විශේෂාංග

සමාජ ජාල මාධ්‍ය කලඹන ළමා අපචාර වීඩියෝව

පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ එක්තරා වීඩියෝවක තිබුණේ ජුගුප්සාජනක දර්ශනය. එහි තිබුණේ වැඩිහිටි පිරිමියෙකු අතින් අවුරුදු පහක හයක දැරියකට කරන බරපතළම ලිංගික හිංසනයකි. එතැනදී ඒ නරුම පිරිමියාට අවනතවනවා විනා, ඊට එරෙහිවීමට හෝ එතැනින් පලා යාමට තරම්වත් දැනුමක් තේරුමක් නැති දැරිය සේපාලිකා මලක් මෙන් තැළී පොඩි වී යයි.

දුටු දුටුවන් කම්පනයට පත් කළ එම වීඩියෝවේ සිටින නරුම පිරිමියාව සොයා උපරිම දඬුවම් පමුණුවන ලෙස බල කෙරෙන විරෝධතා සහ පෙත්සම් කරළියට එන්නේ ඉන් පසුව ය. විරෝධතාකරුවන් විටෙක දොස් නගන්නේ ජාතික ළමාරක්ෂක අධිකාරියට ය. එමෙන් ම පොලිසියට ය.

වීඩියෝව පිළිබඳ පරීක්ෂණ

‘‘මේ වීඩියෝව මහ දරුණු එකක්… ලංකාවෙන් නෙවෙයි ලෝකෙන් ම ගත්තත් ඉතාම දරුණු මට්ටමේ හිංසනයක්… ඒ නිසයි අපි විරෝධතාවක් පවත්වලා මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා අදාළ ආයතනවලට බල කළේ… දැන් නං ළමාරක්ෂක අධිකාරියත්, සී.අයි.ඩී.යත් ඒ ගැන පරීක්ෂණ පවත්වන්න පටන් අරං තියෙනවා… මේක හොඳ තත්ත්වයක්… නමුත් ඇක්ෂන් ගන්න මෙතරම් ප්‍රමාද වුණු එක වැරදියි… ඒ සම්බන්ධයෙන් නං අපිට ඒ ආයතන ගැන ලොකු අප්‍රසාදයක් තියනවා… මොකද අපේ මැදිහත්වීමක් නැතුව වුණත්, අදාළ ආයතන ඒ සම්බන්ධයෙන් වහ වහා පියවර ගත යුතුව තිබුණා…’’ යැයි පවසන්නී, ජනප්‍රිය රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා ය.

සමනලී ‘සතිඅග අරුණ’ සමඟ එසේ පැවසූවේ, පෙර කී වීඩියෝවත්, ඒ සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවල මන්දගාමීත්වයත් විවේචනය කරන ‘අලුත් පරපුරේ’ සාමාජිකාවක වශයෙනි.

‘‘මේ වීඩියෝව සම්බන්ධව දැනටමත් පරීක්ෂණ දෙකක් සිද්ධ වෙනවා… එකක් කෙරෙන්නෙ ළමාරක්ෂක අධිකාරියෙන්… අනික සී.අයි.ඩී. එකෙන්… ඊට අමතරව ළමාරක්ෂක අධිකාරිය මැදිහත් වෙලා මේ සම්බන්ධයෙන් නඩුවකුත් පවරලයි තියෙන්නෙ… ඊට අමතරව අපි මේ සිද්ධියට සම්බන්ධ වැඩිහිටි පිරිමියා ගැන දන්න කවුරු හරි ඉන්නවනං ඉදිරිපත් වෙන්නය කියලා පුවත්පත් දැන්වීමකුත් දාලා තියෙනවා… ළමයාගෙ පිංතූර නං මාධ්‍යයේ පළ කරන්න බැහැ… නමුත් මේ සිද්ධිය ගැන කිසියම්ම තොරතුරක් දන්න කෙනෙක් ඉන්නව නං අපට කතා කරන්න… මොකද මේ සිද්ධියෙ අපරාධකාරයා වගේ ම වින්දිතයාත් තාම හොයාගෙන නැහැ…’’ යැයි පවසන්නී, ළමාරක්ෂක අධිකාරියෙහි නියෝජ්‍ය සභාපතිනි සුජාතා අලහප්පෙරුම ය.

