පිනි පලස

සමහරු කිව්වා මම සිනමාවේ මාෆියාවක් හැදුවා කියලා

සෝමරත්න දිසානායක – රේණුකා බාලසූරිය යළිත් වරක් මෙරට සිනමා ප්‍රේක්ෂකාගාරය උණුසුම්කොට තිබේ. ඒ ලාංකේය සිනමා වංශයට මෙන්ම ප්‍රේක්ෂක ජනතාවටද නැවුම් අත්දැකීමක් රැගෙන ආ ‘සුනාමි’ චිත්‍රපටය තුළිනි.

චිත්‍රපට ප්‍රදර්ශනය අතිශය අභියෝගාත්මක කාර්යයක් වී ඇති යුගයක ඔවුන් මෙය මුදා හැරීමට තීරණය කර ඇත​ෙත් සිය ප්‍රේක්ෂක ජනතාව කෙරෙහි වූ අපමණ විශ්වාසය නිසාමය. තවත් අතකින් සිනමාහල් හිමියන්ගේ දැඩි ඉල්ලීම මතය. සෝමරත්න දිසානායක අප හා සුවිශේෂ පිළිසඳරකට එක්වෙමින් සිය හඬ අවධි කළේ මෙලෙසිනි.

මේ වෙනකොට සිනමාශාලා අසූවක පමණ ‘සුනාමි’ ප්‍රදර්ශනය වෙනවා. තවත් සිනමාශාලා බොහෝමයකින් ඉල්ලීම් තියෙනවා චිත්‍රපටය, තම සිනමාශාලාවලටත් ලබා දෙන්න කියා. නමුත් මණ්ඩලයේ නීතිරීති නිසා එය ඉටුකරන්න බැරි වී තිබෙනවා. අපේ මණ්ඩලයේ බෙදාහැරීමේ ක්‍රමවේදය හොඳ නෑනේ, ඇත්තටම. ඉතිං ඒක ලොකු ගැටලුවක්. පොදුවේ අද චිත්‍රපට බෙදා හැරීම ලොකු ගැටලුවක්. ඒක කඩිනමින් විසඳන්න ඕනෑ ප්‍රශ්නයක්. චිත්‍රපට හදන්න ලේසියි. පෙන්නන්න ගියාම තමයි අමාරු.

චිත්‍රපට නිෂ්පාදිකාවක ලෙසින් රේණුකා බාලසූරිය මෙකී ගැටලුවට මුහුණ පෑ ප්‍රථම වතාව මෙය නොවේ. ඇයටද ඒ පිළිබඳ කියන්නට බොහෝ දේ ඇත.

ඇත්තටම චිත්‍රපට ප්‍රදර්ශනයේදී මේ ගැටලුව හැම නිෂ්පාදකයකුටම බලපානවා. ඒක ප්‍රවීණ, නවීන කියලා භේදයක් නෑ. අපි මහන්සිවෙලා, කැපවෙලා මුදල් වියදම් කරලා චිත්‍රපටයක් හදනවා. නමුත් ඒක පෙන්වන්න ගියාම අයිතිකාරයෝ වැඩියි. සිනමාශාලා මණ්ඩලයක් එනවා. සිනමාශාලා හිමියෝ එනවා. චිත්‍රපට සංස්ථාව එනවා. අමාත්‍යාංශය එනවා. එතකොට නගර සභාව, ප්‍රාදේශීය සභාව මේ හැම එකක්ම මේකට මැදිහත් වෙනවනේ. එතකොට ප්‍රශ්නත් වැඩියි. ඊට පස්සේ මේක ආඬි හත් දෙනාගේ කැඳහැළිය වගේ වෙනවා.

එතකොට කොහොමද ‘සුනාමිය’ ට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර?

