමරිකාවටයි ජපානෙටයි පුළුවන් නම්ඇයි අපිට බැරි…?

හැමෝම අහන ප්‍රශ්නයක් තමයි ඇමරිකා එක්සත් ජනපදයට ජපානයට බිලියන ගණනින් මුදල් මුද්‍රණය කරන්න පුළුවන් වෙලා තියෙද්දී ඇයි ලංකාවට කරන්න බැරි කියන එක. US ඩොලරය හා ජපානයේ Yen යන දෙකටම සම්පූර්ණයෙන් පාවෙන විනිමය අනුපාතයන් (Pure floating exchange rate) (විචලනය වෙන) තියෙන නිසා මේ රටවල් දෙකටම යම් දුරකට මුදල් මුද්‍රණය කරන්න හැකියාව තියෙනවා. විශේෂයෙන් ගත්තොත් එහෙම US ඩොලරය වෙනත් රටවලත් භාවිත වෙනවා. කොහොම වුණත් 1971 දී US ඩොලරය වැඩිපුර අච්චු ගැසීම නිසා කඩා වැටුණා. ඇමරිකානු ඩොලරයේ වටිනාකම තීරණය කර තිබෙන්නේ එය අමුණා තිබෙන රත්රන්වලට.

US ඩොලරය පාවෙන මුදල් (floating currency) වර්ගයක් වෙලා තිබ්බ කාලෙ ඩොලරය කඩා නොවැටීමට ආරක්ෂාවක් තිබ්බෙ නෑ. 2001 ඉඳලා ඉතා අඩු පොලී අනුපාතයකින් පසුව එක්සත් ජනපදයෙ දැවැන්ත ණය බුබුළක් හරහා ඩොලරය දුර්වල වුණා. උද්ධමනය ඇති වී තෙල් හා නිවාස මිල ඉහළ ගිහින් පසුව කඩා වැටුණා. ශ්‍රී ලංකාවේ රුපියල මේ වගේ සම්පූර්ණයෙන් පාවෙන මුදල් වර්ගයක් (pure floating currency) නොවෙයි. ලංකාව සංචිත එකතු කරන විධි කීපයක් තියෙනවා. එකක් තමයි ඩොලර් මිලදී ගැනීම සහ ඊට පස්සේ ඩොලර් විකිණීම තුළින් US ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම විවිධ මිල ගණන් යටතේ ආරක්ෂා කිරීමයි. ඒ විදියට වෙළෙඳපොළෙන් ඩොලර් මිලදී ගන්න විකුණන, පැහැදිලි විනිමය අනුපාතයක් නැති රටවල් මුදල් අච්චු ගැසීමෙන් (හෙවත් MMT වලින්) අවදානමට ලක් වෙනවා වැඩියි.

අතීතය පැවති රජයන් මුදල් මුද්‍රණය කිරීම තුළින් අපේ රටේ අයවැය හිඟය පුරවගන්න පුරුදු වෙලා හිටියා. පහුගිය වසර 70 තුළ ශ්‍රී ලංකාවට වතාවන් 16ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (International Monetary Fund) යන්න සිද්ධවෙන්න එක හේතුවක් වෙන්නේ මේ අධික ලෙස මුදල් මුද්‍රණය කිරීම නිසා ඇතිවූ ගෙවුම් ශේෂ අර්බුදයයි. (Balance of payment crisis)

ආනයනය තහනම් කළාම ඔක්කොම හරිද?

තවත් බොහෝ අය හිතන් ඉන්නෙ ආනයන තහනම් කරන මේ ප්‍රශ්නෙ විසඳන්න පුළුවන් කියල. ආනයන සීමා කිරීම රටක තියෙන භාණ්ඩ හා සේවා ප්‍රමාණය අඩු කරනවා වගේම ඒවගේ මිල ඉහළ නංවනවා. ඉතින් මේ වගේ පාවෙන විනිමය අනුපාතයක් නොමැති රටවල් මුදල් මුද්‍රණය කරද්දි උද්ධමනය විතරක් නෙවෙයි අධි උද්ධමනයත් සිද්ධ වෙන්න පුළුවන්. ඕනවට වඩා සල්ලි අච්චු ගහල හොඳ පාඩමක් ඉගෙනගත්තු රටක් තමයි සිම්බාබ්වේ.