රන්ජන් – හංසමාලි හඬපටය

මේ අතර සමාජ සේවකයෙකු මෙන් පෙනී සිටින මැණික් ව්‍යාපාරිකයෙකු මෙම අපරාධය කරන පුද්ගලයා බව පවසන‘සංගමයක්’ ඒ බව තහවුරු කරන හඬපටයක් ද ළමාරක්ෂක අධිකාරියට භාර දී තිබේ. ළමාරක්ෂක අධිකාරියෙහි නියෝජ්‍ය සභාපතිනි සුජාතා අලහප්පෙරුම පවසන ආකාරයට, ඔවුන් එම ‘හඬපටය’ ඔස්සේ ද පරීක්ෂණ මෙහෙයවා තිබේ.

‘‘එක සංගමයක් ඇවිත් අපට ‘හඬපටයක්’ භාර දුන්නා… ඔවුන් කිව්වෙ, මේ වීඩියෝව ගැන සඳහනක් ඒ හඬපටයේ තියෙනවා කියලා… ඊට පස්සෙ අපි ඒ ගැනත් පරීක්ෂා කළා… ඒ හඬපටයේ තියෙන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සහ රංගන ශිල්පිනී පියුමි හංසමාලි අතර වන දුරකථන දෙබසක්… ඒ නිසා මේ වෙනකොට අපි හංසමාලි කියන රංගන ශිල්පිනියගෙනුත් කටඋත්තරයක් අරගෙන තියෙනවා… නමුත් ඇගේ දුරකථන සංවාද සිද්ධිය සහ මේ කියන වීඩියෝව අතර සම්බන්ධයක් නැති බවක් තමයි පේන්නෙ… ’’ ළමාරක්ෂක අධිකාර්යේ නියෝජ්‍ය සභාපතිනිය වැඩිදුරටත් පැවසුවා ය.

‘‘ළමාරක්ෂක අධිකාරිය වගේම පොලීසියත් මේ සිදුවීම සම්බන්ධයෙන් පවත්වන පරීක්ෂණ මන්දගාමීයි කියල සමහර සංවිධාන ප්‍රසිද්ධියේ ම කියනවා… ඒක ඇත්තක් ද…?’’ අපි ඇගෙන් විමසුවෙමු.

‘‘මුලින්ම කියන්න ඕන, මේ සම්බන්ධයෙන් විරෝධතා කරන පිරිස්වලට තියෙන කම්පනය සාධාරණයි… නමුත් ඒ අයට ඇහැගැටුණෙ ඔය කියන සිදුවීම පමණක් හෝ තවත් සිදුවීම් කිහිපයක් වෙන්න පුළුවන්… නමුත් අපිට දිනපතා, මාස්පතා එන පැමිණිලි කන්දරාව දිහා බැලුවම පේනවා මේ සිදුවීම විතරක් නෙවෙයි, හැම ළමා හිංසනයක් ම අතිශය කටුක සහ දරුණු බව… අපි ඒ හැම හිංසනයක් ගැනම කරුණු හොයා බලනවා… ඒවා ගැන නඩු පැවරීම් කරනවා… අනෙක් අතට හිංසනයෙන් වළකින හැටි ගැන දරුවන්ව දැනුම්වත් කරන වැඩසටහන් කරනවා… දෙමාපියන් ගුරුවරුන් දැනුවත් කරනවා…’’ ළමාරක්ෂක අධිකාරියෙහි නියෝජ්‍ය සභාපතිනිය පැවසුවා ය.

