විශේෂාංග

සරායෙවෝ රෝමියෝ ජුලියට් උණ්ඩයෙන් වෙන්වුණ හැටි

මල්සරා හී සර විදින්නේ හරිම හිතුවක්කාර විදිහටය. ජාතිය, ආගම, කුලය, දේශය, දීපය, කාලය ඔහුට අදාළම නැත. මල්සරා “ඉස්මික්”ටත් “බොස්කෝ” ටත් හී සර විද්දේද ඒ කිසිවක්ම නොසලකාය. ඉස්මික් හෙවත් අද්මිරා ඉස්මික් මුස්ලිම් යුවතියකි. බොස්කෝ බර්කික් සර්බියානු ජාතිකයෙකි. ඉස්මික් හා බොස්කෝ ආදරයෙන් බැඳුණේ වයස අවුරුදු දහසය වන විටමය.

අවුරුදු නවයක් තිස්සේ ඒ ආදර කතාව ලස්සනට ගලාගියේය. ඉස්මික් මුස්ලිම් නිසාවත්, බොස්කෝ සර්බියානු නිසාවත් කිසි කෙනකුගෙන් ඒ ආදරයට බාධා එල්ල වුණේ නැත. ඔවුන් දෙදෙනාගේම දෙමාපියෝ මේ ආදරයට ආශිර්වාද කළහ. එහෙත් නොසිතූ පරිදි සියල්ල වෙනස් වෙන්නට පටන් ගත්තේය. ඒ 1992 අප්‍රේල් 05 වෙනිදා සර්බියානුවන් විසින් සරායෙවෝ නගරය වටලා ගැනීමත් සමගය.

වාර්ගික ගැටුම් උග්‍ර වී තිබිණ. එතෙක් කල් සමගියෙන් උන් බොස්නියානුවන්, ක්‍රොඒෂියානුවන්, ඇල්බේනියානුවන් හා සර්බියානුවන් මේ උග්‍ර වාර්ගික ගැටුම් අතර අතරමං වූහ. සරායෙවෝ නගරය අත්පත් කර ගැනීමට නගරය වැටලූ සර්බියානු හමුදාවල යුධ ටැංකිවලින් සරායෙවෝ නගරයට නොකඩවා ප්‍රහාර එල්ල වෙන්නට විය. අනෙක් පැත්තෙන් සරායෙවෝ නගරයේ පාලනය අත්පත් කරගන්නට උත්සාහ කළ ක්‍රොඒෂියානුවන්ද මේ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කරන්නට විය.

ඉස්මික් හා බොස්කෝ ජීවත් වුණු සරායෙවෝ නගරය දිවා රැයේම වෙඩි හඬින් ගිගුම් දෙන මරණයේ කලාපයක් බවට පත් විය. සර්බියානු හමුදාවන් විසින් සරායෙවෝ නගරයට බෝම්බ පොකුරු පිටින් හෙළූහ. සරායෙවෝ නගරයේ වැසියන් යාන්තමින් දිවි ගලවා ගත්තේ බිම් ගබඩාවල සැඟවීගෙනය.

බිම්ගෙවල් හාරාගෙන සැඟවී පණ බේරාගත්තද නගරයේ වැසියන්ට ජීවත් වෙන්නට අවශ්‍ය අත්‍යවශ්‍යම ආහාර ද්‍රව්‍යවත් තිබුණේ නැත. සියලු සැපයුම් මාර්ගද සර්බියානු හමුදා විසින් අවහිර කර තිබිණ. ඒ මදිවාට නගරයට ජලය හා විදුලිය සැපයුමද අත්හිටුවා තිබිණ. කෑම බීම පවා සීමා කර ඉතිරිව ඇති ආහාර ද්‍රව්‍ය හැකි තරමින් අරපරිස්සමින් පාවිච්චි කරන්නට සරායෙවෝ වැසියන්ට සිදුව තිබිණ.

සර්බියානු හමුදා මෙන්ම ක්‍රොඒෂියානු හමුදාවලින්ද දෙපසින්ම එල්ල වන ප්‍රහාරවලට සරායෙවෝ නගරයේ වැසියන් මැදිව උන්හ. නගරයේ උන් හැම කෙනකුටම වාගේ උවමනා වී තිබුණේ පණ බේරාගෙන මේ නගරයෙන් පලා යන්නට පමණකි. ඒත් නගරයෙන් පිටවෙන්නට හැකි සියලු මාර්ගද සර්බියානු හමුදාවන් විසින් අවහිර කර තිබිණ. නගරයෙන් පිටවන මාර්ග හැම එකකම ස්නයිපර් වෙඩික්කරුවන් රඳවා උන්හ. පලා යන්නට තැත් කරන ඕනෑම කෙනකුට සිදුවූයේ ඒ ස්නයිපර් වෙඩික්කරුවන්ගේ වෙඩි පහරින් මිය යන්නටය.

