පිනි පලස

සමහර වෙලාවට මට මාව පාවලා දෙන්න වුණා – රොෂාන් රවීන්ද්‍ර

‘වීරයා ගෙදර ඇවිත්’ ටෙලි නාට්‍යයේ ඔබ මහත් කැමැත්තකින් විඳිමින් සිටින කාලයක අප මෙම වීරයා පසුපස සිටින රංගන ශිල්පියා වන රොෂාන් රවීන්ද්‍ර සමග වෙනස් විදිහේ කතාබහකට එළඹුණා.

ඔබගේ නවතම නිර්මාණයේ වගතුග කොහොමද?

‘තණමල්විල කොල්ලෙක්’ ටෙලි නාට්‍යයේ වැඩ අවසන් කරලා තියෙන්නෙ. මේ වෙද්දි එහි සංස්කරණ කටයුතු කෙරෙමින් පවතිනවා. ලබන වසරේ විතර තමයි මෙම නිර්මාණය විකාශනය කරන්න බලාපොරොත්තු වෙන්නෙ, මේක ටිකක් වැඩි පිරිවැයත් දරලා කළ වැඩක් නිසා වඩා හොඳින් වැඩ කටයුතු නිම කරන්නයි උත්සාහ කරන්නේ.

‘තණමල්විල කොල්ලෙක්’ සඳහා පාදක වන්නේ කුමන අත්දැකීමක්ද?

දුෂ්කර පළාත්වල තරුණයන්ගේ ජීවිතවලට බලපාන සමාජ, ආර්ථික අත්දැකීම් ටික තමයි මෙයට පසුබිම් වන්නේ. ඒ ගැන කුතුහලයක් තියන්න කැමති නිසා වැඩිය කතා කරන්න යන්නෙ නැහැ. මම හිතනවා මේක මිනිස්සුන්ට හොඳ අත්දැකීමක් වෙයි වගේම තරුණයන් අතර ජනප්‍රිය වෙයි කියලා.

රොෂාන් හැමවිටම කලාත්මක ධාරාවේ නිර්මාණ සමගම රැඳෙන්නේ කලාවේ පැවත්මට එවන් නිර්මාණ ඉවහල් වෙතැයි සිතන නිසාද?

ලෝකයේ කලාව පවතින ඕනෑම රටක ජනප්‍රිය ධාරා​වේ හා කලාත්මක ධාරවේ නිර්මාණ තියෙනවා. මේ දෙකම පැවැත්මට අවශ්‍යයි. මෙයින් මම තෝරගෙන තියෙන්නේ මම ආස කරන විදිහ. නමුත් කලාත්මක දේම පවතින්න ඕන කියලා දෙයක් නැහැ. යම් තෝරාගැනීමක් කරන්න වුණත් මේ දෙවර්ගයේම නිර්මාණ පැවතිය යුතුයි.

අද අපේ මිනිසුන්ට අපේ ටෙලි නාට්‍ය පෙන්වන්න විදේශීය ටෙලි නාට්‍ය හා තරග කරන්න සිදුවෙලා නේද?

වාසනාවකට අපේ තරුණ පරම්පරාවේ නිර්මාණාත්මකව හිතන නිර්මාණ කරන මිනිස්සු ටික්ක ඉන්නවා. ඒක කාලෙන් කාලට ක්ෂේත්‍රයේ තිබුණ දෙයක්. මේක ඉදිරියටත් පවත්වාගෙන යන්න පුළුවන් වෙන්න ඕනෑ, රජය මැදිහත් වීමෙන් කර්මාන්තයක් වශයෙන් දියුණු වෙන්න. දැන් බලන්න විදේශීය ටෙලි නාට්‍යවලට තමයි අපේ රූපවාහිනී නාළිකාවල වැඩිම කාලයක් ලබාදීලා තියෙන්නේ. පසුගියදා පැවැත්වුණ සම්මාන උළෙලකදී විදේශීය ටෙලි නාට්‍ය හඬකැවීම්වලටත් සම්මානයක් දුන්නා. මම හිත්නනේ විදේශීය ටෙලි නාට්‍ය විකාශනය දිරිගැන්වීම නොකළ යුතු දෙයක්. අපිට අපේ ටෙලි නාට්‍ය පෙන්වගන්න අපේ රටේ බැරිවුණොත් අපිට ඉන්දියාවේ ගිහින් අපේ නිර්මාණ පෙන්වගන්න පුළුවන්ද?