මාසයකට ලිංගික අපයෝජන ම 50 ක්

සැබැවින් ම වීඩියෝවෙන් එහාට තත්ත්වය වඩාත් දරුණු බව පෙනෙන්නේ, ළමාරක්ෂක අධිකාරියෙහි ‘ළමා අපයෝජන දත්ත’ පරීක්ෂා කර බලන විට ය. ළමාරක්ෂක අධිකාරියෙහි 1929 නමැති දුරකථනයට මාසයක් පාසා වාර්තාවන ළමා අපයෝජන සිදුවීම් ගණන 800 කි. එහෙත් එහි නිලධාරීන් ම පවසන ආකාරයට ‘වාර්තා නොවන’ සිදුවීම් ප්‍රමාණය වාර්තා වන සිදුවීම් ප්‍රමාණය මෙන් ‘හත් ගුණයකි’. එනම් එක් මාසයක දී පමණක් අප රටේ තැන් තැන්වල ළමා අපයෝජන සිද්ධි 5600 ක් පමණ සිදුවිය හැකි ය.

මෙහිදී ළමා ලිංගික හිංසනය, ළමා මෙහෙකාර සේවය, කායික මානසික වශයෙන් හිංසනයට ලක් කරන දඬුවම් පැමිණ වීම ආදිය ද ළමා අපයෝජන සිදුවීම් යටතට ගැනේ. පෙර කී සංඛ්‍යාලේඛන අදාළ වන්නේ ‘ළමා අපයෝජනය’ යටතට වන බැවින්, ඒ සියල්ල ම ළමා ලිංගික හිංසන සිදුවීම් යටතට නොගැනිය යුතු ය. එහෙත් මෙහි ලා මසකට වාර්තා වන ‘ලිංගික අපයෝජන’ සිදුවීම් ගණනද සුළුපටු නොවන බව පෙනේ. උදාහරණයක් වශයෙන් ගත් විට, ගත වූ මාසයේ, එනම් 2020 පෙබරවාරි මාසයේ පමණක් වාර්තා වූ ‘ළමා ලිංගික හිංසන සංඛ්‍යාව 50 කි’. ජනවාරි මාසයේ තත්ත්වය මීටත් වඩා දරුණු වූ අතර 2020 ජනවාරි 01 සිට ජනවාරි 15 දක්වා පමණක් වාර්තා වූ ‘ළමා ලිංගික හිංසන සංඛ්‍යාව 54 ක්’’ විය.

මොනරාගලින් පමණක්

වසරකට ළමා මවුවරුන් 10 ක් 15 ක්

‘සති අග අරුණ’ට අදහස් දැක්වූ මොනරාගල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රුවන් නානායක්කාර පවසන ආකාරයට මොනරාගලින් වසරකට ‘ළමා මව්වරුන්’ 10 ක් 15 ක් පමණ හඳුනා ගැනේ. මෙහිදී ‘ළමා මව්වරුන්’ ලෙස සැලකෙන්නේ අවුරුදු 16 ට අඩු වයසේදී දරුවන් බිහිකිරීමට සිදුවන මව්වරුන් ය.