සිම්බාබ්වේ අධික ලෙස ෆියට් මුදල් ප්‍රමාණයක් නිර්මාණය කළ නිසා එමගින් වසරකට උද්ධමනය 1000% වඩා වැඩි වුණා. මුදල පසුබෑමට ලක් වෙද්දී සිම්බාබ්වේ ඩොලර් මිලියනයේ මුදල් නෝට්ටු පවා මුද්‍රණය වුණා. පස්සේ සිම්බාබ්වේ මිනිස්සු සිම්බාබ්වේ ඩොලර් වෙනුවට පසුව ඇමරිකානු ඩොලර් වෙත මාරු වුණා. එතකොට උද්ධමනය නතර වුණා. හැබැයි බොහෝ දුප්පත් මිනිස්සු කබලෙන් ළිපට වැටුණා, අසරණ වුණා. බොහෝ අය සරණාගතයන් බවට පත් වුණා. මිනිස්සුන්ට පාවිච්චි කරන්න ප්‍රමාණවත් තරමට භාණ්ඩ හා සේවා තියෙනවද කියල හිතන්නෙ නැතුව මුදල් නිර්මාණය කිරීමෙන් (සල්ලි අච්චු ගහල) ආර්ථිකයක් වුණත් විනාශ වෙන්න පුළුවන් කියන එක අපි දැන් තේරුම් ගන්න ඕනේ.

රටක ආර්ථිකය නිවසක ආර්ථිකයට සමාන කරන්න බැරි බව ඇත්ත. ඒ මොකද කියනව නං මිනිස්සු නොයෙක් මුදල් ජාතිවලින් වෙළෙඳාම් කරන නිසාත් වෙළෙඳාම කියන්නෙම තරගකාරී සහජීවනය ගෙන එන ගෝලීය ගනුදෙනුවක් නිසායි. හැබැයි මේ මුදල් මුද්‍රණය කරද්දි වෙන්න‍ ආර්ථිකයේ මූලික පරමාර්ථය වන දුප්පත්කම තුරන් කිරීම වෙනුවට විදේශ විනිමය නැත්තං මුදල් ඒකක හොය හොය ඉන්න වෙන එකයි. බටහිර රටවල්වල MMT උපදේශකයෝ කවදාවත් ආනයන පාලනය කරන්න කිව්වේ නෑ. බොහෝ දේශපාලකයන් අය ඉතා ඉහළ ණය මට්ටමක් පවත්වා ගැනීමට සහ මුදල් අච්චු ගැසීමට උදාහරණයක් විදියට ගන්නෙ ජපානය. ඒත් ඒ දේශපාලකයෝ කවදාවත් ජපානෙ ආනයන තහනම් කරාද නැද්ද කියල කියන්නෙ නෑ. එහෙම කියන්නෙ නැත්තෙ ඔවුන් මේ ඉදිරිපත් කරන මුදල් අච්චු ගැසීමේ න්‍යාය ඔවුන්ටත් ඔප්පු කරගන්න බැරි නිසයි.

ජනතාවගේ ජීවන තත්ත්වය නංවන්න

මෙතනදි අපි මතක තියාගන්න ඕන දෙයක් තමයි ඕනම ආර්ථිකයක හා ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රධාන පරමාර්ථය සෑම පුරවැසියෙකුගේම අතේ ඇති තරම් මුදල් නෝට්ටු තිබීම හෝ අපිට ණය ගෙවීම සඳහා US ඩොලර් ඉතිරිකිරීම නෙමෙයි කියන එක. හොඳින් ක්‍රියාත්මක වෙන ආර්ථිකයක මූලික පරමාර්ථය වෙන්නේ ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලන එකයි දුප්පත්කම අවම කිරීමයි. ඉතින් අපිට මේ අරමුණු සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ අපේ හිඟ සම්පත් උපරිම ලෙස උපයෝගි කර ගැනීමෙන් පමණයි. ඒ නිසා එදා අපේ ගුරුතුමියගේ ප්‍රශ්නය, “අපේ අතේ මුදල් තිබුණත් අපිට පරිභෝජනය කරන්න තරම් ප්‍රමාණවත් භාණ්ඩ හා සේවා නැතිනම් මොකක්ද කරන්නේ?” කියන ගැටලුව අපි ගැඹුරින් විශ්ලේෂණය කරන්න ඕනේ.