සෝමරත්න දිසානායක සමග යළි කතාබහට එක්වෙමින් මම ඇසුවෙමි. හොඳයි. මේ වෙනකොට සිනමාහල් කරා ප්‍රේක්ෂකයෝ පැමිණෙමින් සිටිනවා. මම හිතනවා ඉදිරියේදී ඒක තව වැඩි වෙයි කියලා. චිත්‍රපටය නැරඹූ බොහෝ ප්‍රේක්ෂකයන්, විද්වතුන්, කලාකරුවන් වගේම ඉහළ පෙළේ විචාරකයන් පවා කියන්නේ මගේ හොඳම චිත්‍රපටය ‘සුනාමි’ කියලයි. සෝමරත්න දිසානායකගේ සිනමා දිවියේ කූටප්‍රාප්තිය කියලයි ඒ අය කියන්නේ. ඒ කවුරු කිව්වත් පිළිගන්න එපා. චිත්‍රපටය නරඹලා හොඳද, නරකද කියලා ඔබම තීරණය කරන්න කියලා මම ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඔබත් හිතනවද මේ ඔබේ හොඳම චිත්‍රපටය කියලා.?

මම නම් එහෙම කෙළින්ම ප්‍රකාශ කරන්නේ නෑ. චිත්‍රපට කියන්නේ අපේ දරුවන් වගේ අලුත හම්බ වුණු ළමයා තමයි හොඳම ළමයා කියලා කියන්නෙ නැහැනේ දෙමාපියෝ. ඒ නිසා මගේ හැම චිත්‍රපටයක්ම මට හොඳයි. හැබැයි මගේ අනෙක් චිත්‍රපටවලට වඩා මම මේකට ලොකු කැපකිරීමක් කළා. වෙහෙසුණා. මුදල් වියදම් කළා. ලොකු අවදානමක් ගත්තා. මට ඒ වෙනස දැනෙනවා. ඒ නිසා මේ චිත්‍රපටය නිර්මාණශීලී බවිනුත් වැඩියි කියලා මට හැඟෙනවා.

ඔබේ චිත්‍රපටවල අප දකින පොදු ලක්ෂණය තමයි කලාත්මක සහ ආකර්ෂණීය බව. ඔබ මෙවර ඊට තාක්ෂණයත් මුසුකොට තිබෙනවා?

ඔව්. චිත්‍රපටයට අවශ්‍යම වූ නිසා තාක්ෂණය භාවිත කළා. තාක්ෂණය පැත්තෙන් ‘සුනාමි’ අන්තර් ජාතික මට්ටමටත් එහා ගිය තැන් තියෙනවා. ඒ වගේම කලාත්මක අංශයෙනුත් මෙය අන්තර්ජාතික මට්ටමේ තියෙනවා කියලා මම විශ්වාස කරනවා. අන්තර්ජාතික සිනමා උළෙල කීපයකටම ‘සුනාමි’ තෝරාගෙන තියෙනවා. දැනටමත් භූතානයේ අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිළිය සහ හොඳම කැමරාකරණය යන සම්මාන මේ චිත්‍රපටයට ලැබී තිබෙනවා.
අද මුළු ලෝකයම දැඩි සේ සිනමා තාක්ෂණයට නැඹුරු වෙලා. කලාත්මක සිනමාවට පවා මේ වෙනකොට තාක්ෂණය රිංගලා. ඒ තාක්ෂණය විසින් සිනමා කෘතිය ගිලගත් අවස්ථා අප දැක තිබෙනවා. නමුත් ඔබ මෙහි තාක්ෂණය භාවිත කර තිබෙන්නේ ඉතා සුපරීක්ෂාකාරීව..?

ඇත්තටම තාක්ෂණය පිටුදැකලා අපට මේ චිත්‍රපටය කරන්න පුළුවන්කමක් තිබුණේ නෑ. විශේෂයෙන්ම සුනාමි රළ නිර්මාණය කරන්න මට අවශ්‍ය වූ දෘශ්‍ය ප්‍රයෝග ලංකාවේ නොතිබුණු නිසා මට ඒකට ඇමෙරිකාවේ ඉංජිනේරුවන්ගෙන් උපදෙස් ගන්න සිද්ධ වුණා. සුනාමි රළ ප්‍රති නිර්මාණය කරන්න ඔවුන් මෙහාට ගෙන්නුවා. නමුත් අර ඔබ කිව්වා වගේ මම තාක්ෂණය පස්සෙම ගිහින් මේකෙ තියෙන නිර්මාණශීලීත්වය අඩු කරගත්තේ නෑ. මම ප්‍රධාන තැන දුන්නේ කලාත්මක වටිනාකමට. මේ චරිතවල තිබෙන මනෝභාවයන්ගේ ගැටුම. විශේෂයෙන්ම ප්‍රධාන චරිතය රඟපාන අතර පොඩි ළමයාගේ සංකීර්ණ මනෝභාවයන් හරියට නිරූපණය නොවුණා නම් චිත්‍රපටයේ තාක්ෂණය කොයිතරම් උසස් මට්ටමක තිබුණත් වැඩක් වෙන්නේ නෑ.