‘‘අපට මුණගැහෙන ළමා මව්වරුන්ගෙන් සැලකියයුතු පිරිසක් ප්‍රසව වේදනාවෙන් රෝහල්ගත වෙන්නෙත්, තමන්ට දරුගැබක් තියෙන බවවත් නොදැන… ඒකෙන්ම තේරෙනවා ඒ අය කුමක් හෝ විදියකට ලිංගික අපයෝජනයකට ලක්වීම නිසා ගැබ් ගත් අය බව… පහුගිය දවසක මට මුණගැහුණා, අවුරුදු 14 ක ළමා මවක්… බඩ රිදෙනවා කියල කෑගහගෙන තමයි රෝහලට ඇතුළත් වුණේ… ඒ වගේම මාස 10 ක කළලයක් තමන්ගෙ කුසේ තියෙන බව ඒ දැරිවිය දැනගෙන හිටියෙත් නෑ… ඔය කියන දැරිවියට ලිංගික අතවර වෙලා තිබුණෙ පාසල් යන තවත් ළමයෙකුගෙන්… ඒ ළමයටත් අවුරුදු 17 යි… තවත් ළමා මවකට අතවරය වෙලා තිබුණෙ එයාගෙම තාත්තගෙන්… මට මුණගැහුණු තවත් ළමා මවක් මන්දමානසිකයි… ඒ ළමයට අතවර කරලා තිබුණෙ අවුරුදු 67 ක් වයස වුණු තමන්ගෙම සීයා… මට හිතෙන්නෙ ළමයින්ට වන ලිංගික හිරිහැරවල දරුණුම අවස්ථාව මේක… ළමා වයසෙදි ම මවක් වෙන්න සිද්ධ වෙන එක… එතැනදි ඒ ළමයාගෙ මුළු ජීවිතේ ම ඒ මත්තෙ විනාශ වෙන්නත් පුළුවන්…’’ විශේෂඥ අධිකරණ වෛද්‍ය රුවන් නානායක්කාර තමන්ගේ රාජකාරි දිවියේ ‘කටුක අත්දැකීම්’ අප සමඟ බෙදාගත්තේ එසේ ය.

ළමා මවුවරුන්ට වෙනම නිවාසයක්

විශේෂඥ අධිකරණ වෛද්‍ය රුවන් නානායක්කාර, ළමාරක්ෂක අධිකාරිය සහ වෙනත් රාජ්‍ය නොවන සංවිධානයක් සම්බන්ධීකරණය කරමින් ‘ළමා මව්වරුන් වෙනුවෙන් ම වෙන් වූ නිවහනක්’ තනන්නට පවා කටයුතු කරන්නේ, ළමා වියේදීම මව්වරුන් බවට පත්වන දැරිවියන්ගේ තත්ත්වය ඉතාම දරුණු වන නිසා විය හැකි ය.

‘‘අපි එක පැත්තකින් ළමා ලිංගික හිංසනය වළක්වන්න උත්සහ දරන ගමන් ම, යම් හෙයකින් ලිංගික අතවරයක් නිසා ගැබ් ගන්න දැරිවියක් රැකබලාගෙන පුනරුත්ථාපනය කරලා යළි සමාජගත කරන ආකාරයත් සැලසුම් කරන එකත් ඉතාම වැදගත්… ඒ නිසයි අපි මේ නිවහන හැදුවෙත්… අවාසනාවට තවමත් අපට ඒක විවෘත්ත කරගන්න බැරිවෙලා තියෙනවා… මොකද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයිති ඉඩම නිසියාකාරයෙන් පවරලා නැති හින්දා… ’’

වෛද්‍ය රුවන් නානායක්කාර ‘ළමා මව්වරුන්ගේ නිවහන’ ගැන පවසන මේ කාරණය නම්, ඛේදවාචකයේ ඛේදවාචකයක් බව අමුතුවෙන් කිවයුතු නැත.

කොළඹත් එකයි මොනරාගලත් එකයි

කොයි දරුවත් අනාරක්ෂිතයි

මේ අතර ‘ළමයෙකු ‘ලිංගික හිංසනයක’ ගොදුරක් විය හැකි අනාරක්ෂිත පරිසරයක් නිර්මාණය වීම’ යන කාරණය අතින් ගත් විට, දුර බැහැර දුෂ්කර මොනරාගල නගරයේ මෙන් ම ළඟ පාත නාගරික කොළඹ නගරයේ ළමයින් ද එක ලෙස ම අනාරක්ෂිත බව පෙනේ. ඒ ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට පාසලෙන් පසු කාලය මව පියා යටතේ ගෙවන ආරක්ෂිත පරිසරයක් නොමැති නිසා ය.