බලයට පත්වෙන කිසිම ආණ්ඩුවක් ඒ ගැන හිතන්නේ නැහැ. ඔවුන් හිත්නනේ කලාකාරයෝ කියන්නෙ මොකක් හරි වෙන ව්‍යාපාරයක් කරගෙන ඉඳලා පුළුවන් වෙලාවට ඇවිත් සින්දුවක් කියලා යන්න ඉන්න ජාතියක් කියලා.

කර්මාන්තය බිඳවැටීම හැරුණාම මේ කාරණය රටේ ජනතාවටත් බලපානවා කියල ඔබ හිතනවද?

තේරෙන මිනිස්සු ටික මිනිස්සුන්ට බණිනවා, අපේ මිනිස්සුන්ට දේශපාලනික දැනීමක් නැහැ කියලා. හැබැයි මිනිස්සු දැනුවත් කරන එක කලාවේ වගකීමක්. ඒත් අද කොහෙද කලාවෙන් අපිට ජීවිතය ගෙනහැරපෑමක් කරන්න ලැබෙන්නේ? ඉන්දියන් නාට්‍ය ටිකනෙ මිනිස්සුන්ට පෙනවන්නේ. මේවායින් මිනිස්සුන්ගෙ ඔළු හැදෙයිද? රටක කලාවක් නැතිවුණාම වෙන දේ මිනිස්සු වල් වදින එක. ලෝකයේ දියුණු රටවල කලාව කියන එක ඉතා ඉහළ මටට්මක තියෙන්නේ. ඔවුන් කලාව පාවිච්චි කරන්නේ රටේ අභිවෘද්ධියට. තමන්ට හිතවත් කෙනෙකුට චැනල් එකකට ලයිසන් එකක් දීලා අපව හූරාකන්න දෙන්නෙ නැහැ. අපේ රටේ මිනිස්සුන්ටත් මේ ගැන අවබෝධයක් නැහැ. අපිත් කවදාහරි අපිට ඒ වගේ කුමාරයෙක් බිහිවෙයි කියලා බලාගෙන ඉන්නවා.

කලාවේ පවතින්න හැදෑරීමෙන් ලැබෙන පිටුබලය කොතරම්ද?

හැදෑරීම තමයි තමන්ගේ ජීවිත කාලයම අරගෙන යන්නෙ. එහෙම නැත්නම් අපි අතරමග නතර වෙනවා.

ඔබ පවසන්නේ කලාකරුවෙකුට අනිවාර්යයෙන් ඇකඩමියක්, හැදෑරීමක් අවශ්‍යයි කියන කාරණයද?

ඒකත් අත්‍යාවශ්‍යයි. මම ගත්තොත් සෝමලතා සුබසිංහ මහත්මියගේ වැඩමුළුවකට තමයි මම මුලින්ම ඇතුළු වුණේ. ජාතික තරුණ සේවා සභාවේ අවුරුදු දෙකක ඩිප්ලෝමාව සම්පූර්ණ කරනවා ඊට පස්සෙ. මහේන්ද්‍ර පෙරේරාගෙ වැඩමුළු පටන් ගන්නෙ මම සහ අපි කිහිප දෙනෙක් එකතුවෙලා. අවුරුදු කිහිපයක් අපි ඒ වැඩමුළුවලට සහභාගි වුණා. ජනකලා කේන්ද්‍රය, සුබෝධිය, අනොජා වීරසිංහ, අභින කලා ඇකඩමිය, ඒ හැම තැනකම මම ඉඳලා තියෙනවා. ඒ හැරුණම ස්වයං අධ්‍යයනය විශාල ලෙස වැදගත් වෙනවා. එහෙම නැතිව මම හිතන්නේ නැහැ පවතින රංගන ශිල්පියෙක් හෝ අධ්‍යක්ෂවරයෙක් බිහිවෙයි කියලා.