සුනාමිය කියන්නේ මෑත ඉතිහාසයේ අපේ රටේ සිදු වූ බිහිසුණුම ඛේදවාචකය. ඒ ගැන විග්‍රහ කරන්න අවශ්‍ය නැහැනේ. ඒ කටුක අත්දැකීම සිනමාව හරහා යළි නරඹන්න මිනිසුන්ගේ කැමැත්තක් ඇති කියලා ඔබ හිතනවද?

ඉතිහාසයේ බොහෝ අමිහිරි සිදුවීම් තියෙනවා. දැන් අපි ගම්මුකෝ තිස් වසරක් පුරා මේ රටේ තිබුණු බිහිසුණු යුද්ධය. ඒක මිහිරි දෙයෙක් නෙවෙයිනේ. නමුත් කලාකරුවෝ එය ස්පර්ශ කරන්න ඕනෑ. යුද්ධය අමිහිරියි. ඒ නිසා ඒවා සිනමාවට හෝ සාහිත්‍යයට නොනැගිය යුතුයි කියලා අපට බැහැර කරන්න බැහැ. ලෝකයේ සිදු වූ බිහිසුණු ඛේදවාචකයන් ගැන ලෝක සිනමාවේ කොතෙකුත් කතාකර තියෙනවනේ. ටයිටැනික් නැව ගිලුනු එක ගැනත් චිත්‍රපට හදලා තියෙනවනේ. ඒක සුන්දර දෙයක් නෙවෙයිනේ. ලෝක යුද්ධය ගැනත් ඕනෑතරම් චිත්‍රපට නිර්මාණය වෙලා තියෙනවා.

අදටත් නිර්මාණය කෙරෙනවා…?

ඔව්.. ඉතින් මේ සුනාමියත් අපට අමිහිරි අත්දැකීමක් තමයි. නමුත් එයින් අපට ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. මේ සුනාමිය අපට කියලා දුන්නු පාඩම් තියෙනවා. අපේ ආගම මොකක්ද? අපි කතා කරන්නේ මොන භාෂාවද? අපි අදහන දෙවියෝ කව්ද? ඒක නෙවෙයි වැදගත්. සොබාදහම මේ කාටත් එකයි. ජාති වශයෙන්, ආගම් වශයෙන් දෙකට බෙදිලා, ඇනකොටාගෙන අපි මේ කරන්නේ මොන විකාරයක්ද කියන එක තමයි මම මේ චිත්‍රපටයෙන් මතු කරන්නේ. මේ චිත්‍රපටයේ මගේ තේමා පාඨය තමයි ‘සොබාදහම කියාදුන් මිනිස් දහම’ කියන එක. හැම ඛේදවාචකයක් අවසානයේම අපිට මිනිසත්කමේ පාඩමක් කියා දෙනවා.

මෙහි රූගත කිරීම් බොහෝමයක් සිදුවුණේ නැගෙනහිර වෙරළ ආශ්‍රිතව..?

ඇත්තටම සුනාමියෙන් විපතට පත් වුණු පුල්මුඩේ, නිලාවැලි ප්‍රදේශයේ වෙරළක් අපි යොදා ගත්තේ. නමුත් අර මුහුද ආශ්‍රිත දර්ශන තමයි එතන තියෙන්නේ. ඒ වගේම අපි රන්මිනිතැන්නේ රූගත කළා. මහනුවර ප්‍රදේශයේ රූගත කළා. කොළඹ උසාවියෙත් දර්ශන කීපයක් රූගත කළා. ඒ හැරුණාම අපි විශාල වතුර ටැංකියක් හදලා අර සුනාමි රළ, එතකොට ඒ ගහගෙන යන දර්ශන ගත්තේ කල්පිටිය වෙරළ ආසන්නව. මුහුද මැද විශාල බ්ලූ ස්ක්‍රීන් එකක් ගහලා මෙතෙක් ලංකාවේ නොකෙරුණු ආකාරයේ රූගත කිරීමක් අපි කළා.

