විශේෂාංග

සරසවි සම්මානයේ නිර්මාණ ශිල්පියා ලන්ඩනයේදි ජීවිතය හැර යයි

තිස්ස රණසිංහ එංගලන්තයේ දී මියගියේ පසුගිය සඳුදාය. බොහෝ දෙනකු ඔහු මියගිය පුවත අසා පුදුමයට පත් වූයේ තිස්ස රණසිංහ මෙච්චර කල් ජීවත් වුණාදැයි’ විස්සෝපයෙනි. තිස්ස රණසිංහගේ නම අද පරම්පරාවට තියා නවසිය අසූ ගණන්වල ජනතාව නොදත්තේ ඔහු හැත්තෑව දශකයේ මුලම එංගලන්තයේ පදිංචියට ගිය බැවිනි.

මා පවා ඔහු ගැන දැන ගත්තේ ඉපැරණි පුවත්පත් කියවන විටය. තව වසර පහක් ජීවත් වූවා නම් ඔහුට ජීවිතයේ ශතකය ජයගත හැකිව තිබිණි. ඔහුව වත්මන් පරපුරට හඳුන්වා දිය හැකි හොඳම ක්‍රමය ‘‘සරසවි සම්මානය’’ නිර්මාණය කළ ශිල්පියා ලෙස හැඳින්වීමයි.

ලංකාවට නිදහස ලැබීමට පෙර මෙහි ජාතික වීරයන්ගේ පිළිරූ ගොඩනගන ලද්දේ විදේශිකයන් විසිනි. මේ විදේශීය නිර්මාණ ශිල්පීන්ට අභියෝග කළ ඓතිහාසික පුද්ගලයා තිස්ස රණසිංහය. තිස්ස ලංකාවේ සිටි යුගයේ පදිංචිව සිටියේ බම්බලපිටියේ හැන්පර්ට් පාරේ නිවසකය.

තිස්සගේ පියා සොලමන් රණසිංහය. අම්මා නාරංගමුවේ තරුණියකි. තිස්සගේ උපන් ගම සඳලංකාවේ යෝගියානය. ඔහුගේ තාත්තා පොල් වගාවේ නිරත වූවෙකි. ඔහු පවුලේ පළමු දරුවා වූ අතර අම්මා රැකියාවක් නොකළත් අම්මා විනෝදය පිණිස කරන ලද්දේ චිත්‍ර ඇඳීමය. ඒ නිසාම තිස්සගේ සිත තම මවගේ චිත්‍ර කලාව දෙස ඇදී ගියේ නිරායාසයෙනි.

මුලින්ම අකුරු කරන්නට යෝගියානේ සිංහල පාසලට ගිය තිස්ස ඉන්පසු රාජකීය විද්‍යාලයේත්, ඉතා කෙටි කලක් විශාකා විද්‍යාලයේත් ඉගෙන ගත් අතර තම පාසල් ගමන හමාර කළේ මීගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලයෙනි. විශාකා විද්‍යාලයේ ශිෂ්‍යයකු ඉගෙන ගන්නේ කෙසේ දැයි ඔබට ප්‍රශ්නයක් පැන නැගුණද ඔය කියන සන්දියේ ආනන්දය, නාලන්දය වැනි පාසල්වල ඉගෙන ගත් ශිෂ්‍යාවන් ගැනද ඉතිහාසය දත් අයකුගෙන් විමසා දත හැකිය.
1944 දී තිස්ස පේරාදෙණියේ ගොවිකම් අභ්‍යාස විද්‍යාලයට බැඳී වසර දෙකකින් මුල්ම පත්වීම ලබා ගන්නේ මහඉලුප්පල්ලම ගොවිපොළටය. ගොවිකම් උපදේශකගේ ‘චිත්‍ර උණ’ රජගෙදරට දැනෙන්නට විය. එවකට සිටි ආණ්ඩුකාරයා තිස්සව පේරාදෙණියේ නැණ විද්‍යා අංශයට මාරු කරන ලද්දේ තෘණ විද්‍යාවට චිත්‍ර ශිල්පය සම්බන්ධ දැනුම අත්‍යවශ්‍ය සුදුසුකමක් නිසාය. තම හිතේ හැංගී තිබුණු චිත්‍ර කලාවට ආදරය කළ තිස්ස 1949 දී රාජ්‍ය සේවයෙන් ඉවත් වූයේ මාසයක කල්දීම වෙනුවට සේවය කළ අවසන් මාසයේ පඩිය පවා ආණ්ඩුවට පූජා කිරීමෙනි.