ජීවන තත්ත්වය වැඩි දියුණු කරන එක දරිද්‍රතාවය තුරන් කරන එක හා අපේ සම්පත් ප්‍රශස්ත ලෙස භාවිත කරන එක අප ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්තිවල පුළුල් අරමුණු විය යුතුයි. මේ ගමනේදී අපිට මුහුණ දෙන්න වෙන කෙටිකාලීන ආර්ථික අභියෝගයන් මග අරින්න බැරි වුණත්, ඒ අවස්ථාවලදී අපේ දීර්ඝකාලීන ආර්ථික අරමුණු අප අමතක නොකළ යුතුයි. මුදලේ ඉතිහාසය දිහා බලද්දි අපිට පේන්නේ මුදලේ අධික සැපයුම, උද්ධමනය මුදල් අව ප්‍රමාණය සහ ගෙවුම් ශේෂ පිළිබඳ ගැටලු ඇති කරන බවයි. ඒ විදිහට දිගටම මුදල් මුද්‍රණය කළොත් සිම්බාබ්වේ මෙන් අධි උද්ධමනය අවස්ථාවකට අපිටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට ඒ උද්ධමනය සමාජයේ දුප්පත්ම කොටස්වලට අධික ලෙස බලපානවා.

වෙනිසියුලාව, සිම්බාබ්වේ කියන්නේ අධික ලෙස මුදල් මුද්‍රණය කිරීමෙන් ඉතාමත්ම නරක ප්‍රතිවිපාකවලට මුහුණ දුන්න රටවල් දෙකක්. එතැනදි ප්‍රශ්නය වුණේ මිනිසුන්ගේ අතේ මුදල් තිබ්බත් ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ගන්න තරම් ප්‍රමාණවත් මුදලක් නැති තත්ත්වයක් ඇතිවීම වගේම අතේ මුදල් තිබුණට මිලදී ගැනීමට අවශ්‍ය මූලික අවශ්‍යතා ගන්නවත් ප්‍රමාණවත් තරම් භාණ්ඩ හා සේවා වෙළෙඳපොළේ නැතිවීමයි.

එහෙනම් මේකට විසඳුම කුමක්ද?

ගෝලීය වසංගතයකදී හා ණය ගෙවාගන්න බැරුව ආර්ථිකය සම්පූර්ණයෙන් ක්‍රියා විරහිත වෙලා තියන අවස්ථාවකදි මුදල් අච්චු ගැසීම යම්තාක් දුරකට සාධාරණීයකරණය කරන්න පුළුවන්. හැබැයි මේක ස්ථිර විසඳුමක් ලෙස භාවිත කරන අපේක්ෂා කිරීමෙන් අපේ ආර්ථිකයට දිගුකාලීන හානියක් සිදුවිය හැකි‍යි.

අපේ සම්පත් උපරිම අයුරින් මෙහෙයවීම වගේම අපේ ආර්ථිකය වර්ධනය වීමට තිබෙන විවිධ බාධාවන් ඉවත් කිරීමයි අපි මුලින්ම කරන්න ඕන.

අපේ පාඩු ලබන රජයට අයිති ව්‍යාපාර (SOEs) ගණනාවක් තියනවා. ඒ පාඩුවලින් මුදල් කාන්දු වෙන එක නවත්වනවා වෙනුවට කාන්දුවෙන ප්‍රමාණයට මුදල් අච්චු ගහන්න ගත්තොත් අපි ලොකු අමාරුවක වැටෙනවා. අපේ රජයට අයිති ව්‍යාපාර (SOEs) ප්‍රතිව්‍යුහගත කරන එක වගේම රාජ්‍ය අංශයේ සම්පත් පෞද්ගලික අංශයට විවෘත කිරීම කළ යුතුයි. මුදල් සැපයීම වැඩි වන විට නිෂ්පාදන වැඩි වෙනවා කියලා අපේක්ෂා කිරීම හරි විසඳුමක් නෙවෙයි. ඒ වෙනුවට නිෂ්පාදන වේගවත් කරන්න ඉවත් කළ යුතු බාධක අප විසින් පරික්ෂා කරලා හොයාගන්න ඕනේ. සල්ලි අච්චු ගහලා හැමෝගෙම අතට මුදල් දෙනව වෙනුවට මිනුස්සුන්ගේ ජීවිතයේ ගුණාත්මකබව වැඩි කරන්නෙ කොහොමද කියල කල්පනා කරන්න ඕන. එහෙම නැති වෙලා සල්ලි අච්චු ගහල අපේ රට සංවර්ධනය කරන්න පුළුවන් කියල හිතන එක විහිළුවකටත් වඩා නොදන්නකමයි.

 

 

ධනනාත් ප්‍රනාන්දු