ආරම්භයේ පටන්ම ඔබ තෝරාගත් හොඳ නිර්මාණ සමගම පවතින්න උත්සාහ දැරූ කලාකරුවෙක්ද?

නැහැ, මම කරපු හැම දෙයක්ම හොඳම ඒවා නෙවෙයි. සමහර වෙලාවට මට මාව පාවලා දෙන්න වුණා. මේ ගමනේ අපි ආපහු හැරිලා බලද්දි එකතු කරගත්ත භෞතික දෙවල් මට නැහැ. දරුවො දෙන්නෙක් ලොකු මහත්වෙලා තියෙනවා හැර, ආර්ථිකමය වාසියක් අපේ ජීවිතවල නැහැ. අවශ්‍ය කරන නිර්මාණයක් එනකම් බලාගෙන බලාගෙන ඉඳලා වෙහෙසට පත්වෙලා අතේ සතේ නැතිවුණ වෙලාවට මම දන්න එකම වෘත්තිය මේකනෙ. එතකොට මට ලැබෙන අවමයට යන්න සිද්ධ වෙනවා. අන්න ඒ තැන්වල මාව හිරවුණා.

පටන්ගත් තැන ඉඳන් විසි වසරක් ඉක්මවූ ඔබට අද වනවිට ඒ ස්ථාවරය තියෙනවද?

මම, මගේ දුක කියනව නෙවෙයි. ඔබ අහපු ප්‍රශ්නයටයි මේ උත්තර දෙන්නේ. මම මගේ නැතිබැරිකම මිනිස්සු ඉදිරියේ උළුප්පා දක්වන්න හදනව නෙවෙයි. මගේ ජීවිතයේ ඔබ විමසන ඇත්ත කියන්නයි මම මේවා කියන්නේ.

අවුරුදු විස්සක් විතර මේකේ වැඩ කරලා කොහොම හරි නළුවෙක් විදිහට මේකෙ ස්ථාවර වෙනකොට ආපහු පිටිපස්ස හැරිලා බලනකොට මගේ ආර්ථිකයේ කිසි දෙයක් නැහැ. ණය ගොඩක් විතරයි තියෙන්නේ. තවදුරටත් මේක ව්‍යාපාරයක් විදිහට දියුණු වෙන්නෙ නැත්නම් අපිට හිතලුවක් විදිහට මේ ගැන හිත හිතා ජීවත් වෙන එක විතරයි ඉතුරුවෙලා තියෙන්නේ. මම රඟපාන්නේ හොඳ නිර්මාණවල විතරයි කියන එක එළියෙන් හැදුණ එකක්. නමුත් මීට වඩා තෝරාගැනීමක් මම කරනවා මගේ ආර්ථික පසුබිම හොඳ මටට්මක තිබුණා නම්.

කලාකරුවෙක් වීම ගැන අද ඔබට ඇත්තෙ නොසතුටක්ද?

මේ වෙච්ච දේවල් එක්ක මම කරපු දේවල් සහ මම පහුකරපු තැන් ගත්තාම මම සතුටු වෙනවා. දෙයියනේ කියලා දැන් මගේ අම්මට මාව පෙනෙනවා ඇති මම මොකක් හරි වැඩක් කරන මනුස්සයෙක් කියලා. කලාකරුවෙක් වීම ගැන මම සතුටු වෙනවා, ඒකෙ කිසිම තර්කයක් නැහැ. අපි නොදැනුවත් කාලේ මට්ටමකට ඇවිත් හතරදිග්බාගෙ ඇවිදලා අපිට ඕන කරන දේ ගොඩනගා ගත්තට පස්සේ අපිට පේනවා මේක ඇතුළෙ ව්‍යාපාරයක් නැහැ, දියුණුවක් නැහැ කියලා. දේශපාලනඥයෙක් හමුවුණාම අපෙන් අහන්නේ අපි මේකට අමතරව වෙන රැකියාවක් හරි ව්‍යාපාරයක් හරි කරනවද කියලා. ඉතින් දෙයියනේ අපි කලාකරුවොනේ. අපිට වෙන රැකියාවක් කරන්න ඕන නැහැනෙ, අපිට කලාව කරගෙන ජීවත් වෙන්න තියෙන්න එපායැ.

සුරංජි පතිරණ