විශේෂාංග

සරත්මධු පටන් ගත්ත ඉතින් ඊට පස්සේ බාරගත්තෙ ගුණපාල ජයලත්

ඔහු නැතුව දැන් කොයි කාලයක්ද ?

පහුගිය දෙසැම්බර් මාසෙට එයා නැතිවෙලා අවුරුදු තුනක්. ජයලත් අයියා නැතිවුණේ 2015 දෙසැම්බර් 23
ඒ කාලය ඔබට දැනුණේ?

හරිම පාළුවක්, දුකක්, තනිකමක් වින්දා. කවුරු හිටියත් එයාගෙන් ජීවිතේට ලැබුණු හයිය, රැකවරණය, මහා අඩුවක් වෙලා දැනෙනවා.

ඔබට ගුණපාල ජයලත් හමුවෙන්නේ ?

පත්තරේ තිබුණ නාට්‍ය පුහුණුවකට සම්බන්ධවෙන්න යවපු ලියුමක් නිසා.

ඒ කිව්වෙ ?

ඒ කාලේ, මොකක් හරි පත්තරේක තිබුණා ජයසේකර අපොන්සුගෙ නාට්‍ය වැඩමුළුවක් තියෙනවා කියලා. මාත් ඒකට ලියුමක් ලියලා යැව්වා.

ඉතින් ඊට පස්සෙ ?

මම ඉතින් ඔය ලියුමට විශේෂ අවධානයක් ලැබෙයි කියලා හිතලා ලියුම් කවරෙ වම් පැත්තෙ උඩින් අපොන්සු මහත්තයාගෙ පින්තූරෙත් ඇන්දා.

විශේෂ අවධානයක් ලැබී තිබුණද ?

එක විදිහක විශේෂ අවධානයක් ලැබී තිබුණා. ඒ කාලෙ ජයලත් අයියා, ජයසේකර අපොන්සු ඇතුළු මේ කට්ටියම ඉඳලා තියෙන්නෙ රාජගිරියේ එකම බෝඩිමක. ඉතින් ලියුම බෝඩිමට අරන් ගිහින් ජයලත් අයියට බලන්න දීලා.

ඇයි ඒ විශේෂයෙන් ?

එයා එතකොටත් චිත්‍ර ශිල්පියෙක්නේ. මම ලියුම් කවරෙ චිත්‍රයක් ඇන්ද හින්දයි ඒක දීලා තියෙන්නේ. ඊට පස්සෙ මගෙ ලියුමට උත්තරයක් ආවේ ජයසේකර අපොන්සුගෙන් නෙවේ. ගුණපාල ජයලත්ගෙන්

ඒ කාලෙ ඔහොම නම කී පමණින් ඔහුව ඔබ දැන සිටියද ?

ඒ කාලෙ මම සතුට පත්තරේ බලනවා. එතකොට ඒකෙ ජයලත් අයියා ඇන්ද ‘‘වීරකේතු’’ කතාවත් මං බැලුවා. එයාව ඒ හින්දා දන්නවා. ඒ වගේ ජනප්‍රිය කෙනෙක්ගෙන් ලියුමක් ආවම මට පුදුමයකුත් ආවා.
ඊට පස්සෙ අපි අතරෙ සාමාන්‍ය ලියුම් කීපයක් හුවමාරු වුණා.

ඊටත් පස්සෙ ?

ඒ කාලෙම වගේ ජයසේකර අපොන්සුගේ “ගමනෙ යා” නාට්‍යය අපේ ගමට ආවා. ඒ එනකොට ජයලත් අයියත් ආවා. එදා මමත් අපේ ගෙදර අය එක්ක නාට්‍යය බලන්න ගියා. ජයලත් අයියා මුලින්ම දැකලා කතාබහ කළේ එදා තමයි.

ඒ කාලේ ඔහු වැඩ කළේ ?

ඒ කාලේ වැඩ කළේ මට මතක හැටියට ලේක්හවුස් එකේ සතුට පත්තරේ. හැබැයි ජයලත් අයියා ඊටත් කලින් රිවිරැස පත්තරේට “කෝට්ටේ ව්‍යාඝ්‍රයා” චිත්‍රකතාව ඇන්දා. ඒක තමයි එයාගේ පළවෙනි චිත්‍රකතාව.

ඔහු කොහේ කෙනෙක්ද ?