මොනරාගල වැනි දුෂ්කර ප්‍රදේශයක මව්පියන් බොහෝ දෙනෙකු කරන්නේ ළමයින්ව තමන්ගේ ම නිවෙස්වල හෝ අසල්වැසියන්ගේ නිවෙස්වල තබා හේන් ගොවිතැනට යාම ය. එමෙන් ම පවුල් ලක්ෂයක් (100000) පමණ ජීවත් වන මොනරාගල දිස්ත්‍රික්කයේ පවුල් පනස් දහසක ම (50,000) දරුවන්ට ඇත්තේ මව හෝ පියා යන දෙදෙනාගෙන් එක් අයෙකුගේ ආරක්ෂාව පමණි. එසේ වන්නේ මව්පියවරුන් මැද පෙරදිග සේවයට ගොස් තිබීම නිසා හෝ දෙදෙනාගෙන් එක් අයෙකු පවුල හැරගොස් ඇති නිසා ය. ඇතැම්විට මව හෝ පියා මිය යාම ද හේතුවක් විය හැකි ය.

කොළඹ තත්ත්වය ද, මොනරාගල තත්ත්වයට වඩා ‘හොඳ’ වන්නේ නැත්තේ, කොළඹ පවුල්වලින් සැලකිය යුතු සංඛ්‍යාවක දරුවන්ට ද මව හෝ පියා යන දෙදෙනාගෙන් කෙනෙකුගේ රැකවරණය පමණක් හිමිවන නිසා ය. සමහරවිට ඒ රැකියා හෝ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් මව්පියන් විදෙස්ගතව සිටීම නිසා ය. එසේත් නැත්නම් මව්පියන් දික්කසාද වී ඇති නිසා ය. ඒ අනුව මෙකී පවුල්වල දරුවන් ද පාසලින් පසු සවස්වරුව ගත කරන්නේ දෙමාපිය වැඩිහිටි රැකවරණයක් නොමැති නිවෙස්වල ය. අවුරුදු 12 ට වැඩි දරුවන් බලා කියාගන්නා දිවා සුරැකුම් මධ්‍යස්ථාන ද හිඟ බැවින්, අඩුම තරමේ එකී දරුවන්ට දිවා සුරැකුම් මධ්‍යස්ථානයක රැකවරණය හෝ නොලැබේ.

‘සේව් ද චිල්රන්’ ආයතනය දක්වන ආකාරයට මව්පියන් දෙදෙනාගේ ම රැකවරණය නොමැති පවුල්වල දරුවන් පසුවන්නේ ලිංගික හිංසනය සම්බන්ධයෙන් වඩාත් අනතුරුදායක තත්ත්වයක ය. එහෙයින් ශ්‍රී ලංකාවේ ජීවත්වන දරුවන් ලිංගික අපයෝජනයට ලක්වීම කෙරෙහි වන අනතුරට පොහොසත් බව හෝ දුප්පත් බව ද, නාගරික හෝ ගැමි බව ද තීරණාත්මක නොවන බව පෙනේ. ඒ අනුව ලංකාවේදී ළමුන් ලිංගික හිංසනයන්ට ලක්වීම කෙරෙහි වඩාත් තීරණාත්මකව බලපා ඇත්තේ, මාපිය රැකවරණය නොමැති වීම බව පෙනේ.

නමුත් ලෝක තත්ත්වය නම්, මීට වඩා සපුරා ම වෙනස් ය. ‘ලෝක ළමා පදනම’ (World Childhood Foundation) විසින් වාර්ෂිකව කරනු ලබන දත්ත විශ්ලේෂණ අනුව පෙනී යන්නේ, එක්සත් රාජධානිය, ස්වීඩනය සහ ඔස්ට්‍රේලියාව වැනි දියුණු සහ පොහොසත් රටවල දරුවන් ලිංගික අපයෝජනයෙන් වඩා දුරස්ව සිටින බවත්, ඊට සාපේක්ෂව කෙන්යාව, ගෝතමාලාව සහ උගන්ඩාව වැනි දුප්පත් රටවල දරුවන් ලිංගික අපයෝජනය සඳහා වඩාත් ‘ඉලක්ක වී’ සිටින බවත් ය.

