Uncategorized

සම්පත් බැංකුව ද සොයිසා රෝහලේදී උපත ලද සිව් නිවුන් දරුවන්ගේ ජීවිතවලට යහපත් ආරම්භයක් ලබා දෙයි

සම්පත් බැංකුව විසින් පසුගියදා බොරැල්ල ද සොයිසා කාන්තා (ශික්ෂණ) රෝහලේදී උපත ලද සිව් නිවුන් දරුවන් වෙනුවෙන් පුබුදු ළමා ඉතුරුම් ගිණුම් විවෘත කරමින් ඔවුන් වෙත රන් පෙන්ඩන්ට් ලබාදීමට කටයුතු කරන ලදී. දරුවන්ගේ අනාගතය සඳහා වන ආයෝජනයක් ලෙස දෙමව්පියන් දිරි ගැන්වීම වෙනුවෙන් සම්පත් බැංකුව එම පියවර ගනු ලැබීය.

මෙම දුර්ලභ සිවු නිවුන් දරු උපතේදී මවගේ මෙන්ම දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ළමා රෝග විශේෂඥ වෛද්‍ය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (කොළඹ විශ්ව විද්‍යාලය) නිශානි ලූකස් මහත්මිය සහ වාට්ටු භාර හෙද සොයුරිය වන එච්.එම්.පී. රංජනී මහත්මිය ඇතුළු සෙසු කාර්ය මණ්ඩලය සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කළහ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සම්පත් බැංකුවේ පාරිභෝගික බැංකුකරණ පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තාරක රන්වල මහතා සඳහන් කර සිටියේ “සිව් නිවුන් දරු උපතක් යනු දරු උපත් 800,000කට එකක් පමණක් සිදුවන ඉතා දුර්ලභ සිදුවීමක්.

අද ලෝකයේ සිදුවන සියලු ව්‍යවසනයන් පිළිබඳ සැලකීමේදී මේ ආකාරයේ වටිනා අවස්ථාවක් ඉතා ඉහළින් සැමරිය යුතුයි. මෙම දරුවන්ගේ ජීවිතයට යහපත් ආරම්භයක් ලබාදීමට සහ කුඩා අවධියේ පටන් ඉතිරි කිරීමේ පුරුද්ද ඇති කර ගැනීමට ඔවුන්ට සහාය වීමට ලැබීම අප ලද භාග්‍යයක් කොට සලකනවා. ඔවුන් මේ රටේ යහපත් මෙන්ම ඉහළ පුරවැසියන් බවට පත්ව ජාතියේ අභිවෘද්ධිය උදෙසා වටිනා දායකත්වයක් ලබා දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා”යනුවෙනි.