අලව්වෙ. පාසල් කීපයක ඉගෙන ගත්තා කියල මට කියලා තියෙනවා. අම්මා, තාත්තා ගොවිතැන් කරපු අය. තව සහෝදර සහෝදරියො හය දෙනෙක් හිටියා.

එතකොට ඔබ ?

මම රත්නපුර කහවත්තේ. තාත්තා රජයේ සේවකයෙක් වුණ නිසා ඔහුට ස්ථාන මාරුවීම් ලැබෙන හැම දිහාවකම ඉස්කෝලවල මටයි, මල්ලිලා හතරදෙනාටයි, නංගිලා තුන්දෙනාටම ඉගෙනගන්න වුණා. මම සාමාන්‍ය පෙළ කළේ ජීව විද්‍යා අංශෙන්. ඒ කාලේ වෛද්‍යවරයෙක් වෙන අරමුණ මට තිබ්බා.

ඒ කාලේ මට නිර්මාණශීලීව ලිවීමේ හැකියාවක් සහ ඇඳීමේ හැකියාවකුත් තිබ්බා.

ඔබට ඔහුව හඳුනා ගන්න ලැබෙන්නෙ ඔය වගේ කාලෙක ?

ඔහොම කාලයක් ලියුම් ලිය ලිය ඉන්නකොට තමයි මට ජයලත් අයියා රැකියාවක් ගැන කියන්නෙ. ඒ මල්ටිපැක්ස් ආයතනයේ. එයත් එතකොට මල්ටිපැක්ස් ආයතනයේ වැඩ කළා.

* ඔබ ආවෙ ලියන්නද ?

ඇත්තටම මම ආවෙ ලියන්න බලාගෙන. ඒත් ලැබුණෙ වර්ණ සංයෝජක. ඒ අතරේ මට අඳින්නත් අවස්ථාවක් ලැබුණා, සතියෙන් දෙකෙන් ඉවරවෙන චිත්‍රකතා. ඒත් මට චිත්‍රකතා අඳින්න ඒ තරම් කැමැත්තක් තිබුණෙ නෑ.

ඉතින් ඔබට ඔහෙම කොළඹ එන්න ගෙදරින් ඉඩ දුන්නද ?

අපි අඳුනාගත්තට පස්සෙ එයා ඔය රස්සාව හොයලා අපේ ගෙදර ඇවිත් අම්මගෙන් තාත්තගෙන් මාව කසාද බඳින්න අවසර ඉල්ලුවා. වෙන අය ආදරේ කරලනෙ කසාද බඳින්න යෝජනා කරන්නෙ. අපි ආදරේ කළේ කසාද බඳින්නත් අවසර ලැබුණට පස්සෙ.

ඉතින් කොළඹ ඇවිත් ?

ඒ කාලෙ මල්ටිපැක්ස් එකේ මම වැඩ කරපු කාර්යාලය තිබුණේ කොළඹ බ්ලූමැන්ඩල් පාරෙ. ඒ කිට්ටුව බෝඩිමක තමයි මම නැවතුණේ. එතකොට සිත්තර පත්තරේ කරපු කැමිලස් පෙරේරා මහත්‍තයත් හිටියේ ඒ කිට්ටුව ගෙදරක. ඒ ගෙදර තමයි ජයලත් අයියා නැවතිලා හිටියෙ.

ඔහු ඒ වෙනකොට මොකද්ද කළේ ?

සිත්තර පත්තරේට “ඉතින් ඊට පස්සෙ” සහ “යුනිකෝ” අඳිනවා. සරත්මධු මහත්තයා සිත්තරෙන් අයින් වුණාට පස්සෙ ඒ කතා දිගටම ඇඳගෙන යන්න භාරවුණේ ජයලත් අයියට.ඒ කාලෙ සල්ලි මුදල් අගහිඟයක් තිබ්බෙ නෑ, ඒ සිත්තර පත්තරේ හොඳට විකුණුන කාලේ නිසා.

ඔබලා විවාහ වෙන්නෙ ?

කොළඹ ඇවිදින් අවුරුදු දෙකකින් වගේ 1982 ජූලි මාසෙ දී විවාහ වෙලා අපි වත්තල මාබෝලේ ගෙයක් කුලියට අරන් පදිංචි වුණා. හැබැයි විවාහ වුණාට පස්සෙ මම රැකියාවෙන් අයින් වුණා. අවුරුද්දක් වගේ යද්දි කැමිලස් පෙරේරා මහත්තයා මල්ටිපැක්ස් එකෙන් අයින්වෙලා කැමිලස් පබ්ලිකේෂන් පටන් ගත්තා. එතකොට සිත්තර පත්තරේට චිත්‍ර ඇඳපු ශිල්පීන් ගොඩක් කැමිලස් මහත්තයා එක්ක ගියා.