1949 දී තිස්ස තනිවම කොළඹ පැමිණ රජයේ ලලිත කලායතනයේ අධිපති ජේ. ඩී. ඒ. පෙරේරා හමුවිය. තිස්සගේ දස්කම් දුටු ජේ.ඩී.ඒ. කිසිදු විභාගයකින් තොරව තිස්සව කලායතනයට බඳවා ගත්තේය. තම ජීවිතය ඉල්ලා හඬාවැටුණ මගට වැටීම ගැන තිස්ස යටි සිතෙන් ප්‍රීතිවන්නට විය.

මූර්ති අංශයේ ඉගෙනුම ලැබූ තිස්සගේ මුල්ම ගුරුවරිය වූයේ රති ධනපාල මහත්මියයි. රති යනු මහා පත්‍ර කලාවේදී ඩී. බී. ධනපාලගේ බිරිඳයි. මහා කලාගාරයක් බඳු ධනපාල මහතාගේ නිවසට මගේ පියාත්, ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍රත්, පාලිත විදානගමාච්චි, මහානාම දිසානායකත් ගියේ මගේ පියා ලියන ලද ඛලීල් ජිබ්රාන්ගේ පරිවර්තනයක් පිරිනැමීමටය. එම නිවෙසෙ වූ තිස්සගේ මූර්ති දැක මා මවිතයට පත් වූයේ ඒ ගමනටද මාද එක් වූ බැවිනි.
තිස්සගේ දස්කම් රතිගෙන් දැනගත් ධනපාල මහතා ජේ.ඊ.ඩී. පෙරේරා යෝජනා කරන ලද්දේ ලන්ඩනයේ වෙල්සි කලායතනයේ ශිෂ්‍යයකු ලවා පුහුණුවක් ලබාදෙන ලෙසය. ඇල්බට් පෙරේරාව අමරදේව කොට ඉන්දියාවේ ශාන්ති නිකේතනයට යවන්නට සංවිධානය කළේ ද ධනපාල මහතාය. ශිෂ්‍යත්වයට ඉතාම සුදුස්සා තිස්ස වුවත් තවත් කිහිප දෙනකුද ශිෂ්‍යත්වයට ඉව ඇල්ලීම නිසා අවසානයේ තරගයක් පවත්වන්නට සිදු විය. අන්තිමේදී ශිෂ්‍යත්වය හිමි වූයේ තිස්සට නොව වෙනත් ශිෂ්‍යයකුටය.

ශිෂ්‍යත්වය නොලැබීමත් සමග තිස්සගේ මුළු ජීවිතයම කඩාවැටෙන්නට විය. ‘මහ ලොකු දක්ෂයෙක් කිව්වට තමුසෙට ශිෂ්‍යත්වයක්වත් දිනාගන්න බැහැ’යි ඇතැම්හු තිස්සගේ මූණටම ආඩපාලි කියන්නට වූහ.  කෙනෙහිලිකම් දරාගත නොහැකි වූ තිස්ස තම නෑදෑයන්ගෙන් මුදල් ණයට එකතු කර කොළඹ වරායෙන් නැව් නැග්ගේ ලන්ඩනයට ගොස් චිත්‍ර කලාව හැදෑරීමටය. මෙහි විශේෂත්වය 1954 දී කලායතනයෙන් ශිෂ්‍යත්වය දිනාගත් ශිෂ්‍යයාත්, තිස්සත් එකම නැවෙන් ලන්ඩන් නුවරට ගොස් එකම දිනක ලන්ඩනයේ වෙල්සි කලා පීඨයට ඇතුළු වීමය. තිස්සව පරීක්ෂණයක් නොකරම කලායතනයට ඇතුළු කරගන්නා ලෙස ජොර්ජ් පෙරේරා දුන් ලියුමටත් වඩා බලගතු වූයේ ඩී. බී. ධනපාල එංගලන්තයේ ටයිම්ස් පත්තර කොම්පැනියේ ලොක්කා ලවා කලාගාරයට ලබා දී තිබූ ලිපියයි.

එවකට ලංකාවේ පළ කළ ලංකාදීප කොම්පැනියේ අයිතිකරුවන් වූයේ එංගලන්තයේ ටයිම්ස් කොම්පැනියේ සුද්දන්ය.