එහෙත් මේ මරණයේ නගරයෙන් පැන යන්නට ගන්නා උත්සාහයන් නම් නතර වූයේ නැත. බොස්කෝ සහ ඉස්මික් දෙදෙනාටත් මේ නගරයෙන් පැන යන්නට උවමනා විය. ඒ 1993 මැයි මාසයේදීය.
“එන්න එන්නම තත්ත්වෙ නරක අතට හැරෙනවා මිසක් යුද්ධෙ නතර වෙන පාටක් පේන්නවත් නෑ.. මේ නගරයෙ තවත් ජීවත් වෙන්න බෑ. අපි කවදද සතුටින් ජීවත් වෙන්නෙ.. අපි මෙහෙන් පැනගන්න බලමු..”
ඉස්මික්, බොස්කෝට පෙරැත්ත කළාය.

“මගේ අම්මා ඉන්නවා බෙල්ග්‍රේඩ්වල. එහේට පැනගත්තොත් නම් අපිට සන්තෝසෙන් ජීවත් වෙන්න පුළුවන්..”
බොස්කෝ යෝජනා කළේය.
ඉන් පසුව ඔවුන් දෙදෙනා එක්ව බෙල්ග්‍රේඩ්වලට පැන යන්නට සැලසුම් හැදූහ.
මැයි මාසයේ දිනක ඔවුහු කතා කරගත් පරිදිම නගරයෙන් පලායෑමේ ගමන ඇරඹූහ. සටන් කරන දෙපාර්ශ්වයේම ස්නයිපර් වෙඩික්කරුවන්ගෙන් සැඟවෙමින් ආරක්ෂිත මාර්ග ඔස්සේ ඔවුන් දෙදෙනා මිල්ජාකා ගංගා තෙරට පැමිණියහ. මේ ගංගාව මතින් ඇති ව්ර්බන්ජා පාලමෙන් එහා පැත්තේ ඇත්තේ ග්ර්ව්බාවිකා නගරයයි. එය සර්බියානු පාලනය යටතේ පවතින සාමකාමී නගරයකි. එතැනින් බෙල්ග්‍රේඩ් වෙත යාම එතරම් අසීරු නැත. නිදහස් සන්සුන් ජීවිතය පේනතෙක් මානයේය.
එහෙත් පාලම දෙපස නොපෙනෙන දුරකින් සර්බියානුවනුත් ක්‍රොඒෂියානුවනුත් බොස්නියානුවනුත් අවි අමෝරාගෙන සිටින බව ඔවුන් දැන සිටියේ නැත.

ඔවුන් දෙදෙනා අත් අල්ලාගෙනම ව්ර්බන්ජා පාලම හරහා ඇවිද යන්නට වූහ.
සුළඟ පසාරු කරගෙන කොහෙන්දෝ ස්නයිපර් උණ්ඩයක් ඇදී ආවේය. එය නතර වූයේ බොස්කෝගේ සිරුර සිදුරු කරමිනි. ඒ වෙඩිල්ලේම කොටස් වැදුණු ඉස්මික් අඩි ගණනක් ඈතට විසිවූවාය.
ඉස්මික්ට හොඳටෝම තුවාලය. එහෙත් ජීවිතය බේරාගෙන පැන යන්නට තරම් නම් ශක්තියක් ඉතිරිව තිබිණි. එහෙත් ඇය පැන යන්නට කලින් බැලුවේ බොස්කෝ උන් දිශාවය. ඔහු පාලම මතම වැතිර හිඳී. ඔහුගේ සිරුර තෙමාගෙන ලේ ගංගාවක් ගලා එමින් තිබිණි.