ඒ කියන්නෙ ගුණපාල ජයලතුත් ගියා ?

ඒ ගිහින් තමයි සත්සිරි පත්තරේට ඉන්ස්පෙක්ටර් ශ්‍රීනාත් චිත්‍රකතාවයි, ට්‍රෝජන් කතාවයි අඳින්නේ. ඒ කාලේ ඉන්ස්පෙක්ටර් ශ්‍රීනාත් හොඳටම ජනප්‍රිය වුණා.

ඒ වෙනකොට ඔබ ගෙදරමයි හිටියෙ ?

මමත් ඊට පස්සෙ කැමිලස් පබ්ලිකේෂන් එකේ වැඩට ගියා. එතන ළමා පත්තරත් පටන් ගත්තනෙ. ඉන් පස්සෙ ජයලත් අයියා සත්සිරි පත්තරේට ඇන්ද මද්දුමී, රැල්ල වෙරළට ආදරෙයි, ඇහෙනවා නම් හිත හඬන තරම්, අපි අපේ නොවේ වගේ කතා ගොඩක් ලිව්වෙ මමයි.

ඇයි එච්චර කාලයක් හිටියෙ කතා ලියන්න ?

සිත්තරේදි එයාට මට කතා ලියන්න බැරි වුණේ ජයලත් අයියා එතැන කළේ සරත්මධු මහත්තයා අතරමග නවත්තලා ගිය කතා දෙක ඇඳගෙන ගිය එකනෙ. සරත්මධු පටන් ගත්ත ඉතින් ඊට පස්සෙ ජයලත් අයියටවත් ඉවරකරන්න බැරිවුණා.

ඔය කාලෙ කොහොමද ?

ඒ කාලෙ චිත්‍රකතාවලට හොඳම කාලේ. මේ රස්සාව කරලම තමයි ඒ කාලෙ ජයලත් අයියා වෑන් එකක් ගත්තෙත් ගේ හදන්න රාගමින් පර්චස් හතළිහක් ගත්තෙත්. අපි එතැන තාවකාලික ගෙයක් හදාන ඇවිත් දැන් ඉන්න මේ ගේ හදාගෙන ගියා.

ඔබ රැකියාවකට ගියෙ නෑ ?

ඒ වෙනකොට මමත් කැමිලස් පබ්ලිකේෂන් එකේ පත්තරවලට සම්බන්ධ වුණා. හපනා, ශිෂ්‍යත්ව, ජගතා ළමා පත්තරත් පටන් අරන් තිබුණනේ. ඒ එක්ක අපි දෙන්නා තමයි ඩිංකි පත්තරේ කළේ. ඒ අතරෙ 2006 වගේ සිව්දෙස කර්තෘකමත් මට ලැබුණා.

ඔහොම කාලය ගෙවී යද්දී ?

අනූ ගණන් වෙද්දී චිත්‍රකතාවලට අයහපත් කාලයක් උදාවෙන්න ගත්තා. චිත්‍රකතා අලෙවිය අඩුවුණා. ඒක දිගටම ගිහින් 2006 වගේ වෙද්දි අපි වැඩකරපු පත්තරත් වැහිලා ගියා.

ඉතින් එහෙම පත්තර වැහුණම ?

ආදායම් නැතුව ගියා. අපි ඒ වෙනකොට ගේ හදන්න ඉඩම තියලා ණය මුදලක් අරන් තිබුණේ. ඒකවත් ගෙවාගන්න විදිහක් නැතිවුණා. ඒකෙන් අපි හරි අමාරුවක වැටුණා.

එතකොට ජීවිතේට මුහුණ දුන්නෙ ?

ළඟ ඉතුරුකරගෙන හිටපු සල්ලිවලින් බැංකුවේ ණය මුදල ගෙවලා ඉවර කළා. ඊට පස්සෙ ජීවත්වීම ප්‍රශ්නයක් වුණා. අපේ සහෝදර සහෝදරියො නෑදෑයෝ උදව් කළා. ඔය දේවල් කල්පනා කරලා ජයලත් අයියගෙ රෝගී බවත් වරින්වර අලුත් වුණා.