සීයා, තාත්තා, ගුරුවරයා සහ අසල්වැසියන්ගෙන්

ප්‍රවේශම් විය යුතු කාලයක්

‘‘අපේ පොදු අත්දැකීම අනුව, ළමයින් බොහෝ දෙනෙකු ලිංගික හිංසනයට ලක්වෙන්නෙ තමන්ගෙ ළඟම ඉන්න අය අතින්… සමහරවිට ඒ තමන්ගෙම තාත්තා වෙන්න පුළුවන්… නැත්නම් සීයා වෙන්නත් පුළුවන්… අල්ලපු ගෙදරක ඉන්න කෙනෙක්, ගුරුවරයෙක් වෙන්නත් පුළුවන්… එකඅතකට මේ දේවල් මේ විදියට කියන්න වෙන එකත් ගැටලුවක්… ඒ මොකද කියනව නං ඉස්සර කාලෙ අපට මේ අය අවදානම් පුද්ගලයින් හැටියට පෙනිල නැති හින්දා… නමුත් දැන් මේ සමාජ ක්‍රමයම උඩු යටිකුරු වෙලා තියන තත්ත්වයක් නිසා මේ කටුක යථාර්ථයන් අමාරුවෙන් හරි බාරගන්නත් වෙලා තියෙනවා… ඒ නිසා අපි තේරුම් අරන් තියෙන විදියට එක් අතකින් ළමයින්ව දැනුම්වත් කරන්න ඕන, හිංසනයෙන් ගැලවෙන හැටි උගන්නලා… අනෙක් අතට දරුවන් ව දරුවන් හැටියට ආදරෙන් සහ වගකීමෙන් බාරගන්න කියන පණිවිඩිය වැඩිහිටියන් අතරටත් ගෙනියන්න සිද්ධවෙලා තියෙනවා… විශේෂයෙන් ම තමන්ගේ දරුවන් අනාරක්ෂිත නොකර රැකබලාගන්න ආකාර ගැන දෙමාපියන් දැනුම්වත් කරන්නත් සිද්ධ වෙලා තියෙනවා…’’ ළමාරක්ෂක අධිකාරියේ නියෝජ්‍ය සභාපතිනිය පැවසුවේ එසේ ය.

ඇය පවසන පරිදි අකමැත්තෙන් යුතුව වුණත් දැන් අප විසින් පොදුවේ භාරගතයුතුව ඇති කටුක යථාර්ථය එයයි. එනම් ‘වැටත් නියරත් ගොයම් කන’ බවයි.

‘‘කියන්න කනගාටුයි, මම වැඩකරන මොනරාගල දිස්ත්‍රික්කයේ විතරක් ගුරුවරුන් 7 දෙනෙක් ළමා ලිංගික හිංසන චෝදනා යටතේ වරදකරුවන් වෙලා තියෙනවා… එයින් එක් අයෙක් ගුරුවරියක්… ඇය අතින් ලිංගික හිංසනයට ලක්වෙලා තියෙන්නෙ පිරිමි දරුවෙක්…’’ මොනරාගල මහරෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියා ද පැවසුවේ ය.

නීතිමය තත්ත්වය

1995 අංක 22 දරන දණ්ඩ නීති සංග‍්‍රහ සංශෝධන පනත අනුව, ළමා ලිංගික අපයෝජනය වරදකරුවෙකු වන අපරාධකාරයෙකු/ කාරියක අවුරුදු පහේ සිට විස්ස දක්වා බරපතළ වැඩ සහිතව බන්ධනාගාරගත කළ හැකි ය.

සුරේඛා සමරසේන