ඔබ තරු ගුණය කරපින්නාගත්, ඒ මත යැපෙන අධ්‍යක්ෂවරයෙක් නෙවෙයි. ආධුනික නළු නිළියන් පවා යොදාගෙන ඔබ සාර්ථක චිත්‍රපට නිර්මාණය කර තිබෙනවා?

ඔව්. නළු නිළියන්ගේ ජනප්‍රියතාව හෝ කීර්තිය මම මගේ චිත්‍රපටවලට ආභරණයක් කරගන්න කැමැති නැහැ. නමුත් ඔවුන්ගේ රංගන ප්‍රතිභාවන් මම පාවිච්චි කරනවා. ඔබ කිව් විදියටම මම බොහෝ විට මගේ චිත්‍රපටවලට අරගන්න නළු නිළියෝ ඔය ‘තරු’ ගණයට වැටෙන අය නෙවෙයි. රූප සුන්දරියන් නෙවෙයි. මට අවශ්‍ය වන්නේ චරිතයට සාධාරණයක් ඉටුකරන ප්‍රතිභාපූර්ණ නළු- නිළියන්. ඒ වගේම ළමයි. කවදාවත් රඟ නොපෑ ළමයි මම තෝරලා, බේරලා ගන්නේ මේ චරිතය කරන්න පුළුවන් කියන පූර්ව නිගමනයක ඉඳන්. ඊට පස්සේ ඔවුන් පුහුණු කරලා, වැඩමුළු තියලා තමයි ඔවුන් චරිතවලට ඉදිරිපත් කරන්නේ.

ඉස්සර තිබුණේ නළු නිළියන් මත යැපුණු සිනමාවක්. විශේෂයෙන් 70 දශකයේ ප්‍රේක්ෂකයෝ සිනමා ශාලාවලට ආවේ ගාමිණී, මාලිනී, විජය වගේ නළු නිළියන් බලන්න. ඒත් අද නළු නිළියෝ වටා එහෙම රැස් වළල්ලක් නෑ කියලයි මට හිතෙන්නේ…?

ඉන්දීය සිනමාවේ සාර්ථකත්වයට නම් නළු නිළියන්ගේ, ජනප්‍රියත්වය, කීර්තිය බලපානවා. ෂාරුක් ඛාන්, සල්මන් ඛාන් වගේ නළුවන්ට ඇබ්බැහි වෙච්ච ප්‍රේක්ෂක පිරිසකුත් ඉන්නවා. ඒ වගේම දකුණු ඉන්දීය සිනමාවේත් ඔය තත්ත්වයම තියෙනවා. රජිනිකාන්ත් අදටත් සමහරුන්ගේ වීරයා. එතකොට විජය, සූර්යා, ධනුෂ් වගේ නළුවන් වටා විශාල ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. ඒක මං හිතන්නේ ඒ ගොල්ලන්ගේ සංස්කෘතියේ හැටි. හැබැයි මම හිතන්නේ නැහැ සිනමාවේදී ඒක වැදගත් කියලා. නළු නිළියන්ගේ රූපය බලන්න හරි, ඒ අයගේ සටන්, නැටුම් බලන්න හරි නෙවෙයි චිත්‍රපට නරඹන්න ඕනෑ. චිත්‍රපට කලාව, සිනමාරූපී බව කියන එක වෙනයි. ඉන්දීය ප්‍රේක්ෂකයන්ට සාපේක්ෂව ගත්තොත් මම හිතන්නේ අපේ ප්‍රේක්ෂකයන්ගේ රසවින්දනය උසස්. ඔවුන් බලන්නේ චිත්‍රපටයේ සිනමාරූපී බව මිසක නළු නිළියන් කොච්චර ලස්සනද, රූප සුන්දරියොද කියන එක නෙවෙයි.

නමුත් සෝමරත්න දිසානායක කියන අධ්‍යක්ෂවරයා වටා විශාල ප්‍රේක්ෂක පිරිසක් රොද බැඳ සිටිනවා. එය ඇතැම්විට ජනප්‍රිය නළුවකුගේ කීර්තිය ඉක්මවා යන්නක්. ඇයි එහෙම වුුණේ…?