ඔහු ඒ වෙනකොට අසනීප තත්ත්වයකින්ද හිටියෙ ?

එක තැනම ඉඳගෙන වැඩ කරද්දි සීනි තත්ත්වයක් සහ අධිරුධිර පීඩන තත්ත්වයක් ඇවිත් තිබුණෙ 98 අවුරුද්දෙ වගේ ඉඳලා. ඒ අතරෙ එයාගේ හදවතේ නහරයක අවහිරතාවකුත් තියෙන විත්තිය දැනගත්තා. ඒ නිසා වෛද්‍ය රුවන් ඒකනායක මහතාව මාස තුන හතරකට වරක්වත් හමුවුණා.

ඉතින් ඊටපස්සෙ ?

රිවිර පත්තරේට චිත්‍රකතාවක් අඳින්න ගත්තා “දුනුකේයාය” කියලා. ඒ කතාව අවුරුදු එකහමාරක් වගේ ඇන්දා. ඊටත් පස්සෙ තමයි ජයලත් අයියා කොන්ත්‍රාත් පදනමට ලේක්හවුස් එකේ “අතුරු මිතුරු” පෙර පාසල් පත්තරේ කරන්න පටන් ගන්නේ.

එහෙම කරගෙන ඉන්නකොට ?

අවුරුදු තුනක් විතර ඒ පත්තරේ කරගෙන ඉන්නකොට ආණ්ඩු මාරුවුණා. ආණ්ඩු මාරුවත් එක්ක ලේක්හවුස් එකේ ලොකුත් පුටු මාරු වුණා ලේක්හවුස් එකේ ලොකු පුටු මාරුවෙද්දි එයාට “අතුරු මිතුරුත්” නැතිව ගියා.

එහෙම වෙද්දි ?

අපි ඉතුරු කරපු සල්ලිත් ඔක්කොම ඉවරවුණා. ඔය කාලෙ තමයි චිත්‍රකතා පදනමෙන් චිත්‍රකතා පොත් කරන්න උදව්කළේ. ඒ විදිහට “ඉන්ස්පෙක්ටර් ශ්‍රීනාත් පොත එයාලා මුද්‍රණය කරලා විකිණෙන විදිහට මුදල් දුන්නා.

ඒ අතරේ චිත්‍ර කතා පදනමෙන් චිත්‍ර ප්‍රදර්ශන තිබ්බා. ඇත්තටම ඒවායින් සල්ලි ලැබුණටත් වඩා සතුටක් එයාගෙ හිතට ලැබුණා කියලා දැනුණා.

එදා 2015 දෙසැම්බර් 23 මොකද වුණේ ?

22 වැනිදා රාත්‍රියෙත් කිසිම අසනීප බවක් පෙන්නුවේ නෑ. 23 වැනිදා පාන්දර මගෙ මල්ලි නැගිටලා කතරගම යන්න ලෑස්ති වුණා. ඒ අතරෙ ජයලත් අයියත් නැගිටලා මාව නැගිට්ටෙව්වා මල්ලිට තේ එකක් හදලා දෙන්න කියලා. එතකොට පාන්දර 3.30 ට විතර ඇති.

මම මල්ලිගෙන් තේ හදන්නද අහන අතරෙ ජයලත් අයියා “මගේ පපුව පොඩ්ඩක් රිදෙනවා අනෝමා” කියලා කාමරේට ගියා.
ඉතින් ඊට පස්සෙ ?

කලින් දවසකත් ඔහොම වෙලා ඩොක්ටර් ගාවට ගෙනිච්චම කියලා තිබුණා ගැස්ට්‍රයිටිස් වැඩිවෙලා උඩට ඇවිත් කියලා.
ඒ හින්දා මං ඒ වගේද කැක්කුම එන්නෙ කියලා අහලා එදා දුන්න පෙත්තකුත් අරන් කාමරේට ගියා. විනාඩි පහකට වඩා වෙලා ගියේ නෑ.

ඔහු අමාරුවෙන් හිටියෙ ?

අමාරුවෙන් කියන්නෙ, ඇඳ ළඟ දණ ගහගෙන වගේ ඔළුවත් හරහට හරවගෙන එයා හිටියා. ඒක දකිනකොටම මං ඇහුවා “ඇයි ඔහොම ඉන්නෙ ඔයාට අමාරුද” කියලත්. ඒත් උත්තර නෑ. මං මල්ලිටයි”පුතාටයි කතා කළා

එතකොටවත් ඔහු කතා කළාද ?