වෙල්සි කලා පීඨයේ තිස්සගේ ගුරුන් වූයේ විලී යුකොප් හා බර්නාඩ් මෙඩෝස්ය. ටික කලකින් දක්ෂයා කව්දැයි සුද්දන්ටම ඒත්තු යන්නට විය. ලංකාවෙන් ගිය අනෙක් හාදයාට වසර දෙකකට කලින් ඔහු ඩිප්ලෝමා සහතිකය ලබා ගත්තේය. යුනෙස්කෝ ආයතනය තිස්සගේ දක්ෂකම් දැක ජර්මනියේ හා ඉතාලියේදී මූර්ති ශිල්පය ගැන විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය ලබන්නට ශිෂ්‍යත්වයක් ලබා දෙන්නේ මේ අතරය.

ජර්මනියේ හා ඉතාලියේ අධ්‍යාපනයෙන් පසු නැවත ලන්ඩනයට පැමිණි තිස්ස ලන්ඩනයේ පූජනීය තත්ත්වයේ කලාකරුවකු බවට පත් විය. 1956 ලන්ඩන් නුවරදී පැවැත් වූ බුද්ධ ජයන්ති ප්‍රදර්ශනයේදී ඔහුගේ මූර්තිවලින් ලන්ඩන් නුවර සියලු පුවත්පත්වල මුල් පිටු සැරසුණේ ඔහුගේ ඡායාරූපයක්ද සමගය. අවුරුදු 2500 ක බෞද්ධ කලා නමැති එම ප්‍රදර්ශනයේදී ජීවමාන මූර්ති ශිල්පීන් අතරින් ඉන්දියාව, ලංකාව, පාකිස්තානය හා එංගලන්ත පාලකයන් තොරාගත්තේ සිලෝන් එකේ සිට ආ තිස්ස රණසිංහගේ මූර්ති පමණකි.

ඩී.එස්. සේනානායකගේ පිළිරුවක් ඔහුගේ අභාවයෙන් පසු විදේශීය මූර්ති ශිල්පීන් ලවා මුලින්ම ඉදිකොට ඇතත් එම පිළිරුවේ ඉන්නේ ඩී.එස්. නොවන බව රටපුරා විරෝධතා එල්ල වී ඇත. අද වටිනාකම බැලුවොත් ඒ සඳහා කෝටි ගණනක මුදලක් එවක රජය වැයකොට තිබිණි. අවසානයේ ලංකාණ්ඩුව බේරාගන්නට ලන්ඩනයේ සිට ඉදිරිපත් වූයේ තිස්සය. තිස්ස භාරගත් අභියෝගය ගැන පැහැදුන ඔහුගේ ගුරෙකු වූ විලි යුකොප් තමාගේ මුළු ස්ටුඩියෝවම මාස තුනකට ඩී. ඇස් ප්‍රතිමාව හැදීමට තිස්සට දුන්නේය. තිස්ස දිවා රෑ නොබලා අඹන ලද ඩී.ඇස්. ප්‍රතිමාවට ලෝහයෙන්, වාත්තු කරන්නට ලංකාවේ එකතු කරන ලද අරමුදලක් මැදිහත් විය.

1958 දී නැවත ලංකාවට පැමිණි තිස්ස ශ්‍රී ලංකා ජාතික කලායතනයේ කථිකාචාර්ය ධුරයට පත් විය. නැවත ලන්ඩනයට ගිය තිස්ස 1961 දී ලංකාවට එන්නේ සැලී කුපර් නමැති පෙම්වතියද විවාහ කරගෙනය. බ්‍රසීලයේ සාවෝ පාවෙලෝ (1963) මෙන්ම මොන්ට්‍රියෙල් නුවර ලෝක ප්‍රදර්ශනයේ පළමු තැන ගත් එකම ආසියාතිකයා ඔහුය. සුද්දියක විවාහ කරගත්තත් තිස්ස තම දියණියට නම තිබ්බේ ‘මානෙල්’ නමිනි.

මේ යුවළ මානෙල් ඉදිරියේ සිංහලෙන් කතා කළේ ඇයට සිංහල ඉගෙන ගන්නටය. තිස්සගේ මූර්තිවලින් වැඩි හරියක් ඇත්තේ එංගලන්තයේ, ජර්මනියේ හා ඉතාලියේය. අපට ඉඳහිට වත් දැකගන්නට ලැබෙන්නේ ‘සරසවි සම්මානය’ පමණය. අවුරුදු 47 ක් ලංකාව අතැර ගොස් ලන්ඩනයේ ජීවත් වූ තිස්ස අපට නොකියා කියන්නේ මේ රටේ නිර්මාණ ශිල්පීන්ගේ නියම වටිනාකම දන්නේ විදේශිකයන් බව නොවේද?

වජිර ලියනගේ