ඉතින් ඔහු දමා පැන යන්නේ කොහොමද.. ඉස්මික්, බොස්කෝ උන් තැනට බඩගෑවේ තවත් ස්නයිපර් උණ්ඩයක් තමා වෙත එල්ලවේදැයි සිතන්නටවත් පමා නොවෙමිනි.
ඉස්මික් ඔහු වෙතට ළං වන විටත් බොස්කෝ උන්නේ පණ අදිමිනි. ඔහු තමා වෙත ඇදී ආ ඉස්මික්ව වැලඳ ගත්තේය. ඉස්මික්ද ඔහුව වැලඳගෙන හඬන්නට වූවාය.
විනාඩි ගණනකදී බොස්කෝ අවසන් හුස්ම හෙළුවේය.
ඉස්මික්ද සිටියේ බරපතළ තුවාල සහිතවය. ස්නයිපර් වෙඩිල්ලෙන් ඇගේ සිරුරේ ඇතිවුණු තුවාලවලින් අධික ලෙස රුධිරය වහනය වෙමින් තිබිණි. ඒ සමගම ඇගේ ජීවිතයද ඈ කෙරෙන් ගිලිහෙන්නට පටන් ගෙන තිබිණි.
පැය ගණනකට පසු, ආදරණීය බොස්කෝගෙ සිරුර වැලඳගෙනම ඉස්මික්ද අවසන් සුසුම් හෙළුවාය. අමානුෂික වාර්ගික යුද්ධයක තවත් බිල්ලක් වී ඔවුන් දෙදෙනා වයස අවුරුදු විසිපහේදී ලෝකය හැර ගියහ.

එකිනෙකා වැලඳගත් ආදරවන්තයින්ගේ පණසුන් සිරුරු ව්ර්බන්ජා පාලම මත ඉතිරි විය.
පැයක් දෙකක් හෝ දවසක් නොවේ. දවස් අටක්ම ඔවුන්ගේ එකිනෙකා වැලඳගත් මළසිරුරු ඒ පාලම මත්තේ ඒ අයුරින්ම තිබිණ. දින අටකට පසු මේ යුවළගේ මළ සිරුරු සර්බියානු සෙබළුන්ගේ නෙත ගැටිණි. සර්බියානු සෙබළුන් මේ මළසිරුරු ගෙනගොස් ලුකාවිකා පෙදෙසේ බිම්කඩක වැළලූහ. ඉස්මික්ගේත් බොස්කෝගේත් කතාව ඔවුන්ගේ පවුල්වලටත් සෙසු ලෝකයටත් දැනගන්නට ලැබුණේ දින ගණනාවකට පසුවය. මේ පෙම්වතුන් දෙදෙනාට අත් වූ ඉරණම ගැන මුළු ලෝකයම ශෝකයට පත් විය. ඔවුන්ව මරා දැමූ ස්නයිපර් උණ්ඩය එල්ල කළේ කවුරුන්දැයි අසමින් යුද කළ පාර්ශ්වයන් දෙක තුනටම චෝදනා එල්ල විය. මුස්ලිමුන් මෙන්ම සර්බියානුවන්ද එහි වගකීම භාර ගැනීම ප්‍රතික්ෂේප කළහ.

ඒ ස්නයිපර් උණ්ඩය මුස්ලිම් දෑතක රැඳුණු ගිනි අවියකින් පිට වූවක් වුවත්, කතෝලික දෑතක රැඳුණු ගිනි අවියකින් පිට වූවක් වුවත් දැන් ඉතින් චෝදනා කොට පලක් නැත. ආදරයෙන් පිරුණු ජීවිත දෙකක් වෛරයෙන් පිරී ගත් මිනිසුන් අතින් විනාශ වී හමාරය.යුද්ධය නිම වූ පසුව, ඉස්මික් හා බොස්කෝගේ මරණයෙන් වසර තුනකට පසුව බොස්කෝ හා ඉස්මික්ගේ දෙමාපියන් එක් වී තම දරුවන්ගේ මළ සිරුරු නැවත ගොඩ ගෙන සරායෙවෝහි ලයන් සුසානභූමියේ එක ළඟ මිහිදන් කළහ.

ඉස්මික් හා බොස්කෝ මිය ගියද ඔවුන්ගේ ආදර කතාව ලෝකයේ සදාකාලික ආදර ශෝකාන්ත අතරට එක් විය. ලෝකය එතැන් සිට ඔවුන්ව හඳුන්වන්නට වූයේ “සරායෙවෝහි රෝමියෝ සහ ජුලියට්” ලෙසිනි. ඔවුන් දෙදෙනා වැලඳගෙන මිය ගිය ව්ර්බන්ජා පාලමද “රෝමියෝ ජුලියට් පාලම” ලෙසින් නම් කෙරුණි.

ඉස්මික් හා බොස්කෝව මරා දැමුණු බොස්නියානු යුද්ධයෙන් තවත් ලක්ෂයකට අධික පිරිසකට දිවි අහිමි වී තිබිණ. එයින් 12,000 ක් පමණම සරායෙවෝ වැසියන්ය. සරායෙවෝ නගරය අදටත් මේ මිය ගිය අය සිහිකරන හැම වාරයකදීම “සරායෙවෝ රෝමියෝ ජුලියට්” යුවළද මහත් සෙනෙහසින් සිහි කරති.