මගේ ප්‍රථම චිත්‍රපටය ‘සරෝජා’ ඉඳලම මම ප්‍රේක්ෂකයන්ට සාධාරණයක් ඉෂ්ට කරන අධ්‍යක්ෂවරයෙක්. මගේ චිත්‍රපටයක් සාර්ථක කරගන්න ආකර්ෂණීය උපක්‍රම නෙවෙයි මම යොදා ගන්නේ. මගේ චිත්‍රපටයකින් සිනමාරූපී බව, සාහිත්‍ය වින්දනය කෙතරම් දුරකට ප්‍රේක්ෂකයාට ලබා දෙනවාද කියන කාරණය තමයි මම බලන්නේ. මගේ රසිකයෝ දැන් ඒකට පුරුදුවෙලා ඉන්නවා. සරෝජා, පුංචි සුරංගනාවි, සූරියඅරණ, බිංදු, සිරි පැරකුම්, සිරිරජ සිරි, සරිගම මේ හැම චිත්‍රපටයකින්ම මම ඔවුන්ගේ විශ්වාසය සනාථ කර තිබෙනවා. ඒ නිසා තමයි ‘සුනාමි’ චිත්‍රපටය එනතුරු ඔවුන් මග බලා හිටියේ.

චිත්‍රපට බෙදා හැරීම සම්බන්ධ ගැටලු මතු වූ අවස්ථාවල ඊට ඔබ තරම් මැදිහත් වූ වෙනත් සිනමාකරුවකු මම දුටුවේ නැහැ. Block Buster ගණයේ චිත්‍රපටවලට පිටපත් 70 ක් අවශ්‍යයි කියන ආස්ථානයේ ඔබ එදා සිටියා. නමුත් චිත්‍රපට බෙදා හැරීම තවම අවුලක්…?

චිත්‍රපටයක පිටපත් ප්‍රමාණය තීරණය කරන්න කාටවත් අයිතියක් නැහැ. රටපුරා ප්‍රේක්ෂකයෝ ඉන්නවා නම් රටපුරා සිනමා ශාලා හිමියෝ සූදානම් නම් රාජ්‍ය නිලධාරියකුට හරි වෙනත් බලධාරියකුට හරි මොකක්ද තියෙන අයිතිය එහෙම සීමාවක් පනවන්න. අපි චිත්‍රපට හදන්නේ අපේ සල්ලිවලින්. සිනමාශාලා හදන්නේ ඔවුන්ගේ පෞද්ගලික මුදලින්. මේ පැත්තක ඉන්න වෙන කණ්ඩායමක් නීතිරීති දාලා අපට කියනවා, අහවල් සිනමා ශාලාවල විතරයි මේක පෙන්වන්න පුළුවන්, පිටපත් මෙච්චරයි මුද්‍රණය කරන්න පුළුවන් කියලා. මේ ක්‍රමවේදය නිසා සමහර පළාත්වලට චිත්‍රපටය යන්නේ නෑ. ඒක අපේම රටේ, අපේම ප්‍රේක්ෂකයන්ට කරන අසාධාරණයක්. එතකොට ඒ අය දෙවැනි පෙළ පුරවැසියන් වෙලා ඉබේටම. සිනමාව කලාවක් වගේම කර්මාන්තයක්. ඒ නිසා මේ වෙළෙඳපොළ විවෘත කරන්න ඕනෑ.

මේ අරගලයේදී සමහරු ඔබව හැඳින්වූවේ සිංහල සිනමාවේ ‘ෂයිලොක්’ විදිහට…?
එහෙම නම් පටබැඳෙනවනේ ඉතින්. ඒක බොහෝ වෙලාවට ඊර්ෂ්‍යාව සහ කුහකම එක්ක ආපු වචනයක්. සමහරු කිව්වා මම සිනමාවේ මාෆියාවක් හැදුවා කියලා. මම ඒගොල්ලන්ගෙන් බොහෝම කරුණාවෙන් අහන්නේ මොකක්ද මම හදපු මාෆියාව කියලා. මගේ චිත්‍රපටවලට වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමිවීමද මම හදපු මාෆියාව.

අසංක දේවමිත්‍ර පෙරේරා