නෑ. මල්ලි කතරගම යන්න වාහනෙත් ලෑස්ති කරලා තිබ්බෙ. ඉක්මනටම පුතයි, මල්ලියි එයාව රාගම රෝහලට අරන් ගියා.
මට හිතුණෙම නෑ ජයලත් අයියට එහෙම කරදරයක් වෙයි කියලා. ඒත් පාන්දර 5.30 ට විතර මල්ලියි, පුතයි ගෙදර ආවා. පුතා ආවේ අඬාගෙනමයි. එතකොට මට සිද්ධවෙලා ඇති දේ දැනුණා.

මොකද්ද වෙලා තිබුණෙ ?

ජයලත් අයියට හාට් ඇටෑක් එකක් ඇවිත්. හොස්පිට්ල් එකට අරන් යනකොටත් එයා නැතිවෙලා ඉඳලා තියෙන්නෙ.
ඔබට ඒ මොහොත හැඟුණේ ?

ඒක කියන්න බෑ. අපි හැමෝම ගේ ඇතුළෙ ගල් වුණා වගේ. දරන්න බැරි කම්පනයක් ඇතිවුණේ. මට ඒක අදහගන්න බැරිවුණා. ඊට පැය දෙකකට කලිනුත් එයා මාත් එක්ක කතා කළානෙ කියලා මගෙ හිත මතක් කළා.

ඒ වෙනකොට දූ දරුවෝ.?

ලොකු පුතා ලේක්හවුස් එකේ වැඩ කළා. අද එයා එදා ජයලත් අයියා කරපු අතුරුමිතුරු පත්තරේ කරනවා. අනිත් දුවලා දෙන්නා එතකොට ඉගෙන ගනිමින් හිටියෙ. එතන ඉඳලා පුතා පවුලෙ වගකීම ගත්තා.

ඊට පස්සෙ ඔබ ?

මේ කාලේ දේශය පත්තරේට නවකතාවක් ලියන්න ඇරයුම් ආව. මම තවත් කල් ඉල්ලලා මාසෙකට විතර පස්සෙ “අනන්ත වසන්තය” නවකතාව ලියන්න ගත්තා.

ඒ වෙනකොට ඔබ නවකතා ලියනවා ?

ඊට කලින් ඉරිදා ලංකාදීපයට දම්සාරී නවකතාව ලිව්වා. ඒක ජනප්‍රියයි කියලා පත්තරේ අයම කිව්වා. ඒත් ඒ කතාව ඒ අයම මගදි නැවැත්තුවා. ඒ ඇයි කියන්න අදටත් මං දන්නෙ නෑ.

ඊට පස්සෙ ?

කිංකිණි කියන පත්තරෙන්. මං ඒකට ලියපු රෝස අසපුව පසුව පොතක් වුණා. ඊට පස්සෙ දම්සාරි කොටස් හතරකට පොත් විදිහට නිකුත් වුණා. ගිය අවුරුද්දේ අනන්ත වසන්තය පළමු කොටස නිකුත් වුණා. මේ දවස්වල එහි දෙවැනි කොටස මුද්‍රණයට සූදානම් වෙනවා. ඒ අතරට යොවුන් කතා සහ ළමා කතාත් කීපයක් ලියා පළකර තියෙනවා.

කොහොමද දූ දරුවන්ගෙ තොරතුරු ?

ලොකු පුතා චාම් නිර්මාන් ලේක් හවුස් එකේ රැකියාව කරනවා. ඊළඟ දුව සරලා රාජ්‍ය ඖෂධ සංස්ථාවේ රැකියාව කරනවා. පොඩි දුව නවෝදා විශ්ව විද්‍යාලේ දේශීය වෛද්‍ය අංශයෙ ඉගෙන ගන්නවා.

කොහොමද ඉතින් මේ ගෙවෙන ජීවිතේ ?

මේ දවස්වල මමත් අසනීපෙන් එක්තැන්වෙලා ඉන්නෙ. වැටිලා කකුල කැඩිලා. ජයලත් අයිය නැති අඩුව පිරිමහන්න බෑ. කොයිදේ කරන්න ගියත් මතක් වෙනවා. විශේෂයෙන් මේ වගේ වෙලාවකදි එයා හිටියා නම් කියලා දවසෙ වැඩිහරියක් මට හිතෙනවා.

බියංකා නානායක්කාර